බුදු­ද­හම හා ත්‍රිපි­ට­කය | සිළුමිණ

බුදු­ද­හම හා ත්‍රිපි­ට­කය

මාතලේ අලුවිහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එක් සුවිශේෂි කේන්ද්‍රස්ථානයකි. වට්ටගාමිණි රජ දවස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන ලද්දේ මෙහි දී ය. මෙරට බෞද්ධ ඉතිහාසය ලේඛණාරූඩ කිරීමේ සමාරම්භය සටහන් වන්නේ ඒ සමඟිනි. එලෙස ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේදී ග්‍රන්ථාරූඪ වීමෙන් දකුණු ආසියාතික බෞද්ධ ඉතිහාසයේ මාතලේ නගරයට අද්විතීය තැනක් හිමි වෙයි.

ත්‍රිපිටකයේ සමාරම්භය හා බැඳි ඉතිහාසය උතුරු ඉන්දියාව හා සමීප සබඳකම් පවත්වයි. සම්බුද්ධ පරිනිර්වානයෙන් සිව්මසකට පසුව රාජ්ගීර් (සප්තපර්ණි ගුහාව පිහිටා ඇති ප්‍රදේශය) ප්‍රථම සංගායනාව පැවැත්විණි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනුගාමික භික්ෂූන් 40 නමක් එක් රැස් වී, සම්බුද්ධ භාෂිත දහම් කරුණු පෙළගැස්වීමට උතුරු ඉන්දියාවේ දී දරන ලද උත්සහය පළමු ධර්ම සංගායනාව නමින් හඳුන්වයි. දෙවන හා තෙවන සංගායනා ද පවත්වා ඇත්තේ ඉන්දියාවේදී ය. තෙවන ධර්ම සංගායනාව පාඨලීපුත්‍ර නුවර අශෝක අධිරාජයාගේ සමයේ සිදු වූ බව අප දනිමු. තෙවැනි ධර්ම සංගායනාවේ දී ත්‍රිපිටකයේ නියම ආකෘතිය සකසුරුවම් කොට, භික්ෂූන්ගේ උපකාරය ඇතිව ඒවා ප්‍රතිනිර්නිර්මාණය කොට, ජනී ජනයාගේ හිත සුව පිණිස දේශනා කරනු ලැබීය.

තෙවැනි ධර්ම සංගායනාවේ දී ලොව පුරා ධර්ම දූත කණ්ඩායම් පිටත් කළ යුතු බවට තීරණය විය. ඒ අනුව පිටත් කළ ධර්ම දූත කණ්ඩායම් අතුරෙන් මහින්ද තෙරුන් ප්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වූ බව සඳහන් වේ. ක්‍රිස්තු පූර්ව 03 වන සියවසේ තිස්ස නම් රජකු අනුරාධපුරය පාලනය කළ වකවානුවේ දී මහින්ද තෙරුන් ප්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම තිස්ස නිරිඳුන් මිහින්තලාවේ දී හමු වූ බවත්, එහිදී රජු ප්‍රමුඛ පිරිවර බුද්ධාගම වැලඳගැනීමෙන් අනතුරුව ලංකාව ථෙරවාදී බෞද්ධ රාජ්‍යයක් බවට පත් වූ බවත් ඉතිහාසයේ සඳහන් වේ.

ත්‍රිපිටකය විනය, අභිධර්මය, සූත්‍ර වශයෙන් වෙන් වෙන්ව ගොනු කරන ලද තුන් වැදෑරුම් සද්ධර්මය ලෙස ලංකාවට හඳුන්වා දී තිබේ. ක්‍රි.පූ 3 වන සියවසේ හඳුන්වා දෙනු ලැබූ ත්‍රිපිටකය පදනම් කරගනිමින් ක්‍රිස්තු පූර්ව පස්වන සියවස දක්වා සාහිත්‍ය, ව්‍යාකරණ, විවරණ ග්‍රන්ථ ආදි වශයෙන් පෝෂණය වූ පාලි සාහිත්‍ය ඉතිහාසයක් ශ්‍රී ලංකාව තුළ දැකිය හැකිය.

තව ද ත්‍රිපිටකය ලංකාවට හඳුන්වා දුන් මහින්ද තෙරුන්ගේ මතකාවර්ජනය පිණිස මිහින්තලාව අදටත් විරාජමානව වැජඹෙයි.

ත්‍රිපිටයේ විනය පිටකයේ භික්ෂුන්ට පනවා ඇති විනය නීති අන්තර්ගත ය. එනම් භික්ෂුවක් ජීවත් විය යුත්තේ කෙසේ ද, පිඬුසිඟා වැඩිය යුත්තේ කෙසේ ද, වැසි සමයේ දී හා ග්‍රීෂ්ම ඍතුවේ දී වනයේ වාසය කළ යුත්තේ කෙසේද, භික්ෂුණී පිරිවර සමඟ කටයුතු කළ යුත්තේ කවර අයුරින් ද යනාදී විනයානුකූල කරුණු මෙකී විනය පිටකයේ අන්තර්ගත ය. විනය පිටකය යනු සදාචාරය සම්බන්ධයෙන් වූ නීතිමාලා අන්තර්ගත කෘතියයි.

භික්ෂූන් ධාර්මික චර්යාවේ නියැළිය යුත්තේ කෙසේ දැයි විනය පිටකය විවරණය කරනු ලබයි.

