අරමුණට යනකල් මං ඉලක්කය අත්හරින්නෙ නෑ | සිළුමිණ

අරමුණට යනකල් මං ඉලක්කය අත්හරින්නෙ නෑ

ශ්‍යාමලි විජේගුණවර්ධන සභාපතිනී / Spring and Summer

ෆැෂන් ඩිග්‍රි... මාකටින් ඩිග්‍රි කිසිත් නැති ඇගේ ජීවිතය, ඒ උපාධිවලින් එහාට ගිය තැනෙක බැබළෙයි. උපන් හැකියාව මුවහත් කරගෙන, පුංචියට තැබූ පියවරකින් අෑ දිගු ගමනක් පැමිණ තිබෙයි. මේ රටේ මිනිසුන්ට රැකියා හදමින් කර්මාන්තක් පවත්වාගෙන යමින් බිරිඳක් මවක් වෙමින් ඈ ගොඩ නඟා ගත් ජීවිතයයි මේ.

 ස්ප්‍රින් ඇන්ඩ් සමර්...’ හදපු ඔබ කවුද...

බොහොම සරල කාන්තාවක්. හිනාවෙලා ඉන්න කැමැති කෙනෙක්. ඒ වගේම, මැහුම් කලාවෙදි ‘සීරියස්’ ව හිතන ඉදිරිය ගැන හිතලා වැඩ කරන... අධිෂ්ඨානය සම්පූර්ණ වන තුරු ඉලක්කය හඹා යන කෙනෙක්.

ඔබ මොනතරම් පිරිසකට රැකියා හදා තිබෙනවද...

ඍජුව හා වක්‍රව දෙදහසකට වැඩියි. අපි නිර්මාණය කරන්නෙ කාන්තා විලාසිතා. අපේ ඇඳුම් තියෙන්නෙ අපේ සාප්පුවල විතරයි. මේ සියල්ල අපේ රටේ කාන්තාවන්ගෙ ‍දෑත්වලින් නිර්මාණය වන ඇඳුම්.

සේවකයන් එක්ක තිබෙන ගනුදෙනුව කොහොම එකක් ද...

ඒක, ගනුදෙනුවකට එහා ගිය බැඳීමක්. මම, මගේ මහත්තයා, පුතාලා දෙන්නා, ලේලිලා දෙන්නා මේ හැමෝම බිස්නස් එකේ ඉන්නෙ. අපි හැමෝම සේවය කරන අය එක්ක සුහදයි. අපි ව්‍යාපාරයකට වඩා පවුලක් වගෙයි. ඒක එදා ඉඳල ම තිබුණු දෙයක්.

සියයට සියයක් සේවකයො ගැන තෘප්තිමත් කියලා මේ ඇහුවමයි...

ඔවුන් රාජකාරියේදි විශ්වාසවන්තයි. නමුත් මම දකිනවා මේ බහුතරය වැඩට එන්නෙ ත්‍රීවිලර්වල. කිලෝමීටරයක්වත් පයින් යන්න කැමැති නැහැ. දවස ගාණේ මේ තරුණ ළමයි ත්‍රීවිලර්වලට වියදම්කරන හැටියි, ෆෝන් සහ ඒවාට බිල් ගෙවන හැටියි ගැන නම් මට සතුටක් නැහැ. මම මහපු ඇඳුම් සළුසලටයි වෙනත් සාප්පුවලටයි දාන්න ගියේ ලොකු බෑග්වල දාගෙන බස් එකේ. ඒවත් අරන් බස්වල නැඟගෙන, බැහැගෙන හුඟක් දුක් විඳලා තියෙනවා. හම්බකරන දේ ඉතිරිකරන්න අපිට තිබුණු උනන්දුව ඔවුන්ට නැති එක ගැන විතරයි මට කනගාටු.

මේ ව්‍යාපාරයේ විශේෂත්වයක් කියන්න...

