ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් නෙදර්ලන්තයෙන් | සිළුමිණ

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් නෙදර්ලන්තයෙන්

මෙරටට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන රටවල් අතර නෙදර්ලන්තයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. සංචාරක කර්මාන්තය සතු දත්තවලට අනුව මෙරටට වැඩිම සංචාරකයින් පැමිණෙන ප්‍රධාන රටවල් 10 අතරට ද නෙදර්ලන්තය අයත් වේ.

ගත වූ 2018 වසර තුළද නෙදර්ලන්ත ජාතිකයින් 57000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ තිබීම විශේෂත්වයකි. මේ පිළිබඳව අවධානය යොමු කළ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය තවතවත් නෙදර්ලන්ත සංචාරකයින් මෙරට සංචාරය සඳහා ආකර්ෂණය කර ගැනීමේ අරමුණ ඇතිව පසුගියදා එරටදී පැවැති Vakantiebeurs සංචාරක ප්‍රදර්ශනය සඳහා මහත් උනන්දුවකින් යුතුව සිය සහභාගීත්වය ලබා දෙන ලදී. එම සහභාගීත්වය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවසන්නේ නෙදර්ලන්ත ජාතිකයින් මෙරට සංචාරය සදහා වැඩි ප්‍රියතාවයක් දක්වන බවත් ඔවුන් තවදුරටත් ඒ සදහා ආකර්ෂණය කර ගැනීමේ උපායමාර්ගික වෑයමක් ලෙස මෙම Vakantiebeurs සංචාරක ප්‍රදර්ශනයට සහභාගී වීම ඉදිරියේදී වැඩි ප්‍රතිඵල ගෙන දෙනු ඇති බවත්ය. මෙම Vakantiebeurs සංචාරක ප්‍රදර්ශනය 1970 වර්ෂයේදී පළමු වරට පවත්වා ඇති අතර මෙවර එය සංවිධානය වී තිබුණේ 49 වැනි වරටය.

පසුගිය ජනවාරි 9 වැනිදා සිට 13 වැනිදා දක්වා නෙදර්ලන්තයේ යුට්රෙච් නගරයේ පැවැති Vakantiebeurs සංචාරක ප්‍රදර්ශනය මේ වන විට ලොව පුරා සංචාරක ආයතන, සංස්කෘතික සංගම් හා සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ වැදගත් තීරණ ගත හැකි රාජ්‍ය අංශයන් යටතේ ක්‍රියාත්මක වන සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ එකිනෙකා හා හමු වීමේ අතිශය වැදගත් ඉසව්වක් බවට පිළිගැනීමටද පත්ව ඇත. එසේම මේ වන විටත් මෙම සංචාරක ප්‍රදර්ශනය වාර්ෂිකව එරට තුළ සංවිධානය වන දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය ලෙසද සලකනු ලැබේ. මෙවර ප්‍රදර්ශනය සඳහා විවිධ රටවල සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරන රාජ්‍ය හා පුද්ගලික ආයතන හා සංවිධාන 1100 කට වැඩි පිරිසක් සහභාගී වී තිබුණු අතර ඊට අමුත්තන් 105,369 දෙනෙකු හා සිය නිවාඩුව සංචාරයේ නිරත වෙමින් ගත කිරීමට කැමැති තවත් 108,779 දෙනෙකු සහභාගී වී තිබීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය මෙම Vakantiebeurs ප්‍රදර්ශනය සඳහා දශකයකට ත් වැඩි කාලයක් තිස්සේ සහභාගි වන අතර නෙදර්ලන්තයේ සිට පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රමාණය සැළ කිය යුතු ලෙස වර්ධනය වීම සඳහා එය බොහෝ දුරකට ඉවහල් වී තිබේ.

මෙවර Vakantiebeurs සංචාරක ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව අංග රැසක් එකතු කර තිබුණි. එම අංග ඇතුළත් මෙරට ප්‍රදර්ශන අංශය නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ඒ. එම්. ජේ. සාදික් මහතා විසින් විවෘත කරන ලද අතර එම උත්සවයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නර්තන කණ්ඩායම විසින් මෙරට සාරවත් සංස්කෘතිය හා විවිධත්වය විදහා දක්වමින් ප්‍රදර්ශනට අලංකෘත බවක් කර තිබීම ප්‍රර්ශනයට සහභාගී වූ බොහෝ පිරිසකගේ අවදානයට ලක් වූ බව කිය වේ. තවද මෙවර ප්‍රදර්ශනයට සමගාමීව සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවන් විශාල පිරිසක් අතර අන්තර් ව්‍යාපාර සැසිද පවත්වා ඇති අතර එමඟින් දෙරට අතර සංචාරක අවස්ථාවන් වර්ධනය කරගැනීමට සහ ව්‍යාපාරික හවුල්කාරිත්වයන් පුළුල් කර ගැනීමටද අවකාශ සැලසී තිබේ.

එයිට්කන් ස්පෙන්ස්, විටෝල්ස් ට්‍රැවල්ස්, ඉකෝ ටීම්, යූ ලංකා ට්‍රැවල්ස්, හෝක් ට්‍රැවල්ස්, සන්වේ හොලිඩේස්, කැම්ලෝ ලංකා ටුවර්ස්, හොටෙල් ලංකා සුපර්කොරල්ස්, ආයුබෝවන් ට්‍රැවල්ස්, සෙනිත් එක්ස්පෙඩිෂන්ස්, ඕක්රේ රෙස්ටෝරන්ට්ස්, බ්ලූ ලංකා ටුවර්ස් හා ඇන්ඩෘ ද ට්‍රැවල්ස් කම්පැනි වැනි ශ්‍රී ලාංකික සංචාරක නියෝජිත ආයතන රැසක්ද මෙම Vakantiebeurs ප්‍රදර්ශනයට සහභාගී වෙමින් නෙදර්ලන්ත සංචාරකයින් මෙරට සංචාරය සදහා ආකර්ෂණය කර ගැනීමේ උපාය සැලසුම් හා මෙහෙයුම් ඉතා සාර්ථක ලෙස සිදු කර තිබේ.

Comments