මා හඳුන්වා දුන් 'භෝග භූමි අලං­ක­ර­ණය' අද රටා පුරා පැති­රිලා! | සිළුමිණ

මා හඳුන්වා දුන් 'භෝග භූමි අලං­ක­ර­ණය' අද රටා පුරා පැති­රිලා!

කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ කෘෂි­කර්ම නවී­ක­රණ ව්‍යාපෘති උප­දේ­ශක, ආචාර්ය රොහාන් විජේ­කෝන්

මෙරට කෘෂි­කා­ර්මික ක්ෂේත්‍රය නව මාන­ය­කට යොමු කළ පුරෝ­ගා­මි­යකු ලෙස ඔහු හැඳි­න්විය හැකිය. තාක්ෂ­ණය, තොර­තුරු සන්නි­වේ­ද­නය හා බද්ධ වූ විවිධ නව ක්‍රම­වේද සහ නිර්මාණ කෘෂි­කර්ම ක්ෂේත්‍රය කරා ගෙන එන්නට අදද ඇප-කැප වී කට­යුතු කරන ඔහු ආචාර්ය රොහාන් විජේ­කෝන්ය. කෘෂි­ක­ර්මය පිළි­බඳ කථි­කා­චා­ර්ය­ව­ර­යකු ලෙස සිය වෘත්තීය ජීවි­තය ඇරැඹූ හෙතෙම කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­කාර අධ්‍යක්ෂ, ශ්‍රව්‍ය-දෘශ්‍ය අධ්‍යක්ෂ සහ­කාර අධ්‍යක්ෂ ජෙන­රාල් ධුර­යන් හොබවා අව­සන කෘෂි­කර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙන­රාල් ලෙසද කට­යුතු කළේය. මේ වන විට කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ කෘෂි­කර්ම නවී­ක­රණ ව්‍යාපෘ­තියේ උප­දේ­ශක ලෙස කට­යුතු කර­මින් සිටින ඔහු මෙරට කෘෂි­ක­ර්මා­න්තය නඟා­සි­ටු­වී­මට සිදු කළ සේවය ගැන කතා කළ යුතුම යුග­යකි මේ. මේ ඔහුගේ කතා­වයි.

ඔබේ ළමා අව­ධිය ගැන කතා­බ­හෙන්ම අපේ කතා­බහ අර­ඹමු...

මහ­නු­වර වට­පු­ළුව ගම්මා­නයේ තමයි මම උපන්නේ. පාසල් ගියේ මහ­නු­වර ධර්ම­රාජ විදු­හ­ලට. 1977දී උසස් පෙළ සමත් වෙලා පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ කෘෂි­කර්ම විද්‍යා­පී­ඨ­යට ඇතු­ළත් වුණා.

පාසල් සමයේ මත­කය මොන වගේද?‍

ඉස්කෝ­ලෙදි කරපු දේව­ල්ව­ලින් වැඩි­හ­රි­යක්ම මා සිදු කර තිබෙන්නේ කෘෂි­කා­ර්මික අංශයේ නිර්මා­ණයි. මෙවැනි නිර්මාණ ගැන ඉගෙ­න­ගන්න හදා­රන්න අව­ස්ථාව ලැබුණේ මා බාල­ද­ක්ෂ­යකු ලෙස කට­යුතු කළ නිසයි. පසුව මා ජනා­ධි­පති බාල­ද­ක්ෂ­යකු වුණා. ඒ හුරුව විශ්ව­වි­ද්‍යාල ජීවි­තයේ කෘෂි­ක­ර්මය හදා­රද්දී විශාල ලෙස බල­පෑවා.

ඔබේ මුල්ම රැකි­යාව වුණේ කුමක්ද?

සර­ස­වි­යෙන් ඉවත් වුණාට පසු 82දී මට පළමු රැකි­යාව ලැබුණා. ඒ අඟු­ණ­කො­ළ­පැ­ලැස්ස කෘෂි­කර්ම විද්‍යා­ල­යට. එහි කථි­කා­චා­ර්ය­ව­ර­යකු ලෙස කට­යුතු කළා. ඒ වන විට එහි කෘෂි­කර්ම විද්‍යා­ලය ආරම්භ කළ අලු­ත­මයි. පළ­මු­වැනි ආචාර්ය මණ්ඩ­ල­යට තමයි අපව තෝරා­ගත්තේ.