අදටත් අපිට ‘ඩිසයිනින් ටීම්’ එකක් නැහැ. පටන් ගත් කාලයේ පටන් මගේ ඩිසයිනර්, මමමයි. මේක මගේ ‘බෝර්න් ටැලන්ට්’ එකක්. පුතාලා දෙන්නා විවාහ වුණාට පස්සෙ, ඒ දුවලා දෙන්නා ඩිසයිනින් වෙනුවෙන් මාත් එක්ක වැඩ කරනවා. අපේ ඇඳුම් එකකට එකක් වෙනස්. එකම මෝස්තරයෙන් මහ ගොඩක් මහන්නෙ නැහැ. මෝස්තරය සීමා සහිතයි. ඒ නිසා ෆැෂන් වැඩියි. එකම මෝස්තරයකට ඉතා හොඳ ඉල්ලුමක් තිබෙනවා නම් පමණයි අපි යළි එය මහන්නේ. ඒකත් රෙදි වර්ග සම්පූර්ණයෙන් ම වෙනස් කරලා.

කවුද ඔබේ මැහුම් ගුරු...

වයස විස්සෙදි විතර කරපු මූලික මැහුම් පාඨමාලාවක් හැර වෙන කිසිම දෙයක් මං ඉගෙන ගෙන නැහැ. මේක, අත්හදා බැලීම් අත්වැරදීම් සහ අත්දැකීම් එක්ක ආපු ගමනක්. උපන් හැකියාව හොඳ හැටි ප්‍රයෝජනයට අරන් මං ඒකට නියම වටිනාකම දුන්නා. අනික ‘කෝස් ෆලෝ’ කරන්න මට වෙලාවක් තිබුණෙත් නැහැ. බිස්නස් එක ගොඩනැඟුවේ දරුවන්ට උගන්වලා ලොකු මහත් කරන ගමන්.

ව්‍යාපාර ඥානය ඔබට පවුලේ උරුමයක්ද...

නැහැ. මං ගුරුපවුලක දරුවෙක්. නමුත් මැහුම් කලාව මට, අම්මගෙන් ලැබුණු ලේ උරුමයක්. තරමක් තේරෙන කාලෙ, මං මඟුල් ගෙදරක ගියත් අනෙක් අයගෙ ආකර්ෂණය ලැබෙන විදියට ඇඳුමට වෙනසක් කළා. රේන්ද, බොත්තම්, ලේස්, පබළු... ඇඳුමට ගැළපෙන විදියට එක් කළා. තරුණියක් වුණාම මේ දේවල් ඊටත් වැඩිය හොඳට කළා. ලස්නනට අඳින පලඳින කලාව මගේ ඇ‍ඟේ ම තිබුණු දෙයක්.

ව්‍යාපාරය වෙනුවෙන් කළ ලොකු ම කැපවීම කුමක්ද...

දරුවන්ට හොඳම දේ දුන්නට මායි මහත්තයයි ඒ වෙනුවෙන් හුඟක් දේ කැප කළා. මහත්තයගේ ඉංජිනේරු පඩිය මං කවදත් අරපිරිමැස්මෙන් පාවිච්චි කළා. අපි දෙන්නා වාහනයක් ගත්තෙ ව්‍යාපාරය පටන් අරන් අවුරුදු තුනකට විතර පස්සෙ. අඩුම තරමෙ අපි ඩ්‍රයිවර් කෙනෙක්වත් ගත්තෙ නෑ. වාහනය ‍එළෙව්වෙ එක්කො මහත්තයා. එක්කො මම.

වෙනස් නොවන ව්‍යාපාර කඩා වැටෙනවා. මේ ගැන හිතලා තියෙනවද...

