ත්‍රිපි­ට­කය හා බැඳුණු අපේ උරු­මය | සිළුමිණ

ත්‍රිපි­ට­කය හා බැඳුණු අපේ උරු­මය

 

‘පිටක’ යනු පාලි භාෂාවෙහි පැස, මංජුසාව, බඳුන යන අරුත් දෙන වචනයක් වශයෙන් යෙදෙයි. ඒ අනුව ‘ත්‍රිපිටකය’ යන්නෙහි ගම්‍යමාන අරුත වන්නේ ‘බුද්ධ ධර්මය සංග්‍රහ කරන ලද බඳුන් තුනක් වැනි සූත්‍ර, විනය, අභිධර්ම යන කොටස් තුන’ යනුයි.

මේ පිටක තුන අතුරින් සූත්‍ර පිටකයට ‘නිකාය’ යන නමින් - එනම්: ‘දීඝනිකාය’ ආදි වශයෙන් හඳුන්වනු ලබන ග්‍රන්ථ 5ක් ද, විනය පිටකයට ‘පාරාජික පාළි’ ආදි වශයෙන් හඳුන්වන ග්‍රන්ථ 5ක් ද, අභිධර්ම පිටකයට ‘ධම්මසංගණි පකරණ’ ආදි වශයෙන් හඳුන්වනු ලබන ග්‍රන්ථ 7ක් ද ඇතුළත් වේ. ඉහත සඳහන් කරන ලද නිකාය ග්‍රන්ථ පහෙන් අවසාන නිකාය ග්‍රන්ථය වන ඛුද්දක නිකාය පොත් 15කින් සැදුණකි.

බුදුරදුන් විසින් විවිධ තැන්වලදී විවිධ කරුණු මුල් කොටගෙන වදාරන ලද ධර්මය බෙදා සංග්‍රහ කොට දැක්වීමක් වශයෙන් මේ ත්‍රිපිටකය පහළ වී තිබේ. එසේ බුද්ධ ධර්මය බෙදා වෙන් කර දැක්වීම මුලින් ඇරඹුණේ බුදුරදුන්ගේ පිරිනිවන් පෑමෙන් තුන්මසකට පසු සිවුවැනි මසෙහිදී පන්සියයක් මහරහතුන් විසින් පවත්වන ලද ප්‍රථම සංගීතියෙහිදීය (සංගීතිය නම් බොහෝ දෙනකුන් එක්රැස්ව එක්වරම යම් කිසිවක් කටපාඩමින් කීමයි. එසේ හැමදෙනා කටපාඩමින් කියා මේ මේ ධර්ම කොටස් පිළිගතයුතු යැයි සම්මත කිරීම සිදු වී ඇත).

මේ ප්‍රථම සංගීතියෙහිදී සූත්‍ර පිටකය හා විනය පිටකය සංගීතියට නඟන ලද බව පැවැසෙන නමුත් අභිධර්ම පිටකය සංගීතියට නැඟූ බවක් නොපැවසෙයි. එහෙත් දීඝනිකාය අටුවාවෙහි මෙහිදී අභිධර්ම පිටකයද සංගීතියට නැඟුණු බව සඳහන් වේ.

දෙවැනි සංගීතිය බුදුරදුන් පිරිනිවන් පෑමෙන් වසර 100කට පසු කාලාශෝක රජ දවස වජ්ජිපුත්තක භික්ෂූන්ගේ විනය විරෝධි ප්‍රකාශයක් හේතු කොටගෙන විශාල මහනුවරදී 700ක් වූ මහරහතුන් විසින් පවත්වන ලද්දකි. මෙහිදී සංගීතියට ලක් වූයේ විනය පිටකයයි.

අද හමුවෙහි පවත්නා ත්‍රිපිටකය තුන්වැනි සංගීතියෙහිදී සම්මත කරගන්නා ලද්දකි. බුදුරදුන් පිරිනිවන් පෑමෙන් වසර 235කට පසු අශෝක මහාධිරාජයාගේ අනුග්‍රාහයෙන් මොග්ගලීපුත්තතිස්ස නම් මහරහතුන් වහන්සේ ප්‍රමුඛ 1000ක් දෙනා වහන්සේ එක්ව පැළලුප් නුවරදී මේ සංගීතිය සිදුකරන ලදි.