ඉන් පසුව?

1986 වස­රේදී මම ගන්නො­රු­වට එනවා. ඒ කෘෂි­කර්ම ශ්‍රව්‍ය-දෘශ්‍ය මධ්‍ය­ස්ථා­න­යට, සහ­කාර අධ්‍ය­ක්ෂක ලෙස. එතැ­නින් තමයි මම කෘෂි­කර්ම ක්ෂේත්‍රයේ ගොඩක් දේවල් ආරම්භ කරන්න පටන් ගත්තේ. ඒ ආය­ත­න­යෙන් තමයි ගොවි ජන­තා­වට අවශ්‍ය ශ්‍රව්‍ය-දෘශ්‍ය ආධාර දුන්නේ. ගොවී­නට සර­ලව වගා ගැන ඉගැ­න්වී­මට තමයි මෙය භාවිත කළේ. ඉන් පසු මම 1989දී එංග­ලන්තෙ රෙඩිං විශ්ව­වි­ද්‍යා­ල­යෙන් පශ්චාද් උපා­ධිය හිමි කර­ගෙන ලංකා­වට ඇවිත් අලුත් දේවල් හඳුන්වා දෙමින් යළිත් කෘෂි­කා­ර්මික කට­යු­තු­ව­ලට දායක වුණා.

මේ යුගයේ පැවැ­ත්වුණු කෘෂි­කර්ම ප්‍රද­ර්ශ­න­ව­ලට ඔබ දාය­ක­ත්වය නොඅ­ඩුව ලැබුණා...

රණ­සිංහ ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­තු­මාගේ 'ගම් උදාව' වැඩ­ස­ට­හ­නට කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තු­වත් ප්‍රද­ර්ශන කළා. ඒත් ඒවායේ ලස්ස­නක් තිබුණෙ නැහැ. ජනා­ධි­ප­ති­තුමා කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ වැඩේට කැමැති වුණෙත් නැහැ. එනිසා කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව තීර­ණය කළා කෘෂි­කර්ම ප්‍රද­ර්ශන මට භාර දෙන්නට. මේ යුගයේ රටේ පැවැ­ත්වුණු කෘෂි­කර්ම ප්‍රද­ර්ශන කට­යුතු සිදු කිරීම මගේ ප්‍රධාන රාජ­කා­රි­යක් වුණා. ඒ අනුව මම පළ­මු­ව­රට කඹු­රු­පි­ටිය ගම්උ­දා­වෙදි නිර්මා­ණය කළ ප්‍රද­ර්ශන භූමිය එහිදී පළමු ස්ථානය දිනා­ගත්තා. මෙත­රම් කලක් බැනුම් අහපු කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තු­වට මෙය විශාල ආක­ර්ෂ­ණ­යක් වුණා.

දෙවැනි ගම්උ­දාව තිබුණේ බුත්තල. එයත් පළමු වැනි ස්ථානය වුණා. එත­කොට මම ශ්‍රව්‍ය-දෘශ්‍ය අංශයේ සහ­කාර කෘෂි­කර්ම අධ්‍යක්ෂ ලෙසයි කට­යුතු කළේ. ඉන් පසු 'දැයට කිරුළ' පටන් ගත්තා. එහිත් මම මේ විදි­හට ප්‍රද­ර්ශන කට­යුතු කළා. පළමු එක තිබුණේ බීඑ­ම්අ­යි­සී­එච්-එකේ. එයි­නුත් හැම­දාම අපි පළ­මු­වැ­නියා වුණා.

මේ ඔස්සේ බෝග වගාව පිළි­බඳ තවත් වැද­ගත් හඳු­න්වා­දී­මක් ඔබ සිදු කළා...

