මං හැදුවෙ නමයි-රහයි මතක තියෙන ව්‍යාපා­ර­යක් | සිළුමිණ

මං හැදුවෙ නමයි-රහයි මතක තියෙන ව්‍යාපා­ර­යක්

ඔහු මෙරට ව්‍යාපා­රික ක්ෂේත්‍රයේ තබා ඇත්තේ රසය හා බැඳුණු නමකි. නමත්, බිස්නස් එකත් දෙකම එකක් වූ ‘මෝතා’, කාට­වත් කව­දා­වත් අම­තක නොවන තැනට ගෙනෙ­න්නට අවු­රුදු 58 ක් පුරා ඔහු වග බලා­ගෙන තිබේ. කිසිදු කල­බ­ල­යක් නැතිව ගලා ආ ගම­නක් වුවද, එත­රම් හැල හැප්පිලි නැති වුවද, ජුලි­යස් මෝතා ශ්‍රී ලාංකික අප කියැ­විය යුතු ඒ නිසාය.

ලංකා‍වට ජෙලි හඳුන්වා දුන් ඔබව, බොහෝ අය දකින්නෙ පළමු වතා­වට....

1930, ‘ටී මෝතා ඇන්ඩ් සන්ස්’ නමින් මේ බිස්නස් එක පටන් ගත්තෙ මගේ තාත්ත‍ා, ට්‍රිබි­ෂි­යස් මෝතා. එංග­ල­න්ත­යෙන් සීනි බෝල - ‍ටොෆි - චොක­ලට් සකස් කළ ජෙලි වැනි රස කැවිලි ආය­ත­නය කළා. ඊට අවු­රුදු තිහ­කට පස්සෙ, 1960 දි- ලංකා­වෙම ඒ ජෙලි වර්ග මට හදන්න ගත්තා. එදා පටන් අවු­රුදු 58 ක් මේ රටේ ළමා ළපටි - වැඩි­හිටි කවු­රුත් මං හැදු ජෙලි­වල රහ ගුණ වින්ඳ‍ා. ඉතින්, මාව නොදැ­ක්කට මේ රටේ මිනි­සුන්ට මගේ නම හොඳට පුරු­දුයි. මං හැදුවේ ‘ නමයි - රහයි’ මතක තිබෙන ව්‍යාපා­ර­යක්.

මොකක්ද ඔ‍බේ මේ, ‘මෝතා’ නම හා බැඳුණු පැටි­කි­රිය..

අපි ‘භරතා’ ජන­තාව (Bharatha Community). දකුණු ඉන්දි­යා­වෙන් විසිරි ආ කතෝ­ලික ව්‍යාපා­රික ප්‍රජා­වක්. අපේ පර­ම්ප­රවේ මගේ සීයා තමයි ලංකා­වට ආ පළමු කෙනා. තාත්තා, මම මගේ සහෝ­දර සහෝ­ද­රියො හත්දෙනා, මගේ දූලා පස්දෙනා, ඒ අයගේ දරුවො...මේ හැමෝම ඉප­දුණේ ලංකාවේ. දැන් අපි ශ්‍රී ලාංකි­කයෝ.

මේ රස හා බැඳුණු ව්‍යාපා­ර­යක්. මොන­වද ඔබ සුප­වේ­දය ගැන දන්නෙ...

මෙච්චර වය­සට ගියත් අදත්. මම තමයි අපේ අලුත් අත්හඳා බැලී­ම්වල රසය බලන්නේ. ඕන සාම්ප­ල­යක රහ ගුණ- අඩු වැඩි වීම් මට දැනෙ­නවා. මගේ දිවට දැනෙන රසය තෘප්ති­මත් නම් තමයි, අදත් ඕනෑම මෝතා අලුත් ප්‍රඩක්ට් එකක් ඔබ අතට පත් වෙන්නේ. ඒකට සූප­වේ­දි­යෙක් වෙන්න ඕනෙ නැහැ. මං හොඳට රහ විඳින්න දන්න කෙනෙක්.

දැන් ඔබේ වයස කීයද...

