සිනමා ලොව වර්ණ­වත් කළ කවු­රුත් කැමැති කාටූන් චරිත | සිළුමිණ

සිනමා ලොව වර්ණ­වත් කළ කවු­රුත් කැමැති කාටූන් චරිත

මිකී මවුස් වුණු මෝටිමර්

කාටූන් බලන්න කවුරුන්ද අකැමැති? කිසිම සැකයක් නැහැ, කුඩා ළමයින් විතරක් නොවෙයි, වැඩිහිටියන් පවා කාටූන් චිත්‍රපටවලට ප්‍රිය කරනවා. විශේෂයෙන් ම හාස්‍ය රසයෙන් සපිරුණු කාටුන් චිත්‍රපට වලට තමයි මේ සියලු දෙනාගේ ම කැමැත්ත තිබෙන්නේ.

කාටූන් චිත්‍රපට කලාවේ මුල්ම හඬ කැවූ නිර්මාණය තමයි, මිකී මවුස් නම් වූ අපූර්වතම සැකිලි රූ චරිතය රැගත් ‘ස්ටීම්බෝට් විලී’. මේ චිත්‍රපටයේ වගතුග කියන්නට කලින් මිකී නම්වූ මීයා ගේ චරිතය නිර්මාණය වූ හැටිත් සටහන් කළ යුතුයි.

මිකී මවුස් චරිතය නිර්මාණය කළේ වෝල්ටර් ඒලියස් ඩිස්නි හෙවත් කවුරුත් දන්නා හඳුනන වෝල්ට් ඩිස්නියි. ඔහු සමඟ මේ කාර්යයට දායක වූයේ ඩිස්නි මෙන් ම තවත් දක්ෂ කාටූන් ශිල්පියකු වූ උබ් අයිවර්ක්ස්.

කාටූන් චරිතයකට සුදුසු රුවක් නිර්මාණය කරන්නැයි ඩිස්නි ඉල්ලා සිටියේ උබ් අයිවර්ක්ස්ගෙන්. ඔහු බල්ලන්, පූසන් ඇතුළු විවිධාකාර සතුන්ගේ සැකිලි රූ රැසක් ම සිතුවම් කළා. නමුත් ඒ එකක්වත් ඩිස්නි ගේ සිත් ගත්තේ නැහැ. ඔහුගේ සිතට නැගුණේ තම මේසය මත තිබූ චීස් කැබලි කිහිපයකට පොර බැදූ මීයන් දෙතුන් දෙනාගෙන් එකෙකුයි. “මම තනියම චිත්‍රාගාරයේ මැදියම් රැයේ වැඩකරමින් ඉන්න අතරේදියි මේ අය දැක්කේ.

මේ මීයන් අතර හිටපු දුඹුරු පාට මීයෙක් මම දැක්කා. එයාගෙ රූපය තමයි මගේ හිතට හරි ගියේ.” ඩිස්නි, මිකී මවුස් ගේ ‘උපත’ එලෙස හෙළි කළා. ඔහුට අවශ්‍ය පරිදි අයිවර්ක්ස්ගේ තෙළිතුඩින් රතුකොට කලිසමකින්, විශාල සපත්තු යුගලකින් සහ සුදු අත් වැසුම්වලින් සැරසුණු මී චරිතයක් සටහන් වුණා. මුලින්ම මේ චරිතය නම් කෙරුණේ ‘මෝටිමර් මවුස්’ යනුවෙන්.

එයට නම් තැබුවේ ඩිස්නියි. නමුත් ඔහුගේ බිරිය, ලිලියන්ගේ ඉල්ලීම වූයේ ඒ නම වෙනස් කරන ලෙසයි. එවිටම ඩිස්නිගේ සිහියට නැගුණේ සිනමා නළු මිකී රූනිවයි. ඔහු, දෙවරක් නොසිතා ‘මෝටිමර් මවුස්’, ‘මිකී මවුස්’ ලෙස වෙනස් කළා. මිකී මවුස් ඇතුළු සෙසු කාටුන් චරිත ජීවය ලැබුවේ වත්මනෙහි මෙන් පරිගණක තාක්ෂණය උප‍යෝගී කර ගෙන නොවේ. චරිතවල සෑම අංග චලනයක් වෙනුවෙන් ම රූප සටහන් එකින් එක සිතුවම් කළා.

