පැරැණි සිංහලයන්ගේ සංඛ්‍යා ව්‍යවහාර ඥානය පිළිබිඹු කළ සංඛ්‍යා ක්‍රම ආශ්‍රිත වර්ෂ නිරූපණය | සිළුමිණ

පැරැණි සිංහලයන්ගේ සංඛ්‍යා ව්‍යවහාර ඥානය පිළිබිඹු කළ සංඛ්‍යා ක්‍රම ආශ්‍රිත වර්ෂ නිරූපණය

ඓතිහාසික මූලාශ්‍රයකට අනුව ශ්‍රී ලංකාවේ භාවිතයේ පැවති ප්‍රධාන වර්ෂ නිරූපණ ක්‍රම දෙකකි. එනම්, බුද්ධ වර්ෂ හා ශක වර්ෂ ක්‍රමයයි. ඊට අමතරව කලියුග වර්ෂ නම් ක්‍රමය ද කලාතුරකින් භාවිතයට ගෙන තිබෙනු දැකිය හැකි ය. බුද්ධ වර්ෂ ක්‍රමය ආරම්භ වනුයේ, සම්බුද්ධ පරිනිර්වාණයේ සිට වන අතර ඒ සම්බන්ධයෙන් ඉතිහාසඥයන් අතර විවිධ මත පවත්නා බව ද සඳහන් කළ යුතු වේ. කෙසේ වෙතත්, ඒ පිළිබඳ පොදු පිළිගැනීම නම්, සම්බුද්ධ පරිනිර්වාණය ක්‍රි.පූ. 543 දී සිදු වී ඇති බවත්, එතැන් සිට බුද්ධ වර්ෂ ක්‍රමය ආරම්භ වන බවත් ය.

ශක වර්ෂ ආරම්භ වනුයේ, ඉන්දියාවේ කනිෂ්ක රජුගේ පළමු රාජ්‍ය වර්ෂයේ සිට හෙවත් ක්‍රි.ව. 78 සිට ය. ජ්‍යොතිෂ කටයුතුවලදී සුලභව භාවිතයට ගැනෙන ශක වර්ෂ ක්‍රමය, බෞද්ධයින් අතර මෙන් ම හින්දූන් අතර සුලභ ව භාවිතයට ගැනෙන්නකි.

ශිලා ලේඛන ආශ්‍රිත ව, යථෝක්ත වර්ෂ අනුව, වර්ෂ නිරූපණය සුලභව භාවිතයට පැමි‍ණ ඇත්තේ, ක්‍රි.ව. 12 වන සියවසෙන් පසු ව බව පෙනේ. ඒ අනුව, අදාළ වර්ෂය වාක්‍යයක් ලෙසින් දැක්වීම ඒ සඳහා භාවිත සුලභ ක්‍රමවේදය වී තිබේ.

උදා: (බුදුන්).... පිරිනිවී සාරසිය සූපරාස් හවුරුද්දක් ගිය කලැ වළගම් අභා මහ රජු දවසැ... (බු.ව. 454) - පොළොන්නරුව ගල් විහාර පර්වත ලිපිය (EZ vol.ii – 236 – 68)

බුද්ධ වර්ෂ එක් දහස් සත්සිය තෙසාලිස් හවුරුදු... - සහස්සමල්ල රජුගේ පොළොන්නරු හැටදාගේ ලිපිය (EZ vol.ii – 224 – 24)

ශ්‍රී ශක වර්ෂ එක්වා (දහස්) දෙසිය සසැට අවුරුද්දක් පිරුණු සන්ද...

- ගඩලාදෙණි පර්වත ලිපිය

(EZ vol.iv - 100 – 103)

ශ්‍රී ශුද්ධ ශක වරුෂ එක් දහස් සාර සිය දෙතිස් වන...

- දෙවුන්දර සෙල්ලිපිය

(EZ vol.iii – 70)

16 වැනි සියවසේදී අපගේ වර්ෂ නිරූපණ ක්‍රම අතරට, ක්‍රිස්තු වර්ෂ ක්‍රමය ද එක් වූ සමකාලීන ලේඛනයන්හි එම වර්ෂ ක්‍රමය ද යට කී වර්ෂ ක්‍රම දැක්වූවාක් මෙන් වාක්‍ය ස්වරූපයෙන් ම දක්වා ඇති ආකාරයට රාජාවලියෙහි පහත පාඨය නිදසුන් සපයයි.

