තල­පත හා පුස්කොළ පුරා­ණය | සිළුමිණ

තල­පත හා පුස්කොළ පුරා­ණය

සිංහල භාෂා අක්ෂරවල ආරම්භක අවස්ථා සටහන්වී ඇත්තේ ශිලා (ලිපි, පුවරු) වල යයි තිබූ මතය මේ වනවිට වෙනස් වී ඇත. අනුරාධපුර පැරණි නගරයේ මෑතදී කරන ලද කැණීම්වලදී වළංකැබලිවල අක්ෂර රූප ඇති බව හෙළි විය. ඒ අනුව (ක්‍රි.ව. 4 වන සියව‍සදී) අවුරුදු හාරදහසකට තරම් කාලයක සිටම අක්ෂර භාවිතය පැවති බව පෙනේ. අකුරු ඊළඟට තබා ඇත්තේ පුස්කොළ මතය. අපේ බණ දහම්, වෙද හෙදකම්, සන්නස්, ලියවිලි, ඔප්පු, යන්ත මන්ත්‍ර නක්ෂත්‍රය, විවිධ කලාවන්, කාව්‍ය ශාස්ත්‍ර, සන්දේශ කාව්‍ය, දිවුරුම් ප්‍රකාශ කඩඉම්පොත්, නිදන්වදුල ආදී බොහෝ සටහන් ඇත්තේ පුස්කොළ පොත් වලයි.

හෙළටුවාව, ලංකාවතාර සූත්‍රය, හෙළ වෙදකමට අයත් සර්වාංග, රස ගෙඩි, විෂ, කැඩුම්බිදුම් (හන්දි) ළමා, ගර්භ, සත්ව සියලු, දේශීය වෙදකම් කොටස් පුස්කොළවල ලියවී අද දක්වාම තිබේ. ත්‍රීසිංහලේ සීමාමායිම් දැක්වෙන කඩයිම් පොත් (ලක්වීදිය (වැනි) ලියවී ඇත්තේ ද පුස්කොළවලයි.

ගවේෂණාත්මක විමසීමේදී පුස්කොළයට පෙර අක්ෂර ලියා ගත්තෙත්, වචන ගළපා ගත්තෙත්, වැලි පිල්ලෙන් බව පැහැදිලි වෙයි.

අක්ෂර දැනගත් පමණින් හැමෝටම පුස්කොළයෙහි ලිවිය නොහැකිය. මේවායේ ලිවීම ප්‍රගුණ කළ යුතු විශේෂ ශාස්ත්‍රයෙකි. මීට අදාළ රිති සම්ප්‍රදා රැසැක් ද පවතී. ලියන ලද්දේ තඹ, රිදී, යකඩවලින් සාදාගත් “පන්හිඳ” කින්ය. තල කොළයක ලියා ඒ කොළ එකතු කිරීමෙන් පුස්කොළ පොතක් නිර්මාණය වෙයි.

පුස්කොළයට තල ගස අවශ්‍ය (කොළ) පත්‍ර ලබා දෙයි. තල් හා තලගසේ පත්‍රවල පළල හා දිගත් සොබාවයත් එකිනෙකට වෙනස් ය. බොහෝ අය තල පත්‍ර ගන්නේ හකුරු - රා පෙරා ගන්නා තල් ගසෙන් යයි සිතා සිටීම වැරදි ය. තල ගස පුරාණයේ අපේ ඇත්තන්ට බොහෝ අවශ්‍යතාවක් සපුරා දුන් වෘක්ෂයෙකි.

