පළාත් සභාවෙන් පලක් තිබේද? | සිළුමිණ

පළාත් සභාවෙන් පලක් තිබේද?

  • පළාත් සභා නඩත්තුවට 85%ක්
  • පොදු වැඩවලට 15% ක්
  • අරමුණු කිසිවක් ඉටු වී නෑ

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට පසුව පළාත් සභා ක්‍රමය පිහිටුවා මේ වන විට වසර 30කට අධික කාලයක් ගත වී තිබේ. මේ ගත වූ දශක තුනක කාලසීමාව ඇතුළත පළාත් සභා ක්‍රමයෙන් අපේක්ෂක අරමුණු ඉටු කර තිබේද? නැතිද? යන කතිකාවක් මේ වන විට සමාජයේ ඇති වී තිබේ.

ඒ සඳහා පළාත් සභාවලට අරමුදල් වෙන් කිරීමට නිර්දේශ ලබා දෙන මුදල් කොමිෂන් සභාවේ අදහස කුමක්දැයි විමසා බැලීම වටී.

ඒ අනුව මේ දිගහැරුම මුදල් කොමිෂන් සභාව, පළාත් සභා පිළිබඳ දක්වන අදහස හා සමපාත වේ. මුදල් කොමිෂන් සභාව විසින් වර්ෂ 2017 වාර්තාව මෑතකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගන්වන ලදී. එම අවස්ථාවේ කොමිෂන් සභාවේ ප්‍රධානිහු එක් කරුණක් තදින් අවධාරණය කොට සිටියහ. එනම් වසර 30 ඉතිහාසය පුරාවට පළාත් සභා මඟින් ජනතා සුබසාධන, සංවර්ධන විශේෂයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා දරනු ලබන වියදම්වලට වඩා පළාත් සභාවල සේවක පඩිනඩි, ගොඩනැගිලි, යානවාහන ඇතුළු පුනරාවර්තන වියදම්වලට වැඩි වියදමක් දරා ඇති බවය.

මේ අන්දමට පොදුජන සුබසෙතට වඩා මේ පළාත් සභා යාන්ත්‍රණය පවත්වා ගැනීමට වැඩි වියදමක් දරන්නට සිදු වන්නේ නම්, එය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුදැයි සාධාරණ පැනයක් ජනතාව ඉදිරියේ ඇත. ඒ එක් පැත්තකි. අනෙක් පාර්ශ්වයෙන් දැනට රටේ පළාත් සභාවල මැතිවරණ නොපවත්වා, පාලන බලය ආණ්ඩුකාරවරුන් හරහා සිදු කරමින් පවතියි.

වසර අවුරුදු 1 1/2 කට පෙර ඡන්දයක් පවත්වා නැති පළාත් සභා ද, තවත් මාස 04 කින් වාර අවසාන වන පළාත් සභා ද තිබේ. මේ සියලු පළාත් සභාවල වාර නිමා කොට එකවර මැතිවරණය පැවැත්විය යුතු යැයි පසුගියදා ජනාධිපතිවරයා ඇමැති මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කොට තිබිණි.

වරලත් ගණකාධිකාරවරයෙකු, ආයෝජන බැංකුකරුවෙකු හා කළමනාකරණ උපදේශකයෙකු ලෙස වසර 40කට වඩා වෘත්තීය පළපුරුද්ද සහිත යූ. එච්. පලිහක්කාර මහතා වර්තමානයේ මූල්‍ය කොමිෂන් සභාවේ සභාපතිවරයා වේ. එහි සෙසු සාමාජිකයින් වන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, වී. කනගසභාපති, මහාචාර්ය එච්. එම්. සෆ්රුල්ලා යන මහත්වරු වෙති. කොමිෂන් සභාවේ ලේකම් ධුරය දරන්නේ ඒ. ටී. එම්. යූ. ඩී. බී. තෙන්නකෝන් මහතායි.

මේ පිරිසගේ මෙහෙයවීම මත සෑම පළාත් සභාවකට ම සංවර්ධන යෝජනා සඳහා මුදල් නිර්දේශ කිරීම සිදුවේ. එසේ සිදු කර‍න්නේ තුලිත සංවර්ධනය සහිත සමෘද්ධිමත් රටක් බිහි කිරීමේ දැක්ම මත පිහිටාය.

