රොෂාන්ගෙන් පොලීසියට පැමිණිල්ලක් | සිළුමිණ

රොෂාන්ගෙන් පොලීසියට පැමිණිල්ලක්

රොෂාන් කවදත් රසඳුනට බොහෝ ළෙන්ගතු රංගන ශිල්පියෙක්. මේ දිනවල රොෂාන් වැඩිපුර පොලීසියට යනවා කියලා දැන ගන්න ලැබුණා. රොෂාන් පසුගිය සති කිහිපය තුළ මේ අයුරින් පොලීසියට යන්න සිදු වෙලා තියෙන්නේ රූගත කිරීමක් වෙනුවෙන් නම් නෙමෙයි. පැමිණිල්ලක් කරන්නයි ඔහු ගිහින් තිබෙන්නේ.

ඒ ගැන විස්තර පවසමින් කියා සිටියේ ඔහු ගේ නම භාවිතා කරමින් imo ගිණුමක් නිර්මාණය කරගත් පුද්ගලයෙක් ඔහුගේ නමින් පෙනී සිටිමින් ප්‍රේක්ෂකයන් සමඟ කතා බහා කරන බවයි. නමුත් ඔහු නම් පැවසුවේ ඔහුට imo ගිණුමක් නොමැති බවයි. කෙසේ නමුත් තවමත් ඒ ගිණුම සක්‍රියව පවතින බවත්, ඔහුගේ facebook ගිණුමට ද මෙම පුද්ගලයා හොරෙන් ඇතුළු වීමට උත්සහ දරන බවත් ඒ ගැන ඔවුන්ට හැඟී ගිය නිසා පසුව එය ව්‍යර්ථ වී ගොස් ඇති බව ඔහු වැඩිදුරත් අපි සමඟ පැවසුවා. ඔහු අවසාන වශයෙන් ප්‍රේක්ෂකන්ගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ ඔහුගේ නමින් imo ගිණුමක් නොමැති බවත් ඒ හරහා එන දුරකථන සහ කෙටි පණිවිඩ වලට හසු නොවන ලෙසත් ය.


උඩ එල්ලලා රූගත කරද්දී වැටෙයි කියලා බය වෙලා

ප්‍රේක්ෂකයන්ට ළෙන්ගතු රංගන ශිල්පිනියක විදියට නිල්මිණි කෝට්ටේගොඩ හඳුන්වා දෙන්න පුළුවන්. විවිධ චරිත රඟපාමින් අප අතර පැමිණි ඇය වඩාත් කතාබහට ලක්වුණේ හාස්‍ය මුසු රංගනයන් තුළින් සිය හැකියාව පෙන්වූ නිසා. වඩාත් ඔන්න ඇය නුදුරේදීම වෙනස්ම චරිතයක් ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එනවලු. උදයකාන්ත වර්ණසුරිය ගේ ‘ගින්දරී 2’ සිනමා නිර්මාණයේ තමයි ඇය නිරූපණය කරන මේ අලුත්ම චරිතය තිබෙන්නේ. ඇය පවසන ආකාරයට එම චරිතය ‘දිව්‍යංගනාවක්’. මීට පෙර මෙවැනි චරිතයක් කර නැති නිසා ඇය තරමක් චකිතයකින් තමයි රඟපෑම්වලට සූදානම් වෙලා තියෙන්නේ.

මේ චරිත නිරූපණයේදී අපූරු සිදුවීම් රාශියකට මුහුණ දෙන්න සිදු වුණා කියලා ඇය අපිත් එක්ක පැවසුවා. ‘‘කවදාවත් මාව උඩ එල්ලලා රූගත කිරීම් සිදු කර තිබුණේ නැහැනේ. ඉතින් මාව කේබල්වලින් උඩ එල්ලලා තමයි අවශ්‍ය රූගත කිරීම් සිදු කළේ. පසුගිය දවසක ඒ විදියට මාව උඩ එල්ලලා රූගත කිරීම් සිදු වෙන අතරතුරේදී විශාල සද්දයක් ඇසුණා.

මම හිතුවේ මාව එල්ලලා තියෙන කේබල් එක කැඩුණා කියලා. මම පුදුම විදියට බය වුණා. මම හිතුවේ මාව කඩාගෙන බිමට වැටෙයි කියලයි. නමුත් එවැනි ශබ්දයක් ඇති වෙලා තිබෙන්නේ වෙන කේබල් එකක සිදු වුණු ගැටීමක් නිසයි. ඒ මොහොතේදී මම බය වුණු බය වීම මතක් වෙද්දී තාමත් මාව වෙව්ලනවා’’


විනූ ගේ ජීවිතයට එක් වුණු අලුත්ම සාමාජිකයා

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන විනූ සුරතල් සතුන්ට අසීමිතව ආදරේ කරන කෙනෙක් කියන එක මුලින්ම කියන්න ඕන. ඇය ගැන මේ කියන්න යන්නේ අමුතු කතාවක්. විනූගේ ජීවිතේට අලුත් සාමාජිකයෙක් එකතු වෙලා ඉන්නවා නේ දැන්. අලුත් සාමාජිකයා වෙන කවුරුත් නෙමෙයි 'Eddi' (එඩ්ඩි). Eddi කියන්නේ පූසෙක්.

