මහ රහ­තන් වහ­න්සේ­ලාට කාශ්‍යප රජු පූජා කළ පුද­බිම | සිළුමිණ

මහ රහ­තන් වහ­න්සේ­ලාට කාශ්‍යප රජු පූජා කළ පුද­බිම

මෙම සංචාරය සඳහා අනුග්‍රහය දක්වන ටිෂාන් රංගේ සොහොයුරා අපට අද රැයේ නවාතැන් ගන්නට සූදානම් කර ඇත්තේ ඇලෙක්ස්ගේ Mathews Holiday Resort නවාතැන් පළයි. විදෙස් සංචාරකයන්ට නවාතැන් සපයමින් ඉතාමත් හොඳින් තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන ඇලෙක්ස් මැතිව් ධෛර්යවන්ත තරුණයෙකි. හබරණ නගරයෙන් දකුණට ඇති පොලොන්නරු මාර්ගයේ මීටර් සියයක් පමණ ගියවිට දකුණු පසට වන්නට මෙය පිහිටා තිබේ.

ඇලෙක්ස්ගේ සංචාරක හෝටලය සැබැවින්ම ගහ කොළ පරිසරයට ආදරය කරන කෙනකුට නවාතැන් ගන්නට අපූරු තැනකි. අක්කර දෙකක පමණ භූමි ප්‍රමාණයක වනයක ඇති දුර්ලභ ගස් ඒ ලෙසම තබා ගනිමින් මෙහි කාමර ඉදිකර තිබේ. දිවා කාලයට වුවද තුරු වියන අමුතුම සිසිලසක් ගෙනේ.

තුරු වියන යට ඉදිකර ඇති සමර් හට් එකෙහි අපි වාඩිවී සිටිමු. රාත්‍රිය නිසලය. ඒ නිසල බව වැඩිවේලාවක් තබා ගන්නට ඉඩ නොදී රැහැයියන් රංචුවක් සිය වාදනය ඇරැඹුවේය.

පෞද්ගලික විස්තර අසමින් ඇරැඹි අපගේ කතා බහ සංචාරක ක්ෂේත්‍රයේ ඔවුන් ලැබූ අපූරු අත්දැකීම් විස්තර කිරීම් වලින් අවසන් වනවිට හෝරා ගණනාවක් ගෙවී ගොසිනි. ටිෂාන් හොඳ රසවතෙකි. සුබාවිත ගීත ප්‍රිය කරන්නෙකි. ඔහු මේ සූදානම් වන්නේ ජංගම දුරකතනයේ ආධාරයෙන් ගීතයක් වාදනය කරන්නටය.

අප අත්පොළසන් දෙමින් තාලය අල්ලමින් සහයෝගය දුන්නෙමු. ගීත එකින් එක පෙළ ගැසෙමින් මිතුරන්ගේ ඉල්ලීම් වලට ඉඩදෙමින් අප ගීත කියමින් විනෝද වුණෙමු. අවසානයේ වේලාව ගතවී මධ්‍යම රාත්‍රිය පසුවී ගොසිනි. හෙට දිනයේ පිදුරංගල යන්නට උදෑසනින් අවදිවන්නට අවැසි නිසා අපි නින්දට ගියෙමු.

හිරු පායා අලුත් දවසක ආරම්භය සටහන් කරද්දී අප පිදුරංගල යන්නට සූදානම් වීමු. ටිෂාන් මේ ගමනට සෆාරි ජීප් රියක් සූදානම් කර එවා තිබුණි. චන්න කෝසල සොයුරා එහි රියැදුරා ලෙස කටයුතු කරයි.

හබරණ නගරයේ සිට පොලොන්නරු මාර්ගයේ ගියවිට හමුවන මොරගස්වැව හන්දියෙන් (සීගිරිය හන්දිය) දකුණු පසට ඇති මාර්ගය ගමන් කරන්නේ සීගිරිය සහ පිදුරංගල වෙතයි. සීගිරිය දක්වා සම්පූර්ණ දුර කිලෝමීටර් 13 ක් පමණවන අතර කිලෝමිටර් 12ක් ගිය තැන පිදුරංගල පුදබිම හමුවෙයි.