ඔව්. ඒ ගැන මට ලොකු අත්දැකීමකුත් තියෙනවා. මුල් කාලෙ මං හුඟක් ඇඳුම් දාපු තැනක් තමයි බම්බලපිටියෙ එක් සාප්පුවකට. මම වගේ ම අද නමක් තියෙන හුඟක් ඇඳුම් ව්‍යාපාරවල අය එදා මේ වහලෙ යටදි මුණගැහුණා. අපි හැමෝම ඇඳුම් දුන්නෙ එතැනට. මැජස්ටික් සිටිය ඇරියා. ඒ දැවැන්ත සාප්පුව වැහිලා ගියා. වෙනස් වුණ් නැත්නම් පැවැත්මක් නැහැ. මගේ පුතාලා පියවරක් ඉදිරියට තියලා ‘On line’ අලෙවිය පටන් අරන්. ඒක හුඟක් සාර්ථකයි. ඉදිරියේදි අපි අපනයනයටත් පිවිසෙනවා. අපි වෙනසට ලෑස්තියි.

හරි වෙලාවට ගන්න හරිම තීන්දුව ව‍ෙග් ම, හරි වෙලාවෙදි මුණගැහෙන හරිම පුද්ගලයින් ජීවිතවලට කරන බලපෑම ඔබත් අත්විඳ ඇති...

ඔව්. අපේ අමාරුකාලවලින් ගොඩ එන්න අත දීපු, උදව් කරපු යාළුවො හුඟක් ඉන්නවා. Spring and Summer නම හදලා දුන්නෙත් අපේ යාළුවෙක්. මං මහන්න ගත්තම, ඒක දැනගෙන මට මැෂිමක් තෑගි කළෙත් මගේ යෙහෙළියක්. අපිට වාහනයක් නැති කාලෙ උවමනාවකදි ඒ අයගෙ වාහනය දීපු යාළුවො හිටියා. ඇත්තට ම ජීවිතේ අත්‍යාවශ්‍ය හුඟක් තැන්වල අපිව අත්නොහැරපු ඒ යාළු මිත්‍රයො තමයි අපිට මුණගැහුණු හරි ම පුද්ගලයින්.

කාන්තාවකට තනිවම, ව්‍යාපාර ලෝකෙ හැපෙන්න පුළුවන්ද...

මං පිටරට පර්චසින්වලට අනන්තවත් තනියම ගිහින් ඇති. ඕනෑතරම් ආයතනවලට ගිහින් ඇති. ඒ වුණාට කවදාවත් එහෙම ප්‍රශ්න උදාවෙලා නැහැ. තැනකට යද්දි කාන්තාවක් අඳින ඇඳුම අංක එක. ඇඳුමෙන් හා හැසිරීමෙන් තමයි හැමදේම කියැවෙන්නේ. අපි අනුන්ගේ විනිශ්චයන්ට ලක් වෙන්නෙත් පළමුව ඇඳුමෙන්මයි. ගැළපෙන හරි ඇඳුමක්, වැදගත් විදියට ඇඳගෙන ගියාම, ඕන තැනෙක ප්‍රශ්න අඩුයි. ඒක හැම කාන්තාවක් ම තේරුම්ගත් යුතු දෙයක්.

ජීවිතයට වැටුණු හොඳම පදනම කොතැනද...

ගෙදර. මගේ අම්මා තාත්තාගෙන්. ඒ දෙන්නම ගුරුවරු. ගැහුවෙ බැන්නෙ නැති වුණාට ඒ දෙන්නගෙ පෞරුෂය අපිව ඉතා හොඳින් පාලනය කළා. ඒ දෙන්නම අපිට ඉගැන්වූවේ මේ මහපොළොවෙ පය ගහලා ජීවත්වෙන හැටි. මේ සමාජයේ ජීවත්වන හැටි. පහේ පන්තියේ ඉඳන් ගත කරපු හොස්ටල් ජීවිතෙන් අපි තවත් පදම් වුණා.

ඇයි හොස්ටල් ජීවිතයක්...

