දේශපාලන ආවර්ජනයක හෘදය සාක්ෂිය | සිළුමිණ

දේශපාලන ආවර්ජනයක හෘදය සාක්ෂිය

 රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අගමැති ධුරයෙහි පිහිටුවීමත් සමඟම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 කු විසින් ඉමහත් පරිශ්‍රමයක් දරමින් සටන් කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත වී තිබෙන බවට ඔවුන්ට සැනසුම් සුසුමක් හෙළිය හැකිය. ජ.වි.පෙ.ට ද තම මැදිහත්වීමෙන් රටට ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව උදම් ඇනිය හැකිය.

දෙමළ සන්ධානය, ජ.වි.පෙ, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම, බටහිර ඇතැම් අයට සක් සුදක් සේ පෙනුණු ප්‍රජාතන්ත්‍රවාදයේ එකී ජයග්‍රහණය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට නොවැටහුනේ ඇයි? වික්‍රමසිංහ මහතා කෙරෙහි වූ ඊර්ෂ්‍යාවක් හෝ වෙනත් කරුණක් නිසාද? දේශපාලනය හෝ 19 වැනි සංශෝධනය ගැන හෝ කරුණු කාරණා නොදන්නා සමාන්‍ය පුද්ගලයන් වන අප වැනි බොහෝ දෙනකුට එබඳු ප්‍රශ්නයක් ඇති වීමට ඉඩ තිබේ.

දේශපාලන වශයෙන් කෙබඳු ප්‍රතිවිරෝධ තිබුණත්, මෛත්‍රි හා රනිල් සම්මුති ආණ්ඩුව විසින් මෙරටේ ගෙන යන ලද පාලනය වසර තුනකටත් වැඩි ය. ඒ කාලය තුළ ම ආණ්ඩුවේ පොදු සතුරන් බවට පත්ව සිටියේ රාජපක්ෂවරුන් ය. ඊට අමතරව සන්ධානයේ ප්‍රධානීන් කීප දෙනකුටම දේශපාලන විවේචන වලට වඩා වෙනස් අවලාද පවා නැඟුණි. ජ.වි.පෙ. ඇතැම් මන්ත්‍රීවරයකු කෝපාවිෂ්ට වී සිටියේ දේශපාලන හිඟන්නකු වන විමල් වීරවංශ (වචන ඔහුගේය) වත් පොහොසත්කම් ලබා සුපිරි ජීවිත ගෙවීම නිසාය. රාජපක්ෂවරුන් හෝ වෙනත් ඕනෑම කෙනකු හෝ දේශපාලන බලය යොදා ගෙන නීතිවිරෝධී ක්‍රියාකාරකම් වල යෙදීම මෙන්ම වත්කම් උපයා ගැනීමද බරපතල වරදකි. එහෙත් මේ විවේචකයන්ට හෝ ඔවුන් සහාය දැක්වූ එ.ජා.ප.යට හෝ මෙරටේ ජනතාව අපේක්ෂා කළ දූෂණ, වංචා, නොමැති පාලනයක් ගෙන යෑමට නොහැකි වූයේ ඇයි? අවම වශයෙන් එකල සිදුවී යැයි කියන කිසිම අපරාධයක් දූෂණයක් නීතිවිරෝධී ක්‍රියාකාරකමක් පිළිබඳ විධිමත් පරීක්ෂණයක්වත් කිරීමට නොහැකි වූයේ කුමක් නිසාද?

මෛත්‍රී ජනාධිපතිවරයා දැක් වූ ආකාරයට ම සිය පෞද්ගලික දේශපාලන මතය අල්ලා ගෙන ඕනෑ තරම් මඩ ගැසීමටද අවලාද නැඟීමට ද සැදී පැහැදී සිටින පිරිස් සිටිය හැකි වෙති. එහෙත් දේශපාලනය යනු මතුපිටින් බලා කරනු ලබන සිල්ලර දෙයක් නොව ඊට වඩා ගාම්භීර එකක් බව පමණක් සඳහන් කරමු. මෙරටේ දේශපාලනය පිළිබඳ බොහෝ ප්‍රාමාණික විද්වතුන් විසින් කරනු ලබන අවධාරණයක් වන්නේ ද අපට යහපත් දේශපාලන සංස්කෘතියක් නැති බව ය. එය සත්‍යයකි.

