උතුරා යන මානව දයා­වෙන් සැර­සුණු 'එද­වස සොඳු­රු­මය' | සිළුමිණ

උතුරා යන මානව දයා­වෙන් සැර­සුණු 'එද­වස සොඳු­රු­මය'

 

මෙරට කලා සංස්කෘතික දේහයේ යුග පුරුෂයන්, රසවතුන්, සැඟවුණු මිණිමුතු සිසාරා පිරික්සමින් රස නුමුසුකොට සුළවතුන් වෙත ගෙනඑන තීර්ථ යාත්‍රිකයකු වෙත් නම් ඒ බුද්ධදාස ගලප්පත්ති ම ය. ඔහු පමණට සමකාලීන කලා ලෝකයේ කුදුමහත් සිදුවීම් හා බැඳුණු වෙනත් සංස්කෘතික පුරුෂයකු වේ දැයි සැක සහිත ය. ප්‍රධාන පෙළ් මාධ්‍යයට හසු නොවන එහෙත් සමාජ මාධ්‍ය ජාල ඇසුරේ බිහිවන අංකුර කලාකරුවන් හා නිර්මාණ මෙන් ම විවිධ සංවේදී සමාජ අවස්ථා ද සමාජ මාධ්‍ය ජාලා පරිහරණය නොකරන අපට ආගන්තුක ය. එහෙත් මේ ආගන්තුක බව පලවා හරිමින් ඒ අරභයා අපගේ සිත්සතන් අවදි කරවන්නේ බුද්ධිගේ නොනිමෙන කලා යාත්‍රාවයි. එබඳු ගවේෂණ, නිරීක්ෂණ, රසවිඳීම් තේමා කරගනිමින් පසුගිය අවදියේ ලියූ ලිපි සමුදායක් ගැබ් වූ එදවස සොඳුරුමය (5) කාණ්ඩය සමඟ බුද්ධි නැවත්ත අප හමුවට පැමිණ සිටී.

බුද්ධිගේ මේ නිරීක්ෂණ අතරින් අප වඩා ප්‍රිය කරන්නේ අංකුර කලාකරුවන්ගේ ප්‍රතිභාව හඳුනා ගැනීමට හා රස විඳීමට දරන ප්‍රයත්න ය. සමාජ මාධ්‍ය ජාලා හොඳ නරක දෙකෙහි ම සම්මිශ්‍රණයකි. එහි දුර්වලතා පිළිබඳ නිර්දය විචාරයක් ද බුද්ධිට තිබේ. (යශෝධරාගේ පතිවෘතාව සෙවීම... ලිපිය) එහෙත් වඩා වැදගත් ඒ ඇසුරේ බිහිවන කවියන් ඇතුළු නිර්මාණකරුවන් හඳුනා ගැනීමට ලැබෙන අවකාශයයි. එසේම සමාජ මාධ්‍ය ජාලාවන්ට පමණක් පටු නොවන බුද්ධි එබඳු සංස්කෘතික ක්‍රියාදාම ද හඹා යයි. එමඟින් නිර්මාණ කැට අතරින් මැණික් ගරා ගැනීමේ පමණක් නොව ඔපදැමීමේ පුරෝගාමි මෙහෙවරේ ද යෙදී සිටී. මේ මිණි කැට සඳහා අපූරු නාම පාඨ යෙදීමේ ද ඔහු සූරයෙක් වෙයි. තිලිණි නදීෂා සැල්වින් තුති ගී නොගැයුණු වීරවරිය, හාහා බලාගෙනයි දෙතොලේ කටු ඇනෙයි ලිපියේ කසුනි නදීකා ලියූ ප්‍රදීපා ධර්මදාස ගායිකාව පිළිබඳ රසවිඳීම, මාතර සුජාතාවන් සොයා ගිය ගමනේදී ගජමන් නෝනා ද සිහිවී, කැලණි සරසවි මාණවක මාණවිකාවන්ට සම්මානිත කවියා හමු විය, සංගීතයේ උඩුගම් බලා පිහිනන යාත්‍රිකයා මිහිඳු ආරියරත්න, යන ලිපි ඇසුරේ මෙ නව ප්‍රතිභාව අගය කෙරේ. මාතර සුජාතාවන් ලිපියෙන් අපට උපේක්ෂා ප්‍රේමතලික නම් නූතන කිවිඳිය හඳුනා ගැනීමේ අවස්ථාව ලැබේ. බුද්ධි රසවිඳීමට මාතෘකා කරගන්නා ඇගේ කවිපෙළ දහසක් කම්කටොලු විඳිමින් වුව හදවත කොණක රැඳී ඇති පති ස්නේහය පිළිබඳ අසිරිය මූර්තිමත් කරයි. ළහිරු කිතලංගම කවියාගේ නිර්මාණ පිළිබඳ බුද්ධිගේ කියැවීම නූතන කවි කිවිඳියන්ගේ ප්‍රතිභාවෙහි හරස්කඩක් පමණට වැදගත් වේ. ඔහු මිහිදු ආරියරත්න ගායකයා පිළිබඳව තබන සටහන ද එවැන්නකි. රොක් සංගීතයේ වත්මන් නියෝජනයක් වන මිහිදු පිළිබඳ බුද්ධිගේ ඇගයුම වඩා වැදගත් වන්නේ ඔහු එක් සංගීත ප්‍රවර්ගයකට කොටු නොවූවකු බව ද, ඉන් ගම්‍ය වන නිසා ය. මෙයට අමතරව සරසවි කුරුටු ගී විෂය කරගත් හීනෙන් ඔබ මට පෙනෙන නම් හා බන්ධනාගාර රැඳවියන්ගේ නිර්මාණ පිළිබඳ සිපිරිගේ පාමුලදී ලිපිය ද අපගේ අවධානය දිනා ගනී. මේ දෙපිරිසේ ම ජීවිත වටා පැතිර තිබෙන දුක් අන්ධකාරය මේ නිර්මාණවලින් මොනවට මතු කර ගැනීමට ලේඛකයා සමත් ව සිටී. දරිද්‍රතාව, ඉච්ඡාභංගය මෙන් ම පරාජය ද සරසවි සිසුන්ගේ නිර්මාණ ඇසුරේ මතු වන විට තනිකම මෙන් ම විරහව ද රැඳවියන්ගේ නිර්මාණවල යටිපෙළ බවට පත් වෙයි. බුද්ධි මේ නිර්මාණ එක හා සමාන දැක්මකින් අවලෝකනය කරයි.