උදා: අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තු වර්ෂයෙන් එක් දහස් පන්සිය විසි දෙකක් වූ... (සුරවීර, 1997 (1976):223)

 

 

‍රෝම සංඛ්‍යා ක්‍රමය

 

සමකාලීන ලේඛන විෂයෙහි, එලෙස ක්‍රිස්තු වර්ෂ ක්‍රමය වාක්‍ය ස්වරූපයෙන් දක්වා තිබුණ ද, ගොඩනැගිලි හා වෙනත් නිර්මාණයන්හි වර්ෂ නිරූපණය කිරීමේදී ඒ සඳහා භාවිතයට ගෙන ඇත්තේ රෝම සංඛ්‍යා ක්‍රමයයි. රෝම සංඛ්‍යා යනු සංඛ්‍යා ලෙසින් සම්මත කරගත් යුරෝපීය අක්ෂර මාලාවකි. මුල් කාලීන ව, ක්‍රිස්තු වර්ෂ ක්‍රමයට වර්ෂයක් නිරූපණය කිරීමේදී වර්ෂයට මුලින් ‘ANNO DOMINI’ යන්න යොදා තිබීම විශේෂ ලක්ෂණයකි. සිංහල ක්‍රමයට වර්ෂයක් නිරූපණය කිරීමේදී වර්ෂය මුලට ‘බුද්ධ වර්ෂයෙන්’ හෝ ‘ශත වර්ෂයෙන්’ යනුවෙන් යෙදුවාක් මෙන් ම මින් අදහස් වනුයේ, ‘ක්‍රිස්තු වර්ෂයෙන්’ යන්නයි. ඇතැම් විට ‘වර්ෂ’ යන්න පමණක් අදහස් වන ‘ANNO’ යන්න හෝ එහි කෙටි ස්වරූපය වන A…. යන්න ද යොදා තිබෙනු දැකිය හැකි ය.

එලෙස රෝම ඉලක්කම් වලින් වර්ෂ නිරූපණය කිරීමේ ක්‍රමයට සමාන ක්‍රමයක් 13 වැනි සියවසෙහි සිට ශ්‍රී ලංකාවෙහි ද ප්‍රචලිත ව පැවති බවට සාධක ලැබී තිබේ. ‘කටපයාදි සංඛ්‍යා’ නමින් හැඳින්වෙන එම ක්‍රමය අනුව වර්ෂයක් නිරූපණය කෙරෙනුයේ, සංඛ්‍යා ලෙසින් සම්මත කරගත් සිංහල භාෂාවේ අක්ෂර කීපයක් මඟින් සකසා ගන්නා ලද පාඨ ඇසුරෙනි.

‍ කටපයාදි සංඛ්‍යා ක්‍රමය

 

ශ්‍රී ලංකාව තුළ කටපයාදි සංඛ්‍යා භාවිතය පිළිබඳව දැනට හමුවී ඇති පැරැණිම සාධකය ලෙස හඳුනාගත හැකි වනුයේ, ත්‍රිකුණාමලයේ පෙඩ්‍රික් කොටුවෙන් හමුවූ සංස්කෘත ශිලා ලේඛනයයි. එහි සඳහන් කර ඇති පරිදි එම ලිපිය ශක වර්ෂ 1135 (ක්‍රි.ව. 1213) ට අයත්වන්නකි. (EZ. vol.v. 173, සුමනසාර 1986.06)

කටපයාදි සංඛ්‍යා ක්‍රමය රෝම සංඛ්‍යා ක්‍රමයට සමාන බවක් විද්‍යාමාන කළ ද භාවිතයේ දී ඊට වඩා සංකීර්ණ බවක් පිළිබිඹු කරයි. රෝම සංඛ්‍යා ක්‍රමය ය‍ටතේ, එක් සංඛ්‍යාවක් සඳහා භාවිතයට ගැනෙනුයේ සම්මත කරගත් එක් අක්ෂර රූපයක් පමණක් වුවත්, කටපයාදි ක්‍රම යටතේ, එක් සංඛ්‍යාවක් නිරූපණය සඳහා අක්ෂර හතරකට නොවැඩි ගණනක් හා ඇතැම් විට සම්මත ප්‍රත්‍ය කීපයක් ද භාවිතයට ගැනේ. (කොඩිතුවක්කු - 1991, 2002)

