විදෙස් ච්ත්‍රපට | සිළුමිණ

විදෙස් ච්ත්‍රපට

ද අප්සයිඩ්

ප්‍රහසන වෘත්තාන්ත අමෙරිකානු සිනමා පටයක් වන නේල් බර්ගර්ගේ ද අප්සයිඩ් 2011 වසරේදී නිර්මාණය වුණු ද අන්ටචබල්ස් ප්‍රංස සිනමා පටයේ ප්‍රතිනිර්මාණයකි. අත් පා පණ නැතිවුණු බිලියනපතියකු වූ පිලිප්, ඩෙල් කුලියට ගනී. ඩෙල් තාවකාලිකව සිරෙන් නිදහස ලැබූ කෙනකු වූ අතර තම හිටපු බිරිය සහ පුතු සමඟ යළි මිතුරු වීමට වෙර දරන කාලයක පිලිප්ගේ සේවයට පැමිණියේය.

දෙදෙනාගේ පවුල් පසුබිම් අහසට පොළොව මෙන් පරස්පර වුව ද පිලිප් සහ ඩෙල් එක්ව යළි ජීවිතයේ සතුට අත් විඳින්නට පටන් ගනී. සතුට ළඟාකර ගැනීමට ධනය අවැසි නැති බව සිනමා පටය අවසන නරඹන්නන්ට කියා දෙන පාඩමයි.

ඩෙල් ස්කොට් ලෙස කෙවින් හාට් ද පිලිප් ලකාසේ ලෙස බ්‍රයන් ක්‍රැන්ස්ටන් ද මෙහි ප්‍රධාන චරිත රඟති. නිකොල් කිඩ්මන්, ජෙනිවීව් ඇන්ගෙල්සන්, නයෝමි කිං, ජුලියානා මාගලීස්, රේෂල් හැන්ඩ්ලර් ඇතුළු ප්‍රවීණ නළු නිළියෝ රැසක් මෙහි රඟති.

ද අප්සයිඩ් සිනමා පටයේ මුල් සිනමා කෘතිය ද ඉන්ටචබල්ස් ප්‍රංස සිනමාවේ අති සාර්ථක නිර්මාණ ලෙසින් අන්තර්ජාතිකව ගෞරවයට පාත්‍ර විය. ‍

හිටපු අමෙරිකානු ජනපති බැරැක් ඔබාමාගේ දියණිය මාලියා ඔබාමා ප්‍රථම වරට සිනමා නිෂ්පාදක කණ්ඩායමකට දායක වූයේ ද අප්සයිඩ් සිනමා පටයෙනි.


රෙප්ලිකාස්

ත්‍රාසය කැටිවුණු නවතම විද්‍යා ප්‍රබන්ධ සිනමා නිමැවුම වන රෙප්ලිකාස් අනාගත ලෝකයේ සැබෑ විය හැකි අත්දැකීමක් 21 වැනි සියවසේදී ලොවට ගෙන එයි. අතිදක්ෂ ස්නායු විශේෂඥයකු වන විලියම් ‍ෆොස්ටර් මිනිස් මොළ‍ය ප්‍රතිනිර්මාණය කිරීමේ පර්යේෂණවල නියැළෙන්නේ නීතියට පවා පිටුපාමිනි.

සිය පවුලේ සාමාජිකයන් රිය අනතුරකින් මිය යෑමෙන් පසු ඔහු වියරු‍වෙන් මෙන් මියගිය සාමාජිකයන්ට යළි ජීවිත ලබා දීමට වෙහෙසයි.

සිනමා පටයේ විලියම් ලෙස රඟන්නේ කීනු රීව්ස්ය. විලියම්ගේ බිරිය මෝනා ෆොස්ටර් ලෙස ඇලිස් ඊව් රඟන්නීය. තෝමස් මිඩ්ලඩිච්, ජෝන් ඕටිස්, එම්ජේ ඇන්තනි, එමිලි ඇලින් ලින්ඩ්, ඒරියා ලීබු, නියාෂා හතෙන්දි සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරති.