තල පත්‍රයෙන් වැස්ස සහ අව්ව ආවරණයට කුඩා සදා ගත්තේය. අදත් අපේ ඇතැම් නිකායන්ට අයත් සංඝයා වහන්සේලා වැහි, හිරු, ආවරණය ලෙස භාවිත කරන්නේ එම කුඩයයි. මිනිසුන් ද ‘තල’ අත්තක් සම්පූර්ණයෙන් හිසලා ගෙන වැහි හිරු ආවරණය ලබති. කෘෂි ජීවිතයේ අපට ධාන්‍ය ගබඩා කරන “අටු” සකස් කර ගැනීමේදී වහල, බිත්ති, සහ ටැම්පිට සැකසෙන ‍කෝටු මැහි බිම ආවරණය කරගන්නේ ද තල කොළවලින් ය. අපේ ගම්වල වහල සෙවිලි කිරීමට ද පොල් අතු පිදුරු තරමට ම තල අත්ත භාවිත විය.

වර්ෂා කාලවලදී බීමට සුදුසු පිරිසුදු ජලය ලබා ගන්නේ ද එළිමහනක දෙපස කෝටු දෙකක රැඳවූ තල අත්තකට වැටෙන ජලය කලයකට ගැනීමෙන් ය. තල කූර පන්දම් සකස් කර ගැනීමටත් වෙසක් කූඩු බැඳීමටත් භාවිත කළේ ය.

තල කොළය පුස්කොළයක් බවට පත්කර ගැනීම දිගු ක්‍රියාපිළිවෙතකින් සිදු වෙයි. පළමුව තල ගහේ තද වර්ණ කොළ නොව දලු අත්ත කපාගනී. එය “තලගොබ” යයි. ඉන්පසු පත්‍රයට පලුදු ඇති නොවනසේ ඉරටු ගලවා දමති. ඉන්පසු දිගැති මෙම තල පත්‍රය රෝහල් කර ගනී. මෙම රොලය “වට්ටු” නමින් හැඳින්වෙයි. පැපොල් කොළ, අන්නාසි කොළ සමව දවා වතුර හැලියක් කොළ තැම්බී යුෂ මිශ්‍රවන පදමට උණු කරගනියි. ඊට “වට්ටු” දමා උණු කළ වතුර සීතල වනතුරුම තබයි. ඉන්පසු මෙම “වට්ටු” වතුරෙන් ගෙන දින තුනක් තද අව්වේ දමා වේළාගෙන සඳ පායන රාත්‍රි තුනක් පින්නේ ද තබා පදම් කරයි. මෙයින් තල පත්‍ර ශක්තිය ලබති. ඉන්පසු මේ තල කොළය ඔප දැමීමට රවුම් ලීයකින් ඇද මදියි. ඉන්පසු මේවා දිගහැර මැස්සක තබා යටින් පොල්ලෙලි දුම්මල දමමින් යන්තම් ගිනි අවුලවා දුම් ගසයි. අවශ්‍ය පමණට “පත් ඉරු” සාදා ගන්නේ ඉන් අනතුරුවය. ඒවා සම්මතයේ අඟල් 2 1/2 පලළින්, අඟල් 6 සිට 32 දක්වා දිගට හදා ගනී. පත් ඉරු පැතිවලින් මතුවන කෙදි යවටයක් රත්කර පුළුස්සා කොළය ඉරී යෑම වළකා ශක්තිමත් කර ගනී.

පුස්කොළ පොතේ දිග ප්‍රමාණය තීරණය කර කපාගත් පැති දෙකේ කෙඳි ද පුළුස්සයි. අවශ්‍ය කොළ ප්‍රමාණය ගෙන දෙපොලකින් රත්කළ කූරකින් හිල් දෙකක් විද ගනී. මේ දෙකෙන් අඹරාගත් පට්ටා හීන් ලණු (මීමිණි හංවර පට) නැත්නම් කපුවලින් අඹරාගත් ලණු දමා එක පැත්තක හිලට වඩා ලොකු ගැට දමා පත් ඉරු අමුණයි. පුස්තකයේ පාදය හා හිසට “කම්බය” ලීවලින් හෝ ලෝහවලින් සාදා තබා කොළවල ආරක්ෂාව පිට කවරයක් සේ ලබාදෙයි. මෙම “කම්බයන්” ඉතා අලංකාර විවිධ චිත්‍ර, කැටයම්, පලාපෙති, හංසපූට්ටු ආදී රූ රටාවලින් සරසනු ලැබේ.

