නොමිනිසකුට බිල්ලක් වූ මීගමුවේ චාලි | Page 2 | සිළුමිණ

නොමිනිසකුට බිල්ලක් වූ මීගමුවේ චාලි

චාලි දැන් කා අතරත් ප්‍රසිද්ධ නාමයකි. ගෙවී ගිය දින වල සිට මේ මොහොත දක්වාම මීගමුවේ චාලි වෙනුවෙන් අනේ අපොයි නොකී කෙනෙක් නැති තරම්ය. මීගමුව කොප්පරා හන්දියේ නිවෙසක සුරතලයට හැදි වැඩුණ ලැබ්රඩ්‍රො වර්ගයට අයත් සුනඛ සුරතලා මිය ගියේ හදිසි අනතුරකිනි. අප මෙය හදිසි අනතුරක් යනුවෙන් නම් කිරීම සපුරා වැරැදිය. මන්දයත් කවුරුන් හෝ විසින් සුනඛ සුරතලා සිටි කූඩුවට භු‍මි තෙල් දමා ගිනිතබා තිබණි.

තිස් එක් වැනි දා පාන්දර අපට ඇසුණා චාලි කෑගහනවා. අපි ඇවිත් බැලුවා. ඒ ආ විට තමයි දුටුවේ කූඩුව අවට ගින්නෙන් වැහිලා තියෙනවා. අපට හිතා ගන්න බැරි වුණා මොකක් ද කරන්නේ කියලා. ගින්න නිවලා අපි චාලිව සත්ත්ව රෝහලට ගෙන ගියා. හිතාගන්න බැහැ චාලි ඒ වේදනාව කොහොම උහුලගත්ත ද කියාලා. චාලි පුදුම වේදනාවකින් හිටියේ. ඌ අපිට හරි එකතුයි. මීට කලිනුත් චාලිට කවුදෝ වහ දීලා තිබුණා. ඒ වෙලාවෙත් අපි හරි අමාරුවෙන් ඌව බේරාගත්තේ. සත්ත්ව රෝහලට ගෙනාවට පස්සේ තමයි චාලි මිය ගියේ.

චාලිගේ හිමිකරු පවසන්නට වූයේ දෑසේ කඳුළු පිස දමමිනි.

ව්‍යාපාරිකයකු වන ඔහු චාලිගේ මරණය සම්බන්ධයෙන් බොහෝ දුක් වන්නේය.

මේ වන විට චාලිට මෙවන් සාහසික අපරාධයක් කළ පුද්ගලයා නීතියට කොටු කරගන්නට මීගමුව පොලිසිය පරීක්ෂණ මෙහෙයවා තිබේ. එමෙන්ම චාලිගේ හිමිකරුවන් විසින් ලබාදුන් තොරතුරු අනුව සැකකරුවකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ මෙහෙයවයි.

ඒ සම්බන්ධව පසුගිය දිනවල මුහුණු පොතේ බොහෝ තොරතුරු හුවමාරු විය. කවුරුත් බලා සිටින්නේ චාලිගේ අපරාධයට වකිවයුත්තන්ට දෙනු ලබන දඬුවම කුමක්ද කියායා.

කැලේ සිටි සුනඛයා ගමට ආවේ මිනිසුන් නිසාය. නමුත් දැන් සුනඛයන්ට යළිත් කැලෑවට යන්නට කාලය පැමිණ ඇතැයි සිදු වන්නේ චාලිට සිදු වූ ඛේදවාචකයත් සමඟය.

චාලිගේ සිද්ධිය තවත් එක් සිදු වීමක් පමණි. පසු ගිය කාලයේ මුහුණු පොතේ විවිධ වීඩියෝ හුවමාරු විණි. ඒ ඇතැම් වීඩියෝවල ඇත්තේ සුනඛයන්ට සිදු කරන ශාරීරික හිංසනයන්ය. ඒ විඩියෝ ‍හැම එකක්ම වාගේ පිටරට දර්ශනය. ඒවා දකින විට අපට සිතුණේ අපේ රටේ මිනිසුන් කොයිතරම් නම් හොඳද කියාය. හේතුව නම් මතක ඇති කාලයක මිනිසුන් විසින් සුනඛයකු මෙසේ හිංසනික ලෙස මරා නොදැමුණු බැවිනි.

උදේ සවස බුදු බණ ඇසෙන නිරන්තරයෙන්ම පන්සිල් පද රකින රටක සතුන්ට තම නිදහස භුක්ති විදීමට නොහැකි වීම කනගාටුවකි.

චාලිගේ සිද්ධියට දින කිහිපයකට පසුව තලාතුඔය ප්‍රදේශයෙන් තවත් සිද්ධියක් ආරංචි විය. ඒ තලාතුඔය ප්‍රදේශයෙනි. කෙනෙකු රාත්‍රියේ නිවෙසට කොත්තු කෑම පාර්සලයක් ගෙනැවිත් මුළුතැන්ගෙයි මේසය මත තබා ඇත.

