පාවෙන ආත්මය | සිළුමිණ

පාවෙන ආත්මය

‘උඹ මොනව හරි කරල තියෙනවා’ අම්ම කියනවා.

‘ඔව්. මං නාගත්තා. අව්වෙ ඉඳල වේළ ගත්තා’ එතකොට මං කියනවා.

අන්න එතකොට අම්ම තෘප්තිමත්. මං තෘප්තිමත් නෑ. ගඟේදි වෙච්ච දේ වචනවලින් විස්තර කරන්ඩ බෑ. ‘මං නාගත්තා’ කියන එක හරි ම දිළිඳු, ඔතෑනි කියමනක්. ගඟත් එක්ක සෙල්ලම් කරපු එක, ගඟේ පාවෙවී හිටපු එක, ගඟේ පීනපු එක ඒ තරමටම හරිම ගැඹුරු අත්දැකීමක්. ‘මං නාගත්තා’ කියල නිකං ඔහේ කියල දාන එක හැඟීමක් ඇති කරන දෙයක් නෙමේ. එහෙම නැත්තං ‘මං ගඟ ළඟට ගියා. ඉවුර දිගේ ඇවිද්දා. එහෙ ඉඳගෙන හිටියා’ කියන එකත් කිසිම හැඟීමක් ඇති කරන්නෙ නෑ.

සාමාන්‍ය ජීවිතේදි උණත් ඔබට වචනවල නිෂ්ඵලභාවය දැනෙනවා. ඒකෙන් පේන්නෙ ඔබ කොහෙත්ම ජීවත් වෙලා හිටියෙ නෑ කියන එකයි. ඔබ ගැඹුරක් නැති විදිහට ජීවත් වෙලා හිටිය කියන එකයි. ඔබ ජීවත් වෙලා හිටි විදිහ වචනවලින් කියන්ඩ පුළුවන් නම් ඒකෙ තේරුම තමයි ඔබ කොහෙත් ම ජීවත් වෙලා ඉඳල නෑ කියන එක.

පළමු වතාවට ඔබට වචනවලින් තොරව ජීවත් වෙන්ඩ සිද්ධ වෙන්නෙ කොයි වෙලාවෙ ද අන්න ඒ වෙලාවෙ ඉඳල තමයි ඔබ ජීවත්වෙන්ඩ පටන් ගන්නෙ. ජීවිතය ඇවිත් ඔබේ දොරට තට්ටු කරන්නෙ එතකොටයි. ඔබේ දොරට තට්ටු කෙරෙන අන්තිම අවස්ථාවෙ ඔබ වචනවලින් එපිටට යනවා; ඔබ ගොළු වෙනවා. ඔබට කියාගන්ඩ බැරුව යනවා. ඔබෙන් එක වචනයක්වත් පිට වෙන්නෙ නෑ. ඔබ කරන්නෙ මලානිකව ඔහෙ බලා ඉන්න එක විතරයි; මැරිල වගේ; තේරුමක් නැතුව වගේ. එ්කෙන් පේන්නෙ ඔබ තුළ සිදු වෙච්ච ඔබ විඳපු අත්දැකීමට ඔබ අසාධාරණයක් කරනව වගේ. මේක මතක තියා ගන්ඩ; අන්තිම අත්දැකීම තමයි මහා මුද්‍රාව. මහා මුද්‍රාව කියන්නෙ විශ්වය සමඟ කෙරෙන උපරිම පූර්ණ එක්වීම.

මගෙ ළමා වියේ මං ලබපු තවත් අත්දැකීමක් තමයි නගරයට ගං වතුර ගලපු එක. ගඟ දෙගොඩතලා යනකොට කිසි කෙනෙක් ගඟ හරහ පීනන්ඩ යන්නෙ නෑ. ඒ වෙනකොට ගඟ හැතැප්ම ගාණක් පළලයි. ගඟේ වතුර පාර හරි චණ්ඩයි.

