BOLLYWOOD & HOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD & HOLLYWOOD

සොනාක්ෂිගේ අලුත් පෙම්වතා සහීර්ද?

සල්මන් ඛාන්ගේ උපන් දිනය පසුගියදා පැවැත්වුණේ බොලිවුඩ්පුරයේ ජනප්‍රිය තරු රැසකගේ සහභාගිත්වයෙන්. මේ අතර සිටි සුරූපී සොනාක්ෂි සිංහ වෙතට බොහෝ දෙනකුගේ ඇස් යොමු වුණා. එයට විශේෂ හේතුවක් තිබුණා. ඒ, ඇය, සල්මන්ගේ උපන් දින සාදයට පැමිණ සිටියේ අනාගත බොලිවුඩ් නළුවකු සමඟ නිසයි.

ඔහුගේ නම සහීර් ඉක්බාල් ළඟදී රූගත වීමට නියමිත බොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමට මේ යොවුන් නළුවා සූදානම්ව සිටිනවා. සහීර් බොලිවුඩයට එක්වන්නේ සල්මන්ගේ මඟ පෙන්වීම මතයි. සහීර් ගේ පියා සුප්‍රකට රන් ආභරණ ව්‍යාපාරිකයෙක්. ඔහු, සල්මන්ගේ සමීප මිතුරෙක්. පියා සහ සල්මන් අතර පවතින මිත්‍රත්වය නිසයි සහීර්ට බොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමේ වරම හිමිවන්නේ. සහීර්ගේ වැඩිමල් සොයුරිය වන සනම් රට්නසි, බොලිවුඩ් සිනමාවේ ඇඳුම් විලාසිතා නිර්මාණය කරන ශිල්පිණියක්.

සහීර් සහ සොනාක්ෂි මීට පෙර කිසිදු උත්සවයකට එකට සහභාගි වී නැහැ. නමුත්, සල්මන්ගේ උපන්දින සාදයට කලිනුත් මේ දෙදෙනා‍ ගැන අහුමුලුවල සමහරු කතා කළා. උපන් දින සාදයෙන් පසුව දැන් මේ දෙදෙනා පෙම් යුවළක් ලෙස හඳුන්වන්න සමහරු පෙළඹී සිටිනවා. පසුගිය වසරේ සොනාක්ෂිගේ උපන් දිනයට ඉන්ස්ටග්‍රෑම් පිටුව ‍ඔස්සේ සුබ පැතූ සහීර් විහිළුවට ප්‍රකාශ කළේ සොනාක්ෂිගේ උපන් දිනය ජාතික නිවාඩු දිනයක් වෙනවා නම් තමන් කැමැති බවයි!


රිතික්ට තවත් සැත්කමක්?

එක් වතාවක් මොළයේ ශල්‍යකර්මයකට මුහුණදුන් රිතික් රෝෂන්ට තවත් ශල්‍යකර්මයක් සිදු කරන්නට නියමිත බව බොලිවුඩ් ආරංචිමාර්ග පවසනවා. මීට වසර 5කට පෙර දැඩි හිසරදයකින් පෙළුණු රිතික්ව පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඔහුගේ මොළයේ ශල්‍යකර්මයක් සිදු කළා. ඉන්පසුව තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට විදේශ ගතවීමටත් රිතික්ට සිදුවුණා.

පසුගියදා වාර්තා වුණේ රිතික්ගේ උගුරේ ඇතිවූ යම් කිසි ‍රෝගී තත්ත්වයක් හේතුවෙන් යළිත් ඔහුට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බවයි. වෛද්‍යවරුන් පවසන්නේ රිතික් ගේ උගුරේ මතුවී තිබෙන රෝගී තත්ත්වය පවතින්නේ මුල් අවස්ථාවක බවයි. කෙසේ වෙතත් ඔහු සාමාන්‍ය පරිදි තම එදිනෙදා කටයුතු සිදු‍ කරමින් සිටිනවා.

පසුගිය සතියේ ඔහු, තම පියා සමඟ (ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ රාකේෂ් රෝෂන්) සුපුරුදු පරිදි ව්‍යායාම් කිරීමට කාය වර්ධන මධ්‍යස්ථානයට පැමිණ සිටියා. රිතික්ගේ පියා මේ වනවිට 69 වැනි වියෙහි පසුවෙනවා. තම පියා කිසිම අවස්ථාවක ව්‍යායාම් කිරීම අතපසු කරන්නේ නැතැයි රිතික් පවසනවා. “මේ ලෝකයේ මම දැකපු ශක්තිමත්ම පුද්ගලයා තමයි, මගේ තාත්තා. අපේ පවුල හරිම වාසනාවන්තයි, මේ වගේ තාත්තා කෙනකුගේ මග පෙන්වීම අපිට ලැබීමට තරම්” රිතික් තමන්ගේ සුවදුක් විමසූ අයට පැවසුවා. රිතික්ගේ රසික රසිකාවියන් දැන් නිරතුරුවම සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට සුවය පතමින් පණිවුඩ එවා තිබෙනවා. රිතික් පසුගිය දිනවල ‘සුපර් තර්ටි’ නම් වූ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වුණා.


