බූස්සට මරණ බිය ගෙනෙන පොලිස් අවනඩුව | සිළුමිණ

බූස්සට මරණ බිය ගෙනෙන පොලිස් අවනඩුව

  • රජ්ගම සහ ගාල්ල පොලිසි පැමිණිල්ලවත් භාරගෙන නෑ
  • පැහැර ගැනීමට දින කීපයකට පෙර බුද්ධි අංශයෙන් කියා තොරතුරු සොයලා
  • පැහැර ගැනීම කළේ පොලිස් නිල ඇඳුම ඇඳපු පිරිසක්

පසුගිය විසිහය වැනිදා ගාලු - කොළඹ මාර්ගය අවහිර විය. ඒ උද්ඝෝෂණයක් හේතුවෙනි. 'පොලිසිය නැද්ද මංජුයි රසියි හොයලා දෙන්න', 'ඉන්න තැනක තතු කියන්න - ඇයිද මෙහෙම බොරු කියන්නෙ', 'පොලිසියක් අපට නැද්ද - රාජකාරි කරලා දෙන්න' ආදි පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂකයෝ රජ්ගම මංසන්ධියේදී ගාලු පාර හරස් කළහ. උද්ඝෝෂකයන්ගේ චෝදනාව වූයේ බූස්ස රත්න - උදාගම තරුණයන් දෙදෙනෙකු පොලිසියෙන් ආයුධ සන්නද්ධව පැමිණ පැහැරගෙන ගිය බවය.

එසේ පොලිසියෙන් යැයි පවසා පසුගිය 23 වැනිදා (බදාදා) දහවල් 10.15 ට පමණ රත්න-උදාගමටම පැමිණ පැහැරගෙන ගොස් තිබුණේ 33 හැවිරිදි තිදරු පියෙකු වන මංජුල අසේල කුමාර සහ 31 හැවිරිදි එක්දරු පියෙකු වන රසින් චින්තක යන දෙදෙනායි.

රසින්, ධීවර වරායෙන් මාළු මිලට ගෙන මීගමුවට ප්‍රවාහනය කළ තොග ව්‍යාපාරිකයෙකි. මංජුල කුකුළු මස් ව්‍යාපාරයක් කරගෙන ගිය අයෙකි. දෙදෙනාම සමාජයට කරදරයක් හිරිහැරයක් නොවන ආකාරයෙන් සිය ව්‍යාපාරවල නිරත වූවෝ බව ගම්මු පවසති.

පැහැර ගැනීම සිදුවනවිට මංජු රැඳී සිට ඇත්තේ රසින්ගේ නිවෙසේය. කළු පැහැති කේ.ඩී.එච් වර්ගයේ වෑන් රථයකින් සහ සුදු පැහැති කාර් රථයකින් ටී 56 ගිනි අවි අතැතිව පොලිස් නිල ඇඳුමින් සැරැසි පැමිණි 13 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් රසින්ගේ නිවසේදී ඔවුන් දෙදෙනා පැහැර ගත් බවට දෙදෙනාගේ බිරියන් ඇතුළු ගමේම පිරිස චෝදනා කරති.

පුවත්පත මුද්‍රණයට යන මොහොත වන විටත් මේ පැහැරගැනීම පිළිබඳ සාධනීය හෝඩුවාවක් නොවූනි.

පැහැර ගැනීමට එරෙහිව ගම්වාසීන් කළ උද්ඝෝෂණය ඉදිරියට පැමිණි ගාල්ල සහකාර පොලිස් අධිකාරි රසිත් ගමගේ උද්ඝෝෂකයන්ට පවසා තිබුණේ සතියක් තුළ දෙදෙනා ගැන තොරතුරක් ලබා දෙන බවය.

