සාහිත්‍යය කියන්නේ සෙල්ල­මක් | Page 2 | සිළුමිණ

සාහිත්‍යය කියන්නේ සෙල්ල­මක්

මා ඔබට මෙසේ කිවහොත්... සාහිත්‍යය කියන්නෙ සෙල්ලමක්. ඒ සෙල්ලම විවිධ අය විවිධ විදියට කරනවා. අයෙක් මායාමය වශයෙන්; තවත් අයෙක් පවතින යථාර්ථය ම ස්වරූපයෙන්; තවත් කෙනෙක් අර්ධ මායාමය ස්වරූපයෙන්. මේ‍ කෙසේ කොහොම කළත් මේ සෙල්ලම අනතුරුදායක සෙල්ලමක් නම් නොවෙයි. එය සැබෑ ජීවිතය ගැන වන ගැඹුරු අසංතෘප්තියක ඵලයක් ලෙස බිහිවන්නක්. ඔබ කියවා ඇති එමා බෝවාරි නවකතාව. කුමක්ද එමා බෝවාරි කියවා අවසානයේ ඔබට සිතුණේ. එමා බෝවාරි ඇතුළේ ජීවත් වන මිනිස්සු ආපහු සැබෑ ජීවිතේට එන්නේ පෙර තිබූ වැරදි, අඩුපාඩු බොහොමයක් ගැන තියුණු අවබෝධයකින් යුතුව. ඒ වගේම ප්‍රබන්ධිත ලෝකය කොතරම් අපේ සැබෑ ලෝකය සමඟ ගැළපෙනවා ද යන්නටත් එය හොඳ උදාහරණයක්. ඒකයි ප්‍රබන්ධය අනතුරු රහිත නමුත් සෙල්ලමක් වන්නේ.

සාහිත්‍ය නිර්මාණය කියන්නෙ ම එක්තරා කැරැල්ලක ප්‍රතිඵලයක්. ඒ ගැටුම, කලහකාරීත්වය ගැන බොහෝ නිර්මාණකරුවන් දන්නේ නැහැ. තමන් සතු කැරලිකාරීත්වය හෝ එහි පරිමාව බොහෝ නිර්මාණකරුවන් සිය ජීවිත කාලය පුරා හෝ අවබෝධ කරගන්න‍ේ නැහැ. තමන් සතු ඒ කැරලිකාර මූල හඳුනා ගන්න‍ේ නම් නිර්මාණකරුවාට තමන් ගේ ක්‍රමය, බලය හඳුනාගත හැකියි. ඔබ, මා මේ සොයා යන ලේඛනයේ රන්සුනු වැදගත් වන්නේ ඒ කැරලිකාරීත්වය හඳුනා ගැනීමේ ඉඟි අපට ම අවබෝධ කරගත හැකිවන නිසයි.

ඔබ දන්නවාද; ඔබට ඔබ ජීවත්වන පරිසරය පුපුරවා හරින්නට පුළුවන් කියා; සාමකාමී කැරැල්ලෙන් ඔබට කොතෙක් නම් දෑ කළ හැකිද? නිර්මාණකරුවාගේ ප්‍රබන්ධ ජීවිතය සැබෑ ජීවිතය හා ඝට්ටනය කරන අවස්ථාවක් උදා කරගත හැකි නම් එය තමයි නිර්මාණයේ උච්චතම තලය. එකම දේ මේ ප්‍රබන්ධමය ජීවිතය කියවන පාඨකයාට නිශ්චිත අරමුණක් දීමට නිර්මාණකරුවා උත්සාහ කිරීමයි.