89 යි. ඒත් මෙච්චර කල් මට ඒක දැනුණෙ නැහැ. වැඩ කරන්න වයස ‍බාධාවක් නෙවෙයි. ශරීර සෞඛ්‍ය යහ­පත් වීම විත­රයි මට වැද­ගත්. අවු­රුදු හැට පහු වෙන­කල් මං එක සීරු­වට වැඩ කළා. දැන් නම් සති­යට දව­සයි මං ඔෆිස් එකට ෆැක්ට­රි­යට ඒන්නෙ. මං ටිකක් වය­සට ගිහින් බව දැනෙ­නවා.

ජෙලි හදන අමු­ද්‍රව්‍ය ගෙන්වන්නේ කොහෙන්ද...

මොස් ජෙලි හදන මුහුදු ශාක පවු­ඩර්, ජර්ම­නි­යෙන්, විවිධ රස වර්ග (flavours) යුරෝ­ප­යෙන් සහ ඕස්ට්‍රේ­ලි­යා­වෙන්. දීප්ති­මත් වර්ණ හැදෙන, කලර් පවු­ඩර් යුරෝ­ප­යෙන් සහ ඇමෙ­රි­කා­වෙන්. ජෙල­ටින් බ්‍රසී­ල­යෙන් සහ ඕස්ට්‍රේ­ලි­ය‍ා­වෙන්. කෝන් ෆ්ලවර් ඉන්දි­ය‍ා­වෙන් හෝ චීන­යෙන් මිලදී ගත්තොත් දකුණු අප්‍රි­කා­වෙන් මිලදි ගන්න­වට වඩා මෙට්‍රි­ක්ටොන් එක­කට ඩොලර් සිය­ය­කට වැඩිය ලාබයි. නමුත් හොඳට කෝන් ෆ්ලවර් හදන්නෙ දකුණු අප්‍රි­කාවේ. ඒ නිසා අපි ගෙන්වන්නෙ දකුණු අප්‍රි­කාවෙ කෝන් ෆ්ලවර් පම­ණයි.

මොන­වද මේ ව්‍යාපා­රයේ අනෙක් නිෂ්පා­දන...

මුහුදු පාසි ජෙලි, සීනි රහිත ඩයට් ජෙලි, කැර­මල් සහ පුඩිං මිශ්‍රණ, අයි­සින් සීනි, බේකින් පවු­ඩර්, ජෙල­ටින්, කෝන් ෆ්ලවර්, මින්ට් - චොක්ලට් ලේයර් පුඩිං වර්ග....ඇතුළු රස කැවිලි වර්ග හැත්තෑ පහක් පමණ අපි නිප­ද­ව­නවා. වැද­ගත්ම දේ මේ රස කැවි­ලි­ව­ලට ගමයි නග­ර­යයි කියලා වෙන­සක් නැහැ. ෆ්‍රිජ් එකක් නැති ගෙද­රක අයට වුණත් ‍අපේ ජෙලි ටිකක් හදලා රස බලන්න පුළු­වන්.

පිට රටින්ම අමු­ද්‍රව්‍ය ගෙන්වලා ජෙලි වගේ දෙයක් හදන එක, රටේ සල්ලි පිටට දීමක් නෙවෙ­යිද...

හොඳ දෙයක් හදන්න නම්, හොඳම අමු­ද්‍රව්‍ය යොදන්න ඕනෙ. ඒ වගේම අපි ජෙලි විකු­ණන්නෙ ලංකා­වට විත­රක් නෙවෙයි. අපේ ශ්‍රී ලාංකි­කයො ජීවත් වන ඕස්ට්‍රෙ­ලි­යාව, ඇමෙ­රි­කාව, කැන­ඩාව, මැද පෙර­දිග බොහෝ රට­වල ‘Ethnic shops’ තියෙ­නවා. මේ සාප්පු පව­ත්වා­ගෙන යන්නෙ බොහෝ විට එහෙ ජීව­ත්වන ශ්‍රී ලාංකි­කයෝ. ඒවායෙ තියෙන්නෙ ශ්‍රී ලංකාවේ කෑම් බීම් - බඩු භාණ්ඩ. මෝතා ජෙලි - පුඩින් වර්ග හැම දෙයක්ම ඒවායේ තියෙ­නවා. අවු­රුදු දහ­යක විතර පටන් අපි මේ විදි­යට විදෙස් විනි­මය රටට ගෙනෙන සමා­ග­මක්. දැන් දේශීය වෙළෙ­ඳ­පොළේ 80% කට වැඩි මාකට් ෂෙයාර් එකක් තියෙන නිසා, එක්ස්පෝර්ට් මාකට් එකට ඉදි­රි­යේදී මීට වඩා අව­ධා­න­යක් දෙන්න අපිට පුළු­වන්.

