තරු ගැන කියන්න මිහින් ලංකා මොටෝරියෙන් ගිය රාජකීය නැකැත්තා! | Page 2 | සිළුමිණ

තරු ගැන කියන්න මිහින් ලංකා මොටෝරියෙන් ගිය රාජකීය නැකැත්තා!

අප රටේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේත් එහි අනුබද්ධ ආයතනයක් වන ශ්‍රීලංකන් කේටරින් සමාගමේ හා මහා භාණ්ඩාගාරය යටතේ පාලනය වූ මිහින් ලංකා ගුවන් සේවයේත් සිදු වුණු බව කියන මහා පරිමාණ වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව යනු දිනෙන් දින අපූරු කරුණු හෙළිදරවු වන ස්ථානයක් බවට පත්ව තිබේ. බැඳුම්කර කොමිසමට මෙන් පුළුල් මාධ්‍ය අවධානයක් නොලැබුණද ශ්‍රීලංකන් ජනාධිපති කොමිසමේ හෙළිදරවු වන වංචා දූෂණ ගැනද පොත් පිටින් රචනා කළ හැකි තරම්ය.

එවන් අපූරු හෙළිදරවුවක් වූයේ පසුගියදා ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට හිටපු රාජකීය දෛවඥයා වන සුමනදාස අබේගුණවර්ධන මහතා පැමිණීමත් සමඟිනි. ශ්‍රීලංකන් ගුවන් සේවය හෝ ශ්‍රීලංකන් කේටරින් හෝ මිහින් ලංකා සමඟ සුමනදාස අබේගුණවර්ධන නම් ජ්‍යෙතීර්වේදියාට ඇති සම්බන්ධය කුමක්ද?

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් නීල් උනම්බුව මහතාගේ අධීක්ෂණය යටතේ රජයේ අධිනීතිඥ චතුර ගුණතිලක මහතා ශ්‍රීලංකන් ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි මෙහෙයවමින් සාක්ෂිකරු වූ සුමනදාස අබේගුණවර්ධන මහතාගෙන් අනාවරණය කරගත් තොරතුරු අපූරුය!

මේ සාක්ෂියට අනුව 2007 වසරේ අගෝස්තු මස දිනක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාව හුන් මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගෙන් සුමනදාස අබේගුණවර්ධන මහතාට දුරකථන ඇමතුමක් ලැබේ. ඒ දුරකථන ඇමතුම ගන්නා විට අබේගුණවර්ධන මහතා සිටිනුයේ ගාල්ලේ පිහිටි තම නිවෙසේය.

ඇමතුමෙන් කියැවෙන්නේ, හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රාජගිරියේ පිහිටි ලංකා ඔරික්ස් ලීසිං කම්පැනි (LOLC) සමාගමේ ප්‍රධාන කාර්යාලය වෙත ගොස් සුමනදාස අබේගුණවර්ධන මහතා වෙනුවෙන් වෙන් කර ඇති මෝටර් රථයක් ලබාගන්නා ලෙසය.

අනතුරුව කොළඹට පැමිණෙන අබේගුණවර්ධන මහතා රාජගිරියේ අදාළ මූල්‍ය ආයතන පරිශ්‍රයට ගොස් තමා වෙනුවෙන් වෙන් කර තිබූ නිසාන් එන් 16 වර්ගයේ මෝටර් රථයට අදාළ යතුරු ලබාගන්නේය. සිත්ගන්නාසුලු කරුණ වන්නේ අබේගුණවර්ධන මහතාට මෝටර් රථයේ යතුර හැරුණු විට අන් කිසිදු ලේඛනයක් දීමට පියවර ගෙන නොතිබීමය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහනය ලියාපදිංචි කිරීමට අදාළ කිසිදු ලේඛනයක් හෝ, කොටින්ම රක්ෂණ ආවරණයකින්ද තොරව මෝටර් රථය නිකුත් කිරීම සිදු වේ.

සාක්ෂිය මෙහෙයවමින් සිටි රජයේ අධිනීතිඥ චතුර ගුණතිලක මහතා මේ අවස්ථාවේ හරස් ප්‍රශ්නයක් එල්ල කරමින් අසා සිටියේ සුමනදාස අබේගුණවර්ධන මහතාට මෝටර් රථයක් දීමට හිටපු ජනාධිපතිවරයාට තිබුණු හේතුව කුමක්ද යන්නයි.