අපේ ගම් පළාත මතුගම හොරවල. අම්මයි තාත්තයි ඉගැන්වුවෙත් ඒ අවට ගම්වල. ඉතින් අම්මලා අක්කවයි මාවයි බෝඩ් කළා. අපි දෙන්නට ම පස්සෙ මල්ලි. එයා පුංචි නිසා ගෙදර තියාගත්තා. මල්ලිව දාලා හොස්ටල් එකට ගිය පළවෙනි දවසෙ මං හොඳට ම ඇඬුවා. ඒත් තනියම හැදෙන්න තනියම තීරණ ගන්න, වෙලාවට වැඩ කරන්න, ජීවිතයට මුහුණ දෙන්න අපි පුරුදු වුණේ ඒ හොස්ටල් ජීවිතය නිසා.

දරා ගැනීම සහ අරපිරිමැස්ම ඒ ළමා කාලයේ අත්විද තිබෙනවද...

තාත්තා විදුහල්පති වුණාට, දෙන්නට ම තිබුණෙ ගුරුපඩිය විතරයි. ළමයින්ව පිට නවත්වලා, අධ්‍යාපනය දෙන්න ඒ අයත් බොහොම කැපවීම් කළා. ‘අපි මහා ලොකු සල්ලිකාරයො නෙවෙයි කියන එක, පුංචි වුණාට මට තේරුණා. හොස්ටල් එකේ, තියෙන කියන ළමයි අතරේ මම අතිශය සාමාන්‍ය ළමයෙක් වුණා. ඒ ලස්සන ඇඳුම් සපත්තු මට නැති වුණත් මං ඒ ගැන හිතුවෙ නැහැ. තියෙන දේ පිළිවෙළට පිරිසුදුවට අඳින්න පලඳින්න මං පුරුදු වුණා.

එත‍කොට ඔබ ඉගෙන ගත්තෙ...

මුලින් ම පාණදුර සුමංගල බාලිකාවේ. ඊළඟට කළුතර බාලිකවෙ. අන්තිමට කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ. මට විශ්වවිද්‍යාලයේ යන්න ලකුණු මදි වුණා. මං මොරටුව යුනිවර්සිටියෙ ‍බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් බාහිර පාඨමාලාවකට බැඳු‍ණා. ඒත් ටික කලකින් මට සිද්ධ වුණා ඒක අත්හැර දමන්න. ඊළඟට මං කළේ රූපලාවණ්‍ය පාඨමාලා. ඇඳුම් මැසීමේ බේසික් පාඨමාලාව කළෙත් ඔය කාලෙ.

මවුපියන්ගෙන් ජීවිතයට ලැබුණු හොඳම ම දේ කුමක්ද...

හැබෑවට මුහුණ දෙන හැටි. මාසෙකට සැරයක් ගෙදර ආවත් පුංචි ළමයි කියලා අම්මා අපිට නිකම් ඉන්න දුන්නෙ නැහැ. ගෙදර උදව්වට අය හිටියත් අපිටත් මිරිස් තුනපහ අඹරන්න නියම කළා. මිරිස් - තුනපහ ඇඹරුවා විතරක් නෙවෙයි, ලොකු මෝල් ගස්වලින් අපි වීත් කෙටුවා. වෙලේ නියරෙ දුව පැන නැටුවා වගේ ම, කුස්සියෙ වැඩත් කෙරෙව්වා. හොද්දකට, ලුණු - ඇඹුල් දාන්න, උයන්න පිහන්න, මහන්න ගොතන්න පුරුදු කළෙත් අම්මා.

ජීවිතය එහෙම පිටින් ම වෙනස් කළ Turning point එක කුමක්ද...