සූත්‍ර පිටකයේ අන්තර්ගත වන්නේ බුද්ධ භාෂිත දහම් කරුණුයි. අභිධර්ම පිටකය පෙර සඳහන් කළ සූත්‍ර පිටකය පිළිබඳ විස්තර කොට ඇති ග්‍රන්ථයයි.

මෙකී ග්‍රන්ථ තුන පදනම් කරගනිමින් බුදු සසුන ලංකාවේ පිහිටුවා ඇති බව දැකගත හැකි ය. ත්‍රිපිටක ඉතිහාසය ථේරවාද බුදු දහම සමඟ පමණක් සම්බන්ධ වී ඇති බව විද්වතුන්ගේ මතයයි. ථේරවාද බුදු දහම හීනයාන යනුවෙන් ද හඳුන්වයි. හීනයානය යනු ‍ෙථරවාද බුදු දහම වැළඳගත් බෞද්ධ භික්ෂුන්ගේ ජීවන ක්‍රමය සුමඟට යොමු කරන අයුරින් සැකසුණු එකක් බව ඉතිහාසඥයන් මෙන්ම ආගමික විශ්ලේෂකයන් පෙන්වා දෙති.

මහායානය ථෙරවාදයෙන් වෙනස් වෙයි. මහායාන භික්ෂූන්ගේ ජීවන රටාව ථෙරවාද භික්ෂූන්ගෙන් ජීවන රටාව හා සැසඳීමේ දී ඒ දෙක හාත්පසින්ම එකිනෙකින් වෙනස් වූවක් බව පෙනේ.

මවන ලද ප්‍රතිමා වන්දනයත් සමඟ ඒකාබද්ධ වූ බෞද්ධ වන්දනා ක්‍රම සමඟින් මහායානය ක්‍රියාත්මක වේ. එනමුත් ථේරවාදය තුළ පමණක් ත්‍රිපිටකය අන්තර්ගත වීම පදනම් කොටගෙන බැලීමේ දී එය දෙමළ සම්ප්‍රදාය සමඟ ද සන්සන්දනය කිරීමේ හැකියාවක් පවතී.

තමිල්නාඩුවේ විසූ දෙමළ ජනතාව හා ද්‍රවිඩයන් එක්තරා කාල වකවානුවක බුදුදහම වැලඳගෙන සිටි බව මණිමේඛලෛ නම් ග්‍රන්ථය විස්තරාත්මකව පහදයි.

මණිමේඛලෛ ග්‍රන්ථයේ සඳහන් කතා බොහෝ දුරට බුදුන් වදාළ පුනරුප්පත්තිය සහ බුදුරජාණන් වහන්සේ උපත ලද භවයන් සම්බන්ධ වෘතාන්තවලට නෑකම් කියයි. බුදුදහමේ සඳහන් ආත්මභව සම්බන්ධ කතා මණිමේඛලෛ ග්‍රන්ථයේ විවිධාකාරයෙන් සම්බන්ධ කොට තිබෙන අයුරු දැකිය හැකියි. මණිමේඛලෛ ග්‍රන්ථය දෙමළ සම්ප්‍රදායේ න්‍යායන් ගෙනහැර දක්වනවා සේම, ත්‍රිපිටකය හා සම්බන්ධ න්‍යායන් ද ගෙනහැර දක්වා තිබෙනු දැකිය හැකියි. එසේම චෝල රාජ්‍ය සමයේ ත්‍රිපිටකය හා සම්බන්ධ බොහෝ කෘති ලියවී ඇති බව දෙමළ සාහිත්‍ය පිරික්සීම හරහා අවබෝධ කරගත හැකිය.

හින්දු ආගමේ ද ත්‍රිපිටක න්‍යායන් ගැන නොයෙක් දර්ශන මතවාද අන්තර්ගතව තිබෙන බව දර්ශනවාදීන් ගෙනහැර දක්වයි.

විශේෂයෙන් ම හින්දු ආගමේ සඳහන් වන අත්තුවිද න්‍යාය ත්‍රිපිකයේ සඳහන් වන උපත හා නිවන ප්‍රත්‍යක්ෂ කරගැනීම සම්බන්ධ න්‍යායන්වලට සමීප සම්බන්ධකමක් දක්වන බව බොහොමයත් කෘති මලින් පැහැදිලි කර තිබේ. එසේම පුනරුප්පත්තිය සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ සඳහන් කරුණුවලට සමානකම් දක්වන බොහෝ කරුණු හින්දු අත්තුවිද න්‍යායේ සහ සෛව සම්ප්‍රදායේ එන බොහෝ කරුණුවලද දක්නට ලැබේ.

ඒ අයුරින් බලන විට හින්දු ආගමට සම්බන්ධ නොයෙකුත් උපමා කතා ත්‍රිපිටකයේ ද ගෙනහැර දක්වා තිබීම දෙමළ සම්ප්‍රදාය හා ත්‍රිපිටකය අතර ඇති සමීප සබඳතාව සාක්ෂි දරයි.

ඒ අනුව මාතලේ අලුවිහාරයත්, එහි දී ග්‍රන්ථාරූඪ කරන ලද ත්‍රිපිටකයත් ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ තිරසාර අභිවෘද්ධියට මඟ විවර කළ නිසාම ඒ පිළිබඳ වූ ඉතිහාසය රන් අකුරින් ලියා තැබිය යුතු වේ.

Comments