ලෝකෙ රසම ජෙලි හඳන්නෙ කොහේද...

වොරන් බෆට්ගෙ ගෲප් එකේ ‘ක්‍රාෆ්ට් - ජෙලෝ’ බ්‍රෑන්ඩ් එකෙන් එන ‘Jello’ තමයි , දැනට ලෝකෙ වැඩිම රස පරා­ස­යක විහි­දුණු ජෙලි නිෂ්පා­දන ජාලය. එහි රස වර්ග 25 ක් තිබෙ­නවා. මෝතා යටතේ හදන්නෙ ජෙලි වර්ග 12 යි. හේතුව, අලුත් රස­යන් මොන තරම් හඳුන්වා දුන්නත් අපේ පාරි­භෝ­ගික ඉල්ලු­මෙන් 50% ක්ම තිබෙන්නේ ස්ට්‍රෝබෙරි රස­යට. අලුත් රස­යක් පුරුදු කරන්න කාල­යක් යනවා. නමුත්, Jello ලෝකෙ පුරාම විහි­දු­ණත්, අපේ ජෙලි­වල රස­යත් ඊට දෙවැනි නැහැ.

කොහො­මද ඔබ මේ, තමන්ගේ අලුත් නිෂ්පා­ද­නය ජන­ප්‍රිය කළේ...

ඒ කාලේ ජෙලි, මුළු රටම දන්න කෑමක් නෙවෙයි. ඒ නිසා, ටිකක් මහන්සි වෙන්න වුණා. අපි හුඟක් ප්‍රයෝ­ජ­න­යට ගත්තේ කාන්තා­ව­න්ටම පැවැ­ත්වෙන Cookery Demonstration. මේ වැඩ­මුළු සහ ඉදි­රි­ප­ත්කි­රී­ම්ව­ලදී අපි අපේ ජෙලි, ගෘහ­ණි­යන්ට රස බලන්න සැලැ­ස්වුවා. ඒ විදි­යට, කටින් කට ගිය හොඳ නම තමයි. අපිව ජන­ප්‍රිය කළේ. අද මොන තරම් පිට­ර­ටින් ගේන කෑම වර්ග සුප­ර්මා­ක­ට්වල විකු­ණන්න තියෙ­න­වද. ඒ මොන රස කැවිලි අතු­රු­පස වර්ග තිබු­ණත් මෝතා ඉල්ලුම වර්ධ­නය වෙනවා. මොනවා පිට­ර­ටින් ආවත් මිනිස්සු මෝතා ජෙලි කනවා. හුඟක් දේශීය ව්‍යාපාර වැටෙද්දි අපි නැගි­ටලා ඉන්නෙ අපේ පාරි­භෝ­ගි­කයො නිසා.

එත­කොට මේ නිෂ්පා­දන රට පුරා බෙදා හැරියේ...

මුල ඉඳ­ලම වෙන කොම්පැනි එක්ක. අද­ටත් අපිට වාහන - රෙප්ස්ලා නැහැ. මුලින්ම මං ෂෝ - ‍වොලස් කොම්පැ­නිය එක්ක කතා කළා. අපේ බෙදා හැරීම් බාර දුන්නා. බොහෝ කලක් ඔවුන් එය කළා. ඊට පස්සේ අපේ බෙදා හැරීම් කළේ ඩාලි බට්ලර් සමා­ගම. 1985 ඉඳන් අද දක්වා බෙදා හැරීමේ කට­යුතු කරන්නෙ ඩෙල්මේජ් සමා­ගම. මේ හැමෝම අපි එක්ක හොඳින් වැඩ කළ ආය­තන.

එත් මේ තරම් පැරැණි - ලොකු ව්‍යාපා­ර­යක් ඇයි, තව­මත් වෙනත් කොම්පැ­නි­යක් හරහා බෙදා හැරීම් කරන්නෙ...

