නලින්ද රණ­සිං­හගේ N JOY | සිළුමිණ

නලින්ද රණ­සිං­හගේ N JOY

නලින්ද රණසිංහ කියන්නේ අපේ රටේ රියැලිටි කලාවෙන් බිහි වුණ දක්ෂ ගායන ශිල්පියෙක්. සඳුනි, සුදු මැණික, මගේ සතුට අරන් වැනි ගීතවලින් රසික හදවත් දිනාගත් ඔහු මේ වන විට N-joy සංගීත කණ්ඩායමේ නායකයා ලෙසද ක්‍රියාශීලීව සංගීතයේ නියැලී සිටී. මෙවර අපි BAND OF THE WEEK කතාබහට නලින්ද එක් කර ගත්තෙමු.

 නලින්ද ඔබ කණ්ඩායමට N-joy යන නම යෙදීමේ අරුතක් තිබෙනවද?

මගේ නමේ මුල් අකුර තමයි N. ඒ අකුරත් එක්ක විනෝදය කියන වචනයත් එකතු කරල තමයි නම යෙදුවේ.

 

එතකොට ඔබ අධ්‍යාපනය ලැබුවේ ?

උඩුවෙල මහා විද්‍යාලයේ සහ අම්පිටිය බෙරවඩ් විද්‍යාලයේ

 

පාසල් කාලයේ සිටම සංගීතය හැදෑරුවාද?

පාසල් යන කාලයේ විෂයයක් විදියට නම් සංගීතය හැදෑවේ නැහැ.

 

සංගීතයට නැඹුරු වුණේ කොහොමද?

මම පාසලේදී සංගීතය හැදෑරුවේ නැති වුණාට මම හැදුණේ වැඩුණේ සංගීත පරිසරයක. ඒ කියන්නේ මගේ පියා සංගීතයට පුදුම ඇල්මක් දැක්වූවා. ඒ නිසා ගෙදර නිතර බජව් තිබුණා. අපේ ගෙදර අය කියන විදියට මම වයස අවුරුදු හතර හමාරක කාලයේදී විතර තමයි සංගීත භාණ්ඩයක් වාදනය කරලා තිබුණේ.

 

ඔබ එතකොට සංගීතය විෂයයක් විදියට හදාරලම නැද්ද?

පාසල් කාලයෙන් පස්සේ එම්.ජී.පී. කලායතනයෙන් සංගීතය හැදෑරුවා. ඉන් පස්සේ භාත්ඛණ්ඩ විභාගයේ විශාරද දෙවැනි විභාගය සමත් වෙලා නිපුන් කියන විභාගය තමයි කරමින් ඉන්නේ.

 

සංගීත භාණ්ඩ වාදනය කළාට ඔබටම කියලා වාදන භාණ්ඩ තිබුණේ නැහැ.

අපිට සංගීත භාණ්ඩ ගන්න තරම් ආර්ථිකයක් තිබුණේ නැහැ. සමහර දවසට සංගීත භාණ්ඩ තිබෙන කඩවලට ගිහින් ගන්න වගේ බලලා, ඒ දේවල් අතපත ගාලා අනන්තවත් ඇවිත් තිබෙනවා.

 

ඔබේ ජීවිතයේ වගේම සංගීත ජිවිතයෙත් හැරවුම් ලක්ෂ්‍යය සිරස සුපර් ස්ටාර් තරගය?

මම ඒ හැරවුම් ලක්ෂ්‍යයට කලින් ඔබට එක් කතාවක් කියල ඉන්නම්. මගේ තාත්තාගේ, අම්මාගේ වගේම බිරියගේ ලොකු හීනයක් තිබුණා බස් එකක යද්දී. කඩේකට යද්දී, වෙනත් ස්ථානයකදී මගේ සින්දුවක් අහන්න තිබුණ නම් කියලා. ඒ හීනය වෙන්න ඇති මාව සුපර් ස්ටාර් වගේ තැනකට තල්ලු කරන්න හේතු වුණේ.

 

ඉතින් ඊට පස්සේ?

මගේ බිරිය තමයි සුපර් ස්ටාර් තරගයට අයදුම් පතක් යොමු කරලා තිබුණේ. එය මම දැනගෙන හිටියෙත් නැහැ. හැබැයි ඒ සඳහා එන්න කියලා දන්වල තිබුණා. මම ගියා. පනස් එක් දහසකට වැඩිය තරගකරුවන් ඒ සඳහා ඇවිත් හිටියා. පළමු සහ දෙවැනි වටයෙන් තේරුණාට පස්සේ මට ඉදිරිය ගැන බලාපොරොත්තු ඇති වුණා. ඒ නිසා අධ්‍යයනයන් කර කර ඊළඟ වටවලට සූදානම් වුණා.