එසේ නැතිනම් තමන්ගේ නිර්මාණය රසවිඳින තැනැත්තා අපේක්ෂා භංගත්වයට පත්වන්නට පුළුවන්. ඒත් මේ එකක් වත් ඇත්තෙන් ම නිර්මාණකරුවාට අදාළ වන්නේ නැහැ. ඔහු කරන්නේ තමන්ගේ ආවේගය පිට කිරීමයි. එහි දිග පළල හෝ උපයෝගීතාව ගැන, ලියද්දී ඔහුට සිතන්නේ නැහැ. මිනිසුන් හා ගැහැනුන් තමා වටා ඇති හිස්තැන්, ඔවුන් විසින් ම මවා ගත් විිවිධාකාර දේ මඟින් වහන්නට තැත් දරපු; ඒත් සම්පූර්ණයෙන් ම නො වැසුණු හිස්තැන් වසා ගනු ලබන්නේ පරිකල්පනයෙන්. ඒ පරිකල්පනය සමහර අවස්ථාවලදී අපගේ ජීවිත හා සමපාත වන නිසා අපට ඒ නිර්මාණ අපේ ජීවිත කතාව සේ දැනෙන්නට පටන් ගන්නවා.

සමහර විට මුළුමනින් ම එය එසේ වීමට අවශ්‍ය වන්නේ ද නැහැ. සමහර නිර්මාණ වලට අප කැමති වන්නේ් එක වාක්‍යයක් නිසා වන්නට පුළුවන්. උදාහරණයක් ලෙසින් අර්නස්ට් හෙමිංග්වේ ගේ ' මහල්ලා සහ මුහුද' ගත්තොත් බොහෝ අයට දැනෙන එක වාක්‍ය ඛණ්ඩයක් තියෙනවා. ඒ ' මිනිසා විනාශ කළ හැකි වුණත් මිනිසාගේ ආත්ම ශක්තිය විනාශ කළ නොහැකි බව'. මෙවැනි බොහෝ උදාහරණ ඔබට පවසන්නට පුළුවන්. මා ඔබට කීවේ ඒ උදාහරණ අතරින් ජනප්‍රිය ම එක් උදාහරණයක් පමණයි. සෑම නිර්මාණයක් ම මේ වගේ. අප, අපේ පවුරු පදනම් සකස් කර ගන්නේ ඒ එක වාක්‍ය මත පිහිටා යි. ඒත් ඒ සමස්ත ජීවිතය කියවන එකම එක වැකිය නිකම් ම ලියැවෙන්නේ නැහැ. එය තමන් විඳි, තමන්ට දැනෙන, ජීවිතයේ හොඳ ම තැනක් කියවා ගන්නක්. ඒවා නිකම් ම ලියැවෙන්නේ නැත්තේ ඒ නිසා යි.

ලේඛනයේ රන්සුනු සොයාගෙන යන අපට මේ නිසාම ප්‍රශ්න කිහිපයක් ගොඩනැඟෙන්නට හැකියි. මා ඔබට ඒ සමස්ත ප්‍රශ්න වලට එකම පිළිතුරක් දුන්නොත් බොහෝවිට ඔබ එකඟ වේවි. ලේඛනය, එහෙමත් නැත්නම් නිර්මාණකරණය හරියට ආගමක් කෙරෙහි බැඳෙන උන්මන්තක මනසක් වගේ කියලා; එහෙමත් නැත්නම් සූදුවක් වගේ කියලා; තමන්ගේ කාලය, ශක්තිය, උත්සාහය හති වැටෙන තුරු කැප කරන්නට පුළුවන් අයටයි නිර්මාණකරුවෙක් වෙන්න හැකි වෙන්නේ කියලා මම කිව්වොත් බොහෝ දුරට ඔබ එකඟ වේවි. සහජයෙන් ම අරන් එන යම් යම් ශක්තීන් ගැන අප බොහෝ දුරට කතා කළත් ඒවා අප වෙත එන්නේ සම්පූර්ණයෙන් ම වර්ධනය වී නොවේ. ඒ අවවර්ධනීය දේ වර්ධනීය තත්ත්වයට පත් වෙන්නේ සතතාභ්‍යාසයේ යෙදීමෙනුයි; මා මේ සියල්ල ඔබට කියූයේ යම් අත්දැකීම් ප්‍රමාණයක් මේ වන වි‍ට මා සතු වන බැවිනුයි. අපේ නිර්මාණ කිසිවිටෙකත් අප ම වෙන්නේ නැහැ; එය අප ඇතුළු බොහෝ අප ඇසුරු කළ, විඳි දෑ හි සංකලනයක්; වෙනත් වචන වලින් කියන්නේ නම් එය බොහෝවිට අප බලාපොරොත්තු වන දේ යි. ඒ බලාපොරොත්තු වන දෑ නැතිවූ විට පාඨකයන් කුපිත සමහර අවස්ථා නිර්මාණකරුවන් ට අරුම අත්දැකීම් නොවන්නේ එ් නිසා.