මොරටුව යුනිවර්සිටියට ගිය එක. කරන්න ගිය පාඨමාලාව නතර වුණා. ඉරණම්කාරයා මුණගැහුණා. දයා විජේගුණවර්ධන, මගේ සැමියා එවකට ඉංජිනේරු ශිෂ්‍යයෙක්. අපි මුණගැහුණා. හිතවත්කමක් ගොඩනැඟුණා. මං තෝරා ගත්තු බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් විෂයට එයා කැමැති වුණේ නැහැ. එයා කිව්වෙ, ‘ගෙදර ඉඳගෙන ම යමක් කරන්න පුළුවන් දෙයක් ඉගෙන ගන්න..’ කියලා. මං රූපලාවාණ්‍ය සහ මැහුම් ඉගෙන ගත්තෙ ඒ අනුව. ඉදිකිරීම් ඉංජිනේරු කාර්යයට යන්න ආපු මං, ව්‍යාපාරිකාවක් වුණේ ඒ හැරවුම් ලක්ෂ්‍යයෙන්.

ඒත් ඔබ ව්‍යාපාරවලට අතගහන්නෙ විවාහයෙන් බොහොම කාලෙකට පස්සෙ...

පුතාලා දෙන්නා ඉපදුණාට පස්සෙ මගේ ඔළුවෙ වැඩක‍ෙළ් ම ඒ දෙන්නව රාජකීය විදුහලට දාන හැටි. අපි මහරගම පදිංචියට ආවෙ ඒ අරමුණ වෙනුවෙන්. හැබැයි ඒ ආවමයි තේරුණෙ, වියදම සැරයි; කොළඹ ජීවිත් වෙන්න තවත් ආදායමක් තිබුණා නම් හොඳයි කියන එක. මගේ අක්කා තමයි මාව උනන්දු කළේ. ‘අපර‍ාදෙ ඔහොම නිකන් ඉන්නෙ මොනවා හරි මහන්න...’ කියලා. එයා මාව සළුසලට හඳුන්වා දුන්නා. ඒ තමයි මං තබපු පළමු පියවර.

ඔබ මේ කියන්නෙ, ‘සළුසල’ ස්වර්ණමය යුගය..

ඔව්. ඒත් මට මුලින් ම හම්බ වුණේ සරොම් සහ කොට් උර මහන්න. මාස කිහිපයකින් ‘විලාසිතා නිවස’ ඇරියා. දැන් මට හිතේ හැටියට මහන්න පුළුවන්. පුංචි පිරිමි ළමා ඇඳුම් මං හුඟක් මැහුවා. ඒ සේරම විකිණුනා. ඒ එක්කම ලස්සන විලාසිතාවලට ගවුම් මැහුවා. ඒවටත් හොඳ ඉල්ලුමක් ඇතිවුණා. ඒ අතර ම මං, තනියම තව තවත් සාප්පුවලට ඇඳුම් දැම්මා. කොහොම වුණත් සළුසල තමයි, මට ගොඩනැ‍ඟෙන්න සරු බිමක් වුණේ.

ඒත් සළුසල කියන්නෙ, ව්‍යාපාර ලෝකෙ දැන් මතකයක් විතරයි...

දේශීය මැහුම්කරුවන් බොහෝ ප්‍රමාණයක් දැවැන්ත ව්‍යාපාරිකයන් වුණේ ඒ කාලෙ සළුසල නිසා. මේ ආයතන, රටේ සම්පත්. එදා ආණ්ඩු මාරුවත් එක්ක ම අපිට සළුසල ඕඩර්ස් නැතිවුණා. හැබැයි ඒ වෙනකොට මං තරමක් ස්ථාවර වෙලා. 1995 බොරැල්ලෙ හන්දියෙන් මං Spring and Summer පටන් ගත්තා. ව්‍යාපාරය දියුණු වෙනකොට ඉල්ලුම වැඩිවෙනකොට මගේ මහත්තයා, එයාගෙ ඉංජිනේරු වෘත්තිය අත්හැරලා මට උදව් කරන්න ආවා. ඔහුගේ පැමිණීම තමයි මේ ව්‍යාපාරයේ ලොකුම හැරවුම .

පහු කළ දුෂ්කර ම කාලය මතකද...