ඊට පිළිතුරු බඳිමින් අබේගුණවර්ධන මහතා කියා සිටියේ, තමා හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයකු වූ බැවින් එවැන්නක් තමා වෙනුවෙන් ලබාදෙන්නට ඇති බවයි.

ප්‍රශ්නය මතු වන්නේ මේ මෝටර් රථය කාට අයත් වූවක්ද යන්න සොයාබැලීමේදීය. 2007 වසරේදීම අප්‍රේල් මාසයේ තම මෙහෙයුම් ඇරඹූ මිහින් ලංකා ගුවන් සමාගම, සිය අවශ්‍යතා වෙනුවෙන් LOLC සමාගමෙන් මෝටර් රථ 26ක් ගෙන්වාගැනීම සඳහා ඇණවුමක් සිදු කළේය. ඒ සෙලාන් බැංකුව හරහා සපයාගත් ණය මුදලකිනි. ශ්‍රීලංකන් ජනාධිපති කොමිසමේදී හෙළි වුණු තොරතුරුවලට අනුව ජ්‍යෙතීර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතාට දී ඇත්තේ මෙසේ මිහින් ලංකා වෙනුවෙන් ගෙන්වන ලද නිසාන් එන් 16 මෝටර් රථයකි.

කෙසේ වුවද කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් අබේගුණවර්ධන මහතා කියා-සිටියේ තමාට දුන් මෝටර් රථය මිහින් ලංකා සතු වාහනයක් බව තමා නොදැන සිටි බවයි.

එහෙත් 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වීමෙන් අනතුරුව ඔහු වහාම තමන් භාවිත කරමින් සිටි මෝටර් රථය LOLC ගාල්ල ශාඛාවට භාර දීමට ක්‍රියා කර තිබේ. ඊට හේතු ලෙස ඔහු කියා-සිටියේ, අදාළ මෝටර් රථය තමාට ජනාධිපතිවරයාගෙන් ලැබුණු දෙයක් නිසාත්, ජනාධිපතිවරයා තවදුරටත් ධුරයේ නොසිටින නිසාත් තමාට අනවශ්‍ය කරදරයක් මතු වෙතැයි සිතා මෝටර් රථය නැවත භාරදුන් බවයි.

මේ අනුව බලන කල 2007 අගෝස්තු මස සිට 2015 ජනවාරි මස දක්වා ආසන්න වශයෙන් අවුරුදු 7කුත් මාස 4ක් සුමනදාස අබේගුණවර්ධන මහතා මේ මෝටර් රථය භාවිත කර තිබේ. එනම්: මිහින් ලංකා සමාගමට කිසිදු සම්බන්ධයක් නැති ඔහු තම පෞද්ගලික පරිහරණය වෙනුවෙන් මිහින් ලංකා සමාගමේ වාහනයක් භාවිත කර තිබේ.

තත්ත්වය වඩාත් ශෝචනීය වන්නේ, සුමනදාස අබේගුණවර්ධන මහතා භාවිත කළ මෝටර් රථය වෙනුවෙන් පොලී වාරික සමඟින් රුපියල් ලක්ෂ අසූ දෙකක මුදලක් ගෙවීමට මිහින් ලංකා ආයතනයට සිදු වීමයි. කිසිදිනෙක ලාභ නොලැබූ මිහින් ලංකා, මේ මෝටර් රථයට ගෙවීමට රුපියල් ලක්ෂ අසූ දෙකක් සොයාගත්තේ මහා භාණ්ඩාගාරයෙන් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ.

2007 ඇරඹි මිහින් ලංකා ගුවන් සේවය 2016 මාර්තු මස 31 වන විට ලබා තිබූ පාඩුවේ මුළු අගය රුපියල් බිලියන 17.27ක් විය. ඒ සා විශාල දැවැන්ත පාඩුවක් සිදු වන්නට මෙවන් අත්තනෝමතික සන්තෝසම් දීමනාද හේතු වන්නට ඇති බවට කිසිදු සැකයක් නැත. 2016 ඔක්තෝබර් 29 වැනිදා මිහින් ලංකා වසා-දමන්නේ මෙසේ නිකරුණේ රුපියල් බිලියන ගණනක පාඩුවක් මහජනතාවගේ කර මත පටවා තබාය.

සුමනදාස අබේගුණවර්ධන මහතාගේ සාක්ෂි විභාගය සඳහා ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති ඇන්තනි හැරල්ඩ් යන කොමිෂන් සභා සාමාජිකයෝ එක්ව සිටියහ.

Comments