මා බට­හිර සිතු­වම් අධ්‍ය­ය­නයේ සිර­ක­රු­වෙක් නොවෙයි | සිළුමිණ

මා බට­හිර සිතු­වම් අධ්‍ය­ය­නයේ සිර­ක­රු­වෙක් නොවෙයි

පරම්පරාවෙන් චිත්‍ර ශිල්පියකු නොවූ හෙතෙම කුඩා කල පටන් ම චිත්‍ර කලාවට ඇලුම් කළේය. අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප් සතර හදෑරූ හෙතෙම අ.පො.ස උසස් පෙළ සඳහා හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට ඇතුළත් වන්නේ ය. එහිදී චිත්‍ර විෂය ඇතුළු ව කලා විෂයයන් හදාරා ඉන් සමත්ව 2002 දී සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහිදී පින්තාරුකරණය විෂයධාරාව මූලිකකොට ග්‍රැෆික් චිත්‍රකරණය හදාරන හෙතෙම චන්ද්‍රගුප්ත තේනුවර, සරත් ගුණසිරි, ජගත් වීරසිංහ, කිංග්ස්ලි ගුණතිලක, ධර්මසේන ආදී ගුරුවරුන්ගේ සහ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයන්ගේ සහය ඇතිව සිය චිත්‍ර කලා හැකියාව ඔප් නංවා ගන්නේය. අධිසත්තාවාදය හෙවත් සූරියලිසම් (Surrealism) කලා සම්ප්‍රදාය ගුරුකොටගන්නා ඔහු පසුගියදා පැවති චිත්‍ර ප්‍රදර්ශනය නම් කර තිබුණේ සංයුක්ත රූප (COMPOSITE FIGURE) නමිනි. එම සිතුවම් දැක්ම පිළිබඳව ප්‍රසාද් වීරසිංහ නම් සිත්තරා සමඟ කළ කතා බහකි මේ.

ඔබ පසුගියදා පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනය සංයුක්ත රූප කියල නම් කර තිබුණා. ඇත්තට ම සංයුක්ත රූප කියන්නේ මොකක්ද?

සංයුක්ත රූප කියල කියන්නේ කිසියම් රූපයක් සමඟ බද්ද වුණු රූප කොටස් කිහිපයක් සමඟ සම්බන්ධ වෙලා හැදෙන රූපයක්. විශේෂයෙන් ම සිංහල සැරසිලි මෝස්තර කලාවේ දකින්න ලැබෙන විශේෂ නිර්මාණ ශෛලියක් විදියට සංයුක්ත රූප ශෛලිය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා පශ්චාත් අධ්‍යයන කාලය තුළ මගේ අධ්‍යයන පරාසය වුණේ සිංහල සැරසිලි මෝස්තර කලාව. ඒ අධ්‍යයනයේදී මට සුවිශේෂ වූ රූප කිහිපයක් හමු වුණා.

එක රූපයකට තව රූප කිහිපයක කොටස් බද්ධ වෙලා එහෙම නැත්තම් සංයුක්ත වෙලා ගොඩනැඟුණු රූප කිහිපයක්. සිංහල ශබ්ද කෝෂය අරන් බැලුවම පේනවා සංයුක්ත කියල කියන්නේ කොටස් කිහිපයක එකතුවකින් හැදෙන දෙයකට බව. උදාහරණයක් විදියට සරපෙන්දා, මකර තොරණ, ගජසිංහ රූපය, නාරිලතා පුෂ්පය, වෘෂභකුංජරය, කින්නර රූපය පෙන්වා දෙන්න පුළුවන්. මේ රූප චිත්‍ර රූප විදියට අපිට දකින්න ලැබෙන්නේ 18 වන සියවසේදී පමණ.

කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමය විදියට මෙය සලකන්න පුළුවන්. නමුත් මූර්ති ශිල්පය තුළ මේ රූප සම්ප්‍රදාය අනුරාධපුර, පොලොන්නරු, දඹදෙණිය, ගම්පළ, මහනුවර ආදී යුගයන් දක්වාම ක්‍රමික ව විකාශනය වෙච්ච ආකාරය දකින්න පුළුවන්. විශේෂයෙන්ම අනුරාධපුරු යුගයේ ගල් කැටයමින් ආරම්භව ලී කැටයම් දක්වා පැමිණ නුවර යුගය වන විට බිතුසිතුවම්වලින් අවසන් වූ බව අපට පේනවා. මේ විදියට මෙය රාජ්‍ය පරිවර්ථනය වීමේ නිර්ණායකයක් ලෙස සංකේතාත්මකව අර්ථ දක්වන්නත් හැකියාව තිබෙනවා.

