සිනා කතා | සිළුමිණ

සිනා කතා

මුඛවාඩම් ඕනෑ කාටද?

 

‘‘උතුරු පළාතෙ ගංවතුරෙන් අනාථ වුණු ළමයි ආපසු ඉස්කෝලෙ යද්දි ඒ ළමයින්ට මුඛවාඩම් බෙදලා දෙනවයි කියල මේ පත්තරේ තියෙන්නේ. විෂබීජ පැතිරිලා ළමයි ලෙඩ වෙනවාට වෙන්ඩ ඇතිනේද මෙයා‘‘ සතිඅන්ත පුවත් පතක් කියවමින් සිට අමිතා තම සැමියා දෙස බලා කීවාය.

‘‘එයා මෙයාටයි මෙයා එයාටයි දිගට හරහට මඩ ගහ ගන්න විදියට ඔය දවස ගානේ මාධ්‍ය සාකච්ඡා තියන අපේ දේශපාලනඥයන්ට නේද හාමිනේ ඉස්සෙල්ලම මුඛවාඩම් බෙදන්ඩ ඕන.‘‘ කරුණාසේන කීවේ සෝපාහාසී සිනාවක් නඟමිනි.

 

අත්තෙන් අත්තට

 

‘‘අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී කියල අපේ පැරැණි උගත්තු කිව්වේ කට කහනවට නං නෙමෙයි පුතෝ. ආන්න ඒ ටික උඹ හොඳට හිතට ගනිං.‘‘

ජේම්ස් ලොක්කා තම වැඩිමහල් පුත් ගුණපාල දෙස බලා කීවේ අවවාදහකටත් වඩා අවලාදයක ස්වරූපයෙනි.

‘‘ඔය කතාව දැන් යල් පැනලා තාත්තෙ. පහුගිය දවස්වල අපේ කවුන්සලේ ඇත්තෝ ඒ අත්තෙන් මේ අත්තට පැන්නේ නැද්ද කෙළවරක් නැතුව. කෝ ඒ කවුරුවත් තෙමිලා නැහුණද?‘‘ සෝපාහාසී ලෙස තම පියා දෙස බලා ගුණපාල කිවේය.

 

ඒ අත්දැකීම මදිද?

 

‘‘හැම අවුරුද්දකම අන්තිම කාලෙ මාසයක් හමාරක් උසාවි වලට නිවාඩු ලැබුණාම තමයි ඔය මොකක් හරි නිර්මාණයක් කරන්න මට ඉස්පාසුවක් ලැබෙන්නෙ. ඒත් මෙදා සැරේ ලියන්ඩ හරි හමං අත්දැකිමක් නැතුව මම දහඅතේ හිත හිතා හිටියේ මොනවා ලියන්ඩද කියලා. දෙයියන්ගෙ පිහිටෙන් ඒ ප්‍රශ්නෙට හොඳ උත්තරයක් ලැබුණා.‘‘ දුරකතනය ඔස්සෙ අල්ලාප සල්ලාපයක යෙදී සිටියදී නීතිඥ කපිල චන්ද්‍රසිරි හට කීවේ සැනසුම් සුසුමක් හෙළමිනි.

‘‘සුරංගනාවක්වත් හීනෙන් පෙනී හිටලා මොකක් හරි හොඳ වස්තු බීජයක් කිව්වද?‘‘

චන්ද්‍රසිරි ඇසුවේ තද බල කුතූහලයකිනි.

‘‘එහෙම දෙයක් නෙමෙයි. පහුගිය දවස්වල සිද්ධවුණු පාර්ලිමේන්තු අලකලංකචි ගැන නඩු කීයක් නං අපේ උසාවියේ විභාග වුණාද? ඉතින් ඒවා හොඳට හිතට අරගෙන මම උසාවිය නිවාඩු දුන්න ගමන්ම එක හුස්මට කොමඩි නාට්‍යයක් ලිව්වා‘‘ කපිල කීවේ ලොකු උද්යෝගයකිනි. 

 

අදහස්