කාකි ඇඳුමෙන් වැසුණු ගාලු පුරේ මත් ජාවාරම | සිළුමිණ

කාකි ඇඳුමෙන් වැසුණු ගාලු පුරේ මත් ජාවාරම

ඡායාරූප - ප්‍රිය දර්ශන
  • මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කෙරෙන්නේ ත්‍රිරෝද රථ රියදුරන් මාර්ගයෙන්
  • විදෙස් ජාතිකයනුත් සම්බන්ධයි
  • ශක්තිමත්ව සිටි හික්කඩුවේ තරුණයන් අද වැහැරිලා
  • පාතාල සාමාජිකයන්ටත් කප්පම් ගෙවලා
  • පොලිස් ලොක්කාට රට සවාරි

පසුගිය විසි දෙවැනිදා කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගැනුණු හෙරොයින් තොගය සමඟ විදෙස් ජාතිකයන් තිදෙනෙක් සහ මෙරට දෙදෙනකුද කොටු වූයේ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි ඒකකය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ සූක්ෂ්ම මෙහෙයුමකිනි.

එ් වැටලීමේ මූලිකයා වූ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ උපපොලිස් පරීක්ෂකවරයාට තොරතුරක් ලැබුණේ විදෙස් ජාතිකයන් පිරිසක් ගෝල්ෆේස් ටෙරස්හි අයිස්ලන්ඩ් ගොඩනැඟිල්ලෙ දින කිහිපයක සිට රැඳි සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වන බවයි.

හෝඩුවාව ගැන විවිධ වෙස්ගෙන දින කිහිපයක සිට ම ආවේක්ෂණ රාජකාරියේ යෙදුණු බුද්ධි නිලධාරින් නිසි කල් යල් බලමින් සිටියේ මේ ජාවාරමට මෙරටින් සම්බන්ධ වනුයේ කවුරුන්ද යන්න අනාවරණය කරගැනීමටයි.

22 වැනිදා ‍දහවල් 11ට පමණ අයිස්ලන්ඩ් ගොඩනැඟිල්ලේ සිට පැමිණි 29 හැවිරිදි චම්ස් ඉෂන් ක්වාජා නමැති මුස්ලිම් සම්භවයක් සහිත ඇමෙරිකානු ජාතිකයා ලිබර්ටි ප්ලාසාහි තුන්වැනි මහලේ විදුලි සෝපානය අසලදී ඉණ බැඳි පොකැට්ටුවකින් පාර්සලයක් ගෙන මෙරට වැසියන් දෙදෙනෙකුට ලබා දෙන ආකාරය එසේ රැකවල්ලා ගෙන සිටි නිලධාරීන්ගේ ඇස ගැටිණි. මෙරට වැසියන් දෙදෙනා පසුපස හඹා ගිය නිලධාරීන් ඔවුන් දෙදෙනා පරීක්ෂා කරද්දී ලබා දී තිබුණේ හෙරොයින් කිලෝවක පමණ පාර්සලයක් බව හෙළි විණි. එසේ එදින අත්අඩංගුවට ගැනුණේ හික්කඩුවේ පදිංචිකරුවන් දෙදෙනකු වන 41 හැවිරිදි ඉන්ද්‍රජිත් පත්මකුමාර හෙවත් කළුවේ සහ 39 හැවිරිදි චමින්ද දිමුතු අමරසිංහ හෙවත් නීරෝ ය.

මෙලෙස විදෙස් ජාතිකයන්ගෙන් මත්ද්‍රව්‍ය රැගෙන යෑමට පැමිණි මෙරට දෙදෙනා ගැන බුද්ධි නිලධාරින් සතුව කිසිදු තොරතුරක් නොවිණි. එහෙත් දෙදෙනා අත්අඩංගුවට ගැනීමත් සමඟ දකුණු පළාත ඇතුළු හික්කඩුව ප්‍රදේශයේ විශාල හා-හූවක් ඇති වෙමින් තිබෙනුයේ ඔවුන් කළ මත් ජාවාරමේ සියලු තතු ප්‍රසිද්ධ වූ හෙයිනි.