මේ රටේ දියුණු දේශපාලන සංස්කෘතියක් කලකට පෙර තිබුණි. සර්ව ජන ඡන්ද බලය හිමිවීමෙන් පසු මහජන නියෝජිතයන් තෝරා ගැනීමේදී පුද්ගලයා සතු විවිධ ලක්ෂණ සැලකිල්ලට ගත් බව අපි දනිමු. 1956 දී මෙරටේ සිදු වූ දේශපාලන පෙරළිය මෙන්ම 2015 ජනවාරි 8 මහජනයා විසින් තම ඡන්දය භාවිත කරන ලද ආකාරය වුවද එයට නිදසුනකි. එහෙත් 1978න් ඇරඹුණු දේශපාලන ක්‍රමය මෙරටට විශාල හානියක් විය. මන්ත්‍රීවරයාට වඩා පක්ෂයත් ලැයිස්තුවත් මුල් වූ අලුත් ක්‍රමය දොර හැර දී තිබෙන්නේ කෙබඳු දූෂණයකටදැයි කවුරුත් දනිති. මහජනයාට සිය මන්ත්‍රීවරයා තෝරා ගැනීමට තිබුණු පැහැදිලි ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය අවුල් කිරීම අලුත් ඡන්ද ක්‍රමයෙන් සිදු විය. ප්‍රබල පුද්ගලයකුට වඩා පක්ෂයේ ලැයිස්තුව බලවත් වීම එහිදී සිදු විය. අද අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව මෛත්‍රී ජනාධිපතිවරයාගේ අදහස කුමක්ද?

“පාර්ලිමේන්තුවේ ඉතාමත් දූෂිත දේශපාලනඥයන් පිරිසක් ඉන්නවා. අපේ කැබිනට් මණ්ඩලය ගත් විට දූෂිත පිරිසක් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙච්ච, රටේ ජනතාවට දුන්න යහපාලන දේශපාලන සංකල්පය අමු අමුවේ දූෂණය කරල තියෙනවා.”

මෛත්‍රී ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ සමස්ත දේශපාලනය ම කුණු වී තිබෙන බවය. මේ රටේ ජනතාවගෙන් බහුතර පිරිසක් ඒ යථාර්ථය නොදනිති. දූෂණයෙන් තොර යහපාලනයක් මෙරටේ ස්ථාපිත කිරීමට පැමිණි අයත් ඒ දූෂණ ගොහොරුවේම ගිලී ගිය අයුරු නොවේද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා වූ දේශපාලන ගමනට ඉවහල් වන එකම සාධකය මුදල් නැතහොත් ධනය පමණි. උපතින් ලබන ධනයක් නැති වුවද සමහරු දේශපාලනය නිසා මහා සිටුවරු බවට පත්ව සිටිති. විශාල වත්කම් ප්‍රමාණයක හිමි කරුවෝ බවටද පත්ව සිටිති. ඇතැම් දේශපාලනඥයන්ගේ පුත්තු සමාජශාලාවල ලක්ෂ ගණනින් මුදල් වැය කරන්නෝය. මන්ත්‍රීකම, ඇමතිකම අද දුෂණයට දුරාචාරයට දෙන බලපත්‍රයක් වී නැද්ද? ජනාධිපතිවරයා සඳහන් කළ ආකාරයටම මහජනතාව වුවද තම මනාපය ප්‍රකාශ කරන්නේ දූෂිතයන්, පාතාලයන්, අපතයන් පාර්ලිමේන්තුවට එවීමට නම් අපට කිසිදිනක යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කළ හැකිද?