පන්හිඳකින් ලිවීම ද ප්‍රගුණ කළ යුතු කාරියකි. අකුරු ලිවිය හැකි සැමට කළ නොහැකිය. ලියන්නේ දකුණතෙනි. වම් අතෙහි මාපට ඇඟිල්ලට පන්හිද හේත්තු කර ගනී. ඒ අනුව දෑතම ලිවීමට අවශ්‍ය වේ. පත් ඉරුවේ ‍දෙපසත් හිල්වටේ අඟලක් හෝ එකහමාරක් ඉඩ හැරීම ද කළ යුතුය. එවිට පැහැදිලිව අකුරු දැක ගත හැකි වෙයි. කෙලින් අඟලක ප්‍රමාණයක අකුරු අටක් ලිය වේ. සාමාන්‍යයෙන් පත් ඉරුවක පේළි අටක් හෝ දහයක් ලියනු ලැබේ.

පන්හිඳකින් පුස්කොළයක ලියන අකුර හිස, ගත, ඉස්පිලි, පාපිලි ඇලපිලි, වශයෙන් කොටස් කර නම් කරති. තවද අකුර හැඩය අනුව ද කොටස් තුනකින් දක්වයි. එනම් ගජ (රවුම්) සිංහ (දිගටි) හංස (සිහින්) වශයෙනි. මේ අක්ෂර ඒ ඒ ලේඛන පරම්පරාවල් අනුව භාවිත වෙයි. පුශ්කොල පොතේ පිටු අංක ‍යොදන්නේ සිංහල හෝඩියේ ව්‍යංජන අක්ෂර දාහතර උපයෝගී කරගෙනය. මේවා විසර්ග සං‍යෝග සමඟ පිටු පන්සිය හතළිස් හතර දක්වා යොදයි.

එය ඉක්මවා පිටු ඇති අවස්ථාවලදී ‘ද වි” මුලට යොදාගෙන එකදහස් අසූ අට දක්වා පිටු යොදාගත හැකිය. පොතෙහි ලිවීම ආරම්භ වන්නේ ශුභ වැකි වූ “ස්වස්ති සිද්ධම්” “නමෝ බුද්ධාය” වැනි ප්‍රාර්ථනා වැකියකින් ය. අවසානය “ශුභමස්තු” “සිද්ධිරස්තු” “ආරෝග්‍යමස්තු” ආදියෙන් අවසන් වෙයි. අමතකවූ පද යමක් වේ නම් නියමිත ස්තානයේ කාකපාදය යොදා ලියති. ඡේද වෙන්කර දක්වන්නේ කුණ්ඩල රූපයෙනි. පරිච්ඡේදය වෙන් කරන්නේ කුණ්ඩලී රැසැක් දැක්වීමෙන් ය.

පොතක අවසන් පත් ඉරුවෙහි ග්‍රන්ථයේ නම කර්තෘගේ නම, පොත රචිත දිනය, ලිවීමේ පරමාර්තයන් ද සඳහන් කරයි. අවසානයේ ප්‍රාර්තනා පාඨයක් ද දැක්වෙයි. “මෙපිණෙන් නිවන් පුරයෙත්වා” වැනි වැකි ලිය වේ.

වෙස්සන්තර ජාතකය වැනි කථා ලියද්දී කම්‍භයේ (පිට) ද මැදදී ද චිත්‍රණය කර තිබේ. ශාන්තිකර්ම යන්ත්‍ර හෘ හූනියම් මන්ත්‍ර ලිවීමේදී ද රූප චිත්‍ර සටහන් පුස්කොළ පොත්වල දැක ගැනීමට හැකිය. පොතේ වැඩ අවසන් වූ පසු අකුරු චිත්‍ර පැහැදිලිව දැක ගැනීමට හැකිවන පරිදි “කළුමැදීම” සිදු කරයි. බොහෝ කල් ගතව ඇති පුශ්කොල කියවන විටද මෙම “කළුමැදීම” සිදු කරයි. මේ සඳහා දුම්මල තෙල් හා ගැඩුව අඟුරු ‍‍යොදා ගනී.

