මත් සටනට උර දුන් පොලිස් විරුවන් ඇගැයුණු දා... | සිළුමිණ

මත් සටනට උර දුන් පොලිස් විරුවන් ඇගැයුණු දා...

ඡායාරූප - සුදත් මලවීර

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ චමින්ද අබේවික්‍රම නිලධාරියා 2017 මැයි 9 වැනිදා පිළියන්දලදීත්, මොනරාගල පොලිසියේ ප්‍රසන්න විජේබණ්ඩාර යන නිලධාරියා 2018 මාර්තු 7 වැනිදා දින දිවි පිදුවේද මොනරාගල පොලිස් වසමේ කොලොම්මින්නහිදී ගංජා හේනක් වැටලීමේදී ජාවාරම්කරුවන් එල්ල කළ වෙඩි පහරක් නිසා පේරාදෙණිය රෝහලේ ජීවිතයත් මරණයත් අතර දින ගණනක සටනකින් පසුවයි.

එසේ මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට දිවි පරදුවට තබා කැපවූ නිලධාරීන් ඇතුළු සමස්ත පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 1132ක් ජනපති පොලිස් ප්‍රශංසා ලැබුවේ පසුගිය 28 වැනිදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති විශේෂ උත්සවයකදීයි.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට එවැනි රාජ්‍ය උත්සවයකින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට කැපව සිටින පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එකවර ඇගැයීම ද විශේෂත්වයකි.

ත්‍රස්තවාදී අරගලයෙන් පසු රටටම පිළිලයක් වී තිබෙන මත්ද්‍රව්‍ය භාවිතයෙන් මෙරට තරුණ පරපුර ඇතුළු අනාගත පරම්පරාව ගලවා ගැනීමට කැප වන පොලිසිය සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් 21 දෙනෙකුට පොලිස් නිලධාරියකුට ලැබිය හැකි ඉහළතම ගෞරව සම්මානය වන ජනාධිපති පොලිස් වීරතා පදක්කම එහිදී පිරිනැමිනි. ඊට අමතරව පොලිස් දක්ෂතා පදක්කම් 57ක් සහ සෙසු 1054 දෙනා ජනාධිපති පොලිස් ප්‍රශංසා ප්‍රදානයෙන් පිදුම් ලැබූවේ කරන ලද සේවයට ගරු බුහුමනක් ලෙසිනි.

එම පිරිස අතර මත්ද්‍රව්‍ය වැටලීම්හිදී දිවිපිදූ චමින්ද අබේවික්‍රමගේ බිරිය වන ශානිකා මධුවන්ති සහ ප්‍රසන්න විජේබණ්ඩාරගේ බිරිය අනෝමා ප්‍රියංගනී ද වූහ. එම විරුවන් එසේ සම්මානයට පාත්‍රවෙද්දී වත්මනෙහි මත්ද්‍රව්‍ය වැටලීම්හිදී සුවිශේෂ නායකත්වයක් දෙන පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී මෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් මෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මෙන්ම නීති කොට්ඨාසයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාද ජනාධිපති පොලිස් වීරතා පදක්කමෙන් පිදුම් ලැබූවේ ජනපතිවරයාගේ විශේෂ ඇගැයීමකටද උත්සව සභාව තුළදී ලක්වෙමිනි.

එසේම පසුගිය දිනවලදී බේරුවලදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 231, දෙහිවලදී වැටලීම් කළ මෙරටින් කොටුවූ ඉහළතම හෙරොයින් තොගය වූ කිලෝග්‍රෑම් 278 සහ ආසන්නතම මහා පරිමාණ වැටලීම වූ කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 95 ඇතුළුව හෙරොයින් කිලෝග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක් මෙන්ම 2016දී කොකේන් කිලෝ 85ක් අත්අඩංගුවට ගැනීමේ මොළකරුවා වන පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ උපපොලිස්පරීක්ෂකවරයා ද විය. තවද මත් ජාවාරම්කරුවන්ගේ ගත-සිත බියෙන් සලිත කරමින් මත් ජාවාරමේ සුවිශේෂ චරිතයක් වන පිළියන්දලදී මත් ජාවාරම්කරුවන්ගේ මරාන්තික වෙඩි ප්‍රහාරයකට ලක්වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ද විය.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැය පහකට අධික කාලයක් පැවැති උත්සවය පුරාවටම රැඳි හුන් ජනපතිවරයා රාජ්‍ය උත්සවයකට එක්ව වැඩිම කාලවේලාවක් රැඳි සිටි උත්සවය එය වනවාට ද සැක නැත.