 

එහි ප්‍රතිඵලයක් විදියට 12 දෙනා අතරට එනවා?

පනස් එක්දහසක් අතරින් 12 දෙනා අතරට ආව කියන්නේ එතකොටත් මම ජයග්‍රහණය කරල ඉවරයි. පළමු වැනියා, දෙවැනියා විදියට ජයග්‍රහණය කළොත් තමයි තෑගි ගොඩක් ලැබෙන්නේ. එතනින් එහා 12 වැනියා වුණත් ලැබෙන්නේ එකම තෑගි ටිකයි. ඒ එක්කම හොඳ සින්දු කිහිපයක් නිර්මාණය කරන්න ලැබුණා. දක්ෂ, ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරු, ගීත රචකයෝ මුණ ගැහෙන්න ලැබුණා. සරත්ද අල්විස්, සමන් චන්ද්‍රනාත් වීරසිංහ සුසංයෝගයෙන් ‘සඳුනී‘ ගීතය එළි දක්වන්න ලැබුණා. ඒ ගීතය ඉතා ඉක්මනින් ජනතාව වැලඳගත්තා.

 

එතකොට N-joy සංගීත කණ්ඩායම නිර්මාණය කළේ කොහොමද?

මම සංගීත කණ්ඩායම් කිහිපයක වැඩ කරලා තිබෙනවා. ඒ අතර තමයි ජගත් සමරකෝන් මට ආරාධනා කළේ ඔහුගේ සංගීත කණ්ඩායම කරගෙන යමු කියලා. ඒ අනුව තමයි N-joy කණ්ඩායම හැදුවේ.

 

N-joy කණ්ඩායම හැඩ කරන සාමාජිකයෝ ගැන සඳහන් කළොත්?

තුසිත කුලරත්න-රිදම් ගිටාර්, ජගත් සමරකෝන්- බේස් ගිටාර්, අසංක විමලරත්න - ඔක්ට පෑඩ්, ජයන්ත රාජපක්ෂ-ඕගන්, නිශාන්ත ලක්මාල්-ලීඩ් ගිටාර්, අනුර චමත්-ඩ්‍රම්ස්, ගායකයන් ලෙස අමිත් බෝගොඩ, ජාලිය නිරෝෂන් සහ සංගීත සංයෝජක ලෙස වසන්ත කුලරත්න කටයුතු කරනවා.

 

මේ වෙනකොට අපේ රටේ සංගීත කණ්ඩායම් රැසක් තිබෙනවා. එය ඔබේ කණ්ඩායමට අභියෝගයක් නෙවෙයිද?

අභියෝගයක් නෙවෙයි කියල මම කියන්නේ නැහැ. ඇත්තටම අභියෝගයක්. හැබැයි අපි ගුණාත්මකභාවය, විනය කියන දේ මුල් කරගෙන තමයි සංගීත කණ්ඩායම ගෙනයන්නේ. කවුරු හරි වැඩක් බාර දුන්නොත් අපි ඒ දේ කැපවීමෙන් කරනවා. මේ වෙන කොට මංගල සාද හාරදහස් එක සියයකට වඩා සංගීත සපයා තිබෙනවා. ඒ වගේම ගෘහස්ථ, එළිමහන් සංගීත ප්‍රසංගවලට සහභාගි වෙලා තිබෙනවා.

 

ඕනෑම පුද්ගලයෙක්, කණ්ඩායමක් යම් ක්ෂේත්‍රයට එද්දි එම ක්ෂේත්‍රයේ අනුකරණයේ යෙදෙනවා. ඔබේ කණ්ඩායම එලෙස අනුකරණයේ යෙදුනද?

මම සංගීත කණ්ඩායම පටන් ගනිද්දි රට තුළ යම් ජනප්‍රියත්වයත් ලබාගෙනයි හිටයේ. ඒ නිසා මට වෙන කවුරුවත් අනුකරණය කරන්න අවශ්‍ය වුණේ නැහැ. හැබැයි අනෙක් කණ්ඩායම් කරන දේ පිළිබඳ හොඳ අධ්‍යයනයක අපි ඉන්නවා.

 

සංගීත කණ්ඩායමේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මම මුලිනුත් කිව්වා ගුණාත්මකභාවය වගේම විනය ආරක්ෂා කරගෙන ලංකාවේ නම රැඳුණු සංගීත කණ්ඩායමක් බවට පත්වීම. ඒ වගේම ගෘහස්ථ සහ එළිමහන් ප්‍රසංගවල රසිකයන් බලාපොරොත්තු වන සංගීත රටාවක් ලබාදීම. 

අදහස්