ඒක අම­තර කර­ද­ර­යක් නිසා. අපිම කළා නම් මීට වඩා පොඩි ලාභ­යක් තියෙයි. නමුත් ඊ‍ට වඩා යහ­ප­තක්, අපිට මේ විදි­යෙන් තිබෙ­නවා.

ඒ කොහො­මද.....

‘බෙදා හැරීම’ කියන්නෙ, ඉතා­මත් බාර­දූර වැඩක්. ඒ ක්‍රියා­ව­ලිය බොහොම සංකී­ර්ණයි. දැන් අපිට ඒ බර නැහැ. අපිටFocus කරන්න තියෙන්නෙ නිෂ්පා­ද­නය වැඩි දියුණු කිරීම් ( Manufacturing …..product development) සඳහා පම­ණයි. අපේ පූර්ණ අව­ධා­නය තියෙන්නේ මේ කාර­ණා­ව­ලට නිසා, අලුත් රස­යන් අත්හදා බලන්න, ලේසි­යෙන් හදා ගත හැකි ඉක්මන් අතු­රු­පස නිර්මා­ණය කරන්න අපිට වෙලාව තියෙ­නවා. 1960 හදපු ජෙලි එකෙයි, අද ජෙලි­ව­ලයි අතරෙ රසයේ, හැ‍ඩයේ වර්ණයේ මොන­ත­රම් වෙන­සක්- දියු­ණු­වක් තියෙ­න­වද. ඒ තැනට ගේන්න පුළු­වන් වෙලා තියෙන්නෙ අපේ පූර්ණ අව­ධා­නය නිෂ්පා­ද­න­යට පම­ණක්ම යොමු කළ නිසා. අද ‘මෝතා’ නම කියා­ගෙන මිනි­ස්සුන්ට මතක් වෙන්නෙ ජෙලි. ඒ කියන්නෙ මගේ ක්‍රම­වේ­දය සාර්ථ­කයි.

මොකක්ද මේ ව්‍යාපා­රය වෙනස් මඟ­කට යොමු කළ හැර­වුම් ලක්ෂ්‍යය....

1930 ඉඳලා තාත්තා කර­ගෙන ආ බිස්නස් එක මං බාර ගෙන සෑහෙන කාලක් හොඳින් කර­ගෙන ආවා. ඒත්, පණස් ගණන් අග වෙද්දි, ආන­ය­නය සඳහා සීමා පැන­වුණා. අපි කළේ සම්පු­ර්ණ­යෙන්ම ආන­යන මත පද­නම් වෙච්චි බිස්නස් එකක්. තව දුර­ටත් රැ‍ඳෙන්න අමාරු වග මට තේරුණා. ටොෆි, මුවර් හවුස් ජෑම්, චොක්ලට් ,ජෙලි අපි ගෙන්වපු දේ. ආන­යන සීමා­වත් එක්ක ලංකාවේ මිනිස්සු ටොෆි හදන්න පටන් ගත්තා. ජෑම් හදන්න ගත්තා. ‍මං කල්පනා කළා, මාත් මේකම කරලා වැඩක් නැති වග. මං ජෙලි හදන්න ගත්තා. අපේ ආන­යන නැව­තුණා. අපේම කර්මා­න්ත­යක් බිහි වුණා, ඒ තමයි, මේ තරම් දුරක් අපිව ගෙනා,Turning point එක.

ඒත් අපේ රටේ කව­දා­වත් නොහ­දපු දෙයක් ඔබ මේ හදන්නෙ, කොහො­මද ශිල්පය ඉගෙන ගත්තෙ...

මං ජෙලි හදන්න ඉගෙන ගන්න කොහේ­වත් ගියේ නැහැ. අපි ගෙන්වපු සහ රස බලා තිබුණු දෙයක් හැටි­යට, එහි අඩංගු දේ ගැන මට අව­බෝ­ධ­යක් තිබුණා. අනික මහ ලොකු තාක්ෂ­ණික දැනු­මක් ඒ සඳහා භාවිත වුණෙත් නැහැ. අවශ්‍ය අමු ද්‍රව්‍ය නිය­මිත විදි­යට මිශ්‍ර කර­ගැ­නී­මයි, වැද­ගත්ම දේ. මං අදාළ පොත් පත් කියෙව්වා. අවශ්‍ය අමු ද්‍රව්‍ය පිට­ර­ටින් ගෙන්වා ගත්තා. නිමි භාණ්ඩ සහ ආහාර ගෙන්වන්න සීමා - තහ­නම් තිබු­ණට අමු­ද්‍ර­ව්‍ය­ව­ලට එහෙම කර­ද­ර­යක් තිබුණේ නැහැ. ඒ වෙන­කොට අපි පදිංචි වෙලා හිටියෙ බම්බ­ල­පි­ටියෙ කින්රෝස් ඇව­නිව් එකේ. අපේ ඒ ගෙදර කුස්සි­යෙන් මං වැඩේ පටන් ගත්තා.