බොහෝවිට නිර්මාණකරුවන් නිර්මාණයක් කිරීමට ලක ලැහැස්ති වී සැලසුම් කරගත් නිර්මාණය කිරීමට පටන් ගත් විට එය පවතින්නේ මඳ වේලාවක්. ඔබට එ් ගැන අත්දැකීම් ඇති. නවකතා, කෙටිකතා මාධ්‍ය දෙක සඳහා මෙය විශේෂ යි. කතාවේ බොහෝ චරිත ටික වේලාවක් ගතවෙද්දී ජීවත්වීමට පටන් ගන්නවා. එය කතුවරයා සමඟ සජීව ලෙස අරගල කරනවා. ඒ චරිත ඇත්තෙන් ම ඉල්ලා සිටීමට පටන් ගන්නේ අප සාමාන්‍ය ජීවිතයේ දී අත්විඳීමට ආශා කරන දේ යි. ඒවා ප්‍රබන්ධමය ලෝකයේ හෝ ජීවත් වීමට ආශා කරනවා. ලේඛකයා එකී චරිතවල නිර්මාපකයා වුවත්; ඒ චරිතවලට ස්වාධීන ව වැඩෙන්නට ඉඩ නොදී ඔවුන් තම අරමුණ කෙරෙහි මෙහෙයවන්නට දැඩි ව උත්සාහ කළහොත් නිර්මාණය සාර්ථක නොවනු බව ඒකාන්ත යි. එවිට ඒ චරිත හුදු කාඩ්බෝඩ් චරිත විනා ලේ, මස්, ඇට සහිත අපේ ම එක්තරා අනුරුවක් වන්නේ නැහැ.

ඔබ දන්න‍වාද යස්නායා පොලියානාවට පැමිණ ටොල්ස්ටෝයි හමු වූ එක්තරා පාඨකයෙක් කළ පැමිණිල්ලක් ගැන. අහිංසක පියකරු ඇනා කැරනිනා රේල්ලුවකට තල්ලු කර මරා දැමීම ගැන ඔහු ටොල්ස්ටෝයිට පැමිණිලි ‍කළා. ටොල්ස්ටෝයි ඒ පාඨකයාට දෙන අපූරු පිළිතුර කියවා බලන්න.

' ඔබ ඔහොම කියද්දි මට මතක් වෙන්නේ පුෂ්කින්. දවසක් පුෂ්කින් තමන්ගෙ යහළුවකුට කියලා තියෙනවා, බලන්නකො හරි වැඩේනෙ වුණේ, අර මගේ කතාවෙ ඉන්න ටට්යානා හදිසියේ ගිහින් විවාහ වෙලානෙ. මංවත් හිතුවෙ නෑ, ඈ ඔහොම කරයි කියලා. ඇනා කැරනිනා ගැන කියන්න තියෙන්නෙත් මට ඕක ම තමයි. මගේ කතාවල චරිත සමහර වෙලාවට මම කිසිසේත්ම කැමති නැති දේවල් කරනවා. ඇත්තම කියනවා නම්, ඒ චරිත කරන්නේ සාමාන්‍යයෙන් ජීවිතයේ කරන දේ යි. එහෙම නැතිව මට ඕනෑ දේ නොවෙයි.'

ලේඛනයේ රන්සුනු සොයන ඔබ, මා තේරුම් ගත යුත්තේ මෙන්න මේ කාරණය යැයි කිවහොත් ඔබ නිසැකයෙන් ම මේ සමඟ එකඟ වේවි.

[email protected]

Comments