1977ට පෙර දේශපාලනයෙන් පොහොසත් වීමට ඉඩක් නොවූ තරම්ය. දේශපාලනඥයන්ට ව්‍යාපාරවල නිරතවීම එදා තහනම් විය. ජයවර්ධන යුගයේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම් ඉතා අඩු මිලකට ලබා ගැනීමට පවා අවස්ථා සලසා තිබුණි. මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍ර ද ලබා ගත හැකි විය. මේ වන විට මන්ත්‍රීවරුන්ට හෝ ඔවුන්ගේ සමීපතමයන්ට මත්පැන් අලෙවි සැල් කොපමණ හිමි වී තිබේද? දේශපාලනඥයකු වීමට තැබෑරුම් හිමිකරුවෙක් වීම අනියම් සුදුසු කමක් වී නැතැයි කිවහැකිද? මහජනයා ඡන්දය ලබාදීමේදී මේ කිසිවක් සොයා නොලබන අතර එබඳු දූෂිත චරිත සමාජයට විග්‍රහකර පෙන්වන ව්‍යාපාර හෝ සිවිල් ක්‍රියාකාරීහුද නොවූහ. මෙබඳු පුද්ගලයන්ගෙන් පාර්ලිමේන්තුවක් සමන්විත වන්නේ නම් එය කිසිසේත් යහපත් තත්වයක් ලෙස හැඳින්විය නොහැකිය. දේශපාලන සංස්කෘතිය පරාභවයට ඇදගෙන යනු දැක දැකත් ඒවාට කිසිම පිළියමක් යෙදීමට නායකයන් විසින් ගන්නා ලද පියවර කුමක්ද?

මෛත්‍රී ජනාධිපතිවරයාගේ ප්‍රබල ප්‍රකාශය තුළ ගැබ් වන්නේ පෞද්ගලික අඳෝනාවක් යැයි දේශපාලන විකටයකුට කිව හැකි වුවත්, එය නිසැකයෙන්ම අද අප අබියස තිබෙන දේශපාලනයේ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ ද සියලු නිශේධනීය තත්ත්වයන් දුරලීමට හේතු වන ගැඹුරු විග්‍රහයක් බව අප කිව යුතුය. ගෙවී ගිය කාලය තුළ සිදු වූ සාධනීය දේවල් ලෙස 19 වැනි සංශෝධනයත් සමඟ ඇති වූ සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ දැක්විය හැකිය. එසේම ඒ ක්‍රියාදාමය තුළද බරපතල අඩුපාඩු වූ බව ජනාධිපතිවරයා පෙන්වා දි ඇත.

“ 19 වන සංශෝධනයෙන් ස්වාධීන කොමිසන් සභා පත් කිරීමේදි වගේම රටේ අනිත් තනතුරු වලට පත් කිරීමේදී ව්‍යවස්ථා සභාව කොතෙක් දුරට අපක්ෂපාතී වුණාද සාධාරණ වුණාද කියන කාරණය මට නම් ප්‍රශ්නයක්. අද අග්‍රවිනිශ්චයකාරයගේ ඉදලා නීතිපති, පොලිස්පති, ස්වාධීන කොමිෂන් සභා මේ සියල්ල පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාව. මම දැක්ක ප්‍රධානම දේ තමයි ව්‍යවස්ථාදයක සභාව තුළ අධිකරණයට පත්කිරීම් කිරීමේ දී අධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන්ගේ නම් ව්‍යවස්ථාදයක සභාවට ඉදිරිපත් කළහම ඒවා ප්‍රතික්ෂේප වුණා”

19 වැනි සංශෝධනය මගින් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යුහය ශක්තිමත් කළ බව සැබෑ ය. එහෙත් ඒ සංශෝධනය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ජනාධිපතිවරයා තුළ වුවද ප්‍රසාදයක් නැති බව පෙනේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන ලද එම ව්‍යවස්ථා විධි විධාන අභියෝගයකට ලක් කළ නොහැකිය. එදා සියලු දෙනාම ඒකමතිකව සම්මත කළ එ් සංශෝධනය පිළිබඳ ව අද නොයෙක් විවේචන තිබේ. ජ්‍යෙෂ්ඨ නීතීඥයකු වූ ගෝමින් දයා ශ්‍රී සඳහන් කර තිබුණේ එදා මෙම ව්‍යවස්ථාවට එරෙහිව තමන් අභියෝග කළත් එවක අගවිනිසුරුවරයා එයට සවන් නොදුන් බව ය.

