සත්ත්ව කරුණා සංහිඳියාව | සිළුමිණ

සත්ත්ව කරුණා සංහිඳියාව

 සත්ත්වයින් අපා, දෙපා, සිව්පා, බහු පා ලෙසද, අංඩජා, ජලාබුජා, සංශේධජ, ඕපපාතිකවද, පොලොව මතුපිට හා පොළව යටවද බෙදා දැක්වෙයි. තවත් අයුරකින් කුරගාන, පියාඹන ලෙසටද කොටස් කරති. කෙසේ වුවත් මේ සියලුම සත්වයන් ජීවීන් ය. මේ අතරින් සත්ව ලෝකයේ අපුර්ව විශ්මිතම සත්වයා නම් මිනිසා ම ය. මේ සියලු සත්ත්වයින් අතර විවිධාකාර අපූර්ව සම්බන්ධකම් පවතී. ඒ ඔවුන්ගේ යහපතට වර්ධනයට මෙන්ම අයහපතට විනාශයට ද‍ හේතු වූ දේවල් මුල්කොට ගෙන ය.

අපේ පැරණි ගම්වල ඇත්තන්ගෙන් ද මේ සබඳතා පැහැදිලිව දැක ගත හැකිය. බොහෝ දේ සත්වයන් හා ඔවුන් සහජීවනය පිණිස ම යෙදී ඇත. ඇතැම් විටක ඔවුන් තම ආහාර පිණිසද සත්ත්ව මසද මාංස ලබාගෙන ඇත. දියෙහි වෙසෙනා මසුන් හා ගොඩ (කැලැවේ) ජීවත්වන සිව්පා වුන් මීට ගොදුරු වුහ. මේ දිය ගොඩ සතුන් හදා වඩා ඔවුන්ගේ බිජු හෝ මාංසය ආහරට ගන්නා පිළිවෙළක් ද ඉතා දිගු කලක සිටම පැවත එයි.

එසේ වුවද ගම්වල ඇත්තන් සත්වයන් කෙරේ සානුකම්පික වූහ; ආදරය දැක්වුහ; සහජීවනයෙන් ජීවත් වූහ. සත්ව කරුණාව තම වර්ග පරාවගෙන යන දරුවන්ටද වැලිකෙළියේදී සිටම මේවා පුහුණු කළහ. ඒ බව තම වර්ගයාගේ මතු පරපුර රැක ගැනීමට භාවිතා කළ “පැටිපස් පරාණ” සංකල්පයට ද සත්වයන් සිව්දෙනකුම ඇතුළු කිරීමෙන් ම හෙළිදරව් වෙයි. කොල්ලා, බල්ල, බළලා, කුකුළා, ගවයා ලෙසින් වරිගය බෝ කිරීම පිටත රැක්ම, ඇතුළත රැක්ම, වේලාව දැක්ම, පස්ගෝරස දී වැඩ පල කර දීමද මොවුන්ගේන් සිදු විය. මෙහි වටිනා කම ශාන්තිය ළඟා කරදෙන දේව කන්නලව් වලටද පැටිපස් පරාණය ඇතුළත්ව තිබීමෙන්ම සනාත වන්නේය. අපේ ඇත්තන්ගේ සත්ව කරුණාව (මහ එකා) අලියාගේ සිට කුරා කූඹියා දක්වාම එක ලෙස පැතිරී තිබුණි. ලිප ගිනි මොලවන විට, ගිනි මැලයට, දර දමන විට, දර කඩ පොලවේ ගසා ඇහැට පෙනෙන නොපෙනෙන කුඩා සතුන් බිම හෙලුවේය. අලින්ට ගිනි බිඳ මැරිම සසර ගමනේ ගෙවා නිම කළ නොහැකි මහ පාපයක් බව කුඩා අයට කියා දුන්නේය. දඩයම් කරන්නා සතාගේ ගැහැනු පිරිමි බව හඳුනා බඩදරු මවුන් මඟ හැරියේය. මාළුවන් ඇල්ලීමේදී කරකට කෙමනට, අසුවන කුඩා මාළුවන් නැවත ජල කඩටම මුදා හැරියේය. තම වැඩට විවිධාකාරයෙන් (සීසෑම, බර ඇදීම, කමත් වැඩ) කළ එළ, මී දෙවගයටම සැලකුවේ දරුවන්ට මෙන්ය. “වහු දරුවා, මයෙ අප්පා,” කියවුණේ ඒ ගුණයෙනි. කලවැල් තලා (වස) දිය කර කුඩා මසුන් මැරීමට බරපතල දඬුවම් වරිග සභාවෙන් නියම කළේය. වැඩපල කිරීම අපහසු තත්ත්වයට පත්වන ගවයන් “පිණට” ඇරියේය. පිංගොනා මීමා, වශයෙනි. මෙම ප්‍රාර්ථනා පැල් කවිය ඊට කදිම නිදසුණකි.