පුස්කොළ පොත් රාශියක් ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඩ කිරීමෙන් එකවර ලැබුණි. මාතලේ (අලු ලෙන) අලු විහාරයේදී මේ ඓතිහාසික සිදුවීමෙන් පසු අද දක්වාම භික්ෂු පරම්පරාවල් සිය ගෝල ස්වාමීන්වහන්සේලාට මේ ලේඛන කලාව අධ්‍යාපනයට අඩංගු කර උගන්වයි. අදටත් අලු විහාරයේ කෞතුකාගාර‍යේ එම මෙවලම් තැන්පතර කර ප්‍රදර්ශනය කරයි. එසේම පුස්කොළ ලේඛන ආදර්ශන දක්වමින් කියා දෙයි.

පරම්පරික දේශීය වෙදකම් කළ මුත්තාගෙන් මා වෙතට පත්ව ඇති “භ්‍යෛ සද්‍ය මංජුසා” සන්නයෙහි ඇති සටහන මීට ශාක්ෂියකි.

“ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ අනුග්‍රහයෙන්.... උපෝසතාරාමවාසී සරණංකර හා පල්කුඹුරේ අත්ත දස්සී යන හිමිවරුන්ගේ.... ශතවර්ෂ එක්වාදහස් හත්සිය පනස්හයක් වූ ක්‍රිස්තු වරුෂ එකදහස් හත්සිය නූහතරක් වූ...... “භෛව සද්‍ය මංජුසා සන්නය” ලියා නිට්ඨාවට පමුණුවනු ලද්දේය.” යනුවෙන් සඳහන්ව තිබේ.

පුස්කොළයෙහි පැරණි නිලමක් කරුවන්ගේ දින සටහන් ද තබා ඇත. ඉඩම් පැවරුම් සන්නස්, හුවමාරු වූ ලිපි, සංදේශ කාව්‍ය, දේවතෝත්‍ර, දිව්රුම් ප්‍රකාශ, දිවි දොස් අණ තහංචි පැණවීම් ද ඇති බව මෙම පොත් ගවේෂණෆය්දී පැහැදිලි වූ බව ද පෙර සඳහන් කළෙමි.

තල හා තල කොළ වරුණාවට “සෙසත්” නිර්මාණයේදී තල කොළ භාවිත වීම අද දක්වාම පැවත එන බවද සඳහන් කළ යුතු ම වෙයි.

ජයසිරිමා හාමුදුරුවන් වැඩම වන විට පැමිණි ශ්‍රේණි දහ අටක පිරිස අතර චක්‍ර කාර කුල ප්‍රධානියා “සත්කරුණා” ලෙසින් දැක්වෙන්නේ ද “සේසත් කර්මාන්තයේ” නායකයා ය. මහා සඟරුවනට අවශ්‍ය වටාපත් සකස් වන්නේද කුඩා තල හා තල්පත්වලින් ම ය. උන්වහන්සේලාගේ ගෞරව නායකත්වයන් පුදා ඒ බවට පිදෙන ලාංඡනය වන “විජිනිපත” නිර්මාණය වන්නේ ද තල පත්‍ර මූලික ද්‍රව්‍ය ලෙස යොදා ගැනීමෙන්ය.

තල කොළය හා පුස්කොළ පොත් ගැන තවත් බොහෝ දේ එකතුවීමට ඇතුවාට කිසිදු සැකයක් නැත. බොහෝදුරට අද සිටින වැඩි දෙනකු අපට ම ආවේණික අපේම අනන්‍ය ලක්ෂණයක් වූ මේ වටිනාකම් නොදනී. ඒවා යළි සිහිපත් කර ආරක්ෂා වන්නේ නම් එය ජාතියට රටට යහපතකැයි සිතමි. 

Comments