අම්පාර කැලඹූ පුදුම හිතෙන කුරු මිනිස්සු | සිළුමිණ

අම්පාර කැලඹූ පුදුම හිතෙන කුරු මිනිස්සු

තොට්ටම මිනිස්සු කැලඹී සිටිති. ඒ එක්වරම ප්‍රාදූර්භූත වූ කුරු මිනිසුන් කිහිපදෙනකු නිසාය. අඩි දෙකහමාරකට නොවැඩි උසක් සහිත මේ අමුතු මිනිසුන් දුටු තොට්ටම ඇත්තන් මේ මොහොත වන විටත් කම්පනයෙනි. හේනකට කුඹුරකට යන්නට නොහැකි වූ විපරීත සිතිනි.

හේන් කුඹුරුවලට පැමිණ රෑ පානේ විගඩම් කරන මේ කුරු මනුස්සයන් ගැන කියන කුතුහලය දනවන සුලු කතාව අසාගෙන අපි තොට්ටම ගම්මානයට ගියෙමු. කතාව ඇසෙන්නේ වරාලන්ද හේන් යායෙනි. වරාලන්ද හේන් යායට තොට්ටම සිට අබලන් වූ කුඩා පාරක ටික දුරක් යා යුතුය. කුරු මිනිසුන් කරක් ගහන බව කියන වරාලන්ද හේන් යාය මායිම් වන්නේ මහා වන දහනකටය. අක්කර දහස් ගණනක් පුරා විසිරී ඇති මේ වනදහනේ මිනිස් පහස නොලද තැන් කොතෙකුත් ඇති බව කියැවෙන්නේය. එය කංචිකුඩිච්චි ආරු සිට ඈත උතුරු මායිම තෙක් එක පැහැර දිවෙයි. අප දකින්නේ හේන් යායට ඔබ්බෙන් මහා සමුදුරක් සේ ක්ෂිතිජය තෙක් පැතිරෙන තුරු හිස් නිල්ලය.

අප එහි යන විට ගොවීන් හය හත් දෙනෙක් එක් තැනක රැස් වී සිටියහ. පැත්තක මඤ්ඤොක්කා කොළ සමඟ ඉදෙන බතකි. ආහාරයෙන් පසු අවට ඇති හේන් රැකීමට ඔවුන් පිට වී යා යුතුය. දළඹු උවදුරින් අඩක් වැනසුණු වගාවේ ඉතිරි කොටස වන සතුන්ගෙන් ආරක්ෂා කරගැනීමට පැල් රකින ගොවීන්ගේ පැලට පැමිණ යන මේ කුරු මිනිසුන් පිළිබඳ මේ ගොවීන් කියන කතාව තිගස්වන සුලුය.

කුරු මිනිසාගේ කතාව මුලින්ම තොට්ටමින් ඇසෙන්නේ මීට මාස එක හමාරකට පෙරය. ඔහුව දැක තිබුණේ එම්.ඩී.කරුණාතිලක නම් ගොවියකු විසිනි. ඔහු සිය අත්දැකීම අපට කීවේය.

“එක දවසක් දවල් මම හේනට එද්දි පහළ තිබ්බ මගේ පැල ගිනි ගන්නවා. එකේ පොහොර මිටි තුනක් තිබ්බා. ඒ ඔක්කෝම ඉවරයි. පැලේ එක ගිනි පෙට්ටියක් තියා ගිනි අඟුරක්වත් තිබ්බේ නැහැ. අහල පහල හේනවල නෙමෙයි, මොනම හතුරෙකුවත් එහෙම පැලක් ගිනි තියන්නේ නැහැ. ඒක මේ ගම්වල සිරිත. ඒත් මම එද්දිත් කොහොම හරි පැල ගිනි ගන්නවා. ”

