තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

කලාලොවේ මිත්තණිය තරමක අසනීපයෙන්

අයිරාංගනී සේරසිංහ කියන්නේ අපිට සිටින ප්‍රවීණම රංගන ශිල්පිනියයි. ඇයගේ නිහතමානී ගුණාංග වගේම ඇය නවකයන්ට දක්වන ආදරය සහ සැලකිල්ලත් අනෙක් රංගන ශිල්පිනියන් අතර දකින්න නොමැති තරම් හොඳ ගුණාංගයක්. ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින අපේ සුදු ආච්චිගේ සැප දුක් සොයන්නට රසඳුන අපි අමතක කළේ නැහැ. එම අවස්ථාවෙයි දැනගත්තෙ එතුමිය ටිකක් අසනීප තත්ත්වයෙන් සිටින බව. ඒ ගැන අයිරාංගනී සේරසිංහ කීවේ මෙවැනි කතාවක්.

‘‘මේ දවස්වල පුංචි කොන්දේ කැක්කුමක් තියෙනවා. ඒකට බෙහෙත් බඳින නිසා කොහෙවත් යන්න එපා කියලයි වෙද මහත්තයා කියල තියෙන්නේ. පුතා තමයි බෙහෙත් සාත්තුව කරන්නේ. තවලා පත්තු ගාන්න තියෙනවා. මීට කලිනුත් ඔය කොන්ද කැක්කුම හැදිල සනීප වුණා. ඕව ඔහොම තමයි වයසට යනකොට. කලා කටයුතු ගැන කියනවා නම් අලුතු වැඩ මුකුත් භාරගත්තේ නැහැ. පසුගිය කාලයේ කළ නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා. ඒවා තිරගත වන තුරු බලාගෙන ඉන්නවා.‘‘ මේ නව වසරේ අපි එතුමියට සුබ අලුත් අවුරුද්දක් පතන අතර නිදුක් නීරෝගී චිර ජීවනයත් පතනවා.


ධනංජය ‘ප්‍රාණ’ සමඟ

ධනංජය සිරිවර්ධන කියන්නෙ වත්මන් පරපුරේ සිටින චරිතාංග රංගන ශිල්පියෙක්. හැමදාමත් මාධ්‍ය සමග සුහදව කටයුතු කරන රංගන ශිල්පියකු නිසාත් ධනංජයට පත්තර කලාවේ කවුරුත් ආදරය කරනවා. ඉතින් මේ ජනප්‍රිය රංගන ශිල්පියා ටික කලක සිට අලුත් වැඩකට අතගසා සිටිනවා කියල අපිට ආරංචි වුණා. ඒ තනියම නම් නෙවෙයි, කලා ලෝකයේ සිටින ඔහුගේ හිතවත් රංගන ශිල්පියකුත් සමගයි. ධනංජයගෙ මේ අලුත්ම වැඩේ ගැන දැනගන්නත්, අලුත් නිර්මාණ ගැන දැනගන්නත් කතාකළ විට ඔහු කීවේ මෙවැනි කතාවක්. “මමත්, සම්පත් ජයවීරත් එකතුවෙලා ටික කලක සිට රංගනයට අවතීර්ණ වෙන්න ආසාවෙන් සිටින තරුණ තරුණියන්ට ‘ප්‍රාණ’ නමින් රංගන පුහුණු පාසලක් පවත්වාගෙන යනවා. මේ වන විට එම පාඨමාලාව අවසන් කළ කණ්ඩායම් දෙකක විසිරී ගිය දරු දැරියන් කලාවේ විවිධ ක්ෂේත්‍රයන්හි නියැළී සිටිනවා. මෙම වසරේ මාර්තු මස තුන්වැනි දින එහි තුන්වැනි කණ්ඩායම ආරම්භ වනවා. එයට බඳවාගැනීම් මේ දවස්වල සිදු කරගෙන යනවා. ඒ සඳහා කැමැත්තක් දක්වන අයට 076 4500305 දුරකථනය ඔස්සේ වැඩිවිස්තර දැනගත හැකියි. මේ මොහොතේ මා රඟපාන ‘සිල්ලර සමනල්ලු’ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර ගැනත් සඳහන් කළ යුතුයි. ඒ ගැන සතුටෙන් තමයි මේ දවස්වල ඉන්නේ. ඒ වගේම මේ මස දහ අට වැනිදා සිට හිරු නාළිකාවෙ ‘ඉරුදේව‘ ටෙලි නාට්‍යය විකාශය වෙනවා. එම ටෙලි නාට්‍යයත් රසිකයන්ට වෙනස් අත්දැකීමක් වෙයි.


