ඔහේ බලා හිඳීම | සිළුමිණ

ඔහේ බලා හිඳීම

අපේ තාත්ත මට උගන්නපු එක ම දේ තමයි අපේ ටවුමෙ පැත්තකින් ගලාගෙන ගිය ගඟට ආදරේ කරන්නෙ කොහොමද කියන එක; පීනන එක. ඒකෙන් මගෙ ජීවිතේ වෙනස්වීම් හුඟක් වෙච්චි හින්ද මම තාත්තට හුඟක් ම කෘතඥ වෙනවා. හර්මන් හෙසර්ගෙ නවකතාවෙ සිද්ධාර්ථ වගේ මාත් ගඟ එක්ක ආදරෙන් බැඳුණා. මං ඉපදුණේ කොහෙද කියල මතක් කරන ගාණෙ ගඟ ඇර වෙන එකක් මගෙ මතකෙට එන්නෙ නෑ. තාත්ත මැරිච්ච දවසෙ මට මතක් වුණු එක ම දේ තමයි තාත්ත මාව අඬගහගෙන ගඟට ගිහින් පීනන්ඩ උගන්නපු එක. මගෙ මුළු ළමා කාලෙම ගඟත් එක්ක තමයි ගෙවිල ගියේ. හැමදාම මං පැය හත අටක් හිටියෙ ගඟත් එක්ක. පාන්දර තනියෙන්මයි මං ගං ඉවුරට ගියේ. අහසෙ තරු පිරිලා. ඒව ගං දියේ බබළනවා. ඒක ලස්සන ගඟක්; වතුරත් හරි රහයි. මිනිස්සු ඒකට කිව්වෙ ශක්කර් කියලා. ශක්කර් කියන්නෙ සීනි; ගඟේ වතුර රහයි කිව්වෙ ඒකයි. ඒක හරි අපූරු ධර්මතාවක්.

රෑ අන්ධකාරෙදි අහසෙ තරු නට නටා මුහුද දිහෑවට ඇදෙන හැටි මං ගඟේ දැකල තියෙනවා; ඉර පායන්ඩ ටිකකට කලින් ගඟ තිබුණෙ කොහොමද කියල මං දැකලා තියෙනවා; හඳ පායපුවම ගඟ කොහොමද තියෙන්නෙ කියලත් මං දැකල තියෙනවා; ඉර බහින කොටත් ගඟේ හැටි මං දැකල තියෙනවා; මං ගං ඉවුරෙ තනියම ඉඳගෙන ගඟ දිහෑ ඔහේ බලාගෙන ඉඳල තියෙනවා; යාළුවො එක්ක ඉඳගෙනත් බලාගෙන ඉදල තියෙනවා; බටනළාව වය වයා ගඟ දිහෑ බලාගෙන ඉඳල තියෙනවා; ගඟ දිහෑ බලාගෙන ඉවුරෙ නට නටාත් ඉඳල තියෙනවා; ගඟ දිහෑ බලාගෙන භාවනා කරලත් තියෙනවා; බෝට්ටු පදිද්දි ගඟ කොහොමද තියෙන්නෙ, පීනද්දි ගඟ කොහොමද තියෙන්නෙ කියලත් මං දන්නවා. ඒ තියා වහිනකොට, සීතල කාලෙ, ග්‍රීෂ්ම කාලෙ ගඟ තියෙන හැටිත් මං දන්නවා.

හර්මන් හෙසර්ගෙ නවකතාවෙ සිද්ධාර්ථ කියන චරිතය ගඟත් එක්ක වින්ද අත්දැකීම මට තේරුම් ගන්ඩ පුළුවන්; ඒක මටත් උණා. මුළු මහත් පැවැත්ම ම ගඟක් බවට පත් වෙලා මට පෙනුණා; විශ්වයේ තද බව නැති වුණා; ඒක ද්‍රාවණයක් වුණා; ගලාගෙන ගියා.

ඉතින් මං තාත්තට අප්‍රමාණ ව ස්තූතිවන්ත වෙනවා. ඔහු කවදාවත් මට අංක ගණිතය, භාෂාව, ව්‍යාකරණ, භූගෝල විද්‍යාව, ඉතිහාසය ඉගැන්නුවෙ නෑ. ඔහු මගෙ අධ්‍යාපනය ගැන එච්චර දුරට හිතල තිබුණෙත් නෑ. ඔහුට ළමයි දහ දෙනෙක් හිටියනෙ. ‘ඔයාගෙ පුතා මොන පන්තියෙද ඉගෙන ගන්නෙ?’ කියල කවුරු හරි ඇහුවොත් තාත්ත ‘එයා කීයෙද’ කියල කාගෙන් හරි අහනවා. ඔහු කිසිම අධ්‍යාපන කටයුත්තක් ගැන අවධානයෙන් හිටියෙත් නෑ. ඔහු මට දීපු එක ම අධ්‍යාපනය තමයි ගඟත් එක්ක ආත්මගත වෙන්නෙ කොහොමද කියල උගන්නපු එක.

