මහ වන­යක් මැද තුරු සෙවණේ හිඳ රැය පහන් කළ සොඳුරු දව­සක් | Page 2 | සිළුමිණ

මහ වන­යක් මැද තුරු සෙවණේ හිඳ රැය පහන් කළ සොඳුරු දව­සක්

ගොඩක් විදේශිකයන් අපේ රටට එනවා මේ වගේ තැන්වලට ඇවිත් නිදහසේ ඉඳලා යන්න. ඒ නිසා මම දැන් සැලසුම් කරගෙන යනවා කැලේ ඇතුළට වෙන්න කණු උඩ කාමර කිහිපයක් (මඩ් හවුස්) හදන්න. විශේෂයෙන් නිදහසේ පොත්පත් කියවන්න වගේම රාත්‍රී කාලයේ මෙහි එන සත්තු බලන්න එතකොට කිසිම බාධාවක් නැහැ. ආරක්ෂාව අතින් වුණත් බයවෙන්න දෙයක් නැහැ. ඒ වගේම විදෙස් සංචාරකයන් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන දෙයක් තමයි වායු බැලුනයක නැගලා සීගිරිය වැනි තැන් ඉහළ සිට දැකගන්න එක.

අතොරක් නැතිව ඇසෙන කුරුල්ලන්ගේ විවිධ වූ හඬ සවනට මිහිරි ගීතයක් ඇසෙන්නාක් මෙනි. තුරු ලතා සිපගෙන හමන සුළඟ ගත සුවදායි ලෙස සනසයි. නිදහසේ සිතිවිලි අතර සැරිසරන්නට මෙයටත් වඩා සුදුසු තැනක් තවත් කොයින්ද? සිතට පීඩාවක් ඇති වුණු කල එසේත් නැතිනම් කාර්යාලයේ හෝ ව්‍යාපාරයේ රාජකාරි කටයුතු බහුලව ගත සිත දෙකම විඩාවට පත්ව සිටින මොහොතක කොහේ හෝ ඈතකට ගොස් නිස්කලංක කැලයකට වී ටිකක් නිදහසේ ගත කරන්න ඇත් නම් යැයි ඔබට සිතුණු මොහොතක මේ ඊට සුදුසුම තැනකි.

සැබැවින්ම ඔබට කොළඹින් බොහෝ ඈත සුන්දර ගමක හේනක ගසක් උඩ තැනූ පැලක රැයක් ගත කරන්නට අවස්ථාවක් උදාවී නැතුවා වන්නට පුළුවන.

එසේත් නැතිනම් විදුලි එළි රැය පුරා දැල්වී දහවල රැය කියා වෙනසක් නැති නාගරික පරිසරයෙන් මිදී වන සතුන් පිරි කැලයක් තුළ තැනූ පැල්පතක ලන්තෑරුම් එළියකින් පමණක් යන්තම් අඳුර මකන රාත්‍රියක් ගත කරන්නට අවස්ථාවක් ලැබී නොතිබෙන්නට පුළුවන.

අද රසඳුන ‘ගත සිත නිවනා සොඳුරු සැරිසර‘ චාරිකාවේ අප මේ රැය පහන් කරන්නට සූදානම් වන්නේ එවැනි අපූරු තැනක් වන ‘Elephant Kingdom‘ නිවාඩු නිකේතනයේයි. සති කිහිපයක් පුරා සොඳුරු සැරිසර චාරිකා සටහන ගෙනා හබරණ ප්‍රදේශයේ අප කළ සංචාරය සංවිධානය කළ ටිෂාන් රංගේ මෙහි හිමිකරුය.

හබරණ නගරයේ සිට ත්‍රිකුණාමලය පාරේ ගොස් සෙවණගම පාරට හැරී කිලෝමීටර 2ක් පමණ ඇතුළට ගමන් කිරීමෙන් Elephant Kingdom නිවාඩු නිකේතනයට ළඟාවිය හැකියි.

මාර්ගයේ සාමාන්‍ය වාහනයක් ගමන් කළ හැකි වුවත් හබරණ නගරයේ ඇති ‘අපි මචං මෙතැන‘ සෆාරි ජීප් සපයන ස්ථානයට පැමිණ හෝ 0779265666 අංකයෙන් ටිෂාන් රංගේට ඇමතූ විට ඔහු සෆාරි ජීප් රථයකින් මෙහි රැගෙන ඒමට කටයුතු කරන අතර එය වඩාත් පහසුය.

සෙවණගම නිවාස පසුකර ලූනු, බඩඉරිඟු වැනි අක්කර ගණන් විහිදුණු හේන් යායවල් මැදින් ගොස් මෙතැනට ළඟාවිය හැකිය. අක්කර ගණනාවක් පුරා පැතිරුණු වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරයක මැද කායා, බුරුත, විලා, හල්මිල්ල, නැඳුන්, කොහොඹ, සියඹලා, කැටකෑල වැනි ගස් මෙන්ම කුඩා පඳුරු එලෙසම තබා ගනිමින් ලී සහ පොල් අතු උපයෝගී කරගෙන මෙම නිවහන ඉදිකර තිබේ. සැබැවින්ම වනය මැද තුරු සෙවණේ පොල් අතු සෙවිලි කළ මෙම නිවහනේ ඇතුළත ඇත්තේ ගතට සුවදායී සිසිලසකි.

