සැනසිල්ලට බුදු වදනක් | සිළුමිණ

සැනසිල්ලට බුදු වදනක්

පරිවර්තනය - නයනා ශ්‍යාමලී රාජපක්ෂ

මිල- රු.350

ප්‍රකාශනය- ඇස්. ගොඩගේ සහ සමාගම

ජැක් කෝර්න්ෆීල්ඩ් නම් බුද්ධ ධර්ම විශාරදයාණන්ගේ Buddhas Little Instruction නම් කෘතියේ සිංහල පරිවර්තනය මෙසේ නිකුත් වී ති‍බේ.

කෙතරම් උගත්කමක් ඇතත් ත්‍රිපිටකය කියවා බලා වටහා ගැන්ම පහසු කාර්යයක් නොවේ. ජැක් කෝර්න්ෆීල්ඩ් සමස්තය කියවා බලා ඒවා හැකිතරම් සුමට කර අප‍ වෙත ගෙන එන්නේ සියලු සිත් සන්සුන් කිරීම උදෙසා ය; සනසනු උදෙසා ය. ධම්ම පදය, ථෙර ථෙරී ගාථා, ඉතිවුත්තක, ජාතක පාලිය වැනි තැන්වලින් උපුටා ගෙන වැටහෙන සරල ඉංග්‍රීසියට නැඟූ බුදු වදන් සමුදාය ඉංග්‍රීසියෙන් හඳුන්වා ඇත්තේ Buddhas Little Instruction Book නමිනි.

පරිවර්තිකාව අප වෙත ඉදිරිපත් කරන්නේ එහි නිර්මාණශීලි සිංහල අනුවාදයකි. බුදු දහමේ එන සනාතන දර්ශනය සරල බසින් බටහිර සාමාන්‍ය ජනතාවට හඳුන්වා දුන් මේ කෘතිය සිංහලට නැඟීම සම්බන්ධයෙන් පරිවර්තිකාවට අපගේ ගෞරවය හිමි විය යුතුය.


නැණිල කුලුඳුල් සාහිත්‍ය නිමැවුම්

ඇගයුම් සම්මාන උලෙළ -13

නව නිර්මාණ භාර ගැනීම ඇරැඹේ

නැණිල කුලුඳුල් සාහිත්‍ය නිමැවුම් ඇගයුම් සම්මාන උලෙළ - 2018 කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවමෙහවැලි කෙන්ද්‍ර ශ්‍රවණාගාරයේදී මේ මස 13 වැනිදා පස්වරු 3.00ට පැවැත්වෙයි.

නැණිල කුලුඳුල් සාහිත්‍ය නිමැවුම් ඇගයුම් සම්මාන උලෙළේ ප්‍රධාන අමුත්තා ලෙස සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල ප්‍රනාන්දු සහභාගි වන අතර ‘නූතන සාහිත්‍යය අධ්‍යයනය කිරීමෙහි ලා සම්භාව්‍ය සාහිත්‍ය කතිකාවේ අදාළත්වය‘ යන මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්ය චින්තක රණසිංහ විසිනි. එදිනටම සාහිත්‍යවේදී ට්‍රෝයි මහමොහොට්ටාල විසින් ‘නූතන කාව්‍යක්කාර පරපුරේ නිර්මාණ කෞශල්‍යය‘ යන මැයෙන් දේශනයක් ද පවත්වනු ලැබේ.

