කිරිපිටි ගෙන්වීම නවතීද? | සිළුමිණ

කිරිපිටි ගෙන්වීම නවතීද?

ආනයනික කිරිපිටි කිලෝ එකක පැකට්ටුවක විකුණුම් මිල රුපියල් 100කින් ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙස මෙරටට කිරිපිටි ආනයනය කරනු ලබන සමාගම් කිහිපයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් සහ ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලා ඇති බව පසුගියදා මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය විය.

පසුගිය වසරේ ලෝක වෙළෙඳපොළේ ඩොලර් 2700, 2800 කට තිබූ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 3300 ත් 3400 ත් දක්වා ඉහළ ගොස් ඇති අතර ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවීම නිසාත් ආනයනික කිරිපිටිවල සදහා මෙතෙක් නොතිබුණු 15% වැට් බද්දක්ද පනවා ඇති නිසාත්,කිරිපිටි ආනයනයේදී කිලෝවක් සදහා අය කරන ලද රුපියල් 2.00ක් වූ ආනයනික බද්ද රුපියල් 170 ක් දක්වා වැඩි කර ඇති නිසාත් ආනයනික කිරිපිටි මෙරට අලෙවි කිරීමේ නිරතව සිටින සමාගම් මාස ගණනාවක සිට විශාල වශයෙන් පාඩු ලැබීම හේතුවෙන් කිරිපිටි ආනයනයේ යෙදෙන අදාළ පුද්ගලික සමාගම් මෙලෙස කිරිපිටි මිල වැඩි කිරීම සදහා ඉල්ලීම් කිරීමට ආසන්නම හේතුව වී ඇත.

මේ අතර කිරිපිටි ආනයන සමාගම් මේ වන විට මසකට රුපියල් මිලියන 30 සිට 40 දක්වා පාඩු ලබන බවත් තමන් ඉල්ලා සිටින මිල ගණන් අනුව කිරිපිටි මිල වැඩිකිරීමට අවසර නොලැබුණොත් කිරිපිටි ආනයනය කිරීම නවතා දැමීමට ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් ඒකාබද්ධ තීරණයක් ගෙන ඇති බවත් මාධ්‍ය වාර්තා කර ඇත. ලෝක වෙළෙදපොළ තුළ පවතින මිල ගණන් අනුව කිරිපිටි ආනයනය නවතා දැමීම හැර වෙනත් විකල්පයක් නැති බව මෙම සමාගම් හී අදහස වී තිබේ. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් සහ ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලීම් කර ඇති පරිදි ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් වැඩි කිරීමට අවසර ලබා දෙන තෙක් මේ වන විට කොළඹ වරායට පැමිණ ඇති කිරිපිටි තොග නිදහස් කර නොගැනීමටද අලුතින් කිරිපිටි තොග ඇණවුම් නොකිරීමටද එම සමාගම් පොදු තීරණයකට පැමිණ ඇති බවද මේ වන විටත් වාර්තා වී තිබේ. යම් හෙයකින් ආනයනික කිරිපිටි මිල වැඩි නොකරන්නේ නම් මේ වන විට කිරිපිටි මත පනවා තිබෙන පාලන මිල සහ එකතු කළ අගය මත බද්ද (වැට්) ඉවත් කිරීම කළ යුතුව ඇතැයිද මෙම සමාගම් රජයට යෝජනා කර ඇති බව පැවසේ.

කෙසේ වුවත් කිරිපිටි මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව මේ සම්බන්ධව තීරණයක් ගැනීමට බලය පැවැරී ඇති ප්‍රධානතම රාජ්‍ය ආයතනය ලෙස පිළිගැනෙන කර්මාන්ත හා වාණිජ කටයුතු අමත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක මහතා පවසයි.

සිය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව සදහන් කළ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවද ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කළේය.

කිරිපිටි මිල වැඩි කිරීම සදහා එම කිරිපිටි ආනයනයේ යෙදෙන බහුජාතික පුද්ගලික සමාගම් දිගින් දිගටම කරන ඉල්ලිම් සම්බන්ධව අදහස් දක්වන ඇතැම් පාර්ශ්ව පවසන්නේ මෙරටට ආනයනය කර දැනටද වෙළෙදපොළ තුළ අලෙවි කෙරෙන බොහෝ කිරිපිටි වර්ග

ගුණාත්මක බවින් අඩු හා පරිභෝජනයට එතරම් සුදුසු නොවන නිෂ්පාදන බවට අවස්ථා ගණනාවකදී තහවුරු වී ඇති බවයි.

ඒ අනුව කිරිපිටි ආනයනය අත්හිටුවන බවට බහුජාතික සමාගම් සිදුකරන තර්ජන හා ගර්ජන නොතකා රටේ ජනතාවගේ පරිභෝජන අවශ්‍යතා සපුරා ලීමේ අරමුණින් දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය සදහා ප්‍රමුඛත්වයක් ලබා දීමට රජය පියවර ගත යුතු බවද එම පාර්ශ්ව රජයට යෝජනා කර ඇත.

විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන කිරිපිටිවලට වඩා දේශීයව නිෂ්පාදනය කෙරෙන කිරිපිටි නැවුම් බවත්,ඒවා රසයෙන් හා ගුණයෙන්ද ඉහළ බවත් සදහන් කරන බොහෝ පෝෂණවේදීන්ද සමහර විදේශීය කිරි පිටි සමාගම් එම නිෂ්පාදනයන්හී මේදය හා ප්‍රෝටීන ඉවත් කිරීම සිදු කරන බවට හෙළි වී ඇති බවද සදහන් කර තිබේ.

මේ අතර ආර්ථික විශේෂඥයින් අවස්ථා ගණනාවකදීම රජයට පෙන්වා දී තිබෙන්නේ විදේශීය කිරිපිටි වෙනුවට දේශීය කිරිපිටි වෙළෙදපොළ ස්ථාවර කිරීම මගින් වාර්ශිකව විදෙස් වෙළෙදපොළට ඇදී යන ඩොලර් බිලියන ගණනක විදෙස් විනිමය මෙරට තුළ ඉතිරි කර ගැනීමට හැකි වීමෙන් රටට හා ජනතාවට ආර්ථික ප්‍රතිලාභ රැසක්ම අත්වන බවයි. මෙරට ජනතාවගේ පරිභෝජන අවශ්‍යතා සම්පූර්ණ කිරීම සදහා දේශීයව නිෂ්පාදනය කෙරෙන දියර කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් මට්ටමක පවතින බවත්,දැනටද දේශීය දියර කිරි අතිරික්තයක් පවා පවතින බවත් දේශීය කිරිපිටි සමාගම් හා ආර්ථික විශේෂඥයින් රජයට පෙන්වා දී ඇති අතර විදේශීය කිරිපිටි ආනයනය කිරීම අධෙර්ය කර මෙම දේශීය කිරිපිරි නිෂ්පාදන සමාගම් සදහා මෙරට කිරිපිටි වෙළෙදපොළ ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නම් පසුගිය දින කීපයක සිදුවූවාක් මෙන් දේශීය නිෂ්පාදිත දියර කිරි අපතේ යැවීමට කිරි ගොවීන්ට සිදු නොවනු ඇති බවත් ඔවුන් රජයට හා බලධාරීන්ට අවධාරණය කර ඇත.

ආනයනික කිරිපිටි නිෂ්පාදන විකුණුම් මිල ඉහළ නංවා ගැනීම සදහා එම කිරිපිටි මෙරටට ආනයනය කරන සමාගම් හා රජය යම් ආරාවුලක පැටලී තිබියදී සත්‍ය ලෙසම කිරිපිටි මිල වැඩි කිරීම කළ යුතු දෙයක්දැයි විමසා බැලීමට දේශීය කිරිපිටි නිෂ්පාදන ආයතන ඇතුළු තවත් වැදගත් පාර්ශ්ව කිහිපයක අදහස් විමසා බැලීමට තීරණය කළෙමු. මේ එහිදී ඔවුන්ගෙන් ප්‍රකාශ වූ අදහස් කීපයකි.

දේශීය කිරිපිටි නිෂ්පාදනවලට ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතුයි.

- හරිදාස් ප්‍රනාන්දු කාගිල්ස් සමාගමේ සමූහ කළමනාකාර (කෘෂි ව්‍යාපාර )

අවශ්‍ය හැම විටම දේශීය නිෂ්පාදන සඳහා ප්‍රමුඛ තැන ලබාදීම තමයි කළ යුත්තේ. ඒ අනුව කිරිපිටි පිටරටින් ගෙන්වීම වෙනුවට දේශීය කිරි ගොවියාගේ නිෂ්පාදන සදහා සුදුසු වෙළෙදපොළක් ස්ථාපිත කිරීම අනිවාර්යයෙන් කළ යුතු දෙයක්.මේ වන විට් පිටරටවලින් අපේ රටට ආනයනය කරනු ලබන්නේ මේදය හා පෝෂක ඉවත් කරන ලද බාල වර්ගයේ නිෂ්පාදන බවටත් හෙළිව තිබෙනවා.නමුත් දේශීයව නිෂ්පාදනය වන කිරිපිටි එහෙම නැහැ.ඒවා හැමවිටම නැවුම්.එමෙන්ම රසවත්. අපි හොදින්ම දන්නවා කිරි ආහාර මොළේ වර්ධනය සදහා අත්‍යවශ්‍ය දෙයක්. එම නිසා කුඩා දරුවන්ව පමණක් නොව වැඩිහිටියන්වද කිරි ආහාර සඳහා පරිභෝජනය සදහා යොමුකළ යුතුයි.උනන්දු කළ යුතුයි.ඒ වගේම අප රටේ නිෂ්පාදනවලට තැනක් ලබා දෙන්න පුළුවන් නම් නිකරුණේ ව්දේශ රටවලට ඇදී යන අති දැවැන්ත මුදල් කන්දරාව රට තුළම ඉතිරි වෙනවා.එමගින් රුපියලද ශක්තිමත් වෙනවා. මේ කරුණු සියල්ල ගැන ගැඹුරින් අවධානය යොමු කර දේශීය කිරි නිෂ්පාදන දිරි ගැන්වීමට හා සුදුසු වෙළෙදපොළ සකස් කර දීමට වහාම මැදිහත් වන මෙන් අප රජයෙන් ඉල්ලා සිටිනවා.