කින්නර රූපයෙන් සංයුක්ත රූපය හඳුන ගන්න උත්සාහ කළොත් හොරණෑවක් පිඹිමින් සිටින මිනිස් රූපයක කඳෙන් ඉහළ කොටසකට පක්ෂි ශරීරයක් සම්බන්ධ කර මෙම රූපය දක්වා තිබෙනවා. මේ විදියටම ගජසිංහ රූපය අරන් බැලුවත්, ඇත් හිසක් සිංහ ශරීරයකට සම්බන්ධ කර ඇඳ තිබෙනවා.

මේ රූප අධ්‍යයනය කරන කොට මට තේරුණා මේ තුළ දෘශ්‍යමය ව්‍යාකරණයක් ගොඩනැඟීමට අවශ්‍ය මූලික සාධක තිබෙන බව. ඒ අනුව මට අවශ්‍ය ප්‍රකාශනය සිදු කළ හැකි සංරචනාත්මක ක්‍රමවේදය විදියට මම මේ සංයුක්ත රූප ශෛලිය යොදා ගත්තා. ඒ නිසා මම මෙම සිතුවම් දැක්ම ‘සංයුක්ත රූප (COMPOSITE FIGURE)’ කියලා නම් කළා. ඒ අනුව මා පැරණි සාම්ප්‍රදායික ක්‍රමවේදය මත පිහිටා මේ සිතුවම් නිර්මාණය කර තිබෙනවා.

ඔබේ ප්‍රකාශනය සඳහා සාම්ප්‍රදායික සංයුක්ත රූපය යොදා ගැනීමේ අරමුණ කුමක්ද ?

සමකාලීන දෘශ්‍ය කලාව තුළ මගේ ප්‍රකාශනය සන්නිවේදනය කරන්න මම සාම්ප්‍රදායික සංයුක්ත රූප යොදාගන්න එක හේතුවක් තමයි. පවතින පාරිභෝගික සමාජය තුළ මිනිසුන් විවිධ ආකාරයට ගොඩනැඟී තිබෙනවා. ඔවුන් ගනුදෙනු කරන්නේ විවිධ පරාසයන් තුළයි. ඒ වගේම ඔවුන්ගේ හැසිරීම් සහ ස්වභාවයන් එකිනෙකට වෙනස්. පරමදර්ශී චරිතයන් බිඳ වැටී තිබෙන අප වැනි සමාජක විවිධාකාර චර්යාරටාවන් දකින්න පුළුවන්.

මේ දේවල් කොහොමද දෘශ්‍ය රූපයකට ගේන්නේ. එතනදි මම දැක්කා අපේ සාම්ප්‍රදායික නිර්මාණකරුවන් කිසියම් දෙයක් සංකේතාත්මකව ඉදිරිපත් කිරීමට මේ සංයුක්ත රූප යොදාගෙන තිබෙන ආකාරය.

මේ පාරිභොගික ජීවන රටාව පෙන්නන්න මේ ක්‍රමය යොදා ගැනීම වඩාත් ප්‍රතිඵලදායකයි කියල මට හිතුණා. එනිසා මගේ ආත්ම ප්‍රකාශනය සඳහා මම ඒ සම්ප්‍රදාය තෝර ගත්තා. මෙහිදී දැඩි අධ්‍යයනයකින් යුක්තව මගේ චිත්‍රමය භාෂා ශෛලිය ගොඩනඟන්න උත්සාහ ගෙන තිබෙනවා.

අපේ සම්ප්‍රදායික සිතුවම් කලාව වගේම බටහිර නාට්‍ය තුළ සිහිපත් කිරීම සඳහා ගුවාලෝම් ඇපොලොනෙයියා විසින් යොදාගත් අධිසත්තාවාදී (Surrealism) ලක්ෂණත් මේ සිතුවම් තුළ විද්‍යමාන වෙනවා. සැල්වදෝර් ඩාලි වැනි චිත්‍ර ශිල්පීන් මේ ක්‍රමය ඉතාම සාර්ථකව සිතුවම්කරණය සඳහා යොදාගෙන තිබෙනවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් හඳුන්වාදුන් සිහින කල්පිත විග්‍රහායන් මත පදනම් ව විචාරට බඳුන් වන්නේ මේ සම්ප්‍රදාය.

සත්තකින් ම ඔව්, මම මේ සඳහා සම්ප්‍රදාය වගේම ෆ්‍රොයිඩියානු සිහින කල්පිත මත පදනම් ව විග්‍රහ කෙරුණු සූරියලිසම් සම්ප්‍රදාය යොදා ගත්තා. මෙහිදී මට වඩාත් ම බලපෑවේ ඔබත් සඳහන් කළ සැල්වදෝර් ඩාලි වගේ චිත්‍ර ශිල්පීන්.