හික්කඩුව වැසියන් නම් පවසනුයේ නීරෝ සහ ඔහුගේ නිවුන් සොහොයුරු ජැකී එක්ව ෆන්කි ද බාර් රාත්‍රි සමාජ ශාලාව මුල්කොට සිදු කළ සියලු ජාවාරම් හික්කඩුව වැසියන්ට නම් රහසක් නොවූ බවයි. ඒ මුළු හික්කඩුවට ම ලෝකයේ තිබෙන සෑම දහජරාවක් ම මහා පරිමාණයෙන් බෙදා හැරි ස්ථානය ලෙස එ් රාත්‍රී සමාජ ශාලාව ප්‍රචලිත ව තිබූ නිසායි. නිරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ද පවසා තිබුණේ විදෙස් ජාතිකයන් ඉලක්ක කොට මත් ජාවාරම සිදු කළ බවයි.

එහෙත් ඔවුන් විදෙස් ජාතිකයන් පමණක් නොව මෙරට තුළ ද මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදු කළ බවට හෙළි වේ. මේ පිරිස, සංචාරක ව්‍යාපාරයේ නිරතව සිටින ඇතැම් පිරිස් සහ හික්කඩුවේ සංචාරකයන් යන-එන ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් මාර්ගයෙන් මත් ජාවාරම ජයට ම කරගෙන යමින් ඒ හරහා කෝටි ගණනින් මුදල් උපයා ඇති බව වැඩිදුරටත් සොයා ගෙන තිබේ.

රාත්‍රී සමාජ ශාලාවට මුවාවෙන් මේ ස්ථානයේ ජයට ම කෙරීගෙන ගොස් තිබූ තවත් සූදුවක් වනුයේ බුරුවා ගැසීමයි. එහි බූරුවා ගැසීම ට සෞදි, ඩුබායි, යුරෝපා රටවල සිට විදේශිකයන් ද පැමිණෙන බව වාර්තා වේ. එ් රාත්‍රී සමාජ ශාලාවට පැමිණෙන ඕනෑම අයකුට සියලු අවශ්‍යතා සැපයෙන බව ද හික්කඩුව වාසීන් පවසන්නේ ය.

හික්කඩුවේ ලයන් පැරඩයිස් හෝටලයේදී 2015 මාර්තු 23 වැනිදා ඝාතනය වූ රජ්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ සුවච කීකරු ගෝලයන් වන මේ සහෝදරයන් මනෝජ් ඝාතනයෙන් පසු ඔහුගේ රුවට උදේ හවා වන්දනාමාන කරන බව හික්කඩුවේ ප්‍රසිද්ධ රහසකි. ඒ මනෝජ්ගේ කෝටි ගණනක මුදල් කන්දරාවක් ද ඔහුගේ මරණයෙන් පසුව මොවුන් සතු වූ හෙයිනි. මනෝජ් ඝාතනයට මුල් වූයේ ද ෆන්කි ද බාර්හි ඇතිවූ ගැටුමකි.

මනෝජ් ඝාතනයෙන් කිපුණු මේ නිවුන් සහෝදරයන් ඊට එකට එක කිරීමක් ලෙස මනෝජ් සමඟ ෆන්කි ද බාර්හිදී ගැටුම ඇති කරගත් ලොකු නමැත්තා සහ තවත් අයෙක් ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුව ලෙස රුපියල් ලක්ෂ පහක මුදලක් ඉනාසි චමින්ද සහ සුරේෂ් හෙවත් රණා නමැති අපරාධකාරයන් දෙදෙනාට දුන් බවට ද සැලවේ. ඔවුන් දෙදෙනා ද පසුව ඝාතනය වූයේ මනෝජ් මෙන්ඩිස් ඝාතනය කළ පොඩි ලැසිගේ කල්ලියේ පිරිසක අතින් ෆන්කි ද බාර් ඉදිරිපිටදී ම ය.

මතින් තොර චරිතයක් වූ මනෝජ්ගේ හයියෙන් මුලින් සියලු ජාවාරම් සිදු කළ මේ සොහොයුරන් ඔහුගේ මරණයෙන් පසුව තම ජාවාරම් වෙනුවෙන් කොටුකර ගත්තේ දකුණු පළාතේ සිටින එක්තරා උසස් පොලිස් නිලධාරියෙකි. එ් උසස් පොලිස් නිලධාරියා ගාල්ල ප්‍රදේශයෙන් පස්, හය වතාවක් ස්ථාන මාරු කළ ද සති කිහිපයක් ඇතුළතදී ම මාරුව අවලංගු කරගෙන එම ප්‍රදේශයටම පැමිණෙන්නේ මොවුන්ගෙන් ලැබෙන වරදාන නිසාවෙනි. එම නිලධාරියා මෑතකදී මේ ජාවාරම්කරුවන් විසින් සියලු බරපැන දරා පිටරට සංචාරයකට ද යවා ඇති බවක් හෙළි වී තිබේ.