සළුසලට ඇඳුම් දාන කාලෙ, පිට සාප්පුවලටත් ඇඳුම් දානකොට, ඒ විකිණිලා ඉවර වෙච්චි ‘බෝයි සූට්ස්’ දහයෙ එක්දහස් ගණන ගන්නත් මං වරු ගණන් ඒ සාප්පුවල බලා ඉඳලා තියෙනවා. මිනිස්සු සල්ලි දෙන්නෙ හරියට රස්තියාදු කරලා. ඒක හරි අමාරු කාලයක්. මගේ සාප්පුව ඇරපු ගමන් මං කළේ පිටට ඇඳුම් මහන එක නවත්තපු එක.

ඔබ බිස්නස් එක ජීවිතය ම කරගත් කෙනෙක් ද...

කොහෙත්ම නැහැ. මං වැඩ කළේ ළමයි ඉස්කෝලෙ ගත කරන උදේ සහ දවල් වරුව විතරයි. මගේ ජීවිතේ පළමු තැන වුණේ ළමයි සහ මගේ මහත්තයා. දරුවො ඉස්කෝලෙ ඇරිලා එන්නෙ මාත් එක්ක. හවස පන්ති අරන් ගියෙත් මං. ඊළඟට ළමයි අරන් මං කෙළින් ම යන්නෙ ගෙදර. ආයේ මං සාප්පුවට යන්නෙ පහුවැනිදා උදේ. මගේ මොන තරම් හදිසි වැඩ තිබුණත් ළමයි දෙන්නගෙ අධ්‍යාපනයට දශමයකවත් පාඩුවක් වෙන්න දුන්නෙ නැහැ.

ඔබේ පුතාලත් ව්‍යාපාරයට සම්බන්ධයිද...

මගේ ලොකු පුතා දුලාන්, IT ඉංජිනේරුවෙක්. අවුරුදු දහයක් ඇමෙරිකාවෙ වැඩකරලා ඇවිත් දැන් අපේ ව්‍යාපාරයේ වැඩ. දුලංක මගේ පොඩි පුතා, එංගලන්තයේ මූල්‍ය උපාධියක් කරලා, දැන් අපේ ආයතනයේ ෆයිනෑන්ස් ඩිරෙටක්ටර් හැටියට වැඩ. මේක අපි හැමෝම වැඩකරන අපේ පවුලේ ව්‍යාපාරයක්. තව අවුරුදු ගාණක් ගියත් මං කැමැති Spring and Summer, පවුලේ ව්‍යාපාරයක් විදියට පවතිනවට.

හුඟක් දේශීය කර්මාන්තකරුවන්ට තිබෙන කලකිරීම ඔබ තුළ නැති හැඩයි...

මේ රටේ කර්මාන්තයක් කරගෙන යන්න බැරි තරමට බදු බර වැඩියි තමයි. ඒත් තව තවත් මහන්සි වෙලා වැඩ කරනවා හැර කර්මාන්තය අත්හැර දමන්න මං හිතන්නෙ නැහැ. තුන්සිය පණහකට රැකියා හදලා තවත් දෙදහස් ගණනකට වක්‍රව රැකියා හදලා මං ‍ෙම්ක නතර කළොත් මොකද වෙන්නෙ? අපි යමක් උපයන්නෙ රටටත් වැඩක් කරමින්. සල්ලි, වෙන ආයෝජනයකට දාලා, මේ තරම් මහන්සි නොවී හම්බ කරන්න පුළුවන් ක්‍රම තියෙන බව ඇත්ත. නමුත් මහන්සියෙන් කර්මාන්තයක් කරගෙන යනකොට තියෙන සතුට, එතැන නැහැ. මගේ අක්කා ඇමෙරිකාවේ පදිංචි. මල්ලි ඕස්ට්‍රේලියාවේ. මං විතරයි ලංකාවට වෙලා මේ තරම් වද වෙවී කර්මාන්තයක් කරන්නේ. ඒ වුණත් රටට වැඩ කරනවා, කියන සතුටත් එතැනමයි.

