පරාජයේ මළකුණු බුදින්නන්ගෙන් ක්‍රිකට් බේරාගනිමු | සිළුමිණ

පරාජයේ මළකුණු බුදින්නන්ගෙන් ක්‍රිකට් බේරාගනිමු

බලා සිටියදී කඩාගෙන වැටෙන ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගන්නට ක්‍රීඩා අමාත්‍යවරයා ඔස්ට්‍රේලියාවට ගියේය. වෙනසක් නැත. මානුකා ඕවල් පිටිය දෙවනත් කළ ඔස්ට්‍රේලියානුවන් සිය පළමු ඉනිමට ශතක තුනක් සමඟ දැවන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගු අයුරු අමාත්‍යවරයාට දෑසින්ම දැක බලා ගැනීමට හැකි විය. අවසානයේ 2-0 ක තවත් ටෙස්ට් තරගාවලි පරාජයකි. ඒ අතරම තිසර පෙරේරා ශ්‍රිලංකා ක්‍රිකට් විධායකවරයාට ලිපියක් එවමින් ප්‍රකාශ කරන්නේ නවසිලන්ත සංචාරය අතරතුර තමන් සම්බන්ධයෙන්සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සැරි සැරු කතාබහක් පිළිබඳ දැඩි සේ කලකිරි සිටින බවය. ඒ අතර ක්‍රිකට් නිලවරණයට තවත් දින කිහිපයකි. ක්‍රිකට් පුහුණුකරුගේ තටු කැපීමේ තැන පටන් ක්‍රීඩකයන්ගේ කුලල් කා ගැනීම්ද මහ මෙරක් සේ කැපී පෙනෙන තරම්ම ඉහළට එකතුව පෙනෙන්නට පටන් ගෙන අවසන්ය.

අඩු වැඩි වශයෙන් පසුගිය කාලය පුරාම හැංගි හැංගි නැටූ සෙල්ලම් සියල්ල කරළියට පැමිණ තිබේ. ඕනෑම කණ්ඩායමක් ක්‍රිකට් පිටියකට හෝ වෙනත් ක්‍රීඩා පිටියකට පිවිසෙන්නේ ජය ගැනීම අරමුණු කරගෙනය. නමුත් තරගයක් අතරතුර වඩාත් දක්ෂයා ඉදිරියට පැමිණීම වැළැක්විය හැකි කරුණක් නොවේ. ඒ තුළ දුර්වලයා වුවද පරාජය විය යුත්තේ නම්බුකාර විදියට මිස නිකම් නොවන බව පැහැදිලිය. එහෙත් සිද්ධ වන්නේ අද මුදලට හෙට ණයට න්‍යායෙන් දිනන තෙක් චන්දිමාල්ගේ සහ හතුරුසිංහ‍ෙග් වහසි බස් අසා සිටීම හැර වෙන දෙයක් නොවේ. චන්දිමාල්ගේ හතුරුසිංහගේ රාජකාරි පමණක් නොව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම රාජකාරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට බාර දෙන්නේ නම් අඩුම තරමේ කතා කිරීමටවත් සමාජයේ දෙයක් ඉතිරිවනු ඇත. අද ඒ කිසිත් නැත. පරාජයේ මළකුණු බුදින්නන්ගේ තත්ත්වයට සියල්ල පත්ව තිබේ.

මෙවැනි තත්ත්වයක් තුළ හරින් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයා නොව තිස්තුන් කෝටියක් දෙවිවරුන් ඔස්ෙලියාවට ගිය ද වෙනසක් නැත. 1970 දශකයේ මෙරට පැමිණි ඇමෙරිකානු ජාතික පුහුණුකරුවකු මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි මඟ පෙන්වන්නේ නම් ලෝකයද සොලවාවි යැයි පවසා ඇත්තේ කටකහනවට නොවන බව පැහැදිලිය. ලාංකේය ක්‍රීඩාවේ පරිපාලන රටාව, නිවැරදි ක්‍රීඩා පුහුණුව නිසි මඟට ගෙන එන්නේ නම් ජයග්‍රහණය අත ළඟ බව නොරහසකි. එහෙත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළින් සිටින්නේ වඳ බැහැපු නිලධාරී පැලැන්තියක් නම්, පුහුණු සහ පරිපාලනය ද නිද්‍රාශීලි නම් ප්‍රතිඵලද නිද්‍රාශීලි බව අමුතුවෙන් පැවැසිය යුතු නොවේ.