මෙහිදී ක,ට,ප,ය යන අක්ෂර හතරින් ඕනෑම එකක සංඛ්‍යාත්මක අගය 1 වේ. ඊට අමතරව, පම්, ත්‍යම් යන ප්‍රත්‍යයන් ද 1 නිරූපණය සඳහා යෙදේ. 2 නිරූපණය සඳහා ඛ, ය, එ, ර යන අක්ෂර හතර සහ දාම්, පම්, ත්‍රම් යන ප්‍රත්‍යය ද ‍උපයෝගි කර ගනී.

එසේ ම, ග, ඩ, බ, ල යන අක්ෂර හතරින් 3 ද, ඝ,ඪ,භ,ව යන අක්ෂර හතරින් 4 ද .....ණ,ම,ශ යන අක්ෂර හතරින් 5 ද,ච,ත,ෂ යන අක්ෂර තුනෙන් 6 ද ඡ,ථ,ස යන අක්ෂර තුනෙන් 7 ද ජ,ද,හ යන අක්ෂර තුනෙන් 8 ද ඣ,ධ,ළ යන අක්ෂර තුනෙන් 9 ද, න, ඤ යන අක්ෂර දෙකෙන් 0 ද නිරූපණය කෙරේ.

කටපයාදි සංඛ්‍යා ඇසුරෙන් වර්ෂයක් දැක්වීමේදී කිසියම් පාඨයක් සැකසෙන අයුරින් ඒවා සකසා ගැනීමේ ප්‍රයත්නයක් ද හඳුනාගත හැකි ය. මෙහි දී බුද්ධ වර්ෂ සඳහා ‘සුගතාබිදම්’ යන්නත්, ශක වර්ෂ සඳහා ‘ශකාබිදම්’ යන්නත්, වර්ෂය මුලට යෙදේ. ඒ හැරුණු විට, ශක වර්ෂ සඳහා ‘ශක’ හෝ ‘ශකාබිද’ ලෙසින් හා බුද්ධ වර්ෂ සඳහා ‘බුද්ධ’ ලෙසින් යොදාගෙන ඇති අවස්ථා කීපයක් ද ශිලා ලේඛන ඇසුරෙන් හඳුනාගත හැකිවේ.

කටපයාදි සංඛ්‍යා ඇසුරෙන් වර්ෂ නිරූපණ පාය පිළියෙල කර ගැනීමේදී එම අක්ෂරවලට ඇලපිලි, පාපිලි, කොම්බු ආදී අංග එකතු කළ ද එමගින් සංඛ්‍යාත්මක අගයෙහි කිසිදු වෙනසක් සිදු නොවේ. එලෙස සකසා ගන්නා ලද පාඨ සෑම විටම අග සිට මුලට සංඛ්‍යාත ආදේශ කළ හැකි වන පරිද්දෙන් පිළියෙල වීම විශේෂ ලක්ෂණයකි.

උදා: සුගතාබිදම් නාදගෝත්‍රම්

සුගතාබිදම් - නා ද ගෝ ත්‍රම් බුද්ධ වර්ෂ 2380

(බුද්ධ වර්ෂ) 0 8 3 2

එමෙන් ම, ඇතැම් විට අක්ෂර සංයෝජනය කිරීමක් ද හඳුනාගත හැකි වන අතර එවැනි අවස්ථාවක සංඛ්‍යාත්මක අගය, දෙවනුව සඳහන් අක්ෂරයට පමණක් ආදේශවීම ද තවත් විශේෂ ලක්ෂණයකි.

උදා: ශාකෙ බෙද ශ මවු පෂේප

ශාකෙ බෙද ශ මවු පු ෂේප ශත වර්ෂ

(ශක වර්ෂ) 5 3 1 1 1135

කටපයාදි ක්‍රමයට වර්ෂ නිරූපණය සඳහා සකසා ගන්නා පාඨ, සංස්කෘත හා පාලි යන ස්වරූප දෙකෙන් ම හඳුනාගත හැකි වේ.

මින් වඩාත් සුලභ ව දක්නට ලැබෙනුයේ, සංස්ක‍ෘත ස්වරූපයේ පාඨයන් ය. එහිදී දාම්, ත්‍රම් වැනි ප්‍රත්‍යයන් ද භාවිතයට ගැනේ.