මේ සිතුවම් තුළ තිබෙන්නේ කිසියම් ආකාරයක පූර්ව කථනයක් නැත්නම් සංකේතාත්මක අර්ථ නිරූපණයක්. අප විසින් යටපත් කළ ආශාවන් වගේම අපේ බලාපොරොත්තු සිහින මඟින් අපිට දක්වනවා. මේ සිතුවම් සම්ප්‍රදාය විසින් උත්සාහ ගන්නේ එකී සිහිනමය ආශාවන් නිරූපණය කිරීමයි. මේ චිත්‍ර ප්‍රදර්ශනයේදී තිබුණු චිත්‍ර සියල්ල ම මේ සම්ප්‍රදාය ගුරුකොටගෙන ඇඳපු ඒවා. මම මගේ විශ්වවිද්‍යාල නිබන්ධනය විදියට ඉදිරිපත් කරන්නෙත් අපේ සම්ප්‍රදාය හා සූරියලිසම් යොදාගෙන කළ නිර්මාණ එකතුවක්.

ඩාලිලා ගෙනාපු සූරියලිස්ටික් මතවාදය ඔබ ඔබේ අනන්‍යතාවයක් දක්වා වර්ධනය කර ගන්නේ කොහොමද?.

මම ඒ සඳහා විශාල අධ්‍යයනයක නිරත වුණා. ඩලී, මැග්බ්‍රෙත් වගේ බොහෝ ශිල්පීන් බිහිවෙන්නේ කිසියම් ආකාරයක ට්‍රෙන්ඩ් එකක් විදියට. ඒක චිත්‍රවලට විතරක් බලපාපු දෙයක් නෙමෙයි.

කවි, ගීත, කෙටිකතා, නවකතා, නාට්‍ය, චිත්‍රපට මේ ආදී බොහෝ කලා භාවිත තුළ දකින්න ලැබුණා. ඒ හරහා ඔවුන් සමාජයට දෙන්න උත්සාහ කළේ මොනවද? කියන දේ මම සොයා බැලුවා.

විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලත් මම මේ අධ්‍යයනයන් තුළ නිරත වුණා. ඔය අතරේ ජගත් වීරසිංහ සහ ප්‍රසන්න රණබාහු කියන ගුරුවරුන්ගේ මඟ පෙන්වීම මත පුරාවිද්‍යා අධ්‍යනායතනයේ පශ්චාත් උපාධිය කරන්න මට අවස්ථාව ලැබුණා. මේ අධ්‍යයනය තුළ මම මාව හොයන්න උත්සාහ කළා. බටහිර අධ්‍යයනයන් තුළ සිරකරුවෙක් වෙන්න මට ඕන වුණේ නැහැ.

මම ඒ අධ්‍යාපනය ප්‍රතික්ෂේප කරන බව ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. නමුත් මට ඉන් එහාට ගිහින් මගේ අනන්‍යතාවක් සලකුණු කරන්න ඕන වුණා. මම ආසියාතිකයෙක්. අපිට උරුම වු සම්ප්‍රදායක් තියෙවා. ඒතුළින් මම මගේ අනන්‍යතාව සොයා ගියා. ඔබ අද මේ දකින්නේ එහි ප්‍රතිඵලයි.

බොහෝ සිතුවම් ශිල්පීන් ඇකඩමියානු අධ්‍යාපන ක්‍රමය තුළ යුරෝ කේන්ද්‍රීය සම්ප්‍රදායක සිරකරුවන් බවට පත් වෙද්දී ප්‍රසාද් ඒ සඳහා වෙනස් මඟක් යෝජනා කරයි. අපට උරුම වූ දෑ යූරෝ කෙන්ද්‍රීය අධ්‍යාපනය ඔස්සේ නැවත නිර්වචනය කරමින් ඊට නව අගයන් එකතු කළ යුතු බව ඔහු අපට උගන්වයි. මෙය ඉතා හොඳ ආරම්භයකි. විය යුත්තේද එයයි. එසේ නැතුව කිසියම් දැනුම් පද්ධතියක් හිසට ඉහළින් තබාගෙන වන්දනාමාන කරමින් එහි වහලකු වීම නොවේ. දැනුම යනු නූතන යටත් විජිතකරණයේ ආයුධයයි. අප කළ යුත්තේ ඒ දැනුමට පිටුපා යෑම නොවේ. ඒවා අත්පත් කරගෙන ස්වීකරණය කර ගැනීමයි.

 

 
 
 

Comments