ඉහත සඳහන් කළ පරිදි සැකසුණු ත්‍රිපිටකය දෙවනපෑතිස් රජ දවස ලක්දිවට හඳුන්වා දෙන ලද්දේ අශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ධර්මදූත පිරිස විසිනි. එය හුදෙක් ත්‍රිපිටකය ලක්දිවට හඳුන්වා දීමක් පමණක් නොව; එය චිරස්ථායි කිරීමට ගන්නා ලද පියවරක්ද විය. අද ථේරවාදි බෞද්ධ රටවල් වන බුරුමය, සියම, කාම්බෝජය හා ලාඕසය යන රටවලට ත්‍රිපිටකයට හිමිකම් කීමට හැකි වී ඇත්තේ එය ලක්දිව රැකුණු හෙයිනි. එපමණක් නොවේ, දහනව වැනි සියවසෙහිදි ඉංගිරිසි, ප්‍රංස, ජර්මානු භාෂාවලට ත්‍රිපිටකය නැඟුණේද එහි ඵලයක් වශයෙනි.

ත්‍රිපිටකය එය උපන් දඹදිවට අහිමි වුවද ලක්දිව භික්ෂූන් වහන්සේ එය සිය පණ මෙන් ආරක්ෂා කරගැනීමට දරා ඇති ප්‍රයත්නය සුළු පටු නොවේ. ඒ බව අපට පසක් වන්නේ වළගම්බා රජ දවස මෙරට ඇති වූ ‘මහාභය’ යන නමින් හඳුන්වනු ලබන බැමිණිතියා සායෙහිදී ඇතැම් සිංහල තෙරවරුන් ත්‍රිපිටකය නොනැසී පවත්වාගෙන යෑමට දරා ඇති උත්සාහය පිළිබඳ තොරතුරු අසන විටය. මේ සාගත සමයෙහි භික්ෂූහු පසුරු මඟින් පිටරට යනු පිණිස මූදුවැල්ලට රැස් වූහ. එහෙත් 60 නමක් මෙරටම රැඳී ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කරගැනීමට තීරණය කළහ. ඒ අනුව භික්ෂූන් ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කරගැනීමට දැරූ උත්සාහය කෙබඳුද යනු සද්ධර්මාලංකාරයෙහි සඳහන් වන්නේ මේ අයුරිනි:

‘මූදුවැල්ලෙහි රැස් වූ භික්ෂූන් අතුරෙන් සැට දෙනකුන් වහන්සේ අපට මෙතැන්හි ගමනින් ප්‍රයෝජන කිම්ද? අපි හැම මෙහිම රඳා තෙවළා බුදුවදන් රක්සා කරම්හයි කතිකා කොට එතනින් නික්ම දකුණු දිගැ ගල්වල් ජනපදයට ගොස් වනමුල් පලාකොළ ආදියෙන් දිවි රකිමින් දවස් යවන සේක් කායබල ඇති වේලෙහි ඉඳගෙන ධර්මය පිරිවහන සේක. කය අශක්ති වේලෙහි වැලි ගොඩ කොට එහි වටින් හිස් තබා ඔවුනොවුන් වහන්සේගේ කනට ඇසෙන පමණෙකැ පාලිධර්මය පිරිවහන සේක. මෙම ක්‍රමයෙන් දොළොස් අවුරුද්දක් මුළුල්ලෙහි අර්ථකථා සහිත වූ ත්‍රිපිටක ධර්මය හදාරා පිරිවහා සම්පූර්ණ කොට රක්ෂා කළ සේක. පරදෙසට වැඩි සත්සියයක් දෙනා වහන්සේද අර්ථකථා සහිත වූ ත්‍රිපිටක ධර්මය එක අකුරකුත් නොපිරිහෙළා පරිහරණය කොට දුර්භික්ෂය සන්හුන් කල්හි මෙම ලක්දිවට අවුත් කලලග්‍රාම ජනපදයෙහි මණ්ඩලාරාම නම් විහාරයට වන් සේක.