“ඊට පස්සේ අවට හේන්වල අය එකතු වෙලා මට එතැනම තිබ්බ ගහ උඩ පැලක් හදලා දුන්නා. මම එක දවසක් පුතාගේ පැලට ගිහින් ඉඳලා රෑ වෙද්දි ගහ උඩ තියෙන පැලට ඇවිල්ලා හිටියා. මම හිතන්නේ රෑ 11ට විතර ඇති. එකපාරටම කොළ පොඩි වන සද්දයක් ඇහුණා. මම හිතුවේ අලි වෙන්න ඇති කියලා. ටෝර්ච් එක අරන් සද්දේ ඇහුණ පැත්තට ගැහුවා. එක පාරටම දැක්ක දෙයින් මම හොඳටම බය වුණා. අඩි දෙකහාමාරක් විතර උස, පිට දිගට කොණ්ඩෙ වැවුණ කට රතුපාට කුරු මිනිහෙක් ටෝච් එළිය දිහා බලාගෙන සිටියා. මට කුණුහරුපයක් කියවුණා මහත්තයෝ. ඊට පස්සේ මේ මනුස්සයා ඉස්සරහට ආවා. මම හිටිය පැල ළඟට ඇවිත් ඉණිමට ළං වුණා.”

“මම පැලෙන් පොඩ්ඩක් එළියට ඇවිත් ගස් කරුවට පය තිබ්බා. බිම තිබ්බා තව පොඩි පැලක්. මනුස්සයා ඒක ඇතුළට දිව්වා. මම රතිඤ්ඤා දෙකක් පත්තු කරලා දාලා පැලෙන් බිමට බැහලා බලද්දි ඒ මනුස්සයා හිටියේ නැහැ.”

“මීට අවුරුදු තුනකට විතර කලින් මේ වගේ මනුස්සයෙක් පැලකට ආවා කියලා පැල් රකින කෙනෙක් කිව්වා බව මතක් වුණේ ඊට පස්සෙ. මුලින්ම මට හිතුණෙ මේ ඒ මනුස්සයාද කියලා. ” කරුණාතිලක පවසා සිටියේය.

සිද්ධිය වී දින පහක් ගත විණි. එදා කරුණාතිලක වෙනුවට පැල් රකින්නට පැමිණියේ ඔහුගේ පුතා දිනුකය. “පුතා විතරයි අද පැලට එන්නේ... පොඩ්ඩක් මගේ පැලත් බලන්න.” කරුණාතිලක ඒ ආසන්නයේ වගා කළ රාජා බාලසුරිය ට කීවේය. ඒ නිසා රාත්‍රියේ රාජා සිටියේ දිනුක සමඟය. වෙලාව රාත්‍රී නවයයි තිහට පමණ ඇත. රාජා සිය පැලේ ලාම්පුවක් පත්තු කර එන්නට ගියේය. දිනුකත් සිටි තැනින් නැඟිට සිය පියාගේ පැල දෙසට පැමිණියේය.

“රාජා මමා ගියාම මම තාත්තගේ පැලට යන්න ගියා. ඒ යද්දියි දැක්කෙ. පහළින් තිබුණ පැල ඇතුළෙ තියන මැස්සේ අර කුරු මනුස්සයා වාඩි වෙලා ඉන්නවා. තාත්තා දැක්ක හැඩ රුවමයි තිබ්බේ. එක පාරටම මට කුණුහරුපයක් කියවුණා. තාත්තේ මෙන්න අර මිනිහා අදත් ඇවිල්ලා කියමින් කෑ ගැහුණා. ඒ එක්කම එක පාරටම මේ මනුස්සයා දුවලා ගියා” දිනුක අප හා කීවේය.

ඒ ආසන්නයේ මඩෙහි තිබුණු අමුතු පා සටහන් මේ ගොවි පිරිස දකින්නේ පසුදා උදෑසනය. “මහත්තයෝ ඒ අඩි සලකුණුවල ඇඟිලි සලකුණු හොඳින් සටහන් වෙලා තිබ්බේ නැහැ. මේ වගේ අඩි සලකුණු තමයි තිබ්බේ.” ඔවුහු වැල්ලේ එම සටහන් ඇඳ පෙන්වූහ. ඒවා වළයාකාර සලකුණුය.

තවත් දින 08ක් ගෙවිණි. කරුණාතිලකගේ ගස උඩ සාදා තිබුණ පැල දවල් ගිනි ගත්තේය. ඒ මොහොතේ කරුණාතිලක හේනේ සිටියේ නැත. අවට ගොවීන් ඒ දෙසට යද්දි පැල ගිනිගෙන අවසන්ය.