බස්නාහිර, දකුණ, උතුරු, මධ්‍යම, වයඹ, උතුරුමැද, ඌව, සබරගමුව, නැ‍ඟෙනහිර සහ පළාත් සභාවල අධ්‍යාපන, සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ක්‍රීඩා, පරිවාස හා ළමාරක්ෂණ, සමාජ සේවා, සංස්කෘතික හා ආගමික කටයුතු, නිවාස, සමූපකාර, පළාත් මාර්ග, වතු යටිතල පහසුකම්, ප්‍රවාහන, ඉඩම්, කෘෂිකර්මය, පශු සම්පත්, මිරිදිය ධීවර, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන, කුඩා කර්මාන්ත, ග්‍රාමීය විදුලිබලය, සංචාරක කර්මාන්තය, පළාත් පාලනය යන අංශ 22ක සංවර්ධනයට මුදල් නිර්දේශ කිරීම කොමිෂන් සභාව සිදු කරයි.

පළාත්වල සමාජ - ආර්ථික විවිධත්වය

රජය විසින් ස්වකීය වාර්ෂික අයවැය මඟින් සුබසාධන වියදම් හා පොදු සේවා සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා පුනරාවර්තන වියදම් වශයෙන් ද, රටෙහි ආර්ථික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස ද සම්පත් වෙන්කරනු ලබයි. මෙම ප්‍රාග්ධන වියදම් හා වර්ධන ක්‍රියාවලිය අතර සෘජු සබඳතාවක් පවතී. වර්ධනය හා පුනරාවර්තන වියදම් අතර සෘජු සබඳතාව ක් නොතිබුණ ද, සමාජ සාධාරණත්වය හා වර්ධනය සමඟ කැටුව යන සුමට සංවර්ධන ක්‍රියාවලිය තහවුරු කරනු වස් පුනරාවර්තන වියදම් ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට, ප්‍රධාන ගැටලුව වන්නේ පුනරාවර්තන වියදම් මුළු අයවැයෙන් 80% ක පමණ අගයක් ගැනීමයි.

එම තත්ත්වය තුළ පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රාග්ධන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිණිස වැය කළ හැකි වන්නේ මුළු අයවැයෙන් කුඩා ප්‍රමාණයක් පමණි. මෙම කරුණ සැලකිල්ලට ගත් විට රජය විසින් මනා වියදම් කළමනාකරණයකට අවශ්‍ය ක්‍රියාමාර්ග කෙරෙහි නිසි අවධානය යොමු කළ යුතු වන අතර, අත්‍යවශ්‍ය කණ්ඩායම් සඳහා පමණක් සුබසාධන වැඩසටහන් තාර්කික ලෙස යොමු කිරීම එහිලා ඉතා වැදගත් වේ. එමෙන්ම, වාර්ෂික අයවැය මඟින් සම්පත් වෙන් කිරීමේ දී සමාජ ආර්ථික සංවර්ධනය තුළ දක්නට ලැබෙන ප්‍රාදේශීය විසමතා කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

පළාත් අනුව තිබෙන සංවර්ධන දර්ශක සමහරක් භාවිතයට ගනිමින් ප්‍රාදේශීය සංවර්ධන විසමතා පිළිබඳ විමසමු.

2016 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21.2ක් විය. මුළු ජනගහනය 28% ක් පමණ බස්නාහිර පළාතේ ජීවත් වන අතර, අඩුම ජනගහනයක් ජීවත් වන්නේ උතුරු පළාත තුළය. අනෙකුත් පළාත්වලට සාපේක්ෂව බස්නාහිර පළාතට අයත් භූමි ප්‍රමාණය ඉතා අවම මට්ටමක පැවතිය ද, එම පළාතේ දළ දේශීය නිෂ්පාදිතය හා ඒක පුද්ගල ආදායම අඛණ්ඩව ඉහළ මට්ටමක පවතී, අනෙකුත් පළාත්වලට සාපේක්ෂව ගත් විට, මධ්‍යම, දකුණු හා වයඹ යන පළාත් ඉහළ මට්ටමක දළ දේශීය නිෂ්පාදිතයක් ජනිත කිරීම හා ඉහළ ඒක පුද්ගල ආදායමක් පවත්වාගෙන යෑම අතින් ඉතා ජයග්‍රාහී තත්ත්වයක සිටිති.