එකලැ ‍මේ ලක්දිවැ රැඳුණු සැටදෙනා වහන්සේ එපවත් අසා මණ්ඩලාරාම විහාරයට ගොස් ‍ඔවුනොවුන් වහන්සේ දැක වැඳ දුක් සැප කථා කොට ඉක්බිති ත්‍රිපිටක ධර්මය වනපොත් පිරිවහා පරීක්ෂා කරන සේක. මේ දෙපක්ෂයෙහි එක අකුරක් පමණකුත් වෙනසක් වැරැද්දක් නුදුටු සේක.’

ප්‍රථම සංගීතියෙහි සිටම භික්ෂූන් වහන්සේ ත්‍රිපිටක ධර්මය පවත්වාගෙන ආවේ වනපොත් කිරීම හෙවත් කටපාඩම් කිරීම මඟිනි. මුළු මහත් ත්‍රිපිටක ධර්මය හදාරා එහි අරුත් වටහාගැනීමට ප්‍රථම සංගීතියෙහි සිටම ත්‍රිපිටකයෙහි ඒ ඒ කොටස් ඒක පිළිබඳව විචක්ෂණ වූ මහතෙර නමකගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර මඟින් කටපාඩමින් පවත්වාගෙන යෑමට කටයුතු කොට ඇත. එසේ ත්‍රිපිටකයෙහි යම් යම් කොටස් කාටපාඩමින් දේශනා කිරීමට සමත් භික්ෂුව හඳුන්වා ඇත්තේ ‘භාණක’ යන නමිනි. ඒ අනුව දීඝනිකාය කටපාඩමින් දේශනා කිරීමට සමත් භික්ෂුව ‘දීඝභාණක’ නම් විය. මේ අයුරින් ‘මජ්ඣිමභාණක’, ‘සංයුත්තිභාණක’, ‘අංගුත්තරභාණක’, ‘ජාතකභාණක’ වැනි භාණකවරු වූහ. මේ අතර විනය පිටකය සපුරාදැරීමට සමත් භික්ෂුව ‘විනයධර’ වූ අතර අභිධර්මය දරන භික්ෂුව ‘ආභිධම්මික’ නම් විය. දඹදිව පැවති මේ හැඳින්වීම් ලක්දිවද එසේම පැවතිණි.

කටපාඩම් කිරීම මඟින්ම ත්‍රිපිටක ධර්මය තවදුරටත් පවත්වාගෙන යෑම අපහසු බව ලක්දිව මහතෙරවරුන්ට වැටහුණේ ඉහත සඳහන් කළ පරිදි වළගම්බා රජ දවස බැමිණිතියා සායෙහිදි ලබන ලද අමිහිරි අත්දැකීම් හේතු කොටගෙනය. එනිසා අටුවා සහිත ත්‍රිපිටක ධර්මය ලියා තැබීම පිළිබඳ අවධානය යොමු වී ඇති අතර, එය වළගම්බා රජු දවසම සිදු විණි. එසේ වූයේ කිසියම් ජනපදාධිපතියකුගේ අනුග්‍රහයෙන් මාතලේ අලු විහාරයෙහිදීය. මේ අනුව ත්‍රිපිටකය සහිත අටුවා ග්‍රන්ථ වශයෙන් ලොවට ප්‍රදානය කිරීමේ ගෞරවය හිමි වන්නේ ලක්දිවට බව පැහැදිලිය. ‍‍‍‍

‘හෙළටුවා’ නමින් සිංහල භාෂාවෙන්ද ‘සීහළට්ඨකථා’ යනුවෙන් පාලි භාෂාවෙන්ද හඳුන්වන ග්‍රන්ථ විශේෂය සිංහල සම්භාව්‍ය සාහිත්‍යයෙහි ආරම්භය සටහන් කරයි. සියලු හෙළටුවා බුද්ධ ධර්මයෙහි අරුත් පැහැදිලි කිරීම සඳහාම කැප වී නැත. එහෙත් ත්‍රිපිටක ධර්මය පැහැදිලි කිරීම සඳහා පහළ කරන ලද හෙළටුවා සියලු හෙළටුවා අතර මුල් තැන ගනී. ත්‍රිපිටක ධර්මය සඳහා වූ හෙළටුවා පාලි භාෂාවට නැඟීමෙහි ඵලයක් ලෙසය පාලි අටුවා සාහිත්‍යය ඇති වූයේ.