පසුගිය දිනවල පැවැති වර්ෂාව නිසා ගහකොළට කිසියම් ජීවයක් එක්වී ඇති සේය. පාර දෙපස දැකිය හැකි කුඹුරු වල ගොවියෝ සී සාමින් ලහි ලහියේ කුඹුරු වපුරන්නට සැරසෙති. හරිත පැහැයෙන් මුළු පරිසරයම පිරී ඇත. තවමත් හිමිදිරිය නිසා ගතට සිසිලසක් දැනේ. කිලෝ මීටර් 5ක් පමණ යන විට මහ වනාන්තරයට පිවිසෙයි.

අලින්ගේ පැමිණීම නතර කිරීමට විදුලි අලිවැට පාර දෙපස තිබේ. අප සෝදිසියෙන් ගියේ කොයි මොහොතේ වනය අතරින් අලියකු පැමිණෙන්නට ඉඩ ඇති නිසාය. ජීප් රථයේ ටයර තාරපාරේ ගැටීමෙන් නැගෙන හඬට බියවුණු මොනරුන්, හාවුන් පාර හරහා පැන කැලයට දුවන්නේ කලබලයෙනි.

එසේ කිලෝමිටර් 10ක් පමණ ගොස් මහසෙන්ගම පසුකර ඉලුක්වැව හන්දියෙන් දකුණට හැරවිය යුතුය. සීගිරියට යා යුත්තේ වම් පසට ඇති පාරේය. එය ගුරු පාරකි. තරමක වළවල් ඇති නිසා ගමන දුෂ්කරය. අතර මගදී ඩෝසරයක් මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු කරන අතර එය අධීක්ෂණය කරන ස්වාමින් වහන්සේ නමක් මුණ ගැසුණි.

ඒ මෙම පුදබිමේ වැඩසිටින දඹුල්ලේ සුමනරංසි හිමිය. මම උන්වහන්සේ පා නමැද අප ආ කාර්යය ගැන කීවෙමි. ඒ අනුව අපට පුද බිමට ගොස් පැමිණෙන්නැයි උන් වහන්සේගෙන් උපදෙස් ලැබුණු අතර පන්සලට වැඩම කළ පසු අප හමුවන බව පැවසූහ. විනාඩි ගණනකින් පසු අප ඒ ඓතිහාසික පිදුරංගල පුද බිම වෙත පැමිණියෙමු.

මහා වංශයේ පවා ලියැවී ඇති අතීතයේ මහ රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පූජනීය වූද, සීගිරි කසුප්, පළමුවැනි මුගලන් සහ 4වැනි දප්පුල වැනි ශ්‍රේෂ්ඨ නරපතීන්ගෙන් පවා පුද ලද පිදුරංගල වසර 2500ක ශ්‍රී ලාංකේය බොදු ඉතිහාසයේ තවත් එක් වන්දනීය පුදබිමක් ලෙස හැඳින්විය හැකිය.

සිරිලක ලොව අන් කවර රටකටත් නොදෙවැනි අතිශය බලසම්පන්න රාජ්‍යයක් බවට තහවුරු කළ වංශකතාවල නොලියැවුණද ඉන්දියාව වැනි සිරලක මෙන් හැට ගුණයකින් විශාල මහා රාජ්‍ය පවා සෙලවූ වර්තමානයේ අතිශයින් දියුණු රටවල මිනිසුන් පයින් යද්දී ගමනට දඬුමොණරය නම් ගුවන් යානාවක් යොදාගත් ලොව පළමු නරපතියා වූ ලංකේෂ්වර රාවණා නරේන්ද්‍රයන් අන්‍ය ග්‍රහලෝක සමඟ සබඳතා පැවැත්වූ ස්ථානය ලෙසද සැලකෙන්නේ ත්‍රිකෝණාකාර හැඩයකින් යුතු විශේෂ ආකාරයේ ආනතියක්ද සහිත මෙම පිදුරංගල පව්වයි.

මිසරයේ පිරමීඩ මුදුනත කේන්ද්‍රයන් සහ පිදුරංගල පර්වතයේ මෙම ත්‍රිකෝණාර හැඩයේ මධ්‍ය ලක්ෂය එක් සමාන්තර රේඛාවක පිහිටන බව ජර්මන් ජාතික මහාචාර්යවරයකු සිය පර්යේෂණ වාර්තාවක් මගින් හෙළිකර තිබේ.