දෙදෙනාගේ බිරියන් ඇතුළු සියලු ඥාති-හිතමිත්‍රාදීන් තරයේ ප්‍රකාශ කරන්නේ පැහැර ගැනීම සිදුකළේ පොලිසිය බවයි. ඔවුන්ට ඒ සම්බන්ධව කිසිම දෙගිඩියාවක් නැත. තරුණයන් පැහැරගෙන යාමට එරෙහිව පොලිසියට කළ පැමිණිල්ලවත් මුලින් රජ්ගම පොලිසිය හෝ ගාල්ල පොලිසිය බාර නොගත් බවටද චෝදනා එල්ල විය. මේ පිළිබඳව සොයා බැලීමට පසුගිය දිනෙක අපි රත්න-උදාගම ට ගියෙමු. එහිදී දෙදෙනාට සිදුවූ දේ ගැන මුලින්ම අපට කරුණු කීවේ මංජුල අසේලගේ බිරිය මංජුලා සමන්තිය.

“අපේ කඩේ එක තියෙන්නෙ ගමට හැරෙන පාර අද්දර පාලමගොඩ... මායි මහත්තයයි හැමදාම උදේ 8.30 ට කඩේට යනවා. එදා මායි දුවයි කඩේට ගියේ. මහත්තයා ගෙදර මස් සුද්ද කරන කෙනත් එක්ක හිටියේ. මම 9.15ට විතර කෝල් කළා. කෝල් කරලා කිව්වා මස් ඉවරයි අරන් එන්න කියලා. ඊට පස්සෙ එයා ත්‍රිවිල් එකෙන් මස් අරගෙන ආවා. මං මස් ටික ෆ්‍රීස් කරන අතරේ මහත්තයා කඩේදිම උදේ කෑමත් කෑවා. එයා කාල ඉවර වෙනකොටම රසී අයියත් කඩේට ආවෙ. දෙන්නා විනාඩි 15ක් විතර එතැන කතා කර කර සිටියා. රසී අයියා කඩෙන්ම මසුත් අරගෙන ගෙදර ආවා. අපේ මහත්තයත් ඊට විනාඩි දහයකට විතර පස්සෙ ගෙදර ආවා ඉතිරි මස් ටිකත් අරන් යන්න.

අනේ ඊට පැය භාගයකට විතර පස්සෙ තමයි අම්මා ඇවිල්ලා කිව්වෙ, කළු වෑන් එකකුයි සුදු කාර් එකකුයි ඇවිල්ලා මංජු අරන් ගිහිල්ලා කියලා.

මේ වාහන දෙකේම ඇවිල්ලා තියෙන්නෙ පොලිස් යුනිෆෝම් ඇඳපු අය. 13ක් විතර ආවා කියලයි දැකපු අය කියන්නෙ. මාලා නැන්දයි, නිල්මිණි නැන්දයි ඇස් දෙකෙන්ම දැකලා තියනවා.

පැහැරගත්තවුන් දුටු අය පවසනුයේ එම පිරිස පොලිස් නිල ඇඳුමෙන් සිටි හෙයින් වැඩි අවධානයක් යොමු නොකළ බවය. එහෙත් අඩුම තරමේ පිරිස පැමිණි රථවල අංක හෝ සඳහන් කරගෙන තිබුණේ නැත. මේ පැමිණියේ පොලිසිය බවට ගම්වැසියන්ට එපමණටම විශ්වාසයක් තිබිණි.

දෙදෙනා පැහැරගත් නිවෙසට මඳ දුරකින් පිහිටි රසින්ගේ නිවෙසේ තිබෙන සීසීටීවී කැමරාවල ඔහු නිවෙසින් දහයයි පහට පමණ නික්ම යන අයුරු සටහන් වී තිබේ. අප නිවෙසට යන විටත් හඬා වැටෙන රසින්ගේ එකම පුත්‍රයා පවසන්නෙ 'අනේ මාමේ මගේ තාත්තා ‍කොහෙන් හරි හොයලා දෙන්න ' කියාය. තම පියාණන්ට වූයේ කුමක්ද යන්න හත් හැවිරිදි දෙවිඳුට නිශ්චිත වැටහීමක් නොවේ. එහෙත් රසින්ගේ බිරිය එම්. දීපානි අපට කීවේ මෙවැන්නකි.