මම මෙහිදි කරපු දේ අලුත්ම දේ තමයි භෝග මඟින් භුමි අලං­ක­ර­ණය රටට හඳුන්වා දීම. එය තමයි මගේ ප්‍රධාන කාර්යය වුණේ. භෝග­ව­ලින්ම තමයි භූමි අලං­ක­ර­ණය කරන්නේ. මගේ ලෑන්ඩ්ස්කේ­පින්-එක වුණේ මල්ව­ලින් නෙමෙයි; සම්පූ­ර්ණ­යෙන්ම එළ­වළු සහ පල­තු­රු­ව­ලින්. එයට කියන්නේ එඩි­බල් ලෑන්ඩ්ස්කේ­පින් කියලා. මෙය පළමු වතා­වට ලංකා­වට මම තමයි හඳු­න්වා­දුන්නේ. ඒ අනුව අද වන විට රට පුරාම මෙය පැතිරී තිබෙ­නවා. තම ගෙවත්ත මල්ව­ලින් නැතිව බෝග වර්ග­ව­ලින් අලං­ක­ර­ණය කරන්න කිය­ලයි මම ජන­තා­වට කියන්නේ. බෝග කිව්වම සම­හරු හිත­නවා ඒවා කොළ­පාට විත­ර­යිනෙ කියලා. ඒත් තක්කලි ගහේ වෙනස්ම කොළ­පා­ටක් තියෙන්නේ. ඊට වෙනස් මෑ කරල් ගහේ කොළ­පාට. සලාද කොළේ කොළ­පාට වෙනස්. මේ විදි­හට හැම ගහක්ම වගේ එකි­නෙ­කට වෙනස්. සම­හර ගස්වල ගෙඩි තිබෙ­නවා. එත­කොට මොකද වෙන්නේ? මේවා­යින් මල් හිට­ව­න­වාට වඩා අමුතු ලස්ස­නක් ගෙව­ත්තට ලැබෙ­නවා. ඒ විදි­හට තමයි මම රටට එඩි­බල් ලෑන්ඩ්ස්කේ­පින් හඳු­න්වලා දුන්නේ.

කෘෂි තාක්ෂ­ණික උද්‍යාන ගැන කතා කළොත්...

කෘෂි­ක­ර්මය ඔස්සේ කළ හැකි නිර්මාණ හා ක්‍රම­වේද මම ප්‍රද­ර්ශ­න­ව­ලට හඳුන්වා දුන්නට එය දින කිහි­ප­ය­කට පම­ණක් සීමා වෙන නිසා අපි කල්පනා කළා ප්‍රද­ර්ශ­න­යට පෙන්වන දේ ඒ දැනුම ජන­තා­වට හැම­දාම ලබා­ග­න්නට හැකි ස්ථාන­යක් තියෙන්න ඕන කියලා. ඒ වෙනු­වෙන් මෙවැනි උද්‍යා­න­යක් නිර්මා­ණය කරන්න ඕන කියලා. ඒ අනුව මගේ සංක­ල්ප­යක් මත ගන්නො­රුවේ පළමු කෘෂි තාක්ෂ­ණික උද්‍යා­නය හදලා තියෙන්නේ. එය පටන් ගත්තේ 2004දියි. මේ කෘෂි තාක්ෂණ උද්‍යා­න­යට ආවම මෙය සම්පූ­ර්ණ­යෙන්ම ප්‍රද­ර්ශ­නය වගේම අවු­රුද්දෙ හැම­දාම තිබෙ­නවා. ඕන කෙනෙ­කුට මෙය නරඹා දැනුම් ලබා­ගන්න පුළු­වන්. මෙහි දෙවැනි උද්‍යා­නය හම්බ­න්තොට බට­අත කෘෂි තාක්ෂ­ණික උද්‍යා­නය ලෙස නිර්මා­ණය කළා. මේවා සම්පූ­ර්ණ­යෙන්ම අධ්‍යා­ප­නික භූමි. හැම­දාම බලන්න පුළු­වන් බෝග තිබෙ­නවා. මේවා සිය­ල්ලම එළ­ව­ළු­ව­ලින් තමයි අලං­ක­ර­ණය කර තිබෙන්නේ. උදා­හ­ර­ණ­යක් ලෙස අපි තක්කාලි වගා කර ඇති කොට­සට ගියොත් ලංකාවෙ තිබෙන තක්කාලි වර්ග සියල්ල එහිදී බලා­ගන්න පුළු­වන්; ඒවායේ කරන අලුත් පර්යේ­ෂණ බලා­ගන්න පුළු­වන්.

මේවාට ලැබෙන ප්‍රති­චාර කොහො­මද?