“කවුද මේ පැල ගිනි තිබ්බේ. අපේ කෙනෙක් නම් මේ වගේ බලු වැඩක් කවදාවත්ම කරන්නේ නැහැ. අර කරක් ගහන කුරු මිනිහා ද දන්නෙ නෑ.” ගොවීන් එම ස්ථානයෙන් පිටව ගියේ කුහුලෙනි.

එවැනි අත්දැකීමකට මුහුණ දුන් කේ. එම්. රත්නායක සිය කතාව අප සමඟ විස්තර කළේය.

‘‘ මේ කුරු මිනිහාව මම දෙවතාවක් දැක්කා. පළමුවෙනි පාර දැක්කේ වසර තුනකට කලින් මේ ප්‍රදේශයේ පැල් රකිද්දි. එදා මම ගහ උඩ පැලක හිටියේ. දහය හමාර එකොළහ විතර වෙන කොට ඇහුණා යන්තම් ටොක් ටොක් ගාන ශබ්දයක්. මම පැල උඩ ඉඳන් ටෝර්ච් එක ගහලා බැලුවා. මාව ගැස්සිලා ගියා. අඩි දෙකහාමාරක් විතර කුරු මිනිහෙක්. කොණ්ඩෙ වවාගෙන. මිනිහා කිසිම චකිතයක් නැතිව මා දිහා බලාගෙන හිටියා. කට රතුපාටයි. අතේ පොඩි කෝට්ටක් තිබුණා. ඒක අඩි දෙකක් විතර දිගට තිබුණා. එකේ කොනක මොනවදෝ දෙයක් එල්ලලා තිබ්බා. ”

“කුරු මිනිහෙක් නෙ. බයක් ඇති වුණේ නෑ. පහළට බැහැලා බලන්න ආසාවක් ආවා. මම පැලෙන් බැස්සා. බහිද්දිම මිනිහා පුදුම වේගෙන් දුවන්න ගත්තා. අඳුරට ඇහැ හුරුවෙලා හින්දා ඡායාව පේනවා. අඩි තිහක් හතලිහක් විතර මාත් පස්සෙන් ගියා. පස්සේ බය හිතුණා. ආපහු හැරිලා ආවා. මේ කතාව එදා මම කියද්දි කවුරුවත් පිළිගත්තේ නැහැ. කට්ටිය කිව්වා මං හීන දැකලා කියලා. සමහරු ඇහුවා බීල ද හිටියෙ කියලා. දැන් ඉතින් ඔය කවුරු කවුරුත් කියන්නෙ දැකපු දේවල්...”

“මේ මනුස්සයව මම ආයෙත් දැක්කේ දින කිහිපයකට කලින්. මම එදා හවස පැලට ගියා. අලි එන්නේ රෑ දොළහට විතර නිසා රෑ අටට විතර පැලේ මැස්සට වෙලා නිදාගත්තා. ඒ පැල මම බිම හදලා තිබ්බේ. අඩි දෙකාහාමාරක් විතර උස මැස්සකයි මම නිදාගෙන හිටියේ. මට දැනුණා කවුරු හරි ගිනිමැලය අවුළවන්න හදනවා කියලා. මම හිතුවේ ළඟ පැලක කෙනෙක් ඇවිල්ලා ගිනි මැලය පත්තු කරනවා කියලා. ‘ආ... ගිනි මැලය පත්තු කරනව ද‘ කියලා අහලා ගිනිමැලය තිබ්බ දිහාට හැරිලා ටෝච් එක ගැහුවා. මං එක පාරට ගැස්සුණා.