මෙම කාරණා ඇතැමෙක් පුද්ගල පර්යේෂණ සහ ජනප්‍රවාද මත ගොඩනගන ලද ඒවා වුවද පිදුරංගල පව්ව මත සහ ලෙන් කුටි ආශ්‍රිතව කරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂණ වලින් පිදුරංගල වසර 12000කට එහා මානවයන් මෙහි සිට ඇති බවත් ඔවුන් ඉතා දියුණු ශිල්ප ක්‍රම භාවිතා කරන්නට ඇති බවටත් වන සාධක මතු කරගෙන තිබේ.

පිදුරංගල පුදබිමේ විහාරාධිපතීන් වහන්සේ වන්නේ සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය ඉනාමළුවේ සුමංගලාභිධාන මහා නාහිමියන් වහන්සේ වන අතර විහාර භාරකාර ස්වාමීන් වන්නේ සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය දානියගම ආනන්නද නාහිමියන් වහන්සේය. වර්තමානයේ විහාරයේ පුද පූජා කටයුතු සිදුකරමින් වැඩසිටින්නේ දඹුල්ලේ සුමනරංසි විහාරවාසී ස්වාමීන් වහන්සේය.

පිදුරංගල පුදබිම පිළිබඳව පවසන විට සීගිරි පර්වතය පිළිබඳවත් එය සිය රාජධානිය කරගත් කාශ්‍යප මහ රජුන් පිළිබඳවත් කතා නොකරම බැරිය. අද සීගිරිය ලෝක උරුමයක් බවට පත්ව ඇත. ලෝකයක් මවිත කරන්නට සමත්වුණු මේ අසිරිමත් නිර්මාණය කළ කාශ්‍යප රජුන් අදින් වසර 1500කට පෙර අතීතයේ දවසක අනුරාධපුර රාජධානියෙන් පිටව සිහගිරි පව්ව සිය වාසභූමිය කරගන්නට පැමිණි විට දක්නට ලැබුණේ සීගිරි පව්ව හා ඒ අවට ලෙන් කුටි වල වැඩ සිටිනා සිය ගණන් මහ රහතන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාය.

අරණ්‍යවාසී අල්පේච්ඡ සරළ දිවි පෙවෙතක් ගත කළ මහා සංඝයා වහන්සේ කාශ්‍යප කුමරුන්ට සීගිරිය රිසිසේ හිඳින්නට ඉඩලබාදී සිහගිරි පාමුලින් නික්ම උතුරු දොරටුවට නුදුරින් වූ ‘නියීයන්ති‘ වනයට වැඩම කොට එහිවූ පර්වත (ගල) පාමුල ආරණ්‍ය කොට වැඩ වාසය කළහ.

අනුරාධපුරයේදී මහ සඟරුවනගෙන් දහම් දැන බොදු පිළිවෙත් මැනැවින් ප්‍රගුණ කර සිටි කාශ්‍යප රජතුමාද මහ සඟරුවන කළ ඒ මහඟු කැපකිරීම දැක ‘නියීයන්ති‘ වනය සහිත රහතන් වැඩ සිටි ගල ආරණ්‍යයක් කොට මහ සංඝයා වහන්සේ වෙත පූජා කර තිබේ . එසේ ආරණ්‍ය පිදූ ගල පසු කලෙක පිදූ අරන්ගල වී ජන ව්‍යවහාරයෙන් ‘පිදුරංගල‘ ලෙස ව්‍යවහාරයට එකතු වී ඇත.

ලබන සතියේ පිදුරංගල පර්වත මුදුනේ සිට සීගිරිය වෙනස්ම කෝණයකින් දකිමු.

විශේෂ ස්තුතිය

දඹුල්ලේ සුමනරංසි විහාරවාසී ස්වාමීන් වහන්සේට, ටිෂාන් රංගේ මහතාට සහ තොරතුර ලබාගන්නට උපකාරීවූ ‘අතීත උරුමයක සටහන් - පිදුරංගල රජමහා විහාරය‘ කෘතිය රචනා කළ පිදුරංගල රජමහා විහාර සංවර්ධන පදනම සහ පිදුරංගල රජමහා විහාර භාරකාර මණ්ඩලයේ ලේකම් සාම විනිසුරු එල්. ජී. අබේසිංහ මහතාට 

 

අදහස්