කවුරුන් කොහොම මොන විදියට තර්ක කළත් කිරි මිනිසාට අවශ්‍යම ආහාරයක් හෝ පානයක් නොවේ.

පාලිත සමන් ජයකොඩි (ගම්පහ මහ රෝහලේ වෛද්‍ය )

වසර විස්සක කාලයක් තිස්සේ මම මේ කරුණ ගැන සමාජයේ අවධානයට යොමු කළා.ඒ සම්බන්ධව ජනතාව නිසි පරිදි දැනුම්වත් කිරීමට මා තනිවම සටන් කළ බව කීවොත් එය නිවැරදියි. ළදරුවන්ගේ වර්ධනයට මව් කිරි ලබා දීම කළ යුතු වුවත් එසේ මව් කිරි ලබාදීම කළ යුත්තේත් මාස හයක් වැනි කාලයක්. ඉන් පසුව එම දරුවන්ගේ වර්ධනයට ලබා දෙන වෙනත් සුදුසු ආහාර සමඟ තවත් අවුරුද්දක පමණ කාලයක් ඔය කියන කිරිපිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ලබා දිය හැකියි. නමුත් ඉන් පසුව දරුවන්ට ලබා දිය යුත්තේ ඔවුන්ගේ ශරීර,මානසික වර්ධනයට අවශ්‍ය වෙනත් සුදුසු ආහාරයි.එතැනදි කිරිපිටි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කිසිසේත් අත්‍යවශ්‍ය ආහාරයන් නෙමෙයි.ඇත්ත වශයෙන්ම මේ කිරි පිටි නිෂ්පාදනවල තිබෙන බව කියන ඒ සියලු පෝෂ පදාර්ථ අප විසින් ආහාරයට ගන්නා වෙනත් ආහාරවලින්ද කිසිදු අඩුවක් නැතිවම ලබාගත හැකියි. මේ නිසා බහුජාතික කිරිපිටි කොම්පැණිවල ප්‍රචාරණ උගුල්වලට හසු නොවී ඔය කිරිපිටි මෙරටට ගෙන්වීම වහාම නවතා දැමිය යුතුයි.

එළකිරි කියලා මේ දෙන්නේ කෘත්‍රිමව හදන කිරක්

ආරියශීල වික්‍රමනායක

පැලවත්ත කිරි සමාගමේ සභාපති

පිටරටින් කිරිගේන එක නතර කරන්න ඕනැ. රටේ හොඳ දේශීය නිෂ්පාදන තිබියදී ඇයි අපි පිටරට දේ ගෙන්වන්නේ. අද අපි කිරිපිටි විතරක් නෙවෙයි තිරිගු පිටිවලටත් ඇබ්බැහි වෙලා. අපේ රටේ මිලියන 20ක් ජනතාව සිටින රටක්. ඒ වගේම කිරි හරක් ලක්ෂ 13ක් ඉන්නවා. එත් නවසීලන්තයේ කිරිත් නෑ හරකුත් නෑ. ඒ අය අපේ රටට බොරුවක් කරලා තියෙන්නේ. ඇමරිකාවෙන් ගෙන්වන ලැක්ටෝස් හා මැලේෂියාවෙන් ගෙන්වන කටුපොල්වලින් තමයි ඒ අය කිරි හදන්නේ. මේ කතාව තියෙන්නේ ඒ අයගේම වාර්ෂික වාර්තාවෙ. අපිට එළකිරි කියලා මේ දෙන්නේ කෘත්‍රිමව හදන කිරක්. ඩොලර් එක අඩු කර ගන්න ඕන නම් පිටරටින් කිරිගේන එක නතර කර ගත යුතුයි.

කිරි ශරීරයට අවශ්‍යම නැහැ

පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස

කිරි ශරීරයට වැදගත් වෙන්නේ ප්‍රෝටීන් හා කැල්සියම් ලබා දෙන නිසයි. නමුත් මේ දේවල් ලබා ගන්න කිරි බොන්නම ඕනැ නෑ. අප ගන්නා වෙනත් ආහාර මගින් ඒ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්.කුඩා දරුවන්ට වයස මාස 06 වනතුරු මව්කිරි ලබා දිය යුතුයි.ඉන් පසුව ඔවුන් ට අමතර දියර වර්ග සමග මව් කිරි දිය හැකියි. අවුරුද්ද සම්පූර්ණ වූ පසුව ඝණ ආහාර පුරුදු කළ හැකියි. මේ නිසා දරුවන්ට හෝ වැඩිහිටියන්ට කිරිබීම අවශ්‍ය දෙයක් නෙමෙයි.

 

අදහස්