ත්‍රිපිටකය සඳහා වූ හෙළටුවා පහළ වූයේ මිහිඳු මාහිමියන් විසින් ලක්දිවට ගෙන එන ලද පාලි අටුවා ඒ මාහිමියන් විසින්ම හෙළදිව වැසියන්ගේ ප්‍රයෝජනය පිණිස හෙළබසට නැගීම නිසාය යනු ක්‍රිව 5 වැනි සියවසෙහිදී හෙළටුවා පාලි භාෂාවට නඟන බුද්ධඝෝෂ තෙරණුවහන්සේ නිගමනය වෙයි. මහාවංසයද ඒ නිගමනයෙහිම එල්බගනී. එහෙත් ක්‍රිව 10 වැනි සියවසෙහිදී ලියවී ඇති දම්පියා අටුවා ගැටපදයෙහි සඳහන් වන්නේ ‘මගධ බසින් වැටෙමින් ආ බුදුකැලි අටුවා හෙළදිවැ ඇජුරෝ හෙළබසින් තුබූහ’ යනුවෙනි. ඒ අනුව මගධ බසින් - එනම්: පාලි භාෂාවෙන් - පැවැතෙමින් ආ බුද්ධ කාලයට අයත් අටුවා හෙළදිව ඇදුරන් හෙළබසට නඟා ඇත. එය වඩාත් පිළිගත හැකි ප්‍රකාශයක් බව නිගමනය කළ හැකියි.

බුද්ධඝෝෂ තෙරණුවන් සමන්තපාසාදිකා නම් විනය අටුවාව ලිවීමෙහිදි මහාඅට්ඨකථා, මහාපච්චරිය, කුරුන්දි ආදි අටුවා ඇසුරු කරන බව පවසා ඇත. මෙයින් ප්‍රධාන හෙළටුවාව වන්නේ මහාඅට්ඨකථාවයි. එය සම්පූර්ණ ත්‍රිපිටකය සඳහා ම වූ ප්‍රධාන අටුවාව මෙන්ම මහා විහාරවාසීන් සතු වූ ප්‍රධානතම අටුවාවද විය. ඒ බව බුද්ධඝෝෂ තෙරණුවන් සමන්තපාසාදිකා කිරීමෙහිදී එය මුල් තැන තබාගැනීමෙන් මෙන්ම එය සාරය ගනිමින් දීඝ, මජ්ඣිම, සංයුත්ත හා අංගුත්තර යන නිකාය ග්‍රන්ථ සඳහා අටුවා සපයා තිබීමෙන්ද පෙනේ. මහා අටුවාව මූලට්ඨකථා හෙවත් මුල්අටුවාව යන නමින්ද බුද්ධඝෝෂ තෙරණුවෝ හඳුන්වා දෙති. එයට හේතු වන්නට ඇත්තේ මහාමහින්ද මාහිමියන්ගේ පුරෝගාමිත්වයෙන් අරඹන ලද මුල්ම අටුවාව ඇසුරු කොටගෙන ඇති වූවක් වීමයැයි සිතිය හැකිය. කෙසේ නමුත් මුල් අටුවාව පසුව මහාවිහාරවාසීන්ගේ සංස්කරණයටද පත්ව ඇති බව මහාමහින්ද මාහිමියන්ගෙන් පසු සියවස් දෙක-තුනක් අතර මෙරට විසූ වියත් මහතෙරවරුන් මතවාදද, ලක්දිව තොරතුරුද ඇතුළත්ව තුබුණු බව බුද්ධඝෝෂ තෙරණුවන් කළ පාලි අටුවා මඟින් පෙනේ. එසේම එම මහඅටුවාව පාලියට නැඟීමෙහිදි බොහෝ විස්තර හා තොරතුරු ඇති බවද බුද්ධඝෝෂ කෘතිවලින් පැහැදිලි වන කරුණකි.

