සිංහල වර­ද්දන එක අද විලා­සි­තා­වක් | සිළුමිණ

සිංහල වර­ද්දන එක අද විලා­සි­තා­වක්

 

නවකතා, කෙටිකතා, යොවුන් කතා, ළමා කතා වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ නිර්මාණකරණයේ යෙදෙන යසවර්ධන රුද්රිගු සම්මානනීය ලේඛකයෙකි. ඔහු ලියූ ‘විපිරියාසය’ නවකතාව ඩී.ආ‍ර්. විජයවර්ධන සම්මානයෙන් පිදුම් ලැබූ අතර ‘බලාපොරොත්තු’ නවකතාවක් ‘අපි මොකටද රණ්ඩු වෙන්නේ’ ළමා කතාවත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා අත්පිටපත් තරගවලින් ජයග්‍රහණ ලබා ඇත. දශක ගණනක් පුරා ලේඛකයකු මෙන් ම ජනමාධ්‍යවේදි‍යකු වශයෙන් කටයුතු කරන යසවර්ධන රුද්රිගුගේ නවතම කෘතියක් පසුගියදා නිකුත් විය.

ඒ, භාෂා භාවිතය හා ව්‍යාකරණ අලළා රචිත ‘වහරමු හොඳින් විමසා’ ග්‍රන්ථයයි. එම පොත සම්බන්ධයෙන් ඔහු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි මේ.

ඔබ නිර්මාණ සාහිත්‍යයේ යෙදෙන ලේඛකයෙක්. භාෂාව සම්බන්ධයෙන් ඔබ ‍පොතක් රචනා කිරීමට හිතුවේ ඇයි?

මම පුරුද්දක් හැටියට දීර්ඝ කාලයක් තිස්සේ පුවත්පත්, ග්‍රන්ථ, සඟරා, ප්‍රදර්ශන නාම පුවරු, පෝස්ටර්, බැනර් වැනි මාධ්‍ය තුළ භාෂාවේ සිදුවන වැරදි අධ්‍යයනය කළා. ඒවායේ ඇති භාෂා වියරණ දෝෂ, අක්ෂර වින්‍යාස වැරදි, පද බෙදීම වැනි දෝෂ මම සටහන් කළා. ඒ වගේ ම විද්යුත් මාධ්‍ය මඟින් වහරන සදොස් වැකි ගැන අවධානය යොමු කළා. භාෂා ව්‍යවහාරයේදී සිදුවන වැරදි පෙන්වා දෙමින් යම් පමණක හෝ නිවැරැදි භාෂාවක් හඳුන්වා දීම යහපත් බව මට හැඟුණා. ඒ අරමුණෙන් තමයි මම මේ පොත් පිංච රචනා කළේ.

අද සිංහල භාෂාවේ විවිධ ගුරුකුල තිබෙනවා‍. ඔබ අනුගමනය කරන්නේ කුමන ගුරු කුලයේ රීතියද?

සිංහල භාෂා ව්‍යාකරණයේ සම්මුතියක් නැහැ. සමාජය ව්‍යවහාර කරන භාෂා රීතිය මම අනුගමනය කරනවා. භාෂාවේ විවිධ ගුරුකුල නොතිබිය යුතු බවයි මගේ පෞද්ගලික අදහස. භාෂාව සමමිතික විය යුතුයි. එක සමාන විය යුතුයි.

සිංහල භාෂාවේ එදිනෙදා දක්නට ලැබෙන සාවද්‍ය ප්‍රයෝග හඳුනා ගනිමින් ඒවා නිරවද්‍ය විය යුතු ආකාරය ඔබ නිදසුන් සහිතව මෙම පොතේ පෙන්වා දී තිබෙනවා. ජනමාධ්‍ය තුළ භාෂාවේ මෙපමණ වැරදි සිදුවන්නේ ඇයි?‍

ව්‍යාකරණ හෝ භාෂා රීතිය ගැන සාමාන්‍ය දැනුමක්වත් නැති අය මාධ්‍යයට එකතු වීමෙනුයි මේ පරිහානිය සිද්ධ වුණේ. සමහර නිවේදක නිවේදිකාවන් වියතුන් සමඟ කරන සාකච්ඡාවලදී “දොඩමලුී වෙනවා” කියනවා. ඒත් දොඩමලු වෙනවා කියන වචනය යොදන්නේ සුවදුක්, ආගිය තොරතුරු ගැන කතා කරන පිළිසඳරකට. ඒත් ඒ නොදන්නාකමින් සිදුවන වැරැද්ද අනෙක් මාධ්‍යකරුවනුත් අනුකරණය කරනවා. මොකද අද මාධ්‍ය අතර තිබෙන්නෙත් තරගයක්. ඒවායේ ඉන්න භාෂාව ගැන නොදන්නා පිරිස අලුත් වචනයක් කියලා අර වැරදි වචනය භාවිත කරනවා. අන්තිමට වැරැද්ද සමාජගත වෙනවා. මේ වැරැද්ද සිද්ධ වෙන්නේ භාෂාව නිවැරැදිව භාවිත කිරීමට නොදන්නා අය ජනමාධ්‍යයට එකතුවූ නිසයි.

