කවි මඬල | සිළුමිණ

කවි මඬල

තහනම් පෙම

සිතුණත් සුවඳ විඳ ගන්නට ගෙන අතට

හිමි නැති මලට ලොබ බැඳ ළතැවෙනු කුමට

එන්නට වරම් නැති බව දැන ඔය හිතට

ළං වනු කෙලෙස එය නම් කළ නොහැක මට

තනි කර කිරිල්ලිය ඔබගේ හද බැන්ද

ගොස් තව සිතක් ළඟ තනි රැකුමට හැකිද

ලැබුවත් පෙම් සුවය දිය ගැඹුරේ කිමිද

රත් වූ විට සැළිය රඟ දැනෙනවා නොවෙද

කුසගිනි වුවත් අන් සතු පල ගෙන කෑම

වරදකි බිඳ දමන සම්මත ලෝ දහම

රහසේ සැඟව එහි රස වින්දත් කොහොම

තහනම් පෙම විසයි අයියණ්ඩියෙ බොහොම

සඳූ එස්. දරණගම


කිරිල්ලියේ

හිත ලස්සන සියුමැලියේ

විසේකාර කිරිල්ලියේ

කුරුල්ලාට එපා වුණත් නුඹ තනිවී නෑ

හද ගිනිලන නිසල රැයේ

නෙතට කඳළු එපා ආයේ

නෙත කඳුළැල් පිරුණු දාට නුඹ ලස්සන නෑ..

නොහඬා නුඹ හැඬු දවසේ

සඳ තරු හැඬුවා රහසේ

ඒ කඳුළින් කුරුල්ලාගේ හිත තැවුණේ නෑ

රෝස මලේ අගය බඹරකුට දැනුණේ නෑ

නුඹේ සෙනෙහස කිරිල්ලියේ ඔහුට දැනී නෑ...

හිත කැලඹුණ කිරිල්ලියේ

හෙට එන ලස්සන දවසේ

නුඹව පැතූ කුරුලු රජුන් ඒවී සැකක් නෑ

මලක් වගේ හිත සනසයි දවන එකක් නෑ

නුඹෙ සෙනෙහස කිරිල්ලියේ මිල කරන්න බෑ..

රෝජා බමුණුආරච්චි


උණුසුම

රෑ වැටුණ වැස්සට

අතු බරයි තාම බිමටම

දිලිසෙන හිරු කිරණ

නළියයි වැහි බින්දු උඩ

එක දෙක වැටෙන බිඳුවක

ලස්සන ගිලී පොළොවට

පුංචිම සලකුණක

සටහන් තබා තැන තැන

සුළඟත් ගෙනේ හිරිකඩ

ජනේලය අද්දරින් මට

නොසැලේ සීතලෙන් ගත

ඇත හිත පුරා නුඹෙ උණුසුම

කෝපි බඳුනක රස

පිනවයි සිරුර කදිමට

කිරිල්ලියකගෙ වැලපුම

දුරින් ඇසුණා හීන් හඬකට

අනුරාධා ජයසූරිය

 


