පිය පුතු ගැටුම | සිළුමිණ

පිය පුතු ගැටුම

 

කොණ්ඩෙ බූගාගෙන මං ගෙදර ගියා. තාත්ත මං දිහෑ බලල ‘මොකද වුණේ? කියල ඇහුවා.

‘මොකද වුණේ? ඔයා කතුරෙන් මගෙ කොණ්ඩෙ කැපුවනෙ. ඒත් ඒක වැවෙනවනෙ. ඒ හින්ද මං කොණ්ඩෙ වැවෙන එක නතර කරව ගත්තා. මං ගිහිං කාකගෙන් ඇහුව මගෙ කොණ්ඩෙ බූගාල දෙන්ඩ පුළුවන්ද කියලා; පුළුවන් කියල බූගාල දැම්මා. සල්ලි ගත්තෙත් නෑ. දැන් ඉතින් කොණ්ඩෙ නැති හින්ද ඔයාට කරදර වෙන්ඩ ඕනැ කමක් නෑ’ මං කිව්වා.

‘ඒත් ඔය වැඩෙන් ප්‍රශ්න ගොඩක් ඇති වෙන බව තමුන් දන්නවා නේද?’ තාත්ත ඇහුවා. එතකොටම වගේ මනුස්සයෙක් ඇවිත් ‘මොකද මේ? මේ ළමයගෙ තාත්ත මැරිලද?’කියලා ඇහුවා.

‘බලනවා! තමුසෙ කෙල්ලක් වුණා නං මීට වැඩිය හොඳයි. දැං මං මැරිල! දැන් ඉතිං පුළුවං තරං ඉක්මනට ඔය කොණ්ඩෙ වවා ගන්නව! ගිහිං අර අබිං බාබර්ගෙංම පුළුවං උදව්වක් ඉල්ල ගන්නව! එහෙම නූණොත් මට එන කරදර ඉවරයක් නැති වෙයි. දැන් ඉතිං තමුං ටවුම පුරාම ඔය විදිහට කරක් ගහපුවම තමුංගෙ තාත්ත මැරිල කියල හැමෝම දැන ගනියි. මුළු ටවුමම මෙහෙ එන්ඩ පටන් ගනියි!’තාත්ත කිව්ව.

කිව්වත් වගේ මිනිස්සු එන්ඩ තියා ගත්ත. ඒ තමයි අපේ තාත්ත මට හරස් වෙච්ච අන්තිම අවස්ථාව. ‘මීට පස්සෙ මං තමුන්ට කිසි දෙයක් ‘කරපං’ කියල කියන්නෑ. ඒකෙන් මටමයි කරදර එන්නෙ’ තාත්ත තීරණයක් ගත්ත.

‘මං ඔහෙ මගෙ පාඩුවෙනෙ හිටියෙ. ඔයානෙ ඕන්නැති විදිහට මගෙ වැඩවලට ඇඟිලි ගැහුවෙ’ මං කිව්වා.

ඔන්න ඔය කාලෙ දවසක් මං සෙල්ලං කරකර ඉන්දැද්දි අපේ තාත්තගෙ කඩේට එක්තරා මනුස්සයෙක් ආව. එයා අපේ තාත්තගෙ පාරිභෝගිකයෙක්. නිකං ඔහේ කියෝන කෙනෙක්. තාත්තත් එයාගෙ කියවිල්ල එපා වෙලයි හිටියෙ.‘ආං මිනිහ එනවා. එයා තේරුමක් නැතුව මගෙ කාලෙ කනවා. මිනිහගෙං බේරෙන එක ලේසි නෑ. මං යනව’ දැං මට වැඩක් තියනව කියල එයාට කියන්ඩ’ තාත්ත මට කිව්ව. ඇත්තෙන්ම එයාගෙන් තාත්තට බේරිල්ලක් තිබුණෙ නෑ තමයි. මට පොඩි වැඩක් තියනව කියල තාත්ත බේරිල යන්ඩ හදනකොට ‘යං මාත් එනව. යන ගමන් අපි දෙන්නට කතා කරන්ඩ පුළුවන්නෙ’ කියල මිනිහ කියනවා. හැබැයි තාත්තට කතා කරන්ඩ ඉඩක් ලැබෙන්නෙ නෑ. එයාම තමයි තනියම ඔහෙ කියවන්ඩ ගන්නෙ. මිනිහ කියවිල්ලෙන්ම මිනිස්සුන්ට වධ දෙන එක්කෙනෙක්. ඒ හින්ද තාත්ත මට කිව්ව ‘මං ගේ ඇතුළට යනව. ඔයා එළියෙ සෙල්ලං කරකර ඉන්ඩ. මිනිහ මාව ඇහුවොත් මං එළියට ගිහිං කියල කියන්ඩ’ කියල. එහෙම කියාගෙන තාත්ත ඇතුළට ගියා.

හැබැයි අපේ තාත්ත මට දිගින් දිගටම උපදෙස් දීල තිබුණෙ ‘කවදාවත් බොරුවක් කියනඩ එපා!’ කියලයි. ඉතිං තාත්තම මට බොරුවක් කියන්ඩ කියපු එකෙං මං ගැස්සිලා ගියා. ඒක හරි පරස්පරවිරෝධී දෙයක්නෙ.

ඉතිං අර මනුස්සය ඇවිත් ‘කෝ තාත්ත?’ කියල අහපුහම ‘එයා ගෙයි ඉන්නව. ඒ වුණාට ඇහුවොත් එළියට ගියා කියල කියන්ඩ කිව්ව’ කියල මං කිව්වා.