“ පෙලින් පෙළ බලා හිඳුන් ඵල විස්සා

ගමින් ගම්බලා අත්තන් දුන් වස්සා

මලින් මළ තියා කලපිං එකලස්සා

බුදුන් දැක නිවන් දැක පන් එලවිස්සා”

තමන් වැඩ ගත් කරත්තයේ බැඳි ගොන්බාන අවුරුදු චාරිත්‍ර පවත්වන විට නාවා පිරිසිදු කර අංජෝඩුවට කොපු පළදවයි. ගෙජ්ජි ද බැඳ දරුවකු සේ ආදර ගෞරව දක්වති. තමන් මේච්චල් කර වැඩ ගන්නා සතුන්ට සේම තමා ඇසුරේ හැදෙන සතුන්ට වෙද හෙද කම් කර සුවපත් කළේය. තමාට අකීකරු ගවයකුට හෝ තමන්ට අයිතියක් නැති හරකකුට ගඩු, වන තුවාල සිදු වී විඳවනවා දුටුවොත් කෙම් ප්‍රතිකාර කර (අඹ මතුරා පුලුස්සා) සුවපත් කළේය. අපේ ඇත්තන් කුඩා දරුවන්ට අද මෙන්ම සුරතල් සතුන් ඇති කර දයාව කරුණාව පුරුදු කළහ. ගිරව්, මයිනන්, සැළ ලිහිණියන්, බල්ලන්, බළලුන්, ලේනුන්, මුගටියන් ප්‍රමුඛතා ලැබීය. විවිධ කුරුල්ලන්, සතුන් ආහාර පාන (වතුර) දී ගෙවල්වලට පුරුදු කරගත්තේය. දරුවන් ඔවුන් හා නැළවුණේ ය. සුරතල් සතුන් ගෙදර පාළුව, තනිකම් පළවා හැර තනි රැක්කේය. විෂ සහිත සර්පයන්ට පවා ඔවුන්ගේ ජීවන අයිතිය ගමේ ඇත්තන් රැක දුන්නේය. සතා සර්පයන් මඟ හැර යා යුතු බව කීවේය. සතුන් ගොදුරු ගන්නා වේලාවල දී හෝ අහඹු පෑගීම්වලින් දෂ්ඨකරණ බව දරුවන්ට කියා දුන්නේය. සඳ ඇති රෑ පානේ හෙවණැලිවල අඩි තබා නොයන ලෙසත් පොළවේ කෝටුවක් ඇදගෙන යන ලෙසත් කීවේද සත්ව කරුණාවෙන් ම ය.

“ගැරඬිමරා පව් පුරවා ගන්ඩ එප” කීවේද ඒ නිසා ම ය. මේ හා සමව “ඇහැටුල්ලා ඇහැට කොටයි පඩ මූ දියා බේත් තනයි” කිවේ ඒ සතුන් සපා නොකෑම දන්වා ළංවීමත් වැලකීමටයි. අප කවුරුත් දන්නා “විෂගෝර සර්පයා දැක නොහැරි මෝඩයා” කීවේද ඒ සතුන් මරන්නා මෝඩයකු බව පැවසීමට ය. මේ ගැන නම් විවිධ මත ද ඇත. මෝඩයා හැර අන් අය විෂ ඇති නිසා සතුන් මරා දමන බව එක අදහසකි. මෙය ඇති පුරාණ කවිය මෙසේය.