මං ඒකට ආසයි. ගඟ දෙගොඩතලා යනකං තමයි මං බලාගෙන ඉන්නෙ. මං ඒ මහ ගං වතුරෙ ගඟ හරහ පීනනවා. එතකොට මං මැරිල යන මොහොතක් උදාවෙනවා. ඒ තමයි මහන්සිය හින්ද මට එගොඩ ඉවුරට පීනගන්ඩ බැරිවෙන වෙලාව. දිය රැළි උසයි; දිය පාර සැරයි; ආපහු හැරිල පීනන්ඩ විදිහක් නෑ; මොකද ඒ ඉවුරත් හුඟක් දුරයි. සමහර විට මං ඉන්නෙ ගඟේ හරි මැද්දෙ. කොයි පැත්තටත් තියන්නෙ එක සමාන දුරක්. මට පාන් කියාගන්ඩත් බෑ. ඒ තියා වතුර පාරට මාව ගහගෙන යන්ඩත් යනවා. මං ‘දැන් ඉතිං ජීවත් වෙලා හමාරයි’ කියන තැනට වැටෙනවා. ඔන්න ඔය වෙලාවෙ තමයි මං මාවයි මගෙ සිරුරයි ගඟට උඩින් දැක්කෙ. මේ අත්දැකීම ලබපු මුල්වතාවෙ මං පුදුම විදිහට බය වුණා; තැති ගත්තා. මට හිතුණෙම මං මළාමයි කියලා. මැරෙන වෙලාවෙ තමංගෙ ආත්මය ශරීරයෙන් ඉවත්වෙලා යනව කියල මං අහල තිබුණා. ‘එහෙනං මං ශරීරයෙන් නික්මුණා. දැන් මං මැරිලා ’ මට හිතුණා. ඒත් ඒ වෙනකොටත් මගෙ සිරුර එහා ඉවුරට යා ගන්ඩ පීනන හැටිත් මං දැක්කා. ඉතින් මං ශරීරය ලුහුබැන්දා.

මනුෂ්‍යයගෙ ආත්මයයි ශරීරයයි අතර තියන සම්බන්ධය ගැන දැනගත්තු මගෙ මුල්ම අත්දැකීම තමයි ඒක. ඒ දෙක සම්බන්ධවෙලා තිබුණෙ නාභියට පොඩ්ඩක් යටින්; අඟල් දෙකක් යටින්; හරියට රදී රැහැන්පටක්; ලණුපොටක් වගේ; ඒක භෞතික දෙයක් නෙමේ. නමුත් දිළිසුණේ රිදී පාටට. මං පීනගෙන ගිහින් එහා ඉවුරට ළඟා වුණ හැම සැරේම මගෙ පැවැත්ම -ආත්මය - මගෙ ඇඟට ඇතුල් වුණා වගෙයි මට දැනුණේ. මුල්වතාවෙ ඒක බිහිසුණු අත්දැකීමක් වුණාට පස්සෙ පස්ස ලොකු විනෝදයක් බවට පත් වුණා.

මේ සිද්ධිය ගැන මං අම්මටයි තාත්තටයි කිව්වම ‘උඹ හදන්නෙ කවද හරි ගඟේ මැරිල යන්ඩද? ඒකෙ ලකුණක් තමයි ඔය. ගං වතුරෙ පීනන එක නවත්තපන්’ කියල ඒ අය කිව්වා.

‘ඒ නිදහස... දිය යටට ඇදිල නොයන එක... ආත්මෙ ශරීරයෙන් පිටවෙලා තියන එක හරි විනෝදයි’ මං කිව්වා. ගඟේදි ඒ අද්දැකීම හුඟ වතාවක් මං විඳල තියෙනවා. බයක් දැනුණෙ නෑ. ශරීරය පීනගෙන එගොඩට ගියාම ආත්මය ශරිරෙට ඇතුළුවෙන එක කෙරුණෙ ඉබේටමයි. මගෙ පැවැත්ම ශරීරයට ඇතුළු වෙන්නෙ කොහොමද කියන එක හරියට කියා ගන්ඩ බෑ. ඒක හැම තිස්සෙම වුණේ ඒකට ම අනුරූපී විදිහටයි.

පුංචි සන්දියෙ මං යාළුවොත් අඬගහගෙන ගඟට යන්ඩ පුරුදුවෙලා හිටියා. ගඟ අයිනෙං පුංචි අඩි පාරක් තිබුණා. ගං කටේ ඇවිදගෙන යන එකත් භයානකයි. පය පොඩ්ඩක් වැරදුණොත් ගඟේ තමයි. ඒ තමයි ගඟේ ගැඹුරුම හරිය. කවුරුත් ඒ හරියට යන්ඩ බයයි. එත් ඒ හරිය තමයි මං ආසම හරිය.

 

ලබන සතියට

අදහස්