හේලී-නයල් පෙම බිඳවැටේ

දැන් ශ්‍රී ලංකාවේත් තිරගතවන ‘බම්බල්බී’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟන හේලී ස්ටේන්ෆෙල්ඩ් ගැන මේ දිනවල හොලිවුඩ් මාධ්‍ය කතා කරනවා. ඒ ඇගේ බිඳී ගිය පෙම් පුවත ගැනයි. මේ සුරූපී යොවුන් නිළිය පෙමින් බැඳී සිටියේ ‘වන් ඩිරෙක්ෂන්’ සංගීත කණ්ඩායමේ නයල් හොරන් සමඟයි. නයල් සහ හේලී අතර සබඳකමක් පවතින බව මාධ්‍යවේදීන් කිහිප දෙනකු විසින් හෙළිදරව් කරනු ලැබුවේ ගිය වසරේ ශීත ඍතුවේදියි. මේ දෙදෙනා කැලිෆෝනියාවේ පැවැති ‘බැක් ස්ට්‍රීට් බොයිස්’ ප්‍රසංගයට ද එකට සහභාගි වූයේ යැයි මාධ්‍යවල පළවුණා.

කෙසේ වෙතත් පසුගිය දෙසැම්බරයේදී දෙදෙනා විරසක වෙලා. නමුත් සමහරු කියන්නේ නයල් සහ හේලීගේ කාර්ය බහුල ජීවිත හේතුවෙන් දෙදෙනාට හමුවී කතා බස් කිරීමට වේලාවක් නැති නිසා කටකතා පැතිරෙනවාය කියලයි. හොලිවුඩ්පුර ඇතැම් මාධ්‍ය පවසන්නේ හේලී, තම හිටපු පෙම්වතා වන නයාල්ට අපහාස කරමින් තම ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සටහන් කිහිපයක් තබා ඇති බවයි.

මේ වන තුරු හේලී නම් මේ ගැන කිසිවක් කියා නැහැ.‍


බ්‍රිට්නි ප්‍රසංග 32ක් නවත්වයි

ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් මේ වසරේ පෙබරවාරි 13 දා සිට අගෝස්තු 17 දක්වා ‘ඩොමිනේෂන්’ නම්වූ සංගීත ප්‍රසංග මාලාවක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණා. මේ සංගීත චාරිකාවට ප්‍රසංග 32ක් පැවැත්වෙන බවයි, නිවේදනය කර තිබුණේ. ලාස්‍ වේගාස් නුවර ‘පාක් තියටර්’ හිදී බ්‍රිට්නිගේ මියුරු හඬින් ඔපවත් වීමට තිබූ මේ ප්‍රසංග මාලාව හදිසියේ අවලංගු කර තිබෙනවා.

එයට හේතු වශයෙන් බ්‍රිට්නි සඳහන් කර ඇත්තේ තම පියාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙන තුරු සියලුම ප්‍රසංග අවලංගු කළ බවයි. බ්‍රිට්නිගේ පියා වන ජේම්ස් ස්පියර්ස් මෑතකදී දැඩි ලෙස රෝගාතුරව දින 28ක් රෝහල් ගතව සිටියා. “දැනට මාස දෙකකට කලින් මගේ තාත්තා ගොඩක් අසනීප වෙලා හිටියා. තව පොඩ්ඩෙන් තාත්තාගෙ ජීවිතය නැති‍ වෙන්නත් ඉඩ තිබුණා. කොහොම හරි තාත්තා සනීප වුණා. ඒ වුණත් තවත් ටික කාලයක් යනතුරු ප්‍රතිකාර ගන්න වෙනවා. අපේ තාත්තා, අම්මා ඇතුළු පවුලේ හැම දෙනාත් එක්කම මගේ තියෙන්නේ දැඩි බැදීමක්. ඒ නිසා මාස කීපයක් ම මම ඒ අය එක්ක ඉන්න ඕනෙ.”

බ්‍රිට්නි තම ට්විටර් පිටුවෙහි එලෙස සටහන් කර තිබුණා.

 

 

Comments