‘මහත්තයා ගාල්ලෙ ෆියර් එකට ගිහින් උදේ 9.58 වෙනකොට ගෙදරට ආවා. සීසීටීවි කැමරාවේ තියෙනවා. ඒ ඇවිල්ලා මගෙන් ඇහැව්වා කන්න මොනවද තියෙන්නෙ කියලා. පස්සෙ කිව්වා කාලා ආයෙත් මං යන්න ඕනෑ ෆියර් එකට. සල්ලි දෙන්න තියෙනවා කියලා.

මං ඇහැව්වා, ඇයි දැන් ෆියර් එකට ගිහින්නේ ආවේ කියලා. එතකොට කීවා, නෑ ඒ බෝට්ටුවේ කෙනා හිටියෙ නෑ. ඒක නිසා සල්ලි දෙන්න ආයෙත් මං යන්න ඕනෙ කියලා. ඒ කියලා තමයි ගෙදරින් එළියට ගියේ. ඒ ගිහින් විනාඩි දහයක් ගියේ නෑ පණිවිඩේ ආවා මෙහෙම පොලිසියෙන් ඇවිල්ලා අරන් ගියා කියලා.

ඉතින් අපි ඒ වෙලාවෙම රජ්ගම පොලිසියට ගියා... පොලිසිය අපේ පැමිණිල්ල බාරගත්තෙත් නෑ. අපට රජ්ගම පොලිසියෙන් කීවා, දැන් ගෙදර යන්න... කොහේ අරන් ගියත් පහ වෙනකොට නිව්ස් එකක් ඒවි කියලා. අපි එහෙම්ම ගාල්ල පොලිසියට ගියා. ගාල්ලෙන් කීවා, යන්න හවසට මෙසේජ් එකක් එයි කියලා. ඉතින් එහෙනුත් ආවා. ඒත් අපිට කිසිම මෙසේජ් එකක් පොලිසි දෙකෙන්ම ආවෙ නෑ. පස්සෙ හවස 6.30ට විතර ආයෙ රජ්ගම පොලිසියට ගියා. ඒ ගියාම මෙසේජ් එකක් ආවෙ නෑ කියලයි පැමිණිල්ල ලියාගත්තෙ.

පැහැර ගැනීමට දින දෙකකට පෙර (21) වැනිදා බුද්ධි අංශයෙන් යැයි පවසා කෙනෙකු පැමිණ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් මේ දෙදෙනා කරනු ලබන ව්‍යාපාර ගැන විමසා, දෙදෙනාගේ නම් පමණක් නොව තවත් අයගේ නම් බුද්ධි අංශයේ සඳහන්ව ඇති බව කියා ඇතැයි ඥාතින් අපට කීවේය. රසිගේ බිරිය පුන පුනා පවසනුයේ ඔවුන් සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්නේ මේ දෙදෙනා පැහැරගෙන ගියේ පොලිසියෙන් බවය.

‘අපට කිසිම කෙනෙකුගේ පිළිසරණක් නෑ.. තිබෙන එකම සරණ මාධ්‍යයේ පිහිට පමණයි.‘ ඔවුහු කියති.

ගම්වාසීන්ගේ සැකය පොලිසිය දෙසට යොමු වීමට තව තවත් හේතු සාධක තිබේ. ඒ දෙදෙනා පැහැරගෙන ගොස් විනාඩි දහයකට පමණ පසුව එම ස්ථානයට පැමිණි රජ්ගම පොලිස් ස්ථානයේ නිලධාරියෙකු නිසාය. ඔහු පැමිණ විමසා තිබුණේ මංජුත් සමඟ රසිත් අරන් ගියාදැයි යනුවෙනි. ඒ ගැන ඥාතින්ට තිබෙනුයේ විශාල සැකයකි. රජ්ගම පොලිස් නිලධාරියා එසේ විමසා තිබුණේ රසිගේ නැඟණිය වූ විශා කාන්තිගෙනි. ඇය අපට ඒ කතාව කීවාය.

