ගැහැ­නිය පතන සැබෑ සෙනෙ­හසේ කතාව කොවු­ලෙක් මොටද... | සිළුමිණ

ගැහැ­නිය පතන සැබෑ සෙනෙ­හසේ කතාව කොවු­ලෙක් මොටද...

කොවු­ලෙක් මොටද
මට මිහි­රිම ගී ගයන
උල­ලේ­නෙක් වෙයන්
ඉඳ­හිට දුක අහන...

රුව­ලක් මොටද
සුළ­ඟක් එන­තුරු සිටින
හබ­ලක් වෙයන්
ඔරු­වක් වෙර­ළට ගේන....

නටු­වක් මොටද
මට ළා සුළ­ඟට සැලෙන
කටු­වක් වෙයන්
මල් නටු­වක් මුර­ක­රන

ගාය­නය-සම­නලී ෆොන්සේකා
පද රච­නය-සූජීව හෙට්ටි­තන්ත්‍රි
සංගී­තය-අරුණ ගුණ­ව­ර්ධන

ආදරයේ අවසානය කොතැනද? කෙනකු එවැනි ප්‍රශ්නයක් නැගුවහොත් ඔබ දෙන පිළිතුර කුමක්ද?

ආදරයේ අවසානය එක්වීම, එහෙමත් නැත්නම් විවාහය, එකවහලක් යට එකට ජීවත් වීම, එහෙමත් නැත්නම් දරුවන් හදා වඩා පවුලක් ලෙස ජීවත් වීම , මේ ආදී ලෙසින් ඔබ බොහෝ දේ කීමට පුළුවන. නමුත් ආදරයේ ඇත්ත ඒකද.?

ගැහැනිය සියුමැලිය බොළඳය. මේ සමාජය විසින් එදා දැරූ මතයයි. අද ද එය එසේමය. මවුපියන් දියණියන් රැක බලා ගන්නේ තමන්ගේ දෑස සේය.

පුංචිම දේකටවත් හිත රිදවන්නේ නැත.

මට මගේ බාලවිය සිහිවෙයි. අවුරුදු පහක් හයක් තරම් වියේදී මම මැටි වළං ඉල්ලා හැඬුවෙමි. ඉල්ලන ඉල්ලන දේ දෙන්න බෑ. අම්මා විරෝධය පෑවාය. නමුත් පසුදා තාත්තා ගෙදර පැමිණියේ කෙල්ලට සාංකාව හැදේවි කියා සෙල්ලම් වළං ද රැගෙනය. ඒ එක් කතාවකි. පාසල් නිවාඩුවට අපි දවල් වෙනතුරු නිදියන්නෙමු. එවිට අම්මා අප ඇහැරවන්නේ “ගැහැනු ළමයි දවල් වනතුරු නිදන්නේ නැහැ” කියමිනි. නමුත් තාත්තා ඇය වලකන්නේ “ගෙදර ඉන්න කාලේ විතරයි මේ සැනසිල්ල තියෙන්නේ” කියාය. තාත්තා කියූ කතා වල ඇත්ත තේරෙන්නට ගත්තේ විවාහ වූ පසුය.

වසර ගණන් පෙම්බැන්දත් ජීවිතයේ තනි වුණ ගැහැනු අපමණය. මේ හැම කතාවක්ම එකකට එක්කක් වෙනස්ය. ඒ කතාවල ජීවත් වන ගැහැනු සැඩ දිය පහරේ උඩුගම් බලා පිහිනන්නන් මෙනි.

මට පැරැණි කතාවක් මතක් වෙයි.

ගැහැනු ළමයි පුංචි කාලේ බෝනික්කන්ට කැමැතිය. පිරිමි ළමයි යෝධයන්ට කැමැතිය. නමුත් ගැහැනු ළමයි ලොකු වූණාම යෝදයන්ට කැමැතිය. පිරිමි ළමයි බෝනික්කන්ට කැමැතිය.

මෙහිදී යෝධයන් හැටියට හඟවන්නේ ඇඟපතින් වැඩුණු මිනිසුන් නොව ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයකදි ගැහැනියට යෝධ රැකවරණය දිය හැකි කෙනකුය යන්න මම විශ්වාස කරමි.