මේ පූසා විනූට පිටරටින් ලැබුණු තෑග්ගක්ලු. British shortair වර්ගයට අයත් කෙනෙක්ලු. කොහොම හරි විනූ Eddi වෙනුවෙන් Instagram ගිණුමක් ද මේ වන විට ආරම්භ කර තිබෙනවා. එහි Eddi ගේ ඡායාරූප, වීඩියෝ එක් කර තිබෙනවා. රංගන කටයුතුවලින් කාර්යබහුල වුණත් Eddi වෙනුවෙන් කාලය වෙන් කරන්න අමතක කරන්නේ නැති බවත් අපට හැඟුණා. ඒ සුරතලා වෙනුවෙන් හදපු Instagram ගිණුමට දිනෙන් දින එක් කරන ඡායාරූප නිසා. හැබැයි ඉදිරියේදී විනූ ට වඩා Eddi ජනප්‍රිය වේවිද දන්නේ නැහැ. සමහර විට Eddi ත් රංගනයට එන්න පුළුවන් වෙයි!


මංගල යෝජනා ගොඩක් ගෙදරටම ඇවිත්

තාරුණ්‍යයේ ජනප්‍රියත්වයෙන් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගත් කටකාර වගේම හැඩකාර යොවුන් රංගන ශිල්පිනියක විදියට රීතූ ආකර්ෂා හඳුන්වන්න පුළුවන්. මේ දිනවල බොහෝ රංගන ශිල්පිනියන්ට මංගල සිනු හැඬවෙන්න පටන් අරගෙන නේ. පසුගියදා දෙවැනි මනාලියක ලෙස හැඩ වුණු රිතු සැබෑ ‘මනාලියක්’ ලෙස හැඩ වෙන්නේ කාලය හරි නේද කියලා අපි ඇහුවා.

‘‘අම්මෝ දැන්ම බඳින්න අදහසක් නැහැ.’’ කියලා අපව මඟ හරින්න හැදුවා. කොහොම වුණත් රිතූ කිව්ව විදියට නම් ක්ෂේත්‍රයේ කෙනෙක් තමන්ගේ සහකරුවා විදියට තෝරාගන්න කිසිම කැමැත්තක් නැහැලු. මංගල යෝජනා ගොඩක් ගෙදරට ආවත්, ඒ හැම එකක්ම වගේ රිතූ ප්‍රතික්ෂේප කරa තිබෙනවා. ඒකට හේතුව විදියට නම් කිව්වේ ‘‘දැන්ම බඳින්න වුවමනාවක් නැහැ කියලා. තව අවුරුදු 3කින් වගේ ඒ ගැන හිතනවා’’ කියලත් කිව්වා.


දුකා ‘නොලියූ හසුන්’ පොතකට ලියයි

නුතන පරම්පරාවේ ගීත රචනා කලාව තුළ අමුතුම රටාවක් එක් කරමින් ජනප්‍රිය ගායන ශිල්පීන් රැසකටම ගීත පදරචනා නිර්මාණය කළ අපුරු නිර්මාණකරුවෙක් ලෙස හැමෝම ආදරේට කතා කරන, හඳුන්වා දෙන ‘දුකා’ හෙවත් වසන්ත දුක්ගන්නාරාල හඳුන්වා දෙන්න පුළුවන්. මේ දවස්වල විවේකීව නි‍ෙවසට වී කාලය ගත කරන ගමන් ඔහුගේ චරිත කතාව පොතකට ලියන්න සූදානමින් ඉන්න බවක් දැන ගන්න ලැබුණා.

සැබැවින්ම ඒ කතාව අැත්තක්. ඒ ගැන විමසූ විට දුකා කිව්වේ මෙහෙම කතාවක්. ‘‘එහෙම පොතක් ලියන එක ඇත්ත. එහෙත් මගේම ජීවිත කතාව නෙමෙයි මම ලියන්නේ ‘නොලියූ හසුන්’ විදියටයි එය ලියැවෙන්නේ. සමහර අයගේ සමහර තැන්වලදී මට කියාගන්න බැරි වුණු දේවල්, ඒ නිසා සිදු වුණු ව්‍යසන, වෙනස් කරන්න තිබුණු තැන් වගේ දේවල් එක්ක ලියැවෙන කතාවක්’’ බවයි. කොහොම වුණත් දුකා හරිම කැමැත්තකින් මේ දිනවල ඒ වෙනුවෙන් කාලය යොදවන බව අපට ආරංචි වුණා. බොහෝ දෙනෙකු කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්න පොතක් වෙයි කියලා නම් විශ්වාසයි.

Comments