ඉතාම හොඳයි. ලංකාවේ පාස­ල්වල බෝග මඟින් භූමි අලං­ක­ර­ණය කර තිබෙ­නවා. ලංකාවේ හැම ඉස්කෝ­ලෙ­කම මෙය දකින්න පුළු­වන්. ගෙව­තු­ව­ලත් මෙය දකින්න පුළු­වන්. ලංකාවේ ශුර ගොවියා තේරීමේ වැඩ­ස­ට­හ­නක් දියත් වුණා. එයට මම රට පුරා ගියා. ඒ යන­කොට මම ලබා දුන් ඩිස­යින්ස් අනුව තමයි ගොවි­යන් බෝග සකසා තිබුණෙ. මට හරිම සතු­ටක් දැනුණා. උදා­හ­ර­ණ­යක් විදි­හට පතෝල මැස්ස ගනිමු. ඉස්සර හත­රැස් කොටු­ව­ටනෙ පතෝල මැස්ස ගැහැවේ. මම පතෝල හැදුවා ආච් විදි­හට. මැස්ස උඩින් දැම්මා, මිනි­ස්සුන්ට යටින් යන්න පුළු­වන් විදි­හට. අද රටේ කවුරු හරි භෝග මඟින් භූමි අලං­ක­ර­ණය කර­නවා නම්, එය මම රටට හඳුන්වා දුන් සංක­ල්පය නිසා.

අද ඔබේ වැඩ කට­යුතු මොන වගේද?

මම කෘෂි­කර්ම ශ්‍රව්‍ය-දෘශ්‍ය මධ්‍ය­ස්ථා­නයේ සහ­කාර අධ්‍යක්ෂ ලෙසත්, ඊට පසුව 2010 අධ්‍යක්ෂ තොර­තුරු හා සන්නි­වේ­දන ලෙසත් කට­යුතු කළා. ඊට පසු 2013 වස­රේදී කෘෂි­කර්ම අධ්‍යක්ෂ ජෙන­රාල් ලෙස වැඩිම කාල­යක් කෘෂි­කර්ම දෙපාර්තමේන්තුවට මම සේවය කළා. විශ්‍රාම ගැනී­මෙන් පසුව කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ කෘෂි­කර්ම නවී­ක­රණ ව්‍යාපෘ­තියේ උප­දේ­ශක ලෙස කට­යුතු කර­නවා. මෙම­ඟින් කෘෂි­කර්ම තාක්ෂ­ණික ආදර්ශ උද්‍යා­නය කියන සංක­ල්පය අනුව එක ගම­කට ගිහිල්ලා එය උද්‍යා­න­යක් කර­නවා. එය අමු­තුම එකක්. කෘෂි­කර්ම නවී­ක­ර­ණය යටතේ තමයි මෙය සිදු වන්නේ. ඒ වගේම ආදර්ශ උද්‍යන විසි ගානක් මේ වන විට හදා තිබෙ­නවා. එයින් විශාල ලාභ­යක් ගොවි­යාට ලැබෙ­නවා. බිබිලේ අන්නාසි උද්‍යා­න­යක් අක්කර තිස්ප­හක්. වව්නි­යාවේ රට­කජු අක්කර දෙසී­යයි.

කෘෂි­කර්ම අධ්‍යක්ෂ ජෙන­රාල් ලෙස කට­යුතු කර­මින් ඔබ කළ සේවය සිහි­පත් කර­නවා නම්...

මම පශ්චාද් උපා­ධිය කළේ තොර­තුරු හා සන්නි­වේ­ද­නය. 'ඊ-ඇග්රි­ක­ල්චර්': කෘෂි­කර්ම සන්නි­වේ­ද­නය සඳහා ඩිජි­ටල් මාධ්‍ය උප­යෝගී කර­ගැ­නීම. එය කර ඇවිත් 2001දි ලංකාවේ කෘෂි­කර්ම දෙපා­ර්ත­මේන්තු වෙබ් අඩ­විය පට­න්ගත්තේ මම. ලංකාවේ රාජ්‍ය අංශයේ තිබෙන හොඳම වෙබ් අඩ­විය බවට එය පත් වුණා. එත­කොට විකී ගොවියා කියලා පටන් ගත්තා. එයට සම්මාන හිමි වුණා. ඊජි­ප්තු­වෙදි සම්මාන ලැබුණා. මම තමයි ආරම්භ කළේ 1920 කියන ගොවි සහන සරණ තොර­තුරු ලබා­ගැ­නීමේ ක්‍රම­වේ­දය. ඕනෑම ගොවි­ය­කුට ගැට­ලු­ව­ලට දුර­ක­ත­න­යෙන් ප්‍රශ්න අහලා විස­ඳුම් ලබා­ගන්න මේ ක්‍රමය ඔස්සේ පුළු­වන්. ඉන් පසු හඳුන්වා දුන්නා ඊ-එස්එ­ම්එස් ක්‍රමය. ඉන් පසු කෘෂි­කර්ම හා තොර­තුරු සන්නි­වේ­ද­න­යට ජාතික කෘෂි­කා­ර්මික හා තොර­තුරු මධ්‍ය­ස්ථා­යක් ගන්නො­රුවේ ඉදි කළා: තට්ටු හයක බිල්ඩින් එකක්. එය 'ග්‍රීන් බිල්ඩිං-එකක්'. ඒකෙ තට්ටු හයම තට්ටු­වෙන් තට්ටු­වට එළ­වළු පිරුණු ස්ථාන තමයි දැක­ගන්න ලැබෙන්නේ.