අඩි දෙකහාමාරක් විතර උස මනුස්සයෙක් මගෙ ඉස්සරහා හිටගෙන ඉන්න විදිහ ගිනිමැලේ එළියෙන් මට පේනවා. ඒ කුරු මිනිහාව මට හොඳටම පෙනුණා. පොඩි ළමයෙක් වගේ තළෙලුයි. හැබැයි මුහුණ ලස්සන නැහැ. කට අමු මස් කාලා වගේ රතු පාටයි. අහැ බැමි නැහැ. කන් දෙක දිගයි. ඇතුළට එබිලා වගේ තිබ්බේ. තොළ පළලයි. ලොකුයි. කොණ්ඩය පිටට වැවිලා තිබුණා. ඇස් කිට්ටුවට එනකම් නළලත් ගොඩක් වැහෙන්න වගේ කොණ්ඩය තිබ්බා. සම්පුර්ණයෙන්ම වැඩුණු පොඩි මිනිහෙක්. ඉණටත් ඇඳලා හිටියෙ අඟල් 06ක් විතර වගේ උස කළු පාට දෙයක්. සමහර විට හම් කෑල්ලක් වෙන්න පුළුවන්. මුහුණෙ රැවුල නැහැ. ඇඟපුරා ලෝම තිබ්බේ නැහැ. මම ඇසුවා කවුද යකෝ මගේ පැලේ ගින්දර පත්තු කරන්නේ කියලා. එක පාරටම හැරිලා වේගයෙන් දුවන්න ගත්තා. ටික දුරක් දුවලා ගිහින් නියරකින් හැරුණා. පස්සේ මම ටෝර්ච් එක නිවලා පත්තු කරලා බලද්දි දකින්න හිටියේ නැහැ.” ඔහු කියන්නේ තමන් දුටු මිනිසා පිළිබඳ පූර්ණ විස්තරයයි.

“මම මිට අවුරුදු 03කට කලින් දැක්කෙත් මේ කෙනාමයි. එයත් මේ විදිහයි. මට හරියට හිතා ගන්න බැහැ මේ කවුද කියලා. වෙලාවට හිතෙනවා බහිරවයෙක්වත් ද කියලා. අහලා තියන විදිහට නිත්තෑවන් නම් මිනිසුන්ට කරදර කරනවා. නියපොතු ලෝම හෙම තියෙනවනෙ. ඒත් මේ මනුස්සයගෙන් අපිට කරදරයක් නැහැ.”

ලෝක යථාර්ථයේ සමස්තය විද්‍යාවෙන් පිරිසිඳ දැනගෙන නැත. අප ලෝකය දෙස බැලිය යුත්තේ අවබෝධයකින් යුතුව ඒ අන්තරයට ඉඩ කඩ තබාගෙනය. කෙසේ වෙතත් තොට්ටම අසරණයන් දැන් බියපත්වය. ඇතැම්හු හේනට යෑමෙන් වැළකී සිටිති. මිනිස් පහසින් නොකිලිටි නොඉඳුල් බිම පෙත් සඟවාගත් මේ විසල් වනදහනේ ජීවිතය තේරුම් ගැනීමට තරම් අප පරිසරයට සමීප නැත. ලෝක යථාර්ථයට සමීප නැත.

කුරු මිනිසුන් ගැන මුලින්ම වාර්තා කළේ ඉංග්‍රීසි ජාතිකයයෝය. ඔවුන්ට අනුව නිත්තෑවුන් ලෙස හැඳින්වූ කුරු මිනිසුන් නූතන මිනිසාට සමාන ලක්ෂණවලින් යුත් ප්‍රමාණයෙන් කුඩා ශරීර සහිත පුරාතන ලංකාවේ ජීවත් වූ මිනිස් කොට්ඨාසයකි. වර්ෂ 1886 දී ශ්‍රී ලංකාවේ නිත්තෑවන් පිළිබඳව හියු නෙවිල් විසින් වැද්දන්ගෙන් තොරතුරු ලබාගෙන ඉතා සිත් ගන්නාසුලු වාර්තාවක් The Nittaewo of Ceylon – The Taprobanian, 1886 නමින් ඉදිරිපත් කළේය. නිත්තෑවුන් යාල නැඟෙනහිර අතරමැදි කලාපය හා තමන්කඩුව ප්‍රදේශය අතරතුර පිහිටා ඇති මහලේනම ආශි‍්‍රතව ජීවත් වූ මිනිස් කොට්ඨාසයක් බව හියු නෙවිල් කීවේය. වැද්දන්ගෙන් ලබාගත් තොරතුරු ඇසුරින් හියු නෙවිල් තම කෘතියේ සඳහන් කරන්නේ, “නිත්තෑවන් ක්‍රෑර සහ වනචාරී ගති පැවතුම් සහිතව ලේනම ආශි‍්‍රතව කුඩා ප්‍රජාවන්ගෙන් යුක්තව ජීවත් වූ කළු පැහැ සමකින් යුක්ත මනුෂ්‍ය කොට්ඨාසයක්” බවය.