සන්නිවේදනය සඳහා ව්‍යාකරණ රීති අවශ්‍ය නැති බව අද ඇතැම් වියතුන් සඳහන් කරනවා. ඒ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ඔබ පවසන දේ අන්‍යයන්ට තේරෙනවා නම්, අන්‍යයන් පවසන දේ ඔබට තේරෙනවා නම් භාෂාවට ව්‍යාකරණයක් මොකටද කියලා කියන පිරිසක් සිටිනවා. ඒත් භාෂාව තිබෙන්නේ සන්නිවේදනය සඳහා පමණක් ද කියලා මට ප්‍රශ්නයක් තිබෙනවා. අදහස් පළ කිරීමට නම් භාෂාව විතරක් නොවෙයි, සංඥා, විවිධ ශබ්ද වැනි දේවල් පවා යොදාගන්න පුළුවනිනේ. භාෂාව තියෙන්නේ අදහස් පළ කිරීමට, සන්නිවේදනයට විතරක් නොවෙයි. භාෂාව කියන්නේ සන්නිවේදනයෙන් ඔබ්බට ගිය ක්‍රියාදාමයක් බවයි මගේ අදහස. භාෂාවෙන් මිනිසාගේ ශිෂ්ටත්වය, උගත්කම, බුද්ධි මට්ටම පැහැදිලි වෙනවා. මිනිසාගේ හැකියාව, බුද්ධිය භාෂාවට ආරෝපණය කළ හැකියි. ඒ නිසා සන්නිවේදනයේදී භාෂාවට ව්‍යාකරණ අවශ්‍ය නැහැ කියන කාරණයට ‍මම එකඟ නැහැ.

අද සාහිත්‍ය සම්මානයට පාත්‍ර වන ඇතැම් පොත්පත්වල පවා වියරණ දෝෂ දකින්නට ලැබෙනවා. එයින් පෙනී යන්නේ සමීක්ෂණ මණ්ඩල ව්‍යාකරණ කෙරෙහි ඒ තරම් සැලකිල්ලක් නොදක්වන බවයි. එවැනි පසුබිමක ඔබ භාෂාවේ නිරවද්‍යතාව ගැන කතා කිරීමෙන් ඵලක් වෙනවාද?

අද සාහිත්‍ය සම්මාන ප්‍රදානය කිරීමේදී සමීක්ෂණ මණ්ඩල නිර්මාණ තාක්ෂණය ගැන විතරක් බලලා සම්මාන දෙනවා. ඒ අය භාෂාව දෙවැනි තැනට දානවා. මෙය සාහිත්‍ය ප්‍රවර්ධනයට ලොකු බාධාවක්. ඊට පස්සේ නිර්මාණකරණයේ යෙදෙන ලේඛක ලේඛිකාවන් භාෂාව ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ අයත් භාෂාව දෙවැනි කාරණාව හැටියට සලකනවා. මෙය දිගින් දිගටම සිදුවීම සාහිත්‍යයට හිතකර නැහැ. ඒ නිසා මගේ මතය වෙන්නේ භාෂාවට 1 වැනි තැන දිය යුතු බව. අපි ඉංග්‍රීසි වචනයක් නිවැරදිව ලියන්න මහන්සි වෙන තරම්, සිංහල වචනයක් වෙනුවෙන් මහන්සි වෙන්නේ නැහැ. ඉංග්‍රීසි වචනයක් වැරැද්දුවොත් හිනා වෙනවා. සිංහල වචනයක් වැරැද්දුවොත් කවුද හිනාවෙන්නේ. ඒ නිසයි මම අද සමාජයේ සුලබව සිදුවන වැරදි ගැන ‘වහරමු හොඳින් විමසා’ යනුවෙන් පොතක් රචනා කළේ. අද සමාජයේ අතළොස්සක පිරිසක් හෝ නිවැරදි ආකාරයට බස හසුරුවනවා. ඒ සුළු කොටස හරි මේ පොත බලලා ග්‍රහණය කර ගනීවි කියලා මම විශ්වාස කරනවා.

ඔබ නිවැරදි වචන ලෙස පෙන්වා දී තිබෙන වචන වෙනත් තැනකදී වැරදි ලෙස මුද්‍රණය වී තිබෙනවා. එසේ වූයේ කෙසේද?

මුද්‍රණ කටයුතුවලදී එවැනි අතපසු වීමක්, වරදක් වෙන්න ඇති. සමහරවිට සෝදුපත් බලා ලකුණුකර දුන් පසුව වැරදි දැමීමේදී අතපසුවීමක් වෙන්න ඇති. කොහොම වුණත් වරදක් වෙලා තිබෙනවා නම් මම එය පිළිගන්නවා.

භාෂාවේ ව්‍යාකරණ ගැන සාකච්ඡා කෙරෙන එවැනි කෘතියක එසේ සිදු නොවිය යුතුයි නේද?

‍‍ඔව්. අනිවාර්යයෙන් ම. මම ඊළඟ වතාවේදී ඒ ගැන තවදුරටත් මගේ සම්පූර්ණ අවධානය යොමු කරනවා.

 

Comments