මුළුතැන්ගෙයි දොර වසන්නට අමතක වීමෙන් අසල්වැසි නිවෙසක බල්ලකු පැමිණ කොත්තු පාර්සලය කා දමා ඇත‍. ඒ දැනගත් නිවැසියා දොරවසා දැමීමට බැරි වූ අත්වැරැද්ද පිරිමසාගෙන ඇත්තේ බල්ලාට පොල්ලකින් ගැසීමෙනි. මේ සිද්ධියත් සමඟ අසල්වැසියන් අතර ගුටිබැට හුවමාරු වී අවසානයේ නතර වූයේ දෙපිරිසම පොලිසි යෑමෙනි. මීට කලකට පෙර අසල නිවෙසක අයෙකු බල්ලෙකු තම වත්තට පැන්නේ යැයි කියා ඌට මන්න පහරක් දී තිබිණි. තවත් විටෙක භුමිතෙල් වක් කරමින්ද උණූවතුර වක් කරමින්ද බල්ලන්ට හිරිහැර කළ අවස්ථා කිහිපයක්ම ප්‍රදේශ කිහිපයක දී අසන්න ලැබිණි. පාරේ අසරණ වූ සතුන්ටත් කන්න බොන්න දෙන උපස්ථාන කරන මිනිසුන් සිටින රටක සුනඛයන්ට පමණක් නොව වෙනත් සතුන්ට පවා කරුණාව මෛත්‍රීය පාන අපේ රටේ සතුන්ට මෙවැනි ඉරණම් අත් වීම ඛේදවාචකයකි. සතුන්ට හිරිහැර කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ ඇත.

ඒ පිළිබඳ අප විමසුවේ ජ්‍යෙෂ්ඨ නිතීඥ ජනක එදිරිසිංහ මහතාගෙනි.

“1907දී ඇති කළ සත්ත්ව හිංසාව වැළැක්වීමේ පනතේ අංක 13 දරන ආඥාපනත කලින් කලට වෙනස් වෙලා ඇවිත් අද දක්වා තියෙනවා. මේ පනත යටතේ කිසිම සතෙකුට හිංසා පීඩා කරන්නට බැහැ. මෙම ආඥාපනතට අනුව සතුන්ට මරණයට හිංසාවට ලක් කරන අයට නඩු පැවරිය හැකියි. අපේ රට ජාත්‍යන්තර සංවිධාන සමඟ යම් යම් ප්‍රතිඥාවලට අස්සන් කර සම්මුතීන්වලට එළැඹි තියෙනවා වුණත් සතුන්ට හිංසාවට පීඩා කරන්නන්ට නීතියෙන් සමාවක් නැහැ.

කොහොම වුණත් චාලිගේ ඛේදවාචකය අප නිකම්ම බැහැර කළ යුතු දෙයක් නෙමෙයි. පසු ගිය කාලේ එක එක සතුන්ට කළ හිංසනයන් ගැන දැනගනන්නට ලැබුණා. රාජාලියෙකුට, වැලි මුවෙකුට, මුවෙකුට මේ ලෙසින් ඛේදවාචක සිදු වුණා.

මේවට සම්බන්ධ වෙලා හිටියේ තරුණ ළමයි. මම මෙතැනදී දකින දෙයක් තියෙනවා. අද අපේ රටේ තියෙන්නේ තරගකාරි අධ්‍යාපන ක්‍රමයක්. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ බිහි කරන්නේ ලකුණු ගන්න ළමයින් පිරිසක් මිසක් පෞරුෂ වර්ධනයෙන් උසස් දරු පිරිසක් නෙමෙයි. අන්න ඒ වැරැද්දේ ප්‍රතිඵල තමයි මෙවැනි ඛේදවාචක.

මෙය මේ විදිහට ගියොත් ඉදිරියේදී මිනිස් හමෙන් සපත්තු මහන්න හරි වෙන දෙයකට හරි මිනිසුන් මැරුවා කියලත් අපිට පුදුම වෙන්න දෙයක් නැති වෙයි. චාලිට සිදු කළ අපරාධයේ වැරැදිකරුවන්ට දඬුවම් කරන අතරේම යළිත් මෙවැනි ඛේදවාචකයන් නොවීමටයි අප වග බලාගත යුත්තේ.

ජ්‍යෙෂ්ඨ නිතීඥ එදිරිසිංහ මහතා පවසන්නේ එවැනි කතාවකි.

මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූ පශු වෛද්‍ය අනුර දිසානායක මහතා

“සාමාන්‍යයෙන් අප අතර කතාවක් තියෙනවා යම් රටක ජාතියේ අභිමානය ගැන කියැවෙන්නේ ඒ රටේ සතුන් වෙනුවෙන් දක්වන ආදරය කරුණාව මත කියලා. නමුත් අද අපට සතුටු වෙන්න පුළුවන් ද මෙවැනි සිදුවීම් වන විට‍. සත්ත්ව හිංසන පනත අනුව සතුන් මහ මඟ දමා යෑමත් නීති විරෝධිය. සතුන්ට හිරිහැර කිරීමේ ම්ලේච්ඡ ක්‍රියාව නතර කිරීමට නිතීය දැඩිව ක්‍රියාත්මක විය යුතුයි.“

තවත් දින කිහිපයක් යන විට මේ සිද්ධිය කරළියෙන් බැස යනු ඇත. එවිට චාලිගේ සිද්ධිය තවත් එක් සිදු වීමක් පමණක් වනු ඇත. එනමුදු තිරිසන් සතුන්ට වුවද මේ මහපොළව මත නිදැල්ලේ ජීවත් වීමේ අයිතිය ඇත. ඒ අයිතිය සතුන්ට සලසා දිය යුත්තේ අපමය. පෞද්ගලික කෝන්තරවලට අහිංසක සතුන්ට මෙවැනි ඉරණම් අත්වීම නම් මහා ඛේදවාචකයකි.

Comments