නිත්තෑවුන් සමඟ සටන් කළ වැද්දන් අවසානයේ දී ඉතිරි වූ නිත්තෑවුන්ගේ ගැහැනුන්, මිනිසුන් හා ළමයින් ගුහාවක් තුළ සිර කර දින තුනක් පුරා දර අවුළුවා වනසා දැමු බව හියු නෙවිල් වාර්තා කරයි. නිත්තෑවුන් ලෙසින් ඇත්තටම ජීවි පිරිසක් ජීවත්ව සිටියේ නම්, ඔවුන් සහමුලින්ම වඳව යෑමට පෙර දහඅටවන සියවසෙහි අවසාන භාගය දක්වා ම ඔවුන් ලංකාවේ ජීවත්ව සිටින්නට ඇත. ෆ්‍රෙඩ්රික් ලූවිස් ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ 1914 වසරේ වාර ප්‍රකාශනයට ලිපියක් සපයමින් නැඟෙනහිර, ඌව හා දකුණු පානම්පත්තුව අශි‍්‍රත නිත්තෑවන් වාසය කර ඇති බවට තොරතුරු සැපයීය.

මීට වසර කිහිපයකට පෙර අම්පාර ලාතුගල ප්‍රදේශයෙන් නිත්තෑවකු හමුවු බව කියැවිණි. ඉංග්‍රීසි ජාතිකයන් 19 සියවස අග භාගයේ සිට වාර්තා කර තිබුණේ ඊටත් පරම්පරා දෙකකට එපිට සිටි සිය මුතුන් මිත්තන් විසින් සිදු කළේ යැයි කියන කතාවක් වැද්දන්ගෙන් අසා දැනගෙනය. ඔවුන් කිසිවකු නිත්තෑවෙක් ඇසින් දැක තිබුණේ නැත. එසේ නම් මේ මිනිසුන් දැක ඇත්තේ නිත්තෑවෙකුගේ සැබෑ ස්වරූපය ද?.

මාන්තොට්ටම වෙළඳ ව්‍යාපාරික ඩබ්.ඉන්ද්‍රපාල කිවේ මෙවැනි කතාවකි.

“ඔය කුරු මිනිහා දැකලා තියෙන කිහිප දෙනා බොරු කියන අය නොවෙයි. ඒ නිසා ඔවුන් දැකපු කතාව ඇත්ත කියලා මූලිකව පිළිගන්න පුළුවන්. නිත්තෑවන් පානම කුඩිම්බගල ඉඳලා තියෙනවා. නමුත් මෙම කියන කුරු මනුස්සයා මිනිස්සු විසින්ම අතරමං කළ කෙනෙක් ද කියලත් හිතෙනවා. අපේ සමාජයෙ මහ තිරිසන් පුරුද්දක් තිබුණා ඉස්සර. අංගවිකළ කුරු ළමයි ඉපදුණාම කැළේ අතරමං කරලා එනවා. මේ එහෙම කෙනෙක් ද දන්නෙත් නෑ. මේ මහා වනාන්තරය ඇතුළෙ අපි වඳ වෙලා ගියා කියලා හිතන නිත්තෑවො ආරක්ෂා වෙලා ඉන්නත් පුළුවන්.

මිථ්‍යාවේ කරවටක් ගිලී සිටින සමාජයේ ජනප්‍රිය හීනවලින් එපිටට ගොස් සොයා යා යුත්තක් තිබේ. එවැනි සිදුවීම් ඒ සඳහා සමාජ පර්යේෂණ අනුභූතින් නිර්මාණය කරයි. ඒ සඳහා මේ රටේ විද්වත් පර්ශදවලට ඉඩ හසර විවර වී තිබේ.

අදහස්