උඩම තට්ටුවේ විශා­ලම ගාඩ්න්-එකක්. කෘෂි­ක­ර්මය පිළි­බඳ රූප­වා­හිනී වැඩ­ස­ට­හන් ඉස්සෙ­ල්ලාම ආරම්භ කළේ මගේ කාලෙ­දියි. ඒ 1994දි වගේ. ලංකාවේ කිසිම දෙපා­ර්ත­මේ­න්තු­වක් ඒත­රම් රූප­වා­හිනී වැඩ­ස­ට­හන් හදලා නැතිව ඇති. ලංකාවේ එකම දෙපා­ර්ත­මේ­න්තුව රූප­වා­හිනී වැඩ සට­හන් හදන. අපේ ස්ටූඩියෝ-එකේම මේවා නිෂ්පා­ද­නය වනවා. සති­යට වැඩ­ස­ට­හන් දෙකක් බැගින් දැන් වසර විසි­ප­හ­කට වැඩි කාල­යක සිට අප මෙය පව­ත්වා­ගෙන යනවා. ඒ සඳහා වෙනම කාර්ය මණ්ඩ­ල­යක් අපට ඉන්නවා. ඊට අම­ත­රව මුද්‍රිත මාධ්‍ය සඳ­හාත් වෙනම ග්රැෆික් අංශ­යක් මෙහි තිබෙ­නවා. මම පීඑච්ඩී කරලා ආවට පස්සේ ලංකා­වට විශේ­ෂම දෙයක් හඳුන්වා දුන්නා. ඒ තමයි බහු මාධ්‍ය සීඩී තැටි. හැම බෝග­ය­ක­ටම මේ සීඩී තැටි­යක් තිබෙ­නවා. අපේ වෙබ් සයිට්-එකේ මේ ගැන සඳ­හන් වෙනවා. ඊට අම­ත­රව නාරා­හේ­න්පිට කිරි­ම­ණ්ඩල පාරේ ගුව­න්වි­දුලි ගොවි­සේ­වාව මධ්‍ය­ස්ථා­න­යෙන් වගේම, කොළඹ මහ­ජන පුස්ත­කා­ලය ඉදි­රි­පිට ගොවි සේවා මධ්‍ය­ස්ථා­න­යෙන් මේවා මිල දී ගන්න පුළු­වන්. කෘෂි­ක­ර්ම­යට අදාළ විවිධ අංශ පිළි­බ­ඳ­වත් සීඩී තිබෙ­නවා. ඒ වගේම අලුත් රැකියා රාශි­යක් හැදුවා.