ඔබ පිපෙන දේවල් එක්ක, ගලන දේවල් එක්ක ආදරෙන් ඉන්නකොට ජීවිතය ගැන වෙනස් දැක්මක් ලබනවා. අද මිනිහ ජීවත් වෙන්නෙ තාර පාරවල්, සිමෙන්ති, කොන්ක්‍රීට් ගොඩනැගිලි එක්ක. ඒව නාම පද; ක්‍රියා පද නෙමේ. අහස උසට නැඟුණු ගොඩනැගිලි වැඩෙන්නෙ නෑ. රෑත් දවාලෙත් පාරවල් එක විදියමයි. පුර හඳ පායපු රෑත් අන්ධකාර රාත්‍රියෙත් ඒව තියෙන්නෙ තියන විදිහටමයි. තාරපාරවල් වලට සිමෙන්තිවලට කොන්ක්‍රීට් ගොඩනැගිලිවලට ඒකෙ ගාණක් නෑ. මිනිහ නාම පද ලෝකයක් නිර්මාණය කරල තමන්ගෙ ලෝකෙ කූඩුවෙලා ඉන්නවා. ගස්වලින් හැදිච්ච ලෝකෙ ගංගාවලින් හැදිච්ච ලෝකෙ කඳුවලින් තරුවලින් හැදිච්ච ලෝකෙ මිනිහට අමතක වෙලා. ඒගොල්ලො ඔය කිසි නාම පදයක් දන්නෙ නෑ දන්නෙ ක්‍රියාපද විතරයි. හැමදේම ක්‍රියාවලියක යෙදිලයි ඉන්නෙ. දෙවියන් වහන්සේ කියල කියන ලෝක ස්වභාවය පුද්ගලයෙක්වත් යම් දෙයක්වත් නෙමේ; ක්‍රියාවලියක් පමණයි.

මං පුංචි කාලෙ පාන්දර ම ගඟට යන්ඩ පුරුදු වෙලා හිටිය කියල කිව්වනේ. පාන්දර ගඟ හරි කම්මැළියි; ගලනවා පේන්නෙත් නෑ. පාන්දර ඉර පායන්ඩත් ඉස්සර ගඟ ගලනවද නැද්ද කියල ඔබට පේන්නෙත් නෑ. ඒක හරිම නිහඬයි. කිසිකෙනෙක් පේන්නෙත් නැති, නාන්ඩ කිසිකෙනෙක් ඇවිල්ලත් නැති ඒ උදේ ගඟ පුදුමාකාර විදියට නිහඬයි. ඒ වෙනකොට කුරුල්ලොවත් ගී කියන්ඩ පටන් අරන් නෑ; කිසිම සද්දයක් නෑ; පවතින්නෙ සද්දයක් නැති එක විතරයි. අඹ ගස්වලින් එන සුවඳ ගඟට ඉහළින් පාවෙවී තියෙනවා.

ඔන්න ඔය වෙලාවෙ ගං ඉවුරෙ ඈත කෙළවරට ගිහින් නිකං ඔහේ ඉඳගෙන ඉන්ඩ මං පුරුදු වෙලා හිටියා. කිසි දෙයක් කරන්ඩ ඕනැ නෑ. නිකං ඔහේ ඉඳන් හිටියම ඇති. එහෙම ඉන්න එකම හරි ලස්සන අත්දැකීමක්. ටිකකින් මං නානවා; පීනනවා. ඉර පායනකොට මං එහා ඉවුරට පීනගෙන යනවා. ඒක මහ විශාල වැලි තලාවක්. මං ඒකෙ වැතිරිලා වේළෙනකං අව්ව තපිනවා. වැල්ලෙ ඔහේ වැතිරිලා ඉන්නවා. සමහර වෙලාවට නින්දත් යනවා.

මං ගෙදර ආවම අම්ම අහනව ‘මුළු උදේ වරුවෙ ම උඹ මොකක්ද කෙරුවෙ’ කියලා. ‘මොකුත් නෑ ’ මං කියනවා. ඇත්තට ම මං මොකුත් කෙරුවෙ නෑනෙ.

‘ඒ කොහොමද? පැය හතරක් තිස්සෙ උඹ නෑ. ඉතින් උඹ මොකුත් කෙරුවෙ නෑ කියන එක වෙන්ඩ පුළුවන් දෙයක් ද? උඹ මොනව හරි කරන්ඩ ඇති’ අම්මා කියනවා. අම්මා හරි. ඒත් මාත් වැරදි නෑ.

ඇත්තට ම මං මොකුත් කෙරුවෙ නෑ. ගඟත් එක්ක ඔහේ හිටිය විතරයි; කිසි දෙයක් නොකර. වෙන දේවල්වලට වෙන්ඩ ඉඩ දීල බලාගෙන හිටිය විතරයි. පීනන්ඩ ඕනෑ කියල හිතුණොත් පීනුවා; ඒක හිතල කරපු එකක් නෙමේ. කිසි දෙයක් කරන්ඩ මගෙ බල කිරීමක් නෑ. නිඳා ගන්ඩ හිතුණොත් නිඳා ගත්තා. ඒ ඒ දේවල් සිද්ධ වෙනවා; හැබැයි කරන කෙනෙක් නෑ. ලෝකස්වභාවය ගැන මට ක්ෂණික අවබෝධ ඥානය පහළ වුණු අත්දැකීම වින්දෙත් ගඟ ළඟදි. මොකුත් නොකර ඔහේ ඉන්නකොට දශලක්ෂ ගණන් දේවල් වෙනවා.

ලබන සතියට ...

අදහස්