මහන්සි නැද්ද මේ ජීවිතේ...

මට දැන් වයස 68 ක්. අවුරුදු 24 ක් තිස්සෙ මං බිස්නස් කරනවා. ඒකත් සාප්පුවකට වෙලා ඇඳුම් විකුණන එක නෙවෙයි. රෙදි මිලට ගන්න පිටකොටුවට ගිය මං, දැන් චීනෙට, බැංකොක්වලට යනවා. ඇඳුම් ඩිසයින් කරනවා. ෆැක්ටරිය ඇතුළෙ හැම දේම බලනවා. ප්‍රදර්ශනාගාර බලන්න එළියට යනවා. මහත්තයා ගැන දරුවො ගැන බලනවා. වැඩිවෙලාවක් එක තැනක ඉන්න ජීවිතයක් නෙවෙයි මං ගත කරන්නේ. මමත් දන්නෑ මං මේ තරම් දේ කරන්නෙ කොහොමද කියලා. ඇත්තට ම මගේ සැමියා මේ හැම දේම මට පහසු කර දුන් කෙනෙක්. ඒ වගේම, දැන් මගේ දරුවො ඒ බර කරට අරන්.

ඔබ සැමියා ගැන හුඟක් කියනවා...

නොකියා බැහැ. ඔබ දන්නවද, විවාහ වෙන්න කලින් අපි අවුරුදු හතක් යාළුවෙලා හිටියා. ඒ කාලය තුළ එයා මං වෙනුවෙන් හුඟක් රත්තරන් බඩු හැදුවා. ‘කවද හරි ප්‍රයෝජන වෙන්නෙ රත්තරන් තමයි...’ එයා නිතර ම කිව්වා. අපි ව්‍යාපාරය පටන් ගන්නකොට, අමාරු කාල එනකොට, අනන්තවත් මේ බඩු උකස් කළා. එයා හදපු රන් බඩු සිය වාර ගණනක් විතර බිස්නස් එක වෙනුවෙන් උකස් කරලා ඇති.

ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳ ම ආදර්ශය කුමක් ද...

අම්මා දීපු මැෂිමෙන් සළුසලට ඇඳුම් මහලා, මේ ගමන පටන් ගත්තු මං අවුරුදු 10 ක් යනකල් හිටියෙ කුලී ගෙදරක. අපේ ම ගෙදරක... අපිට ම කියලා වාහනයක ආසාව තිබුණත්, ඔළුව උස්සනකල් ඒ සැපවත් ජීවිතය අමතක කළා. උපයන හැම දේම යට කළේ බිස්නස් එකට. කාලා, බීලා, ඇඳලා, මහත්තයා හම්බකරන දේ වියදම් කරලා නාස්ති කරන බිරිඳක් වුණා නම් අද අපි මෙතැන නැහැ. සැපවත් ජීවිතයක් උදාවන තුරුම මං වැඩ කළා. ඒ මහන්සියට නිමක් නැහැ. ජීවිතයේ වෙහෙස දැනුණු තැන් අනන්තයි. වැටුණු තැන් අනන්තයි. ඒ හැම තැනකම මොහොතක් නැවතිලා මං මගේ ලස්සන හීනය මතක් කර ගත්තා. හිතට ජවය ගත්තා. කැපවුණා. පැය 24 ම වැඩකරපු දවස් ඕන තරම්. අද මං ගිමන් හරින්නෙ, ඒ මහන්සිය උඩ ගොඩනැඟුණු අනාගතය උඩ. සිඟිති මුණුපුරු මිණිපිරියන්ගෙ සතුට විඳගෙන. ඉතින්, මගේ ජීවිතය දිහා බලලා ඔබට ඉගෙන ගන්න දේ, ඕනෙ තරම්.

අදහස්