ප්‍රජාතන්ත්‍රවාදයට හා යහපාලනයට විලංගු දමන විධි විධාන ව්‍යවස්ථාවට ඇතුළත් වී තිබෙන බවද ඔහු කියයි. ඔහු අවධාරණය කරන්නේ සාධාරණ හා යුක්ති සහගත හේතු තිබේ නම් ජනාධිපතිවරයකුට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තිබිය යුතු බවය. ජනතා පරමාධිපත්‍ය බලය පිළිබඳ විනිශ්චය කිරීම කිසිසේත් අනුචිත දෙයක් නොවන බවද ඔහු පෙන්වා දෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීනව ක්‍රියා කරමින් උද්ගත වූ අර්බුදය නිමා කිරීම ප්‍රශංසනීය බව ඔහුගේ අදහසය.

“මේ රටේ දූෂණයෙන් තොර දේශපාලනඥයෝ කී දෙනෙක් ඉන්නවා ද? දූෂණයෙන් තොර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟන්න අවශ්‍ය පිරිස කවුද? අන්න ඒ අයගේ ඒකරාශී වීමක් තමයි අවශ්‍ය වන්නේ. ඒ තුළ හොඳ රටක් හදන්න, හොඳ සංවර්ධනයක් ගෙනයන්න, දූෂණයෙන් තොර පාලනයක් ගෙනයන්න අපි කතා කරන සම්පූර්ණයෙන් අසාර්ථක වූ යහපාලන දේශපාලන සංකල්පය ඉෂ්ට වෙන්න. මේ විධියට රටට ආදරය කරන, රට ගැන හිතන, රටේ සංස්කෘතික වටිනාකම් දන්න ආගමික ධර්මතාවන් එක්ක සමාජ හර පද්ධතීන් වලට ගරු කරන ලෝකයේ රටවල් දියුණු වෙලා තියෙන්නේ එහෙමයි”.

ජනාධිපතිවරයාට අවමන් ගැරහුම් කළ අයට තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව මෙයට දිය හැකි පිළිතුර කුමක් ද? පාර්ලිමේන්තුවේ බහුතරය යන යෙදුම ජප කරමින් පමණක් රටක් මෙහෙය විය හැකිද? සත්තකින් ම දූෂණයෙන් තොර දේශපාලන කණ්ඩායමක් සඳහා ජනවරමක් අලුතින් ලබා ගත යුතු යැයි අප අදහස් කරන්නේද මේ නිසාය. මෛත්‍රී - රනිල් සම්මුතිය බිඳ වැටි තිබේ නම් යළි ජනතාව ඉදිරියට යෑම විනා එක් පාර්ශ්වයකට රට ආණ්ඩු කළ හැකිද ප්‍රශ්නය ඉතා ස්වභාවිකය. මහින්ද ප්‍රමුඛ සන්ධානයට මෙන්ම රනිල් ප්‍රමුඛ එ.ජා.පය ට ද එය කළ නොහැකිය. මෙහි තවත් විශේෂයක් ඇත. එනම් මෙවර අගමැතිවරයා පත් වී ඇත්තේ විපක්ෂනායකවරයා අැතුළත් දෙමළ ජාතික සන්ධානයේද සහාය මත ය. එයත් පුදුමාකාර දෙයකි. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය බලය සඳහා එක්වීම ය. දෙමළ සන්ධානයේ සහාය අහිමි වුවහොත් ආණ්ඩුව පවත්වා ගෙන යෑමේ ප්‍රශ්නයක් මතු වනු ඇත. මේ ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධාරණයයි.

“පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඔබතුමන්ලා සටන් ව්‍යාපාරය ගෙන ගියේ ඡන්දයක් එපා කියලා, උසාවි ගියේ ඡන්දයක් එපා කියලා. නමුත් මේ අර්බුදයේදී මේ දූෂිත වී තිබෙන පාර්ලිමේන්තුව විසුරුවලා අලුත් පිරිසිදු පාර්ලිමේන්තුවක් තෝරා පත් කරගන්න ජනතාවට අවශ්‍යයි කියලා ජනමතයක් ඇති වුණා. ඒක එක්සත් ජාතික පාක්ෂිකයෝ තුළත් ඇති වුණා. මම දන්නවා; ඒ අයත් කිව්වා අපෙත් ඉන්නවා වැරදි කරන අය ඒ අය ගෙදර යවන්න මැතිවරණයක් තමයි ඕන කියලා”.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ව්‍යවස්ථානුකූල අර්බුදයට විසඳුමක් ලබා රට අස්ථාවර වීම වලක්වා ගැනීමට හේතු විය. එහිදී තහවුරු වූයේ ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා තිබෙන බවය. එහෙත් ජනාධිපතිවරයා විසින් ඒ පියවර ගන්නා ලද්දේ සද්භාවයෙන් මෙන්ම පිරිසිදු බලයක් සහිත පාර්ලිමේන්තුවක් තෝරා පත් කිරීම ජනතාවට පැවරීමට බව ඉතා පැහැදිලිය.

ජනතාව ඉදිරියට ගොස් ජනවරමක් ලබා ගැනීමට බියෙන්, ඒ ප්‍රශ්නය අධිකරණයට රැගෙන ගිය බව පවසන පිරිස්ද සිටිති. මෛත්‍රී ජනාධිපතිවරයා කීවේත් මන්ත්‍රීවරුන් 122කට වඩාල ජන්දදායකයන් ලක්ෂ 155කගේ අභිමතය වැදගත් බවය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තම ජයග්‍රහණයක් ලෙස හුවා දක්වන අය ද සිටිති. එසේම ඒ අය නීතිය ඉදිරියට ගියේ ඡන්දය එපා කියමින් යැයි ද තවත් පිරිසක් කියති. ව්‍යවස්ථාව අනුව ක්‍රියා කළ යුතුය යන සිද්ධාන්තය එ් තීන්දුවට හේතු විය. කුමක් වුවත් මේ අවුල 19 වැනි සංශෝධනයෙන් උද්ගත වූවක් බව පැහැදිලිය. පාර්ලිමේන්තුව කෙබඳු වරදක්, දූෂණයක් සිදු කළත් එය සිය කාල සීමාව තුළ ස්ථාවරව පැවතිය යුතුය යන්න ප්‍රජාතන්ත්‍රවාදයට අවහිරයක් බව එ් සංශෝධනය ඉදිරිපත් වූ අවස්ථාවේදීම වටහා ගත යුතුව තිබුණි. දැන් ඒ පිළිබඳ වාද කිරීම නිෂ්ඵලය. 19 වැනි ව්‍යවස්ථාව සද්භාවයෙන් සිදු කළ දෙයකට වඩා වෙනත් යටි අරමුණකින් සිදු කරන ලද්දක් බව අද නීති ක්ෂේත්‍රයේ ම සමහරු කියති. ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේදීත් සඳහන් කර තිබුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අගමැතිවරයාට හිමි නොවු බලතල ද අගමැතිවරයා විසින් භාවිත කරන ලද බවය.