ඔබේ උත්සා­හය හරි ගියාද...

මුලින්ම හැදුවේ ස්ට්‍රෝබෙරි ජෙලි. නමුත් ඒ පළ­වෙනි ජෙලි එක සෙට් වුණේ නැහැ. යොදපු අමු­ද්‍රව්‍ය එකක් අඩු කළා...එකක් වැඩි කළා. ...ඔය වගේ අත්හදා බල බලා නියම පදම එන කල් අඩු වැඩිය මිශ්‍ර කළා. ජෙලි එක හරිම විදි­යට සෙට් වෙන තැනට, පවු­ඩර් මිශ්‍ර­ණය සකස් වුණාට පස්සෙයි මාකට් එකට දැම්මෙ. පළ­වෙනි පැකට් එකේ මිල රුපි­යල් හතයි පන­හයි. අවු­රු­ද්දක් කල් තියා­ගන්න පුළු­වන් වුණා.

ගෙදර ජෙලි හදන්න පටන් ගත්තු ඔබ පළමු ෆැක්ට­රිය ඇරියෙ කොහේද...

කොළඹ 13, සිරිල් සී පෙරේරා මාවතේ අත­පත්තු වලව්ව අපි බද්දට ගත්තා. ටික කලක් එතැන කර­ගෙන යන කොට ඒ අය වලව්ව විකු­ණන්න දැම්මා. මං ඒක ගත්තා. අද අපි මේ කතා කරන ඒ තැන තමයි, අත­පත්තු වලව්ව, මගේ පළමු ෆැක්ට­රිය, ඔෆිස් එක. හිටියෙ සේව­කයො දහ දෙනයි. ජෙලි හදන්න අවශ්‍ය අමු­ද්‍රව්‍ය සියල්ල කල­වම් කළේ ලොකු සාස්පා­නක. අද වගේ අමු­ද්‍රව්‍ය මිශ්‍ර­ණය සඳහා මැෂින් තිබුණේ නැහැ. අද අපේ ෆැක්ටරි දෙකක මේ සියල්ල සිදු වන්නේ නවීන යන්ත්‍රා­නු­සා­ර­යෙන්.

ජෙලි හදන තාක්ෂ­ණය කුමක්ද...

මහ‍ා ලොකු සංකිර්ණ තාක්ෂ­ණ­යක් ඒකෙ නැහැ. හොඳම අමු­ද්‍රව්‍ය, නිය­මිත ප්‍රමි­ති­යට - අනු­පා­ත­යට මිශ්‍ර කිරීම තමයි රහස. ජෙල­ටින් - සීනි - රස­කා­ර­කය තමයි ප්‍රධාන අමු­ද්‍ර­ව්‍යය. වැද­ගත් දේ, හොඳම කොලි­ටි­යෙන් යුතු අමු­ද්‍රව්‍ය යොදා ගැනීම නිර­න්ත­ර­යෙන් ලැබ් එකේ රිසර්ච් කිරීම. අලුත් අත්හදා බැලීම් සිදු කිරීම.

මොකක්ද ඔබේ පළමු රස්සාව...

මං කව­දා­වත් අනුන් යටතේ රස්සා­වක් කරපු කෙනෙක් නෙවෙයි. ඉස්කෝ­ලෙන් අස්වුණු දා ඉඳලා මට ඕනෙ වුණේ තාත්තා වගේ බිස්නස් කරන්න. මං තාත්තට උදව් කරන්න ගත්තා. ලියුම් ටයිප් කරන්න බැංකු­වට යන්න..., ඕවා තමයි මුලින් තාත්තා මට පව­රපු වැඩ. ටික ටික බිස්න­ස්ව­ලට අත ගැහුවා. ටික කලක් යන කොට තාත්තා ලෙඩ වෙන්න ගත්තා. බිස්නස් එක මටම පැව­රුණා.