ක්‍රිකට් ලෝක කුසලානය අත ළඟ තබාගෙන මේ නටන පිස්සුව නම් නතර කර දැමීය යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි පරිපාලකයන් පිරිසක් අතට පත්විය යුතුය. නිලවරණයකට ගිය ද, අතුරු කමිටුවකට ගිය ද වැඩි වෙනසක් බලාපොරොත්තු විය නොහැකිය. නිලවරණය කල් දැමිම තුළ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට හොඳ පාඩමක් කියා දෙතැයි බලා සිටී සිටි පිරිස තවමත් එකී සිහිනයෙන් මිදි නැති බව පැහැදිලිය. කෙසේ වෙතත් මේ වන තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා නිලවරණය ඇදගෙනවිත් තිබේ. ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් ව ඇති දෙපිරිස අතර මහා වෙනස්කම් ද නැත. මේ එක් එක් කාලවකවානුවල එකම අත්තේ වසා සිටි කුරුල්ලන්ය. අද වෙනසකට ඇත්තේ ලාභ ප්‍රයෝජන, වරප්‍රසාද අඩුවැඩි වීම මත එකිනෙකා තුළ සුළු විරසකවීම් මිස මහා දේවල් නොවේ. මේ සියලුම දෙනා එක් එක් කාලවකවානුවල අඩු සහ වැඩි වශයෙන් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලට ම දක්කා ගෙන ගිය පිරිස්ය. මොවුන් අද මොන පම්පෝරි ගසමින් අනෙකා පිට වරඳ පැටවීමට වෙරදැරුවද ක්‍රිකට් මේ තැනට ඇදදැමුවේ මේ බලලෝභීන්ම බව නොරහසකි.

එක් අතකින් නිලවරණයක් අවශ්‍ය ද යන්න සිහි බුද්ධියෙන් විමසා බැලීම නම් වටියි. එකම පිරිස එක් එක් කාලවකවානුවල එකිනෙකාගේ පිටවල් කසා ගනිමින් පැමිණි ගමන් මගෙහි ලාංකේය ක්‍රිකට්වලට අත් වී ඇති ඉරණම පැහැදිලිය. මොවුන් නැවත නැවත මෙතුළ බඩ පිනුම් ගැසීමට මාන බලන්නේ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති සැබෑ රුදාවක් නිසා ද එසේ නොමැති නම්, මහ පුටුවට ඇති මළපෙරේත කමටද යන්න තරාදියක දමා කිරා මැන බලන්නේ නම් මෙය වඩාත් පැහැදිලිව දැක බලා ගැනීමට හැකිවනු ඇත.

හතුරුසිංහ පවා මොන තරම් පුරසාරම් දොඩවාගෙන මෙරට ක්‍රිකට් බාර ගත්තද හතුරුට පවා කළ හැකි කෙන්ගෙඩියක් නොමැති බව පසුගිය කාලය පුරාම සාධක සහිතව ඔප්පු කර හමාරය. මේ සඳහා මාසිකව ලක්ෂ 75කට අධික ධනස්කන්ධයක් වියදම් කළාට වඩා පර්සි හෝ ගයාන්ට මේ රාජකාරිය බාර දුන්නා නම් අඩුම තරමේ එකි රාජකාරියට අමතරව ක්‍රීඩාගාරයේ පැත්තකට වී කරන දිරිගැන්වීම ද පරාජයන් වැලක වෙළී ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට යම් සැනසීමක් වනු ඇත. හතුරුගේ කාලය පවා දැන් අවසන්ය. හතුරුට පවා අවශ්‍ය වී ඇත්තේ ඉතිරි කාලය මොන සෙප්පඩ විජ්ජාවක් දමා හෝ ගෙවා දැමීම මිස වෙනකක් නොවන බව වැඩ කටයුතු පෙළ ගැසී ඇති ආකාරය අනුව පැහැදිලිය. මේ දිහා තවදුරටත් ක්‍රීඩා අමාත්‍යවරයා බලා සිටිනවාද නැද්ද යන්න වහාම තීරණයකට පැමිණීමට සිදුවනු ඇත. නැත්නම් ලාංකේය ක්‍රිකට් මළ ගමට අත ගැසුවන් අතරට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ නාමයද එක්වීම වැළැක්විය නොහැකි වනු ඇත.

 

අදහස්