මේ කතාව තාත්තට ඇහුණා. ඒ මනුස්සයත් මාත් එක්කම කඩේට ඇතුළු වුණා. ඒත් එයා ඉන්න හින්ද අපේ තාත්තට මොකුත් කියා ගන්ඩත් බැරි වුණා.

පැය දෙක තුනකිං ඒ මනුස්සය ගියාට පස්සෙ තාත්ත මා එක්ක විතරක් නෙමේ ඒ මනුස්සය එක්කත් කේන්තියෙනුයි හිටියෙ. ”මං තමුසෙට කිව්වෙ මං එළියට ගියා කියල කියන්ඩනෙ. ඇයි එහෙම කිව්වෙ නැත්තෙ?’ කියල තාත්ත මගෙ ඇඟට කඩා පැන්නා. මං හරියටම ඔයා කියපු දේ තමයි ඒ මනුස්සයට කිව්වෙ කියල මං කිව්වා. මොන තත්ත්වයක් යටතේ වුණත් බොරුවක් කියන්ඩ එපා කියල තමයි ඔයා මට උගන්නල තියෙන්නෙ. ඉතිං මං ඕනෑ දේකට, ඕනෑ දඬුවමකට සූදානම්. දඬුවම් කරනව නං දඬුවම් කරන්ඩ!’ හැබැයි මතක තියාගන්ඩ; ඇත්ත කිව්වට දඬුවම් දුන්නොත් ඇත්ත නැත්තටම නැතිවෙයි. ඇත්ත කියනවට තෑගියි දෙන්ඩ ඕනෑ. ඒ හින්ද මට තෑග්ගක් දෙන්ඩ. එහෙම වුණොත් මොන දේ වුණත් මට දිගටම ඇත්ත කතා කරන්ඩ පුළුවන් වෙයි’ මං කිව්වා.

තාත්ත මං දිහෑ බලාගෙන ඉඳලා ‘ඔයා බුද්ධිමත් දරුවෙක්’ කියල කිව්වා.

’ඒ බව දැනටමත් ඔයා දන්නවා. දෙන්ඩ මට තෑග්ගක්. මං ඇත්ත කතා කෙරුවනෙ. කියල මං කිව්වා. ඉතින් එයාට මට තෑග්ගක් දෙන්ඩ සිද්ධ වුණා. තාත්ත මට රුපියලේ නෝට්ටුවක් දීල ‘කැමති දෙයක් ගන්ඩ’ කියල කිව්වා. ඒ කාලෙ රුපියලක් කියන්නෙ අද කාලෙ රුපියල් විසි පහක් වගේ මුදලක්.

‘මතක තියාගන්ඩ. ඔයා මට බොරුවක් කියන්ඩ කියලයි කිව්වෙ. ඒත් මං බොරුව කිව්වෙ නෑ. මේ විදිහට මං ලවා බොරු කියවන්ඩ ගියොත් ඔයාට මට තෑගි දෙන්ඩ සිද්ධ වෙයි. ඒ හින්ද ඔය බොරු කියවිල්ල නවත්තල දාන්ඩ! ඒ මනුස්සයව ඔයාට එපා නං කෙළින්ම කියන්ඩ “ඔයත් එක්ක නාස්ති කරන්ඩ මට කාලයක් නෑ. එකම කතාව අහල මට දැං තිත්ත වෙලා තියෙන්නෙ” කියල. ඇයි ඔයා බය? ඇයි බොරු කියන්නෙ? මං ඇහුවා.

‘ඒක කරන්ඩ අමාරුයි. මොකද ඔය මනුස්සය මගෙ හොඳ පාරිභෝගිකයෙක්’ තාත්ත කිව්වා.

අපේ තාත්තට තිබුණෙ හරි ලස්සන රෙදි සාප්පුවක්. අර මනුස්සයත් පෝසතෙක්. එයා අපේ තාත්තගෙ සාප්පුවෙන් තමන්ගෙ ගෙදරට, නෑයින්ට, යාළුවන්ට ගොඩක් රෙදි ගන්ඩ පුරුදුවෙලා හිටිය කෙනෙක්. ඒ තියා එයා ත්‍යාගශිලී මිනිහෙක්. ඉවරයක් නැති කතා කිරිල්ල තමා ප්‍රශ්නෙ.

‘මට එයාගෙ ඔය වදකාර කතාව ඉවසගෙන ඉන්ඩ වෙලා තියෙන්නෙ ඔයා මගෙ හොඳ කස්ටමර් කෙනෙක් හින්දයි. මට එයාව නැතිකරගන්ඩ බෑ’ තාත්ත කිව්වා.

‘ඒක ඉතිං ඔයාගෙ ප්‍රශ්නයක්. ඔයා බොරු කියන්නෙ එයා ඔයාගෙ හොඳම පාරිභෝගිකයෙක් හින්ද නං මං එයාට මේක කියන්නං’

‘එපා!

‘බලබල ඉන්ඩ බෑ. මොකද ඔයා දුක්විඳින්නෙ එයාගෙ ඉවරයක් නැති කතාව අහගෙන ඉන්ඩ බැරි හින්දනෙ. ඒ හින්ද ඒක වහාම එයාට කියන්ඩ ඕනෑ’

‘ඔයා හදන්නෙ මගෙ හොඳම පාරිභෝගිකයව මට නැතිකරල දාන්ඩ. ඒක කරන්ඩ එපා. මං ඔයාට තෑග්ගක් දෙන්නං’

ලබන සතියට 

Comments