නිරුක්ෂාන් සෙල්ලක්කාර චරිතයක

උසස් පෙළ ලියූ ‘දෙවෙනි ඉනිමේ’ ළමයින් ටික ප්‍රතිඵල ලැබෙන තුරු මේ දවස්වල ඉන්නේ හරිම සැහැල්ලුවෙන්. එහෙත් මේ ළමයින්ගේ ප්‍රතිඵල දැනගන්නා තුරු ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන් නම් ඉන්නේ බියට පත් වෙලා. මෙහි එන අවන්තගේ මිතුරා ෂෙනාල්ද විභාගය අවසන් කර ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්න සිසුවෙක්. ඉතින් අපි ෂෙනාල් ගැන තොරතුරු අහන්නට නිරුක්ෂාන් ඒකනායකට කතාකළ විට ඔහු තවත් අලුත් නිර්මාණයකට සම්බන්ධව සිටින බව අපිට කීවා. ‘සිංහ එන්ටටේට්මන්ට් ඉදිරිපත් කරන සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කරන ‘තෝඩු‘ ටෙලි නාට්‍යයේ එන ප්‍රධාන චරිතයේ මිතුරාගේ චරිතය තමයි මට ලැබී තිබෙන්නේ. ඒක ටිකක් විතර සෙල්ලක්කාර, විසේකාර චරිතයක්. කොහොමටත් මම ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ රඟ පාන්නෙත් එවැනි චරිතයක් නිසා මට අලුතෙන් ලැබුණු චරිතය රඟපෑම අපහසුවක් නෑ. ඒ වගේම පසුගිය කාලයේ ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ එක දිගටම රූගත කිරීම් සඳහා සහභාගි වූ නිසා මගේ මියුසික් වීඩියෝ ප්‍රඩක්ෂන් හවුස් එකේ වැඩ ටිකක් මග හැරුණා. එහි මේවන විට ගීත තුනක් විතර කර තිබෙනවා. ඉදිරියේදි ඒ සඳහාත් වැඩි කාලයක් යෙදවීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ගායන ශිල්පියකු ලෙස දේශීය සංගීත සංදර්ශනවලට වගේම විදේශීය සංගීත සංදර්ශන සඳහා ආරාධනා ලැබෙනවා. පසුගිය කාලයේ රටවල් කිහිපයකම සංගීත සන්දර්ශනවලට සහභාගි වුණා. මේවන විට මම කලාවට ඇවිත් වසර දහයක් ගතවෙලා. මේ කාලය තුළ දායක වු නිර්මාණ සංඛ්‍යාව අල්ප වුණත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නම් ඉහළයි.


කවින්ද්‍යා අලුත් ටෙලියක

පසුගිය කාලයේ තිරගත වු ‘ඝරසරප‘ සිනමා පටයේ වැඩිපුරම කතාබහට ලක් වූ චරිතයක් තමයි කවින්ද්‍යා අධිකාරි කියන්නේ. ඇය සමිතා මුදුන්කොටුවගේ දියණිය වුවත් සමාජයේ කතාබහට ලක්වූයේ ඝරසරප සිනමා පටයේ ඇය කළ අපූරු රංගනය නිසයි. මවුපියන්ගේ අඩිපාරේ යන දරුවන් අතර කැපී පෙනෙන කලා තරුවක් වුවත් පසුගිය දවස්වල කවින්ද්‍යා දකින්න නැතිව ගියා. ඒ ගැන දැනගන්නටත්, ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ඇයගේ නවක තතු කියන්නටත් අපි සිතුවේ ඒ නිසයි. ‘‘ඝරසරප සිනමාපටය රඟපෑමෙන් පසුව චිත්‍රපට ගණනාවකටම ආරාධනා ලැබුණා. නමුත් මම ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්න කැමැති නැහැ. පසුගිය කාලයේ සිරස නාළිකාවෙන් කළ ‘සක්කාරං‘ ටෙලිනාට්‍යයේ චරිතයක් භාරගෙන වැඩකළා. එය ළඟදීම විකාශය වේවි. ඒ වගේම මේ දවස්වල තවත් වගකීමක් මට පැවරිලා තියෙනවා. ඒ තමයි අම්මාගේ එරන්දතී කලායතනයේ සිසුන්ගේ භාත්ඛණ්ඩේ සංගීත පරීක්ෂණ පැවැත්වෙනවා. මම තමයි ඒවා භාරව සිටින්නේ. ගායනය පිළිබඳව කතා කරනවා නම් ‘පෙම් හීන’ ගීතය ගායනාකළාට පසුව වසර ගණනකින් ගීතයක් ගායනාකරන්න බැරි වුණා. මේ වසරේ අලුතෙන් ගීතයක් කිරීමේ අදහසක් තිබෙනවා. කොහොමටත් මම රංගනයට වඩා කැමැති ගායනයට. ඒ නිසා ගායනයෙන් ඉදිරියට යෑම තමයි බලාපොරොත්තුව. මම මේ සියලු දේ කරන්නෙ අම්මාගේ ආශීර්වාදයෙන් සහ ඇයගේ ශක්තියෙන්. ඒ නිසා ඇයගේ ගුරු හරුකම් ලබාගෙන කලාවේ හොඳ ගමනක් යෑමට බලාපොරොත්තු වෙනවා‘

අදහස්