සාහිත්‍යකරණයේ දක්ෂතා තිබුණ ද කුලුඳුල් නිර්මාණය සමාජගත කළ නොහැකිව සිටින නවතම සාහිත්‍ය නිර්මාණකරුවන් සහ නිර්මාණකාරියන් ක්ෂේත්‍රයට හඳුන්වාදීමේ අරමුණ පෙරදැරිව ආරම්භ කළ මේ සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ දෙවැනි වරට ය. එහිදී දිවයින පුරා විසිර සිටින නවතම ලේඛික ලේඛිකාවන්ගේ කුලුඳුල් නිර්මාණ අත්පිටපත් කැඳවා ඒ අතුරෙන් හොඳම කෘති (නවකතා, කෙටිකතා, කවි) සුදුසුකම්ලත් විනිශ්චය මණ්ඩලයක් යටතේ තෝරා නැණිල ප්‍රකාශන ලෙස ප්‍රකාශයට පත් කරන අතර ඒ නිර්මාණ කෘති සඳහා සම්මානයක්, සහතික පත්‍රයක් හා රු. 25,000ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙයි. ඒ නිර්මාණවල දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා කුසලතා සහතික සහ රු. 15,000ක් හා රු. 10,000ක් බැගින් මුදල් ත්‍යාග පිරිනැමෙයි.

මේ අවස්ථාවට සියල්ලන්ටම පැමිණෙන්නැයි සංවිධායක මණ්ඩලය ආරාධනා කරන අතර 2019 වසරට නව නිර්මාණ භාර ගැනීම ද මේ වනවිට ආරම්භ කර ඇත.

අත්පිටපත් භාර ගැනීමේ අවසන් දිනය 2019 මැයි 30 වැනිදායි.

තිලානි


රංජිත් අමරකීර්ති පලිහපිටිය ලියූ සෙත සලසන සීනිගම දෙවොල් දෙවියෝ මංගල පිටපත පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්විණි. පිටු දෙසිය හැත්තෑ හතරකින් සහ වර්ණ ඡායාරූප පිටු තිස් හයකින් මේ කෘතිය යුක්ත ය.


බුදු දහම සහ සිංහල ජාතියේ අනාගතය 20 දා නිකුත් වේ

ප්‍රවීණ ලේඛක දයාපාල ජයනෙත්ති ලියූ නවතම බෞද්ධ ග්‍රන්ථය බුදු දහම සහ සිංහල ජාතියේ අනාගතය කෘතිය මේ මස 20 දා දයාවංශ ජයකොඩි සමාගමේදී ජනගත වේ.

නිදහස්කාමී උත්තර මානව ශිෂ්ටාචාරයක ට පදනම දැමුණු සම්බුද්ධ ශාසනය, චිරාත් කාලයක් සුරැකිව බැබළෙන්නේ ශ්‍රී ලංකාද්වීපයේ බැව් බුදුන් වහන්සේ වදාළහ. රජකු දෙවියකුගේ තැනට නැංවූ හින්දු වෛදික මත බහැර කළ බුදුන් වහන්සේ සාමාන්‍ය පුද්ගලයකුට පවා සමාජයේ උසස් තැනක් ලබා ගැනීමට අවශ්‍ය මං පෙත් විවිර කළ බව මේ කෘතියේ සඳහන් කරුණු අතර වේ.


සුන්දර ලාඕසය

කර්තෘ- ආචාර්ය පියසිරි පී. මීගොඩ

මිල- රු 650

ප්‍රකාශනය- ඇස්. ගොඩගේ සහ සමාගම

කතුවරයා මේ කෘතිය රචනා කරන්නේ සිය අත්දැකීම් ඔස්සේ වීම නිසා පාඨක අපට එහි සංචාරය කළාක් වැනි අපූර්ව හැඟීමක් පොත කියැවීමෙන් ලැබේ.

කතුවරයා සඳහන් කරන පරිද්දෙන් ලා ඕසය සංචාරය කරන්නන්ට ලැබෙන වෙනස් ම අත්දැකීමකි. ජනගහනය අඩු රටක් වන මෙහි නැරඹිය යුතු තැන් බොහොමයකි.

මේ කෘතියේ වන විශේෂත්වය වනුයේ ඡායාරූප බෙහෙවින් භාවිත කර තිබීම ය. සරල, සුගම බසකින් රචිත මේ කෘතිය ලාඕසයේ සුන්දර බව අපට විදහා පාන්න‍ේ ය.

අදහස්