මම උද්‍යාන ආරම්භ කළාට පසුව මගේ සංක­ල්පය වුණේ මේවා ඇතුළෙ කෘත්‍රිම පාන වර්ග හා පාන්පිටි ආහාර විකු­ණන්න බැහැ කියන-එකයි. ඒ වගේම මෙහි දේශීය ආහාර විත­රයි විකු­ණන්න පුළු­වන්. ඒ උද්‍යා­නය හදලා පාර දිගේ කුඩ දාලා දේශීය ආහාර විකු­ණන්න හැදුවා. ඒක බලන්න එන ළමයි ඒ දේශීය ආහාර පම­ණයි කන්නේ. අපේ කිරි­බත් සෝයා වගේ දේවල්. මෙය කුඩ අට­කින් පටන් ගත්තේ. එව­කට කෘෂි­කර්ම ඇමැ­තිව සිටි මෛත්‍රී­පාල සිරි­සේන ජන­ප­ති­තුමා තමයි එය විවෘත කරන්න එදා ආවේ. මෙය අද හෙළ බොජුන් කියන නමින් පටන් ගත්තා. දැන් ලංකාව පුරාම හෙළ­බො­ජුන් හල් හැම­තැ­නම වගේ තිබෙ­නවා. සැබෑ ශ්‍රී ලාංකේය රසය කියලා හඳු­න්වන්නේ. දැන් ස්ථාන පනස් එකක් තිබෙ­නවා. ගන්නො­රු­වෙන් පටන් ගත්තේ. ඒ වැඩ­ස­ට­හන තමයි ගොඩක්ම ජන­තාව අත­රට ගියේ. ඉතා නැව්ම් විදි­හට දේශිය ආහාර පාන ජන­තා­වට මෙයින් ලබා­දෙ­න්නට අපිට හැකිව තිබෙ­නවා. මේ ඔස්සේත් රැකියා අවස්ථා රැසක් සලසා දෙන්න මට පුළු­වන් වුණා. අද ඒ තැන්වල වැඩ කරන අය හොඳ ජීවන තත්ත­ව­යක් ළඟා කර­ගෙන තිබෙ­නවා. සම­හර අය තම­න්ගෙම තැන් හදා­ගෙන තියෙ­නවා. අලුත් අයට අව­ස්ථාව දීලා. ඒ වගේම මම මගේ සේව­ක­ය­න්ටත් උප­රි­මව සැලැ­කුවා. ඔවුන්ට ඉදි­රි­යට එන්නට අව­ස්ථාව සලසා දුන්නා.

ආපසු හැරී බලද්දී ඔබ කළ සේවය ගැන ඔබට හිතෙන දේ...

ලොකු සතු­ටක් දැනෙ­නවා. ඊට අම­ත­රව යුරෝපා සංග­මය අපේ එළ­වළු හා පල­තුරු මිල දී ගැනීම ප්‍රති­ක්ෂේප කළා ඔබට මතක ඇති. එයට හේතු වුණේ පල­තුරු මැස්සා. මම ඒ අව­ස්ථාවේ ගැප් තාක්ෂ­ණය හා ක්‍රම­වේ­දය හඳුන්වා දී එයට විස­දුම් ලබා දුන්නා. ඒ වගේම රුසි­යා­වෙන් අපේ තේ මිල දී ගන්න බැහැ කියපු අව­ස්ථාව.එයට හේතු වුණේ කැප්රා බිට්ල් කියන කෘමියා. එය­ටත් රුසි­යා­වට ගිහින් මම පිළි­යම් යෙදුවා. එයට ඇත්ත­ටම හේතුව තේ කොළ­වල වර­දක් නොවෙයි. තේ පට­වන කන්ටේ­නර් තුළ මේ කෘමියා සිටී­මයි. මේ වගේ දේව­ලින් අපේ රට මුදා­ගෙන රටට තිබුණු කීර්තිය නැවත අත්කර දෙන්න මට හැකි වුණා.

ඔබ අද සිටින තැන ගැන සතු­ටුද?

ඇත්ත­ටම. මම 77 දි ඇඩ්වාන්ස් ලෙවල් කරලා හිතුවේ මෙඩි­කල් ෆැක­ල්ටි­යට යන්නයි. ඒත් මට දිස්ත්‍රික් ක්‍රමය නිසා ඒ අව­ස්ථාව අහිමි වුණා. මාව තේරුණේ පශු වෛද්‍ය අංශ­ය­ටයි. ඊට පල්ලෙ­හා­යින් තමයි කෘෂි­ක­ර්මය තිබුණේ. මම කෘෂි­ක­ර්මය තෝරා ගත්තා. දැන් තමයි මට තේරෙන්නේ. මම ජීවි­තයේ ගත්ත හොඳම තීර­ණය තමයි කෘෂි­ක­ර්මය හැදෑ­රීම. ඔක්කොම නිර්මාණ අලුත්. ගහක් හදන එකත් නිර්මා­ණ­යක්. හැම පැත්තක්ම පර්යේ­ෂ­ණ­ව­ලින් පිරිලා. එය අපිට අලුත් ජීවි­ත­යක් අලුත් ලොවක් වගේම වාස­නා­වත් උදා කර­නවා.

ඡායා­රූප - රුවන් ද සිල්වා

Comments