එසේ රටේ නායකයා එම උත්සවය තුළ රැඳී සිටීමෙන්ම ගම්‍ය වනුයේ ජනපතිවරයාට මෙරටින් මත් උවදුර තුරන් කිරීමට කෙතරම් උනන්දුවක් සහ කැපවීමක් තිබේ ද යන්නයි. එම උත්සවය අමතමින් ජනපතිවරයා පැවැසූවේ, ත්‍රස්තවාදී අරගලයෙන් පසු රටටම පිළිලයක් වී තිබෙන මත් උවදුර තුරන් කිරීමට කැපවන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අනිවාර්යයෙන්ම මරණ දණ්ඩනය දිය යුතු බවත්ය.

එසේම මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් අධිකාරියක්ද පිහිටුවන බව කී ජනපතිවරයා මත්ද්‍රව්‍ය වැටලීම් වෙනුවෙන් නවීන තාක්ෂණය කඩිනමින්ම මෙරට නිලධාරින්ට ලබා දීමට අවශ්‍ය කටයුතු යොදන බවත්ය. ඒ අනුව මෙරට නිලධාරීන් කිසිදු නවීන තාක්ෂණික මෙවලමක් නැතිව මත්ද්‍රව්‍ය කිලෝ ගණනින් කොටු කරගනිමින් රට වෙනුවෙන් කරන මෙහෙය ද මහත් සේ අගය කළේය.

2015 වසරේදී රටේ නායකත්වයට පත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන් 'මතින් නිදහස් රටක්' යන තේමාවෙන් යුතුව ජනාධිපති මත්ද්‍රව්‍ය කාර්ය සාධක බළකායක්ද පිහිටුවමින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට මේ වන විට රට තුළ සුවිශේෂ නායකත්වයක් දෙමින් සිටී. උත්සවයේදී පොලිස් වීරතා පදක්කමක් ජනපති දෝතින් ලබාගත් මියගිය ප්‍රසන්න විජේබණ්ඩාරගේ බිරිය අනෝමා මහත්මිය අපට කීවේ,

“මගේ තුන්වැනි දරුවා හම්බවෙන්න ඉද්දියි මහත්තයා රට වෙනුවෙන් දිවි පිදුවේ. ඔහු රට වෙනුවෙන් කළ සේවයට මේ ලැබිච්ච පදක්කම මට ලෝකයක් වටිනවා. දරුවෝ ලොකු වුණාම තාත්තා ගැන ඇහැව්වම මට දැන් පෙන්වන්න දෙයක් තියෙනවා. රට වෙනුවෙන් දිවි පුදමින් මගේ මහත්තයා වගේ අය වෙනුවෙන් කළ සේවය අගයමින් මෙවන් සම්මානයක් පිරිනැමීම මම මහත් සේ අගය කරනවා.“

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු මේ සම්මාන ප්‍රදානය මෙරට මත්ද්‍රව්‍ය වැටලීම්හි නිරත සෙසු ආයතන වෙනුවෙන්ද නුදුරේදීම ක්‍රියාත්මක කරන බව ජනපතිවරයා එම උත්සව සභාව අමතමින් පැවැසුවේ මත්ද්‍රව්‍ය මෙරට තුළ ව්‍යාප්ත කරන්නන් ජාතියේ ද්‍රෝහීන් ලෙසද සලකමිනි.

අදහස්