මිකී මවුස් චරිතය වෙනුවෙන් දෙබස් කීවේ වෝල්ට් ඩිස්නියි. කෙසේ වෙතත්, 1946 වන විට ඩිස්නි කාර්ය බහුල වීමත්, දුම්පානයට ඇබ්බැහිවීමෙන් ඔහුගේ කටහඬ වෙනස් වීමත් නිසා මිකී ට හඬ ලබා දුන්නේ ජිමි මැක්ඩොනල්ඩ් විසින්.

මිකී මවුස් චරිතය ඇතුළත් වූ මුල්ම චිත්‍රපටය වූ ‘ස්ටීම්බෝට් විලී’ මුලින් ම තිරගත වූයේ 1928 නොවැම්බර් 18 දායි. නමුත්, මිකී මවුස් චරිතය රැගත් මුල්ම චිත්‍රපටය ලෙස සැලකෙන්නේ 1928 මැයි 15 දා තිරගත වූ ‘‍ප්ලේන් ක්‍රේසි’ නම් වූ නිහඬ චිත්‍රපටයයි.

මිකී මවුස් පෙනීසිටි අලුත් ම චිත්‍රපටය, ‘මිකීස් - නයින්ටීත් ස්පෙක්ටක්‍යුලර්’ තිරගත වූයේ 2018 නොවැම්බර් 4 දායි.


බ්‍රැඩ්මන්ගේ නම ලැබූ ඩොනල්ඩ් ඩක්

වෝල්ට් ඩිස්නි විසින් නිර්මාණය කරන ලද තවත් ජනප්‍රිය කාටූන් චරිතයක් තමයි, ඩොනල්ඩ් ඩක්. නාවිකයකුගේ ඇඳුමින් සැරසුණු ඩොනල්ඩ් නම් වූ තාරාවා ඔබ අප කවුරුත් හොඳින් හඳුනනවා. මේ චරිතය එදා ප්‍රාණය ලබු‍ෙව්ත් චිත්‍ර ශිල්පීන්ගේ දක්ෂතාව නිසයි. අල් ටාලියාෆෙරෝ, කාල් බාක්ස් සහ ඩොන් රෝසා යන චිත්‍ර ශිල්පීන් ඩොනල්ඩ් ඩක් රැගත් චිත්‍රපටවලට ජීවය දුන්නා. ඒ, 1934 දීයි.

මේ හුරුබුහුටි තාරාවාට ඩොනල්ඩ් යන නම ලැබුණේ 30 දශකයේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවක් බවට පත්ව සිටි ඩොනල්ඩ් බ්‍රැඩ්මන් නිසයි. 1932 දී උතුරු ඇමරික‍ාවේ ප්‍රදේශ කිහිපයක පැවැත්වුණු ක්‍රිකට් තරගාවලියේදී අවස්ථා කිහිපයකදී බින්දුවට දැවීයෑමෙන් ඔහුට ‘ඩක්’ යන නම පටබැඳුණා. (ඩක් Duck) යන වචනය ක්‍රිකට් තරගයකදී භාවිත වන්නේ පිතිකරුවකු බින්දුවට දැවී යෑමේ මොහොතයි.) වෝල්ට් ඩිස්නි තමන්ගේ අලුත්ම කාටුන් චරිතය ‘ඩොනල්ඩ් ඩක්’ ලෙස නම් කළේ ඉන් පසුවයි.

මේ චරිතයට හඬ දුන්නේ ක්ලැරන්ස් නාශ්. 1934 සිට වසර 50 ක් ගත වන තුරු ඩොනල්ඩ් ඩක් වෙනුවෙන් දෙබස් කීවේ ඔහුයි. 1985 නාශ් මිය ගිය පසුව ඩොනල්ඩ් ඩක් වෙනුවෙන් හඬ සැපයුවේ ඩිස්නි සමාගමේ සජීවිකරණ ශිල්පී ටෝනි ඇන්සෙල්මෝ යි. ඩොනල්ඩ් ඩක් නිරූපණය වූ මුල්ම චිත්‍රපටය, විනාඩි 7ක ධාවන කාලයකින් යුතු ‘ද වයිස් ලිට්ල් පොන්’. විකාශය වූයේ 1934 ජූනි 9 දා යි අලුත් ම චිත්‍රපටය, ‘ලෙජන්ඩ් ඔෆ් ත්‍රී කබලෙරෝස්’. මෙය, පසුගිය වසරේදී විකාශය වුණා.

 

Comments