‘‘දේශීය සංචාරකයින් වගේම විදේශීය සංචාරකයින් වැඩි ප්‍රමාණයක් හබරණ ප්‍රදේශයට එන්නේ අපේ රටේ ස්වාභාවික සුන්දරත්වය විඳගන්න. ඓතිහාසික දඹුල්ල, සීගිරිය, පිදුරංගල වැනි පූජනීය ස්ථාන නරඹනවා වගේම මින්නේරිය, හබරණ, පොලොන්නරුව වැනි වනෝද්‍යාන වලට ගිහින් අලි බලන්න.

ඒත් ඒ අතරේ ඉන්න සමහර සංචාරකයන්ට අවශ්‍ය නිදහස් පරිසරයකට වෙලා නිස්කලංකව කාලය ගත කරන්න. පොත් පත් කියවන්න. එහෙමත් නැතිනම් පොත් පත් ලියන්න. අධ්‍යයන කටයුතුවල නියැළෙන්න.

තවත් සමහර විදේශිකයින් එනවා කැලයක් ඇතුළේ රාත්‍රියක් ගත කරලා ඒ අත්දැකීම ලබන්න. ඉතින් මම එවැනි සංචාරකයින් ඉලක්ක කරගෙන තමයි මේ ස්ථානය ගොඩ නැගුවේ.‘‘ Elephant Kingdom හි හිමිකරු ටිෂාන් රංගේ මේ සංකල්පය පිළිබඳව කියන්නේ එහෙමයි.

‘‘තව මෙතැනට එනවා තරුණ පිරිස්. ගිනිමැලයක් ගහගෙන බාබක්‍යු එකක් දාගෙන සින්දුවක් කියලා විනෝද වෙන්නත් මේ තැන කදිමයි. අවට ගෙවල් දොරවල් නැති නිසා නිදහසේ ගත කරන්න පුළුවන්.‘‘

මෙහි දහයක දොළහක පමණ පිරිසකට එකවර නවාතැන් ගත හැකිය. ඒ සඳහා පහළ මාලයේ සහ ලී තරප්පු පෙළකින් නැග යා යුතු ඉහළ මාලයේ ඇඳන් සූදානම් කර තිබේ. කැලය මැද රාත්‍රිය ගත කරන්න කැමැති නම් ඒ සඳහා කඳවුුරු ටෙන්ට් එකක් තුළ ආරක්ෂාකාරීව එම අත්දැකීම විඳින්නටත් හැකිය.

දුම් දමන බෙලිමල් පානයක් රැගෙන අප වෙත ආවේ ෂිහාන් මධුශංකයි. හකුරු සමඟ බෙලිමල් පානය කරන අතර මෙහි පැමිණෙන පිරිසට අවශ්‍ය සංග්‍රහ සත්කාර කරන ෂිහාන් සමඟ අප කතාබහට වැටුණෙමු. ඔහු ප්‍රියමනාප කඩිසර තරුණයෙකි.

‘‘ගොඩක් දෙනෙක් මෙතැනට එන්නේ කැලයක් ඇතුළේ ගත කරද්දි දැනෙන ඒ අත්දැකීම විඳගන්නයි. මෙහි එන අයට අපි මුලින්ම මේ විදියට බෙලිමල්, රණවරා වැනි දේශීය ඔසුපැන්වලින් සංග්‍රහ කරනවා. එහෙම නැති නම් තේ, කෝපි දෙනවා. මේ අවට හේන්වල එළවළු බහුලයි. ඒ නිසා කටට රසට දේශීය ආහාර වේලක් ලබා දෙන්න අපි හැම විටම කටයුතු කරනවා. එහෙම නැතිව අවශ්‍යතාව අනුව කෑම ලබා දෙන්නත් පුළුවන්. තමන් කැමැති නම් බඩු ගෙනත් දුන්නාම අපි උයලා දෙනවා.‘‘

අප කතාබහ කරන අතරේ කිසියම් හඬක් ඇසී ෂිහාන් අප නිශ්ශබ්ද කළේය. ටික වේලාවකින් කැලය බිඳගෙන දිවගියේ වල් ඌරන් රංචුවකි.

‘‘මේ හරියේ වල් ඌ‍ෙරා් සෑහෙන්න ඉන්නවා. අට දෙනකුගෙන් විතර ඉන්න මුවෝ රංචුවක් නිතරම මෙතැනට එන්න පුරුදුවෙලා ඉන්නවා. ලොකු ගෝන්නු දෙන්නෙක් දකින්නත් පුළුවන්. ඉත්තෑවෝ මොනරු නම් ඕන තරම් දකින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මේ කැලය කුරුල්ලන්ගේ පාරාදීසයක්. හැබැයි මේ සත්තු දකින්න මේ දේවල් අත්විඳින්න නිදහසේ මෙහි ගත කරන්න ඕනෑ.‘‘

කතාබහ අතරේ වේලාව ගතවනවා නොදැනේ. කුරුල්ලන්ගේ කිචි බිචිය වැඩීවී ඇත. කැලයෙ තුරු වියන නිසා අඳුර ඉක්මනින් දැනේ. අඳුර රජයන්නට පෙර ශාන් ඡායාරූප ගන්නට වෙහෙසෙයි. උදේ වරුවේ පිදුරංගල විහාරයට ගිය නිසා මෙහි එන්නට අප යොදා ගත්තේ සවස් භාගයේය. 