‘ මං ඈතින් හිටියේ... ඒ කෙනා ඇවිල්ලා මංජු ගැන අහලා... ඊට පස්සෙ මං ඇවිල්ලා කිව්වා අයියෙ මෙහෙම කරදරයක් වෙලා කියලා. එතකොටම ඔහු කිව්වා, මම දන්නවා කරදරේ, මංජුත් එක්ක රසිත් අරන් ගියාදැයි ඇහැව්වා.‘ යනුවෙනි.

ඒ වන විට ඥාතින් පොලිසියට පැමිණිල්ලක් හෝ කර තිබී නැත. පසුව රජ්ගම පොලිසිය තුළදී ඥාතින් විසින් එම පොලිස් නිලධාරියාව හඳුනා ගැනුණි. තමන් එසේ විමසූ බව පොලිස් නිලධාරියා පිළිගත්තේය.

පොලිසියට එල්ල වන චෝදනාවන් සමඟින් සිදුවී තිබෙන සිද්ධිය ගැන අප රජ්ගම පොලිස් ස්ථානාධිපති විතාන මහතාගෙන් විමසීය.

‘ඒ නිලධාරියා අපේ පොලිසියට අනුයුක්ත බුද්ධි නිලධාරියෙක් ලෙස රාජකාරියේ නිරත වෙනවා. ඔහු එහෙම ගිහින් අහලා තියෙන්නෙ ඔහුගේ රාජකාරියට අදාළවයි... අපට ඔය විදිහට මිනිසුන් පැහැරගෙන යන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. කිසියම් සිදුවීමක් වෙලා තියෙනවා. අපි ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරමින් සිටින්නෙ. දැනට යම් යම් හෝඩුවාවන් කිහිපයක් ලැබී තිබෙනවා. ඒ අනුව ඉක්මනින්ම මෙය අනාවරණය කරගත හැකිවේයැයි‘ ස්ථානාධිපතිවරයා පැවැසීය.

පාතාල අපරාධකරුවන් නිදැල්ලේ සැරිසරති. ඒ අතර පොලිසිය හෝ වෙන ඕනෑම පිරිසක් නිවෙසටම පැමිණ පුද්ගලයන් රැගෙන යති. සියල්ල උභතෝකෝටිකයකි. පොලිසියේ නම විකුණා වෙනත් පාර්ශ්වයක් අනීතික අපරාධ කරන්නේ නම් එය අනාවරණය කරගැනීම පොලිසියට අනිවාර්යය. එය වගකීමකට වඩා පොලිසියේ විලිලජ්ජාව පිළිබඳ ප්‍රශ්නයක් වන හෙයිනි. කුමක් හෝ නොවැටහෙන හේතුවක් නිසා මේ දෙදෙනා සැඟව සිටිනවානම් එයද ඉක්මනින්ම අනාවරණය කරගැනීම පොලිසිය විසින් සිදු කළ යුතුය.

අඹ යහළුවන් මෙන් දිවි ගෙවූ මංජුල අසේලගේත්, රසින් චින්තකගේත් අතුරුදන්වීමේ තිරය පිටුපස තිබෙනුයේ උභතෝකෝටිකයකි. ඥාතින්ගේ චෝදනාව පොලිසියටය. පොලිසිය මෙවැනි අපරාධ කරනවා නම් ඉන් කියැවෙන්නේ මේ රටේ ප්‍රමාණය ය.

මේ අපරාධය කළේ පොලිස් වෙස් ගත් අපරාධකාරයන් පිරිසක් නම් එවැනි රටක ජීවත් වීමේ බිහිසුණුකමය. රට තවත් නිදහස් දිනයක් අබියසය. එහෙත් සමාජය මරණ බියෙන් නම් ඒ සමරන නිදහසේ අරුතක් නැත. මේ ගැටලුව නිරාකරණය කිරීම නිදහස් රටක දිවි ගෙවන සමස්ත ජනතාව වෙනුවෙන් කරන යුතුකමක් වන්නේ ඒ නිසාය.

 

 

අදහස්