නුඹ

පිනි දිය වැටී පිබිදෙන විල්ලුද තඹරූ

කුල් මත් කරයි මන දන ලෝ තුළ විසිරූ

සැම සිත් බඳන විලවුන් වත්සුනු තැවරූ

බඹරුන් සරන ඒ මල් ගොමු මට නිසරූ

ඉඳ හිට පිබිදෙනා මලකිය කිඩා මල

බඹරුන් නොයත් ඒ අසලට විඩා කල

ලිය ගොමු දහස් දෝතට මා කඩා හළ

කිඩ රම් මලකි විෂ නැති නුඹ හලා හල

වත්සුනු තවර සිටියත් විල්ලුද ලන්දූ

නුවරත සැරි සරා සලෙලුන් සිත් රැන්දූ

විලවුන් සුවඳ නොකැමති මා මන බැන්දූ

සොඳුර නුඹය මා ලොවටම රස කැන්දූ

පියුමි ජයකලණි වික්‍රමආරච්චි


වතුකම්කරුවෝ

සුවපුටුවල

වැඩි මුදලට

සේවය නොවුණට

දෑතෙහි කරගැට

දෑත් පැළෙන තුරු

උරහිස් ගෙවෙමින්

නෙළුවා තේ දලු

එහෙත් තවම නැත

ඒ හට සැනසුම

නාගොඩ සාරද හිමි

රුහුණ විශ්වවිද්‍යාලය


ඇතුගල මත ඇති බුදු රුව

ඇතුගල් පුර සිපගන්නා ගල මුදුනේ

වැඩ සිටිනා ජීවමාන බුදු සමි‍ඳේ

සිත ගත රෝ බිය දුරලන මෙත් ගඟුලේ

නැහැවෙමි විඳිනෙමි සිහිලස බුදු රුවනේ

නීල වර්ණ අහස් කුසත් ඈත දිලේ

රක්ත වර්ණයෙන් හිරු කුමරුත් බැබලේ

මේ සැම පරදා නැගෙනා අපේ

බුදු සමිඳුගෙ සරණින් අප හද පිබිදේ

ඇතුගල් පුරවරයේ වෙසෙනා සැමගේ

වෛර ක්‍රෝධ කිසිවක් හදවත් නොහැගේ

හේතුව අප බුදු සමිඳුන් ගල මුදුනේ

වැඩ හිඳුමයි මෛත්‍රියේ කිරණ ලෙසේ

හස්තිශෛල පුර දනමන නෙත් පිනවා

ගිනියම් ගල් පවුරේ දම් සිසිල බෙදා

අව් වැසි මාරුත අබියස නොසෙල්වෙනා

ඔබේ පාද පත්ම වඳිනෙමි මම සිරස නමා

දෙනිති වික්‍රමසිංහ

 


ඩොලරය සහ රුපියල

තනිව නැගි සිට ගැනුමෙදි රටකට ඉල්ලන් කන එක හිටිනව හරහට

සරු පස මහ වැව් උරුමද අප හට අවාසනාවට ජාතිය යට වී ඇත පිටි නැවකට

සරු අස්වැන්නක් ගැනුමට නොහැකිව ගොවි රජවරු ඇත ශෝකෙන් බරිතව රටටම බත් දෙන ගොවියන් හට තව දුන්නත් කම් නැත අයවැය නොමැතිව

පිට රට කාසිය ඈඳ ගැනුමට නම් අප වෙහෙසිය යුතුවේ නොතකා දුක සැප එය සඳහා සැම විය යුතු වේ කැප නැතිනම් මවුබිම අඳුරුය පවතින තුරු කප

ඉදිකටුවේ සිට ඇඳිවත දක්වා පිට රටියන්ගෙන් ඇණවුම් කරවා ගෙන්වා ‍ෙගන කල රුපියල යොදවා ඩොලරය උඩයන අරුමය මොනවා

පොරණේ අපගේ රජ දරුවෝ

සමුදුර වැනි මහ වැව් සැදුවෝ ෙඅඟලක් ගානේ කෙත් වතු වැවුවෝ අටු කොටු බැත බුලතින් පිරවූවෝ

සුසිල් හෙට්ටිආරච්චි සබරගමුව විශ්වවිද්‍යාලය


කන්ද පාමුල

ලෝ දහම එය ම නම්

මීදුමෙන් ලද පහස

කඳු මුදුන තරමට ම...

බර දරා හිටියාට

පා මුලත් විඳීවිද?

මාලනී සී. වන්නිසේකර


අන්ධකාරය

අත්වැල් බැන්දා

තරු හතරක්

බැස යන්න නොදී

චන්ද්‍රාවතියේ ආකාසයේ‍...

නුඹ දිලිහුණේ

වේදනා සඟවා

බැස නොයා අඳුරු ආකාසයේ

තනිකර දමා තාරුකා...

සේපාලිකා පිපී

සුවඳ දුන් නිශාවේ

එළිය දුන් ඔබ බැස ගියේ කොතනින්ද

චන්ද්‍රාවතියේ....

වියළුණු දෑස් හිරුගේ

උතුරා ගලයි කඳුළු ගංගා

පායන්න බෑ කියයි‍

චන්ද්‍රාවතිය කෝ අසයි...

දහවලත් අඳුරුයි

රාත්‍රියත් අඳුරුයි

බැස ගියේ ඇයි චන්ද්‍රාවතියේ....

රසිකා එස්. රණවීර

Comments