කණ්ඩා­යම් සංගීත ක්ෂේත්‍ර­යට අලු­තෙන් එක්වූ කඩු­වෙල EXIT | Page 2 | සිළුමිණ

කණ්ඩා­යම් සංගීත ක්ෂේත්‍ර­යට අලු­තෙන් එක්වූ කඩු­වෙල EXIT

මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයට එක්වුණ 'කඩුවෙල Exit'සංගීත කණ්ඩායම මෙවර BAND OF THE WEEK කතා බහට එක්කර ගත්තෙමු.

 

ඔබ කවුද?

ඩිලාන් පෙරේරා. කඩුවෙල එක්සිට් සංගීත කණ්ඩායමේ නායකයා ලෙසයි කටයුතු කරන්නේ

පාසල් ගියේ?

රණාල කනිෂ්ඨ විද්‍යාලයට සහ බෝමිරිය ජාතික පාසලට

කුඩා කාලයේ ඉඳලා සංගීතය හදෑරුවද?

පාසලේදි සාමාන්‍ය පෙළට සංගීත විෂයයක් විදියට හැදෑරුවා. හැබැයි මම නවය වසරේදී තමයි ඩ්‍රම්ස් වාදන ශිල්පියකු ලෙස ප්‍රසංග වේදිකාවට ගොඩ වුණේ.

ඒ කොහොමද?

මම ‍ෙපෟද්ගලික පන්තියකින් තමයි සංගීත භාණ්ඩ වාදනය කරන්න ඉගෙන ගත්තේ. එහිදි විශේෂයෙන් මතක් කරන්න ඕන අජිත් සහ මංජු කියන අයියල දෙන්නා. ඔවුන් තමයි මට මියුසික් කියලා දුන්නේ. එහි ප්‍රතිඵලයක් විදියට තමයි නවය වසරේ පන්තියේ කණ්ඩායම් සංගීතය සමග සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබුණේ. හැබැයි මේ වෙනකොට සියලුම වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව මට තිබෙනවා.

එතකොට වෘත්තියක් විදියටද සංගීත කණ්ඩායම කරගෙන යන්නේ?

මම මේ වෙනකොට වාදන කලාව ගැන පන්ති පවත්වනවා. හැබැයි සංගීත කණ්ඩායම පවත්වගෙන යන්නේ මුදල් ඉපයීමේ අරමුණින්ම නෙවෙයි. ඉන් මම බලාපොරොත්තු වෙන්නේ තෘප්තියයි. මගේ කණ්ඩායමට මම මුලින්ම එකතු කරගත්තේ මගේ ළඟ ඉගෙන ගත්ත අයමයි. අදත් ඉන් කිහිප දෙනකු ඉන්නවා.

සංගීත කණ්ඩායම හැඩ කරන සාමාජිකයන් ගැන සඳහන් කළොත්?

ඩ්‍රම්ස්- දිනුක දිල්ශාන්, ඔක්ටර් ෆෑඩ්- අඛිල මධු, ලීඩ් ගිටාර්- විරෝධ කොඩිතුවක්කු, බේස් ගිටාර්- දිමුතු රන්දික, රිදම් ගිටාර්- සහන් පෙරේරා, කී බෝඩ්- නිලක්ෂ රංජුල, ගායකයන් ලෙස දමිත් දිල්ශාන්, ලහිරු දිලංක, වින්දන රාජ කටයුතු කරනවා.

ඔබ සංගීතයට යොමු නොවුණා නම් කුමන ක්ෂේත්‍රයකට යොමු වේවිද?

එහෙම නම් අනිවාර්යෙන්ම එකවුන්ට් පැත්තට යොමු වේවි. ඇත්තම කියනව නම් උසස් පෙළ පවා හරියට කරගන්න බැරි වුණේ සංගීතයට යොමු වෙලා හිටපු නිසා. හැබැයි ඒ කියලා මට සංගීතය පැත්තෙන් ගියා කියලා වැරදුණේ නැහැ.

මියුසික් පැත්තට යොමු වෙද්දි ගෙදරින් ප්‍රශ්න ආවේ නැද්ද?

මුලදි අම්මා විරුද්ධ වුණා. ඒත් ටික කාලයක් යද්දි ඒ අය තේරුම් ගත්තා මගේ හැකියාව තිබෙන්නේ මියුසික් පැත්තට කියළා. දැන් ප්‍රශ්නයක් නැහැ.

යම් ක්ෂේත්‍රයකට එද්දි එම ක්ෂේත්‍රයේ ඉන්න අය අනුකරණය කරනවා. ඔබ සංගීත කණ්ඩායම් අතුරින් කුමන කණ්ඩායමද අනුකරණය කළේ?

මම සංගීත කණ්ඩායම් කිහිපයක වැඩ කරලා තිබුණා. ඒ නිසා මට අද්දැකීම් තිබුණා. ඒ අද්දැකීම් ප්‍රයෝජනයට අරගෙනයි මම මේ කණ්ඩායම හැදුවේ. අනුකරණයක් නම් කළේ නැහැ. අධ්‍යයනයක් කරලා බොහෝ දේ ඉගෙනගත්තා.

කවුද මේ ගමනට අතහිත දුන්නේ?

අජිත් සහ මංජු අයියලා. මගේ අම්මා, සහෝදරියෝ තුන් දෙනා. බිරිය සහ නම් ගම් නොකියපු බොහෝ පිරිසක් ඉන්නවා. ඒ හැමෝම ආදරෙන් මතක් කරනවා.

අනාගත බලාපොරොත්තු?

විදේශ සංචාරයක් යන්න සැලසුම් කරගෙන ඉන්නවා. ඒ වගේම කා අතරත් නමක් රැන්දූ සංගීත කණ්ඩායමක් බවට පත් කරගැනීම තමයි අරමුණ. 

Comments