පලුගොලල් දූ පුතුන් ලිපියේදී අපට හමුවන්නේ අවට ලෝකය පිළිබඳ අවදියකින් පසුවන මානව හිතැතියෙකි. ඔහුගේ ලිපි මෙවැනි අත්දැකීම් රාශියකින් පිරී පවතී. ජන විඥානය අවදි කිරීමට නම් මෙබඳු සද්කාර්යයන් පිළිබඳ සටහන් කොතෙක් තිබුණ ද මදි බව පෙනේ. මේ ලිපි සරණියේ තවත් වෙනස් අත්දැකීමක් වන්නේ නුඹත් දුරුව ගිය කල නියමය ලෙසට ඇතුළත් පොත් පිළිගැන්වීම් පාඨ ය. පොතක පිදුම යනු එහි රචකයාගේ හදපත්ලෙන් නැඟෙන අව්‍යාජ සිතිවිලි දාමයක එකතුවකි. එමඟින් රචකයා පිළිබඳ කියැවීමට මහඟු අවස්ථාවක් උදා වේ.

සුපුරුදු ලෙස ම බුද්ධි කලා ලොව යුග පුරුෂයන් ද ඔවුන්ගේ නිර්මාණ ද පිළිබඳ බුද්ධිමය සංවාදයකට මෙවර ද ඉඩහසර සලසයි. ඒ අතරින් චන්ද්‍රසේන දසනායක හා අභාවප්‍රාප්ත බන්දුල ජයවර්ධන පිළිබඳ ඇගයීම් වඩා වැදගත් වන්නේ ඔවුන් පිළිබඳ මතකය සිතාමතා ම අමතක කර ඇති හෙයිනි. නාමෙල් මාලනී යුවළ, ඇන්ජලින් ගුණතිලක, පරාක්‍රම කොඩිතුවක්කු පිළිබඳ ඇගයීම් මෙන් ම ධර්මසේන පතිරාජ, ආරියරත්න ඇතුගල, ලක්ෂ්මන් විජේසේකර, විජේරත්න වරකාගොඩ, ලූෂන් බුලත්සිංහල කලාකරුවන් පිළිබඳ නිරීක්ෂණ ද හරවත් ය. සුනිල් ආරියරත්න, මාලනි ‍ෆොන්සේකා මෙන් ම සිනමාවේ ප්‍රාඥයා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අරභයා කෙරෙන විග්‍රහ ද මේ විද්වතුන් පිළිබඳ විචාරාත්මක නිරීක්ෂණ බව කිව යුතු ය. මාණික්කවාසගර් ඉලන් මේලියන්ගේ උතුරා යන මනුෂ්‍යත්වය පිළිබඳ ව සංවේදී සටහනක් තබන බුද්ධි අනේ මෙවිපත් සිදුවුණි ලිපියෙන් ජාතිවාදයේ කුරිරු අමානුෂික බව පිළිබඳ ව හද සසල කරවන සටහනක් තබයි. ලේ බැංකුවේ තිබෙන්නේ ඒ.බී.ඕ. ඒ+බී, ඒ පොසිටිව්, බී පොසිටිව් කාණ්ඩවලට අයත් රුධිරය මිස සිංහල බෞද්ධ, කිතුනු, මුස්ලිම්, දෙමළ කාණ්ඩවල රුධිරය නොවන බව ඔහු කියන්නේ ලේඛකයකුගේ කාර්යභාරය පිළිබඳ මතකය ද අවුලුවමිනි.

මේ ලිපිවල අන්තර්ගත මෙතරම් රසවත් වන්නේ සංවේදී වන්නේ බුද්ධි භාවිත කරන ලාලිත්‍යවත් කාව්‍යමය බස්වහර ද නිසා ය. කවියකු වීම නිසා ම ඔහුගේ බස රසවත් ය; ඕජෝගුණයෙන් යුක්ත ය; අපූරු යටිපෙළක් ඉන් උද්ධරණය වෙයි. මේ බස කවර වූ හෝ ලේඛකයකුගේ සිතේ සුන්දර ඉරිසියාවක් ජනනය නොකරන්නේ යැයි කිව හැකි නොවේ. කලා ලෝකය, සංස්කෘතික දේහය, සමාජ ප්‍රපංච ඔස්සේ විහිදෙන බුද්ධිගේ නිරීක්ෂණාක්ෂිය සංවේදි ය; ප්‍රබල ය; දයාබර දැක්මකින් යුක්ත ය. උතුරා යන මානව දයාව මේ ලිපි සමුච්චය සරසයි. එය අපගේ සිත නිබඳ ව සනහාලන එමෙන් ම අවදි කරවන ශක්තියකින් යුක්ත බව ද ලියා තබනු කැමැත්තෙමි.

 

අදහස්