“දෙරණ තුළ තුඹසයා- තුඹ සතුළ නාග යා

විෂ ගෝර ෂරුපයා- දැකනොහරි මෝඩයා”

යනුවෙන් සිරුර ලෝකයට උපමාකර, තෘෂ්ණා ආශ‍ා‍ සරුපයාට සම කර මෝඩයා එයින් අත් නොමිදෙන බව තවත් මතයෙකි.

නාන තොටේ චාරිත්‍ර ලෙසින් දිය රෙද්ද, අමුඩය, යනාදී දිය නෑමට අදින රෙදි ගසා දමා කුඩා සතුන් දියේ ගිලීම පහ කළේය. හේන්, කුඹුරු, ගොවිතැන් කිරීමේදී සත්ව හිංසාව ප්‍රතික්ෂේප කළහ. හේන් කුඹුරු සීමාව තුළ අලාභ කරන සතකු පවා ඝාතනය නොකළේය. කෘමි හානි සිදුවන විට දී වස විෂ යොදා විනාශ නොකොට කෙම් පහන් කර පළවා හැර හානිය වලකා ගති. නුවර කලාවියේ ඇත්තන් ගොවි තැනින් ලැබෙන ඵලය “බුද්ධ භෝගය” ලෙසින් සැලකූ නිසා එතැන ප්‍රාණඝාතය තහංචි ය. මහ බෝමළුවේ වැලි ඉසීම, පිරිත් පැන් ඉසීම සිවුරු පටේ කෙම කළේ සත්ව හිංසාව මුදුන් කරගෙන ය; ඔවුන් පලවා හැරීමටය.

හේන කොටා ගිනි තැබීමට පෙර දින තුනක් උදේ හවා හේන පුරා ඇවිදමින් ගිනි ලෑමේ යාදින්න හඬ නඟා කියමින් ගහ කොළට තට්ටුකර ඉවත්විය හැකි සියලු සතුන් හේනෙන් පිට මන් කළේය. ගිනි තබන අවස්ථාවේදීත් රශ්මිය දැනී පිට වීමට හේන කොටන විටම “ගිනි මඟ” හේනෙන් එළියට තැබීය.

සත්ව අයිතිය රැක ගත් තවත් අවස්ථාවකි. ගොවිතැන කරන යායේ ඉමේ “කුරුලු පාළුව” “අලි පාළුව” වෙන් කර වගා කර දීම. තවත් බොහෝ සිරිත් සත්ව හිංසනයෙන් වැලකීමට ගම්මු අතර පැවතුණේ ය. සත්වයන් මිතුරන්ව කටයුතු කළහ. බල්ලා තමා යන එන මඟ පෙර ගමන් කරු වී අතුරු අන්තාරාබාදා නපුරු සතුන් කල් ඇතිව දැනුවත් කළේය. සත්ව හැසරීමේ පෙර නිමිති, (වැහි වරුසාව, නියඟ, ගංවතුර උවදුරු පුද්ගල විපත්) කියා පෑවේය. වඩු කුරුල්ලන් ගස් ඉහළ පහළ ගෙවල් සෑදීම වතුර ඉදිරියේ ඇති නැති බව කීමකි. කපුටන් අඩු පැටවුන් හැදීම අහර හිඟ වීමක් කල් ඇතිව දැනුම් දීමකි.

“දෙබරක් බැන්දොන් වහලට

ලේ සෙලවීමක් අතපිට

නපුරු දෙයක් වෙයි අද හෙට

කඹර ගොයෙක් එයි ගෙදරට” සත්ව කරුණාව හා සත්ත්ව සංහිදියා වටිනා කම් තවත් බොහෝ ඇති වාට සැකයක් නැත. වත්මන් සමාජයේ පවතින සත්ත්ව හිංසනය පිටුදැක සාර්ථක දිවියට අපේ මිතුරු සත්ත්ව සහය ලබා ගැනීමට අදිටන් කරමු; ක්‍රියා කරමු. එය එලොව මොලොව ජය ගැනීමක් ද වන්නේය.

 

Comments