බම්බල්බී

පසුගිය වසර අවසානයේ අතිසාර්ථක ලෙස තිරගතවූ බම්බල්බී, ට්‍රාන්ස්ෆෝමර්ස් සිනමා මාලාවේ හයවැන්නයි. ක්‍රියාදාම විද්‍යා ප්‍රබන්ධ සිනමා වෘත්තාන්යක් වූ මීට කෙතරම් රසික මනාපය හිමි වූවා ද කිවහොත් පිරිවැය මෙන් ‍තෙගුණයක ආදායමක් සිනමා පටය තිරගතවීම ඇරඹී සති තුනක් යාමට පෙර උපයා ගැනීමට හැකිවිය. එහෙත් මේ ට්‍රාන්ස්ෆෝම් සිනමාපට මාලාවේ අඩුම ආදායම ලෙස සැලකෙයි.

1987 දී බම්බල්බී රොබෝ කාරයට කැලිෆෝනියාවේ කුඩා වෙරළාසන්න නගරයකදී අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට හෝ විනාශ කිරීමට පෙර තබන තැනක් හමුවෙයි.

දහ අට හැවිරිදි ගැටවරියක වූ චාලී කැඩී බිඳී ගිය බම්බල්බී කාරය සොයා ගනී. චාලි නැවත කාරය පණ ගන්වන අතර එහිදී මේ කහ පැහැති අබලි යකඩ ගොඩ සාමාන්‍ය නිර්මාණයක් නොවන බව වටහා ගනී.

චාලි සහ බම්බල්බී හමුවන්නේ පෘථිවි තලය සීතල යුද්ධ‍යකට මැදිවී සිටියදීය. චාලී සහ බම්බල්බීගේ සබඳතාව කොපමණ කලක් පවතීවිද? ලෝක දෙකකට අයත් දෙදෙනාගේ ඉරණම කෙසේ වේවිදැයි යන්න සිනමා පටයේ අවසානය දක්වාම කුතූහලය දනවන්නකි. චාලි වොට්සන් ලෙස මෙහි රඟන්නේ හෙයිලී ස්ටීන්ෆීල්ඩ්ය. මේ ට්‍රාවිස් නයිට්ගේ අධ්‍යක්ෂණයකි.


අ ඩෝග්ස් වේ හෝම්

සත්ත්ව ප්‍රේමී රසික කැලට පිරිනැමුණු වසරේ පළමු සිනමා තිළිණයය. අමෙරිකානු සිනමා වෘත්තාන්තයක් වන මෙය පවුලේ කතාවකි. නවක වෛද්‍ය සිසුවකුවූ ලූකස් බෙලා සුනඛ සුරතලියට හොඳ නිවහනක් සපයා දුන්නේය.

එහෙත් ඌට ලූකස්ගෙන් වෙන් වූ පසු ගත කිරීමට සිදුවූයේ සැපවත් ජීවිතයක් නොවෙයි. හාම්පුතාගේ ආදරණීය උණුසුම නැතිව උගේ හද රිදුණු වාර අනන්තය. නැවත හාම්පුතා ලූකස් මුණ ගැසීමට බෙලා සැතපුම් හාර සීයක දිගු ගමනක් ඇරඹීය. එහිදී ඌ මංමුලා වුවද අනාථ කඳු සිංහ පෝතකයෙක් සහ ආදරණීය මිනිස් මිතුරන් කීප දෙනකු මුණ ගැසෙයි.

බෙලා අවසන සිය අරමුණ ඉටු කර ගනීවිද? අපේ ජීවිතවල ගොඩනැ‍ඟෙන සමහර සබඳතා දුරස් කළ නොහැකිය.

අ ඩෝග්ස් වේ හෝම් සංවේදී සිනමා පටය අවසන ගෙන එන පණිවුඩය එයයි. ඩබ්. බෘෘස් කැමරන්ගේ අ ඩෝග්ස් වේ හෝම් කෘතිය ඇසු­‍ෙරන් නිමැවූ මේ සිනමා පටයේ අධ්‍යක්ෂණය චාල්ස් මාටින් ස්මිත්ගේය.

සිනමා පටය නරඹන්නන්ට ආදරණීය සුරතලාට මෙන්ම සිනමා පටය ගැන ද සෙනෙහසක් ඇතිවන බව බොහෝ ප්‍රේක්ෂකයන්ගේ විචාරකයන්ගේ අදහසයි. සිනමා පටයේ වැඩිහිටි බෙලා ලෙස රඟන්නේ විපත්වලින් මිනිසුන් බේරා ගන්නා ටෙනිසේහි පදිංචි ෂෙල්බි සුනඛ ධේනුවය.

අදහස්