හික්කඩුව හෝ ඒ අවට පොලිසියේ කෙනෙකුගේ මරණ ගෙයක්, මඟුල් ගෙයක් වුවහොත් ඒ නිවෙසේ පැලපදියම් වෙමින් නිරෝලා ලක්ෂ ගණනින් වියපැහැදම් කරන්නෙ තමන්ගේ ම දෙයක් ලෙස සලකමිනි. ඒ තම ජාවාරම් වෙනුවෙන් යටි අරමුණු ඇතිව ය. ඒ අවට පොලිස් ස්ථානයක නම හෙළි නොකළ පොලිස් නිලධාරියෙක් කීවේ,

‘මේ අය කරන සියලුම දහ ජරා බිස්නස් අපි දන්නවා. නමුත් අපට ඒවා වටලන්න හැකියාවක් නැහැ. අපි ගියොත් ඉහළ නිලධාරින් කතා කරලා බණිනවා. ෆන්කි බාර් ඉදිරිපිට ගාලු පාරේ ට්‍රැෆික් බයික් එකක් නතර කරලා රථවාහන රාජකාරියේ යෙදුණත්, ෆන්කි බාර්කාරයෝ ඔය කියන නිලධාරියාට කතා කරලා කියනවා. ඒ උසස් නිලධාරියා පාරේ ඉන්න රාලහාමිට බණිනවා, තමුසෙට මොකද්ද ඔතැන තියෙන රාජකාරිය යනවා ඔතැනින් කියලා. ඔය ෆන්කි බාර්කාරයෝ උසස් පොලිස් නිලධාරින්ට කතා කරන්නෙ අයියෙ, මචං ආදි වචන භාවිත කරමින්. කලිසම් කොට ගහගෙන ඒ ඔෆිස්වලටත් යන්නෙ. අන්න ඒ තත්ත්වය තමයි මෙහේ උදා වෙලා තියෙන්නෙ. මේ උසස් නිලධාරීන් හිටියේ නැත්නම් මේ අය මීට පෙර අපි අත්අඩංගුවට ගන්නෙ... හැබැයි දැන් ඉතින් සියලු දේ හෙළි වෙනවානේ..‘

මීට වසර කීපයකට පෙර කුඩාවට ආරම්භ වූ ෆන්කි ද බාර්හි හිමිකරුවන් මේ වන විට කෝටිපතියන් වී සිටින හැටි දැන් හෙළි වී අවසාන ය. එසේම නීරෝ සමඟ පොලිස් අත්අඩංගුවට පත් කළුවේ නමැත්තා ද මෑතක් වනතුරුම ත්‍රිරෝද රැකියාව කළ අයෙකි. මීට වසර විස්සකට පමණ පෙරදී කළුතර සිට හික්කඩුවට පැමිණි කළුවේ දරුවන් දෙදෙනකු සිටි කාන්තාවක විවාහ කරගත්තේ ඇයගේ සැමියාගේ මරණයෙන් පසුවයි. ඉන් පසුව හික්කඩුවේ ම නතර වූ කළුවේ එක්වරම වාහන මිලට ගනිමින් යමක් කමක් තිබෙන අයෙක් බවට පත්වූ රහස මත් ජාවාරම බව දැන් හෙළිවී අවසාන ය.

කොකේන් සහ හෂිස් තොගයක් ආරුගම්බේ ප්‍රදේශයට රැගෙන යමින් සිටියදී මීට‍ පෙරදී ද මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු නිරෝලා එවර ද පොලිසියට ලක්ෂ ගණනක මුදලක් දී කොකේන් තොගය උසාවියට ඉදිරිපත් නොකර හෂිස් පමණක් ඉදිරිපත් කොට ඇප මත නිදහස් වී තිබේ. මෑත කාලයේදී මොවුන් මත් ජාවාරමට සියලු 'ඩීල්' ගසා තිබුණේ ඩුබායි, ඉතාලිය, හොංකොං ආදි රටවල වෙසෙන ලාංකික ජාවාරම්කරුවන් සමඟිනි. එසේම මොවුන් අවට සිටින විරුද්ධවාදීන් ඇතුළු සියලු පාතාල සමාජිකයන්ට ද කප්පම් මුදල් ගෙවමින් තම ජාවාරම යහතින් කරගෙන ගොස් තිබේ.