එත­කොට අනිත් පිරිමි දරුවෝ...

ඒ අයට බිස්නස් ගැන එත­රම් උන­න්දු­වක් තිබුණේ නැහැ. ඉගෙන ගත්තා. අද අපේ පවුලෙ ළමයි අට දෙනා­ගෙන් ජීව­තුන් අතර ඉන්නෙ මායි, එක මල්ලි­යෙ­කුයි විත­රයි. මගේ ඒ මල්ලි, ගයි මෝතා, ලෝක බැංකුවෙ ඉකො­නො­මිස්ට් කෙනෙක්

එත­කොට ඔබේ ගම් පළාත් වුණේ...

මං ඉප­දුණේ, හැදුණෙ වැඩුණේ මොර­ටුවේ. පදිංචි වෙලා හිටියෙ, මොර­ටුව සෙන්ට් සෙබ­ස්ති­යන් මහ පල්ලිය ඉස්ස­රහා ගෙද­රක. මගේ ඉස්කෝලෙ, මොර­ටුව, සෙන්ට් සෙබ­ස්ති­යන් කොලෙජ්. අන්තිම අවු­රුදු දෙක විත­රක් බම්බ­ල­පි­ටිය සෙන්ට් පීටර්ස් ගියා. එත­කොට තාත්තා බම්බ­ල­පි­ටි­යට පදිං­චිය මාරු කළා.

පුංචි කාලේ ගැන සිහි කරද්දි, තව­මත් ආසා­වෙන් මතක් කරන්න කැමැති දෙයක් කියන්න...

මොර­ටුව සෙබ­ස්ති­යන් පල්ලියේ, පුජා­වට උද­ව්වන ළම­යෙක් විදි­යට ඉන්න ක‍ාලෙ දව­සක් ෆාදර් අපිට බොල්ගොඩ ලස්සන තැන­කට ට්‍රිප් එකක් අරන් ගියා. ඒක බිෂොප් කෙනෙ­කුට අයිති ලස්සන තැනක්. මට වයස අහ­යක් දොළ­හක් ඇති. එදා මං ඒ තැනට කොයි තරම් බැඳු­ණාද කිව්වොත්, මාත් කවද හරි මේ වගේ ගඟ අයිනෙ ලස්සන ලොකු ගෙයක් හද­නවා ...’ කියලා හිතුවා. ඇත්ත­ටම මං ඒක කළා. වයස 89 ක් වුණත් අදත් මං හැම සති අන්ත­යම ගත කරන්නෙ බොල්ගොඩ ගඟ අද්දර, මගේ ඒ ලස්සන නිව­හනේ. ඇවි­දින්න අමාරු වුණත් ගඟ දිහා බලා ගෙන ඉන්න ඒ හැම දව­ස­කම මට මැවිලා පේනවා, මං එදා ළම­යෙක් විදි­යට මෙතැ­නට ඇවිත් දුව පැන නටපු හැටි. චිත්‍ර­යක් වගේ ලස්සන ඒ අතී­තය මතක් කරන්න මං හරි ආසයි.

තිබුණු පවු­ලක දරු­වෙක්. දුක හඳු­නන්නෙ නැතිව ඇති..

මොර­ටු­වෙම පදිංචි වෙලා හිටි­යට අපි ඉස්කෝලෙ ආවේ ගියේ පයින්. බඩ­ගින්න අව්වෙ ඇවි­දින කොට දැනෙන මහ­න්සිය ඕනෙ තරම් අත්විඳ තිබෙ­නවා. මං පල්ලියේ පුජා­වට උද­ව්වන සමි­තියෙ දරු­වෙක්. ඒ ළමා කාලෙ වැඩි හරි­යක් මං ගත කළේ, මොර­ටුව සෙබ­ස්ති­යන් පල්ලියේ. මොකද අපි පදිංචි වෙලා හිටි­යෙත් පල්ලිය වත්තට යාබද ගෙද­රක. නිවුණු ගති පැවැ­තුම් මගේ ජීවි­ත­යට ආවේ පල්ලිය ඇසු­රින්. මං කව­දා­වත් රණ්ඩු­ව­ලට පැට­ළුණු - ප්‍රශ්න ඇති කර­ගත් හෝ මිනි­සුන් සමඟ තරහා වූ කෙනෙක් නෙවෙයි. ඇත්ත­ටම මට තරහා යන්නේම නැති තරම්. මං සේව­ක­ය­කු­ට­වත් කෑ ගහපු හාම්පු­තෙක් නෙවෙයි.