උතුරුමැද හා ඌව යන පළාත් තරමක අඩු දළ දේශීය නිෂ්පාදිතයන් වාර්තා කළේ වුවද, එම පළාත්වල ඒක පුද්ගල ආදායම ඉහළ මට්ටමක පවතී, අනෙකුත් පළාත්වල ආර්ථික වර්ධනය වැඩි වීම, රටේ දළ දේශීය නිෂ්පාදිතයට බස්නාහිර පළාතෙන් සිදු වන දායකත්වය අඩු මට හේතු වී ඇත. බස්නාහිර පළාතේ දක්නට ලැබෙන ඉහළම ඒක පුද්ගල ආදායම හා අනෙකුත් පළාත්වල ඒක පුද්ගල ආදායම අතර වෙනස සැලකිය යුතු තරමින් ඉහළ මට්ටමක පවතී. එලෙස වැඩිම වෙනස නැ‍ඟෙනහිර පළාත තුළ දක්නට ලැබෙන අතර, අඩුම වෙනස විද්‍යමාන වනුයේ උතුරු මැද පළාත තුළය.

පළාත් සම්බන්ධයෙන් ගත් විට, පළාත් දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකාර්මික අංශයෙන් සිදුවූ දායකත්වය 2.1 සිට 14.8 දක්වා පරාසයක පවතී. 2015 වර්ෂය හා සාපේක්ෂව ගත් විට, දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකර්මය තුළින් සැපයුණු දායකත්වය 2016 වර්ෂයේදී තරමක ඉහළ යෑමක් උතුරු පළාත තුළ දක්නට ලැබේ. මේ සම්බන්ධයෙන් බලන විට අනෙකුත් සියලු පළාත්වල පහළ බැසීමේ ප්‍රවණතාවක් විද්‍යමාන වේ.

බස්නාහිර හා මධ්‍යම යන පළාත්වල කර්මාන්ත අංශයෙන් පළාත් දළ දේශීය නිෂ්පාදිතයට සිදු වූ දායකත්වය පහළ බැස තිබූ අතර, අනෙකුත් සියලුම පළාත්වල එහි වැඩි වීමක් වාර්තා වී ඇත. 2016 වර්ෂය තුළදී පළාත් දළ දේශීය නිෂ්පාදිතයට, කර්මාන්ත අංශයෙන් සිදුවූ ඉහළම දායකත්වය බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, අඩුම දායකත්වය දක්නට ලැබුණේ දකුණු පළාත තුළය.

පළාත් දළ දේශීය නිෂ්පාදිතය විෂයෙහි ප්‍රධාන කාර්යභාරයක් සේවා අංශය විසින් සිදු කරනු ලැබේ. 2015 වර්ෂය තුළදී මෙම දායකත්වය 52.7% හා 61.4% අතර පැවති අතර, 2016 වර්ෂය තුළදී එය 51% හා 61.4% අතර විය. කෙසේ වුවද, 2015 වර්ෂය හා සසඳන විට මධ්‍යම, දකුණු, උතුරු, නැ‍ඟෙනහිර, ඌව හා සබරගමුව යන පළාත්වල සේවා අංශය මඟින් ලැබුණු දායකත්වය පහළ ගොස් ඇත.

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන, උපමාන පාදක ප්‍රදාන හා විදේශ අරමුදල් ව්‍යාපෘති යටතේ එක් එක් පළාතට වෙන් කරන ලද ප්‍රාග්ධන අරමුදල් පිළිබඳ විමසීමට ලක් කරමු. ඌව පළාතට වැඩිම අරමුදල් ප්‍රමාණයක් වෙන් කර තිබෙන අතර, අඩුම අරමුදල් වෙන් කර තිබෙන්නේ බස්නාහිර පළාතටය. අදාළ පළාත් ප්‍රතිශතය පිළිවෙළින් 13.6 ක් හා 6.94 ක් වේ. 2016 - 2017 කාලසීමාවට අදාළව ප්‍රාග්ධන අරමුදල් වෙන්කිරීම්, මුළු ලැබීම් හා ප්‍රාග්ධන වියදම පිළිබඳ සලකා බැලීමේ දී 2017 වර්ෂයේදී මුදල් කොමිෂන් සභාව මඟින් සියලුම පළාත්වලට මූලිකව රු. මි. 16,026 ක් වෙන් කරන ලදී. එමෙන්ම ඊට පෙර වර්ෂයට අදාළ අතැති බිල්පත්වලට අදාළ ගෙවීම් සිදු කිරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් පළාත්වලට අමතර රු. මි. 20,344.60 ක් වෙන්කර දෙන ලදී. ඒ අනුව පළාත්වලට වෙන් කරන ලද මුළු මුදල රු. මි. 36,370.60 ක් විය. මෙය අදාළ කාලපරිච්ඡේදය සම්බන්ධයෙන් ගත් විට මුළු අරමුදල්වල 11%ක වැඩි වීමක් පෙන්නුම් කරයි.