උසස් පොලිස් නිලධාරින් ජාවාරම්කරුවන්ගේ වරදානවලට යටත් වීම නිසා මේ මත් ජාවාරමේ නිරතව සිටින නිරෝලා හික්කඩුව ප්‍රදේශයට පැමිණෙන විදෙස් ජාතිකයන් පමණක් නොව, හික්කඩුවේ සර්ෆින් වැනි ක්‍රීඩාවන්හි නිරතව සංචාරක ව්‍යාපාරයේ රැකියාවල යෙදී සිටින තරුණ පරපුර ද විනාශ මුඛයට ගෙන ගොස් ඇති බව කීවේ හික්කඩුව ප්‍රදේශවාසියෙකි.

‘මෙහේ සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙමින් සංචාරක ව්‍යාපාරයට විශාල ශක්තියක් වුණ කොල්ලො ටික හැමෝම පාහේ මේ වන විට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉවරයි. සමහර කොල්ලන්ගේ ඇස් ගිලිලා, කටවල් ඇදවෙලා, ඇඟපත වැහැරිලා ගිහිල්ලා. සාමාන්‍යයෙන් හික්කඩුවේ නයිට් පාටි තියෙන රාත්‍රී සමාජ ශාලා හයක් පමණයි තියෙන්නෙ. මේ ෆන්කි ද බාර්වල පාටියක් තිබුණදාට දවස් ගාණක් යනකල් සුද්දො නැඟිටින්නෙත් නෑ... අපේ කොල්ලො ටික නැගිටින්නෙත් නෑ. හිතාගන්න පුළුවන්නෙ ෆන්කි ගිහින් ආවම වෙන දේ. මේ තත්ත්වෙ මුළු හික්කඩුව ම දන්නවා. ඒත් කරන්න කිසිම දෙයක් නැහැ. සංචාරක ව්‍යාපාරයේ නිරත වෙලා ඉන්න පිරිසකුත් මේ අය අල්ලගෙන ඉන්නෙ... මොකද ඔවුන් විදේශිකයන් සමඟ සැරිසරනකොට මේ අයගේ තැන්වලට යන්න වෙනවා. සමහර විදේශිකයෝ මත්ද්‍රව්‍ය හොයනවා. අපි නෑ කිව්වාම යනවා... මෙන්න පැයකින් විතර එනවා බඩු අරගෙන... ඇවිල්ලා අපිට හිනා වෙනවා... උඹලා දන්නෙ නෑ... නමුත් අපි ලෝකෙ තියෙන ඉස්තරම්ම බඩු හොයාගෙන ආවා කියලා... පස්සෙ අපි හොයලා බැලුවා කොහෙන්ද මේ බඩු ගේන්නෙ කියලා. අන්තිමට මුළු හික්කඩුවම දැනගත්තා... මෙයාලා කරන්නෙ මේ බිස්නස් කියලා. පොලිසියත් දන්නවා. ඒත් වැඩක් නෑ. උසස් පොලිස් නිලධාරියෙක් ඒ සියලු දෙනාගේම කටවල් වහලයි තියෙන්නෙ...‘

එහෙත් මේ වන විට විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නිසාවෙන් නිරෝලාට වැඩ වැරැදි තිබේ. විදෙස් ජාතිකයන්ගේ මත් ජාවාරමේ කොටස්කරුවන් වෙමින් මෙරටට මත්ද්‍රව්‍ය ගෙනෙමින් රට ම විනාශ කරන මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නීතියෙන් කිසිදු ඉඩක් නොදිය යුතුය. මේ වන විට වාර්තා වනුයේ එ් වැටලීම කළ ඇතැම් බුද්ධි නිලධාරින්ගෙන් ද ඇතැම් පොලිස් නිලධාරින් මේ වැටලීම ගැන පුන පුනා කරුණ විමසන බවයි. ඒ නිරෝලාට තිබූ පොලිස් බලය නිසාවෙන් වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

 

අදහස්