මේ අතර බුද්ධඝෝෂ තෙරණුවන් සඳහන් කරන මහාපච්චරි, කුරුන්දි යන හෙළටුවා දෙක ගැන සඳහන් වන්නේ සමන්තපාසාදිකා නම් විනය අටුවාවෙහිත් ඊට කරන ලද පාලි භාෂාමය ටීකාවන්හිත් පමණි. එනිසා ඒ හෙළටුවා දෙක විනය පිටකය සඳහා හෙළ ඇදුරන් විසින් කරන ලද බව පෙනේ. මේ හෙළටුවා දෙක හැරුණ විට සමන්තපාසාදිකාව කිරීමෙහිදී බුද්ධඝෝෂ තෙරණුවන් ‘සංඛේපට්ඨකථා’ නම් කෘතියක්ද ඇසුරු කොට ඇත. එයද මහාපච්චරී අටුවාව සංක්ෂිප්ත කොට කරන ලද හෙළටුවාවක් සේ සලකනු ලැබෙයි.

බුද්ධඝෝෂ තෙරණුවන් විසින් කරන ලදැයි සාම්ප්‍රදායික වශයෙන් පිළිගැනෙන සෙසු පාලි අටුවා සඳහාද හෙළටුවා ඇසුරු කොට ඇති බව සාම අටුවා මඟින් අනාවරණය වෙයි. ධම්මපදය සඳහා සපයා ඇති ධම්මපදට්ඨකථාව බුද්ධඝෝෂ තෙරණුවන්ට කරන ලදහයි යනු සාම්ප්‍රදායික මතය වුවද එය එසේමයැයි පිළිගැනීමට ඇතැම් විද්වත්හු පසුබට වෙති. කෙසේ නමුත් එහි ආරම්භයෙහිදී ‘පරම්පරාවෙන්’ ගෙන එන ලද හෙළටුවාව සියලු ලෝකයාගේ යහපත සඳහා හේතු නොවන බැවින් පාලි භාෂාවට නඟන බව සඳහන් වේ.

අභිධර්ම පිටකය සඳහා කරන ලද පාලි අටුවාද කරන ලද්දේ බුද්ධඝෝෂ තෙරණුවන් විසිනි යන සාම්ප්‍රදායික මතයද වියතුන්ගේ විවාදයට තුඩු දුන්නකි. කෙසේ නමුත් එම අටුවාද පෙර පැවැති හෙළටුවා ඇසුරෙන් කරන ලද බවට සාධක ලැබෙයි.

බුද්ධඝෝෂ තෙරණුවන් හැරුණු විට හෙළටුවා ඇසුරු කරමින් පාලි අටුවා සම්පාදනය කළ උපතිස්ස, ධම්මපාල යන තෙරවරුන්ද තම කෘති සඳහා හෙළටුවා ඇසුරු කර ඇත.

මේ කරුණු අනුව ත්‍රිපිටක ධර්මය සඳහා ලක්දිව තෙරවරුන් සම්පාදනය කර තිබුණු හෙළටුවා සාහිත්‍යය කොතරම් විශාලදැයි මැනැවින් පසක් වෙයි. මේ හෙළටුවා ‍නොතිබුණා නම් අද අප හමුවෙහි පවත්නා පාලි අටුවාද පහළ නොවන්නට ඉඩ තිබිණි. බුරුමය, සියම, කාම්බෝජය යන රටවල ත්‍රිපිටක ධර්මය හැදෑරීමෙහිදී ඇසුරු කරන්නේද හෙළටුවා ඇසුරෙන් සම්පාදනය කරන ලද පාලි අටුවායි. ඒ රටවලද මෙසේ සැපයුණු පාලි අටුවා සඳහා ටීකා, අනුටීකා ආදිය විමසන විට හෙළටුවා සාහිත්‍ය ලොව කොතරම් ව්‍යාප්තව ඇත්තේද යනු පැහැදිලි වෙයි.

Comments