අවු­රුදු දෙක­හ­මා­ර­කට කලින් කෝච්චියේ වඩේ විකි­ණුවා | Page 2 | සිළුමිණ

අවු­රුදු දෙක­හ­මා­ර­කට කලින් කෝච්චියේ වඩේ විකි­ණුවා

මගේ ඉලක්කය දක්ෂතම රංගන ශිල්පිනිය වීමයි

නවක රංගන ශිල්පිනියන් අතර සිටින දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක ලෙස කාවින්ද්‍යා දුල්ෂානි හැඳින්විය හැකියි. සඳ එළිය, සිද්ධාර්ථ ගෞතම, සිඳු, ඉඩෝර වැස්ස ටෙලි නාට්‍ය ඔස්සේ පුංචි තිරයෙන් නිවෙසට ගොඩ වදින ඇය අනාගතයේ දක්ෂතම රංගන ශිල්පිනිය වන්නට පෙරුම් පුරනවා.

කොහොමද කාවින්ද්‍යා...

හොඳින් ඉන්නවා.

මේ දවස්වල හරිම කාර්යබහුලයි වගේ ?

ඔව්. සියත නාලිකාවේ සඳ එළිය, හිරු නාලිකාවේ සිද්ධාර්ථ ගෞතම, දෙරණ නාලිකාවේ සිඳු, ඉඩෝර වැස්ස ආදි ටෙලිනාට්‍ය කිහිපයකින්ම රසිකයන් අතරට එන නිසා තමයි මම කාර්යබහුලයි වගේ පේනවා ඇත්තේ. ඉදිරියටත් ටෙලි නාට්‍ය කිහිපයක් එන්න තියෙනවා.

රංගනයට පිවිසුණු ආකාරය ගැනත් කියමු නේද?

2015 අයි. ටී. එන් අවුරුදු කුමරිය තේරීමේ තරගයට ඉදිරිපත් වීමෙන් පසුවයි රංගනයට පිවිසෙන්නේ. මගේ යාළුවෙක්ගෙ අක්ක කෙනෙක් තමයි මගේ ඇප්ලිකේෂන් එකක් අවුරුදු කුමරිය තේරීමේ තරගයට ඉදිරිපත් කර තිබුණේ. ඇයට ලොකු විශ්වාසයක් තිබුණා මට ජයග්‍රහණය ලැබෙයි කියා. නමුත් අවසන් දොළොස් දෙනා අතරට එන්නට පමණයි මට අවස්ථාව ලැබුණේ. එහිදී අපි දොළොස් දෙනාවම ස්ක්‍රීන් ටෙස්ට් එකකට ඉදිරිපත් කර එතනින් තේරුණු අයව ස්වාධීන රූපවාහිනියෙන් කළ ‘මේඝා‘ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකට තෝරා ගන්නවා කීවා. කෙසේ හෝ අපි දොළොස් දෙනාගෙන් මාව තමයි ‘මේඝා‘ ටෙලි නාට්‍යයට තේරුණේ.

කෙටිකලකින්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක වීමට හැකිවූයේ පාසල් කාලයේ සිටම රඟ පා තිබෙන නිසාද?

මම පාසල් කාලයේදී කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වු කෙනෙක් නෙමෙයි. දොම්පෙ දේවි බාලිකා විද්‍යාලයෙන් අ.පො.ස සා.පෙළ දක්වා හදාරා ඉන් පසුව උසස් පෙළ හැදෑරීමට ගම්පහ සිද්ධාර්ථ විදුහලට ගියා. 2015 වසරෙදි කලා අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. මම නොදැන සිටියාට මට රංගන හැකියාව තිබිලා තියෙනවා. නැත් නම් මේ තරම් දුරක් කලාවේ නියැළෙන්න ලැබෙන්නෙ නෑ.

පවුලේ විස්තර ටිකක් කියමුද?

අම්මයි, තාත්තයි, නංගිලා තුන් දෙනයි. අම්මා නීති උපදේශිකාවක ලෙස කටයුතු කරනවා. තාත්තා ටෙලිකොම් සමාගමේ සේවය කරනවා.

රංගනයට ගෙදරින් ලැබෙන සහයෝගය...

නංගිලා ගොඩක් උදවු කරනවා. ඒ අතරින් ලොකු නංගී ගොඩක්ම සපෝට් කරනවා. අම්මයි, තාත්තයි තමයි ගොඩක් වැඩවලට යද්දි මගෙත් එක්ක තනියට යන්නේ. ඒ අය හැමවෙලේම කියන්නෙ තෝරාබේරාගෙන මට ගැළපෙන චරිත පමණක් භාර ගන්න කියලා. එහෙම නැතුව රඟපාන්න එපා කියල කියන්නෙ නැහැ.

කාවින්ද්‍යා රංගන ශිල්පිනියක වීම ගැන සතුටුයිද?

ඇත්තටම සතුටුයි. මගේ තුළ තිබුණු දක්ෂතාවකින් ප්‍රයෝජනයක් ගැනීමට හැකිවුණා. මේ වන විටත් මම ක්ෙෂ්ත්‍රයේ තරමක් දුර ඇවිත් සිටිනවා. කවදා හෝ හොඳම රංගන ශිල්පිනිය වීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා. එය තමයි මගේ ඉලක්කය. ඒ සඳහා දැන් සිටම ප්‍රවීණයන්ගේ ගරු හරුකම් ලබමින් ඔවුන්ගෙන් ගොඩක් දේවල් මගේ ජීවිතේට ලබා ගන්නවා.

කෝච්චියේ වඩේ විකිණුවා කියන්නෙ ඇත්තක්ද? ..

ඔව්. දැනට අවුරුදු දෙකහමාරකට විතර ඉස්සර. සඳ එළිය ටෙලි නාට්‍යයේ කෝච්චියේ වඩේ විකුණන යුවතියකගේ චරිතයක් කළේ. එතකොට මම ෆීල්ඩ් එකට ආපු අලුත නිසා වැඩිය කවුරුත් මාව හඳුනන්නෙ නැහැ. ඇත්තටම මම වඩේ විකුණන ගෑනු ළමයෙක් කියල හිතල ගොඩක් අය මට සල්ලි දීල වඩේ ගත්තා. ඒ සිදුවීම අමතක වෙන්නෙ නැහැ.

පෙම්වතාගෙන් ලැබෙන සහාය ගැනත් මතක් කරමු...

තවම පෙම්වතෙක් නැහැ. ගැළපෙන හොඳ කෙනෙක් ලැබුණොත් තෝරා ගන්නවා. තවම එහෙම කෙනෙක් ලැබුණේ නෑ.

අනාගත බලාපොරොත්තු...

රංගනයෙන් ඉස්සරහට යන්න වගේම ව්‍යාපාරික පැත්තට යොමු වීමට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම ව්‍යාපාර අධ්‍යයනය උපාධිය හදාරනවා. 

Comments