 

උදා: 1. ශා කෙ බෙද ශ මවු ‍පෂෙප (ශ.ව.1135)

- ත්‍රිකුණාමලය පෙඩ්‍රික් කොටුව සංස්කෘත

ලිපිය

2. ශ්‍රී ශාකෙ මධුරූප (ශ.ව. 1295)

නියම්ගම්පාය සෙල්ලිපිය

3. සුගතාබිදම් දීඝගෝත්‍රම් (බු.ව. 2348)

- තොටගමුව රජමහා විහාරය - අලුත් විහාරය

4. ශකාබිදම් රාමසත්‍යම් (ශ.ව. 1752)

- ගාල්ල බෝගහගොඩැල්ල ශ්‍රී සුදර්ශන

පරමානන්ද විහාරය, පොහොය සීමාව

 

පාලි ස්වරූපයෙන් යුතු පාඨ එතරම් සුලභව භාවිතයට නො ගැනෙන අතර එම පාඨ, ප්‍රත්‍යවලින් තොරව අනෙකුත් සම්මත අක්ෂරවලින් පමණක් සකසා තිබේ.

(උදා. බුද්ද වස්සෙන රථාගාරා (බු.ව. 2372)

- ගාල්ල මහමෝදර ශ්‍රී බුද්ධ විජයසිංහාරාමය, පිළිමගෙය

කටපයාදි ක්‍රමය හැරුණු විට, රූප සටහන් ඇසුරෙන් වර්ෂ දැක්වීමේ ක්‍රමයක් ද ශ්‍රී ලංකාවේ භාවිතයේ පැවතී තිබේ. වර්තමානයේ මුළුමනින් ම අභාවයට ගොස් ඇති එම ක්‍රමය ‘ලිත් ලකුණු’ නම් වේ. (1 රූපය)

යථෝක්ත රූප සටහන් මාලාව යටතේ ශුන්‍ය (0) සඳහා සලකුණක් නොමැති අතර 1 – 10 දක්වා ද එතැන් සිට 20,30,40 ආදී වශයෙන් 100 දක්වා ද සලකුණු පවතී. 100 න් පසුව සම්මත සලකුණකට ඇත්තේ 1000 බව පෙනේ.

කෙසේ වෙතත්, මෙම සලකුණු මාලාවට ඇතුළත් නොවූ සංඛ්‍යා නිරූපණය සඳහා සලකුණු සංයෝජනය කළ යුතු වේ. එහිදී සෑම විට ම 10 ගුණාකාරය සහිත සංඛ්‍යාව, 100 හෝ 1000 අගට සිටින ලෙසත්, ඊට එකතු වන සංඛ්‍යාව මුලට සිටින ලෙසත් සලකුණු සංයෝජනය කෙරේ. (2 රූපය) සිංහල භාෂාවෙන් මුද්‍රිත ප්‍රථම සිංහල පොත වන ‘සිංහල යාඥා පොතෙහි’ පිටකවරයෙහි 1737 වර්ෂය දැක්වීම සඳහා ද මෙම ලිත් ලකුණු උපයෝගි කරගෙන ඇති බව පෙනේ. (3 ‍රූපය)

නිගමනය

යථොක්ත ලකුණු වෙනුවට සම්මත සිංහල අක්ෂර හා පිලි කීපයක් ද ඇතැම් විට භාවිතයට ගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම ක්‍රමය කටපයාදි ක්‍රමය තරම් සංකීර්ණ වූවක් නොවේ. එම අක්ෂර හා පිලි සහ ඒ සඳහා සම්මත සංඛ්‍යා

පහත පරිදි වේ. (ලිත් හෝඩිය හෙවත් නක්ෂත්‍ර හෝඩිය - 2001:05)

වර්තමානයේ භාවිතයෙන් ගිලිහී ගොස් තිබුණ ද මෙවැනි වර්ෂ නිරූපණ ක්‍රම ඇසුරෙන් අපට පැහැදිලි වනුයේ, පැරැණි සිංහලයින් සතුව පැවැති සංඛ්‍යා ව්‍යවහාරය පිළිබඳ මනා වැටහීම බව පෙනේ.

 

Comments