ඒ ටිෂාන් කියන අන්දමට කැලයක රාත්‍රිය ගත කරමින් විඳින්නට හැකි ඒ අත්දැකීම ලබා ගන්නට අවැසි නිසාය. අපි මෙහි ඉහළ මාලයේ ඇති ඇඳේ ඇලවී විඩා නිවා ගන්නා අතර කතාබහට වැටුණෙමු.

කැදැලි කරා පියඹන කුරුල්ලන්ගේ නාදය අතරේ අහස රත්පැහැ කරමින් පැතිර යන අඳුර පහව ගියේ ටිෂාන් දැල්වූ ලන්තෑරුම් එළියෙනි.

‘‘ගොඩක් විදේශිකයන් අපේ රටට එනවා මේ වගේ තැන්වලට ඇවිත් නිදහසේ ඉඳලා යන්න. ඒ නිසා මම දැන් සැලසුම් කරගෙන යනවා කැලේ ඇතුළට වෙන්න කණු උඩ කාමර කිහිපයක් (මඩ් හවුස්) හදන්න. විශේෂයෙන් නිදහසේ පොත්පත් කියවන්න වගේම රාත්‍රී කාලයේ මෙහි එන සත්තු බලන්න එතකොට කිසිම බාධාවක් නැහැ.

ආරක්ෂාව අතින් වුණත් බයවෙන්න දෙයක් නැහැ. ඒ වගේම විදෙස් සංචාරකයන් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන දෙයක් තමයි වායු බැලුනයක නැගලා සීගිරිය වැනි තැන් ඉහළ සිට දැකගන්න එක.

මම මේ තැනින් වායු බැලුන්වලින් සංචාරකයන් අරගෙන යන්න ව්‍යාපෘතියක් පටන් ගන්න වැඩ කටයුතු කරගෙන යනවා. තව මාස කිහිපයකින් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තියෙනවා.‘‘

අප කතා බහ කරන අතරේ ෂිහාන් එළිමහනේ ගිනිමැලයක් ගසා එතැන බාබක්‍යු උඳුන සූදානම් කර තිබේ. අපි ඒ අඳුරු රාත්‍රියේ ගීත ගයමින් විනෝද වුණෙමු.

කොච්චි දමා ෂිහාන් සකස් කර තිබූ මඤ්ඤොක්කා පොල් මැල්ලුම බොහෝ කලකට පෙර රසවිඳි රසවත් කට ගැස්මකි. රාත්‍රිය සොඳුරු කළ ගීත ගැයීම අවසන් කළ යුතුව තිබුණේ හිමිදිරියේම අවදි විය යුතු නිසාය.

‘‘මෙතැන ඉඳලා ටික දුරකින් තියෙනවා කළුගල් කොරියක් තිබුණු තැනක විශාල වතුර වළක්. එතැනට පාන්දරට අලි එනවා. අපිට වාසනාව තිබුණොත් අලි වතුර නානවා බලාගන්න පුළුවන්.

ඒ නිසා දැන් අපි නිදා ගත්තොත් හොඳයි. ‘‘ ටිෂාන් අපගේ ගමනේ මීළඟ පියවර පිළිබඳව පැහැදිලි කළේය. ගිනි මැලය නිවී ගොසිනි. අපි ලී තරප්පුවෙන් උඩු මහලට නැග නින්දට ගියෙමු.

යළි අපි පිබිදුණේ මොනරකුගේ රාග නිශ්‍රිත කෑ ගැසීමෙනි. තවමත් අඳුර මුළුමනිනන්ම පහව නැත. පරිසරයේ සිසිල් බව ගතට ගෙන එන්නේ සනීපයකි. අපි ලහි ලහියේ සූදානම් වී ජීප් රියට ගොඩ නැගුණේ අලි බලන්නට යන්නටය.

පරිසරයේ නිහඬ බව බිඳිමින් ඉදිරියට ඇදුණු සෆාරි ජිප් රිය ගල් වළ ළඟට යනවිටත් අලි දෙදෙනෙක් එතැනින් පිටත්වී වනයට යන්නට සැරසෙති. අප ප්‍රමාද වැඩිය. ඉදිරි දිනකදී යළිත් එන්නට සිතා අප ආපසු හැරුණෙමු.

විශේෂ ස්තූතිය මෙම සංචාරය සංවිධානය කළ Elephant Kingdom හිමිකරු ටිෂාන් රංගේ මහතාට සහ සම්බන්ධීකරණය කළ අල්ගම Sri Craft Villege හිමිකරු සමීර රංගන නන්දසිරි මහතාට 

අදහස්