මේ සියලු කරුණු කාරණා ගැන සිහිපත් වුයේ සමනලී ෆොන්සේකා ගයන අලුත්ම ගීතය නැවත නැවතත් අසන අතරේය. ඇගේ හඬ විඳින අතරේය. ඈ ගයන ගීයේ පද පෙළ ඔහුගේය. ඔහු සූජීව හෙට්ටිතන්ත්‍රි. මීට පෙර ද ගී කිහපයක්ම ලියා ඇති ඔහුගේ අලුත්ම ගීතය ‘කොවුලෙක් මොට ද.... ‘ නම් මෙම ගීතයයි. ආදරය තුළින් ජීවිතය සොයන පිරිමියකුගේ රැකවරණය, ආදරය, ආරක්ෂාව පතන ගැහැනු ආත්මය පිළිබඳ ලියැවූණ අපුරු පද පෙළ ගැන සූජීව කියන්නේ මෙහෙම කතාවක්.

“ ප්‍රේමය ගැන ගැහැනු මිනිස්සු හරි අපූරුවට කතාකරනවා. නමුත් මිනිස්සු යථාර්ථවාදී නැහැ. ප්‍රේමයේදි ගැහැනිය ආරක්ෂාකරනවා ඇයට රැකවරණය දෙනවා කියන්නේ කන්න බොන්න දීලා තාප්පවලින් වට වෙච්ච ගෙදරක කොහේවත් යන්න නොදී මුරකරගෙන ඉන්නවට නෙමෙයි. ඒ ගැහැනියට සමාජය තුළ නිදහසේ ජීවත් වන්නටයි අපි දිය යුත්තේ. ඇය ගැන සොයා බැලිය යුත්තේ ඇයව ආරක්ෂා කළ යුත්තේ මේ සමාජය තුළදී. කොවුලා කියන්නේ ජනප්‍රිය සතෙක්. ඌ කපුටු කූඩුවේ රැඳිලා ඉඳගෙන බිත්තර දාලා යනවා යන්න. අද මේ සමාජයේ ඇතැම් අයත් ඒ වගෙයි. ගැහැනිය දරුවෝ සමඟ තනිකර යන්න යනවා. ඇය සියල්ල විඳ දරාගත යුතුයි. ගැහැනිය මැද පෙරදිග යවලා ඒ එවන මුදලින් ජීවත් වෙනවා. නමුත් ගැහැනියට දිය යුතු ආරක්ෂාව ආදරය රැකවරණය එතැන නැහැ. මේ සමාජය කුණුවෙලා. අපි බාහිර සමාජය හොඳ තැනක් කළා නම් ගැහැනිය ඒ සමාජය තුළ සුරක්ෂිතයි. මේ ගීතයේදි මට මතුකර දක්වන්න ඕන වුණේ ඒ අදහසයි. කොවුලාට කවුරුත් කැමැතියි. නමුත් උලලේනිට කිසිකෙනෙක් කැමැති නැහැ. කෙනකුගේ ජීවිතයේ සතුට ට නොවෙයි දුක බෙදාගන්නයි , ජීවිතය බෙදා ගන්නයි කෙනෙක් ඕන. ඒ කෙනා සුළඟටත් නැවෙන මල් නටුවක් නොවී මලක් රකින මල් නටුවේ කටුවක් වගේ විය යුතුයි. මම ගීතයේ පද අරුණට දුන්නා. පසුව අපි කතා වුණා මෙය සමනලීට දෙමු කියලා. ඇය බොහෝම කැමැත්තෙන් එය භාර ගත්තා. අරුණගේ සංගීතය, තනු නිර්මාණයත් සමනලීගේ හඬත් මේ ගීතය බොහෝ ඉක්මනින් රසිකයන් වැළඳ ගැනීමට හේතුවක් වුණා. ”

සූජීව තම පණිවිඩ කියන්නේ මේ ගීතයේ මුල සිට අග දක්වාම සංඛේත භාවිතා කරමිනි. ඔහු ලියා ඇත්තේ සරල පද පෙළකි. නමුදු ඒ පද පෙළ එහෙට මෙහෙට පෙරලා බැලීමේදී එයින් එන අරුත ප්‍රබලය. ඒ මේ සමාජය තුළ ජීවත්වන ගැහැනිය සෑම පෙම්වතකුගෙන්ම , සැමියකුගෙන්ම පතන සෙනෙහසේ සැබෑවයි. 

Comments