සේව­ක­යන් හා තිබෙන ඒ බැඳීම, කොහොම එකක්ද...

මේක ෆැමිලි බිස්නස් එකක්. ඉහළ කළ­ම­නා­කා­රි­ත්වයේ වුණත් මහ හුඟක් තන­තුරු නැහැ.නිහාල් විජේ­රත්න මහ­ත්මයා කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­රයා. ඒඩ්‍රි­යන් ෆොන්සේකා මහ­ත්මයා, සාමා­න්‍ය­ධි­කාරී. අපිට ඩිස්ට්‍රී­බි­යු­ෂන් සහ මාක­ටින් අංශ­යක් නැති නිසා ලොකු පිරි­සක් අවශ්‍ය නැහැ. ඉන්නෙ පොඩි ටීම් එකක්. හැබැයි ඒක ‘ස්පිරිට්’ එක. ඒ නිසා මට කව­දා­වත් සේවක ප්‍රශ්න ආවෙ නැහැ. මුල්ම කාලෙ වුණත් මට හිටියෙ හොඳ මැනේ­ජර්ස්ලා. හොද සේව­කයෝ.

මේ ආය­ත­නය පහු කළ අමා­රුම කාලය මත­කද...

පණස් ගණ­න්වල අග­භා­ගයේ සිට හැට දක්වා තිබූ ආන­යන සීමා­වන් හැරෙන්න ලොකු අමාරු කාල­යක් අපිට කව­දා­වත් තිබුණේ නැහැ. හොඳම දේ ඒ අමාරු කාලය නිසා තමයි, මං අලුත් දෙයක් ගැන හිතුවේ. අපේම කර්මා­න්ත­යක් බිහි කළේ. දැන් මං ඒ කාලය දකින්නෙ වෙස් වළා­ගෙන ආ ආශි­ර්වා­ද­යක් විදි­යට.

මේ, පවුලේ ව්‍යාපා­ර­යට ඔබෙන් පසු මොනවා වේවිද....

මට ඉන්නෙ දූලම පස් දෙනෙක්. එක් කෙනෙක් මිය ගියා. ව්‍යාපා­රයේ කොටස් කරුවො වුණාට, ඒ හතර දෙනා­ගෙන් එක්කෙ­නෙ­ක්වත් මේ බිස්නස් එක ගැන උන­න්දු­වක් නැහැ. හැබැයි ඒ ක‍ාලෙ නම් බිරිය මට උදව් කළා. දූලා හත­රක් හිටි­යට දැන් ලංකාවෙ ඉන්නෙ දෙන්නයි. මගෙන් පස්සෙ මොනවා වෙන­වද කියලා මං හිතන්නෙ නැහැ. ඉන්න කල් හොඳින් වැඩ කර­නවා. හැබැයි මගේ, එක පුංචි මුණු­පු­රෙක් නම් මේ ගැන හරි උන­න්දුයි. හැම නිවා­ඩු­ව­ක­දීම එයා මේ ෆැක්ට­රි­යට එනවා.

ඔබේ දූලා පස් දෙනා ගැනත් දැන­ගන්න කැමැ­තියි...

ලොකු දූ මරී, පිට­රට. දෙවැ­නියා ශෙරිල්. එයා අකා­ලයේ මිය­ගියා. තුන්වැ­නියා, පෝලින්. එයත් පදිං­චිය ජර්ම­නියේ. හතර වැනියා ලුසින්ඩා. එයත් කරන්නෙ එයාට කැමැති රස්සාව. කොහොම වුණත් මේක මගේ ටීම් එකයි, මායි අපේ උව­ම­නා­වට කර­ගෙන යන බිස්නස් එකක්.

ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්