ගීයක අරුම | සිළුමිණ

ගීයක අරුම

 

 කමලනී... ඒ ආදරණීය ගැහැනියට මම තවමත් ආදරය කරමි. කමලනී යන නම ඇසෙන විටම මට සිහිවන්නේ ඇයයි. පිච්චමල් ගවසා රතු පාට මොට්ටුවක් තබා හැඩ කළ නළල, නිතරම හිනැහෙන ඒ සුන්දර මුහුණ වසර ගණනක් ගියද මනසේ නොමැකෙන සිතුවමක් ලෙසින් සටහන්ව ඇත.

දෑත් එක්කර “වනක්කම්” යැයි කියමින් සුන්දර ලෙස හිනැහෙමින් කමලනී සෑම සෙනසුරාදා දිනෙකම ඔබෙත් මගෙත් නිවෙසේ සාලයට ගොඩ වූවාය. ඒ ජාතික රූපවාහිනියේ ආයුබෝවන් වැඩසටහන සමඟිනි. කමලිනී ජාතික රූපවාහිනිය ඔස්සේ එසේ පැමිණියේ බොහෝ කලකට පෙරය. අද තරුණ පරපුර ඇය ගැන නොදන්නවා ඇත. ඒ ඇය ගැන සිහිකරන්නට ද කිසිවෙක් නැති බැවිනි. නමුදු නයනසේන වන්නිනායක විසින් ලියන ලද කමලිනී ගීතය ඇසුණු විට මට එක් වරම සිහි වූයේ කමලනී නොව තමලනීය. ඒ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරිනියක වූ තමලනීය. ඇය විසින් ලියන ලද ඇගේ කතාව ද කියවා ඇති බැවිනි.

“නියඟලා මල් වෙඩි වැදී

ගිලිහුණා ලෝහිත පෙතී...

මායිමක් නැති ප්‍රේමයක් ළඟ

වැටකඩොලු ඇයි කමලිනී..”

මේ පද ඇසෙන විට සිහිපත් වන්නේ දෙමළ තරුණියකට බැඳුණ ප්‍රේම කතාවකි. ආදරයට සිංහල දෙමළ බේදයක් නැත. නයනසේන කියන්නට වෙහෙසී ඇත්තේ එයයි. ගීතය ගැන විවිධ අරුත් දක්වන්ට අපට අයිතියක් ඇත. එනමුදු ගී පද රචකයා විසින් කීවේ මෙවැනි කතාවකි.

“කමලනී කියන්නේ මුළු රටක්ම ආදරය කළ නිවේදිකාවක්. කිසිවෙක් ඇයට වෛර කළේ නැහැ. ආගම් ජාති බේද නැතිව සැවොම ඇයට ආදරය කළා. නමුත් මීට කලකට පෙර ඇය මියගියා. මම හිතන්නේ රටේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ ඇය මිය ගිය බව. ඇය මිය ගිය බව දැන ගත්තාම මගේ සිත පුදුමාකාර දුකක් ඇති වුණා. මා මේ පද වැල ලිව්වේ ඇය වෙනුවෙන්.”

දුමාල් වර්ණකුලසූරිය ගයන විශාරද දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ “ආදරේ බස කඳුළ විතරද කමලිනී ” ගීතයට 2018වසරේ රාජ්‍ය සංගීත සම්මාන උලළේ දී හොඳම ගීතයට හිමි සම්මානය හිමි විය.

උතුරේ දකුණේ බෝම්බ පුපුරණ විටත් සීමාවක් නැතිව ඒ සුන්දර කාන්තාවට ආදරය කළ ද එකල ඇය ගැන අප කිසිවක් නොදැන සිටියාය. දැන සිටියේ ඇයට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ හැකි බව පමණි. ඇතැම් දිනෙක ඇය අපේ ආලින්දයට පැමිණියේ ජාතික ලොතරැයි මණ්ඩලයේ වාසනාව රැගෙනය.

එදා නොදත් කමලනීගේ තොරතුරක් සොයා ගන්නට රූපවාහිනියෙන් විමසුවෙමු. මිතුරු නන්දන පීරිස් ජාතික රූපවාහිනියේ දෙමළ වැඩසටහන් අංශයේ අධ්‍යක්ෂව සිටි ආර්.රවීන්ද්‍රන් මහතාගේ දුරකථන අංකය ලබා දුන්නේය.

අපි ඔහු ඇමතුවෙමු.

“කමලිනී කියන්නේ බොහෝම දක්ෂ කෙනෙක්. අපි දෙන්නම එකම ගමේ ඒ කියන්නේ කමලිනී පේදුරුතුඩුවේ. එයාගේ තාත්තා පණ්ඩිත් කනපතිපිල්ලේ. ඇයට සහෝදරයෙක් හිටියා. කමලිනි ඉස්සෙල්ලාම හිටියේ ගුවන් විදුලියේ. රූපවාහිනිය ආරම්භ කරන විට ඇයව ඊට සම්බන්ධ කර ගත්තා. ඇගේ සැමියා සෙල්වරාජන්. ඔහු කලාකරුවෙක්. ගීත ලියන, චිත්‍රපට හදන, ටෙලි නාට්‍ය ලියන කෙනෙක්. කමලිනී චිත්‍රපටවල රඟපා තියෙනවා. ඇය අද ඉන්න නිවේදක නිවේදිකාවෝ වගේ නෙමෙයි. යම් වැඩ සටහනකට එන විට පෙර සූදානමක් ඇතිවයි එන්නේ. සාහිත්‍ය කලාව වෛද්‍ය ආදී ඕනෑම විෂයයක් ගැන පෙර සූදානමක් ඇතිවයි ඇය රුපවාහිනි තිරය ඉදිරියට එන්නේ. ඈ කා සමගත් සුහදයි. ඒ වගේම කමලනි ගායිකාවක්.”

අද වන විට කමලිනී මෙන්ම ඇගේ සැමියා ද ජීවතුන් අතර නැත. කමලිනී ගැන සොයන්නට ලියන්නට අප ප්‍රමාද වූවා වැඩිය. නමුදු නයනසේන ගේ මේ ගීතය අපට ප්‍රමාද වී හෝ ඊට ඉඩහසර ලබා දුන්නේය.

කමලිනි පමණක් නොව තමලනී ද සිහියට නගන මේ ගීතයේ ආදරණීය බව දැනෙන්නේ එය නැවත නැවත අසන විටය. දුමාල්ගේ හැඟුම්බර හඬත් දර්ශනගේ ශෝකී සංගීතයත් යුද සමය සිහි ගන්වයි. යුද්ධයට බිලි වුණ තමලනිලාගේ යොවුන් විය සිහි ගන්වයි. 

 
 

Comments