සාමුහික ප්‍රදාන යනු, සේවා සැපයීමට අදාළව පළාත්වල පුනරාවර්තන වියදම් සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදන වේ. එය මුදල් කොමිෂන් සභාව මඟින් පළාත්වලට නිර්දේශ කෙරෙන මුළු අරමුදල් ප්‍රමාණයෙන් 86% ක් වේ. පුනරාවර්තන අවශ්‍යතා වෙනු‍ෙවන් වෙන් කරනු ලබන අරමුදල් පළාත්වලට අදාළ කාර්යයනට පමණක් නොව පළාත් මට්ටමෙන් සිදු කරනු ලබන රජයේ කාර්යයන් සඳහා ද භාවිතා කෙරේ.

පුනරාවර්තන අවශ්‍යතා සඳහා ප්‍රදාන වෙන් කිරීම

2017 වර්ෂය සඳහා පුනරාවර්තන වියදම් වශයෙන් වෙන් කරන ලද රු. මි. 160,605 ක් වූ මූලික සාමුහික ප්‍රදාන රු. මි. 5,755 ක පරිපූරක වෙන් කිරීම් නිසා රු. මි. 166,360 දක්වා ඉහළ ගොස් තිබේ. 2018 වර්ෂය සඳහා මූලික වශයෙන් වෙන් කර ඇති රු. මි. 174,755 සමඟ සසඳන විට, පසුගිය වස‍රේ මුළු වෙන් කිරීම්වලට වඩා එය 5.05% ක වැඩි වීමක් පෙන්නුම් කරයි. 2017 වර්ෂය තුළ ඉහළම සාමුහික ප්‍රදාන වෙන් කර තිබෙන්නේ මධ්‍යම පළාතට වන අතර, අඩුම වෙන් කිරීම් දක්නට ලැබෙන්නේ උතුරුමැද පළාත සම්බන්ධයෙනි.

2010 සිට 2017 දක්වා කාලසීමාව තුළ සාමුහික ප්‍රදානවලට අදාළව ‍මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ රු. මි. 234,418 සිට රු. මි. 245,926 දක්වා වැඩි වී ඇත. මෙය 5% ක වැඩි වීමක් පෙන්නුම් කරයි. එසේම, මහා භාණ්ඩාගාරය විසින් වෙන් කරන ලද ප්‍රතිපාදන රු. මි. 237,194 සිට රු. මි. 251,681 දක්වා වර්ධනය වී ඇති බව සැලකිල්ලට ගත යුතුය. මෙය 6.5% ක වැඩි වීමකි. තවද, පළාත් සභාවල තත්‍ය වියදම එම කාලසීමාව තුළ තරමක් දුරට වර්ධනය වී ඇති අතර, එය 4% ක් වේ. සාමුහික ප්‍රදානවලට අදාළ 2017 වර්ෂයේ තත්‍ය වියදම රු. මි. 240,383 ක් ලෙස වාර්තා වී ඇත. මෙම වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ පළාත්වල පුද්ගලික පඩිනඩි හා අනෙකුත් පුනරාවර්තන වියදම්වල ඉහළ යෑමයි.

මේ අනුව සළකා බලන කළ පළාත් සභාි සියල්ල ඉදිරියේදී රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය PPP ව්‍යාපෘති හරහා තම තම පළාතේ දියුණුවට ප්‍රාග්ධනය සම්පාදනය කරගත යුතුව ඇතැයි කොමිෂමේ අදහසයි.

Comments