විධායක බලයේ තටු කැපීම යන තේමා පාඨය ඉදිරිපත් කරමින් සිදු කරන ලද සංශෝධන වල නරක පැත්ත ගැනද දැන් අවධානය යොමු වෙමින් තිබේ. 1978 ව්‍යවස්ථාවට අනුව අතුරු මැතිවරණ අහෝසි විය. 19 වැනි සංශෝධනය කළ අය මේ වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය ගැන නිකමට වත් සලකා බලා නැත. ඉහත සඳහන් කළ පරිදිම මහජන ඡන්දය නොලත් අයෙක් පාර්ලිමේන්තුවට යෑම සදාචාර හෝ යුක්ති සහගත හෝ නොවේ. තමන් විසින් තෝරා ගන්නා ලද නියෝජිතයා පක්ෂයෙන් ඉවත්වීම, පක්ෂ මාරු කිරීම වැනි අවස්ථාවලදී ඒ සඳහා ජනතාවගේ අනුමැතිය අවශ්‍ය වූයේ නම් අද සිදුවන පිල් පැනීම නතර වනු ඇත. ජනාධිපතිවරයාට පිල් මාරු කරන අය පිළිබඳ විනයානුකූලව ක්‍රියා කිරීමට ද බලයක් තිබිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය යනු වාසියට හෝයියා කියන ප්‍රතිපත්තියක් නැති වංචනික පුද්ගලයන් අතට පත්විය යුතු දෙයක් නොවේ.

මෛත්‍රී ජනාධිපතිවරයා විසින් සිය අදහස් දැක්වීමේදී කරන ලද අතිශය වැදගත් අවධාරණයන් කීපයක්ද විය. දූෂිතයන්ට දඬුවම් දීමට පැමිණි යහපාලන ආණ්ඩුව ජනතා පිළිකුලට ලක් වූ බරපතල දූෂණ ක්‍රියාදාමයක් ලෙස මහ බැංකු මගඩිය සඳහන් කළ හැකිය.

මෛත්‍රී ජනාධිපතිවරයාගේ මේ අනාවරණයන් ගැන අපට අමුතුවෙන් කීමට දෙයක් නැත. එහෙත් මේ ක්‍රියාදාමය නොදුටු සේ ඉවත බලාගෙන සිටිය හැකි චෞර මනසක් මෛත්‍රී ජනාධිපතිවරයාට නොවීම ජනතාවගේ පරම භාග්‍යයකි.

මෛත්‍රි ජනාධිපතිවරයාගේ හෘදය සාක්ෂියේ ප්‍රතිචාරයක් බඳු ඒ ප්‍රකාශය තුළ තවත් වැදගත් හා ඇදහිය නොහැකි තරම් සිදුවීම් ද අඩංගු වේ. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත්වීමේ නාටකීය පුවත සමඟ ගැට ගැසුණු ක්‍රියාදාමයක් ද ඒ කතාවේදී හෙළි වී තිබේ. මෙබඳුම තවත් මතභේදාත්මක සිදුවීමක් දෙකක් අපට දැක්විය හැකිය. එකක් ත්‍රිවිධ හමුදා සම්බන්ධ අත්අඩංගුවට ගැනීම්ය. අනෙක භික්ෂුන් වහන්සේලාට එරෙහිව දියත් වු ක්‍රියාදාමයකි. විශේෂයෙන් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජය කිරීම මෙරටේ හමුදා විසින් ඉටු කරන ලද යුග මෙහෙවරකි. එය ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුතු ගාම්භීර සටහනකි. එහෙත් ඒ යුද මෙහෙයුම් වල ඇද කුද සොයන බටහිර බලවතුන් බොහෝය. මෙහිදි හමුදා නිලධාරීන් රැක ගැනීමේ ජාතික වගකීම පැහැර හැරිය නොහැකිය. ජාත්‍යන්තරය පිනවීම සඳහා ඒ ජාතික කාර්ය භාරය ඉටු කළ අයට හිංසා පීඩා කිරීම අමන ක්‍රියාවක් ද වේ. මේ සිද්ධියේ දී එල්.ටී.ටී.ඊ. පාර්ශ්වය නිදහස් කිරීමට හැකිද? ජනාධිපතිවරයා සඳහන් කරන පරිදිම මේ සිදුවීම් විමර්ශනය යුද්ධයේ නිරත වූ දෙපිළටම පොදු විය යුතුය. ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි ප්‍රබල කොටි සියලු දෙයින් නිදහස් කර හමුදාවල අයට පමණක් දඬුවම් දීම කිසිසේත් සුදුසු නැත. ජනතාවගේ ජීවිත බිලිගත් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදීනට ඉටු කළ යුතු යුක්තිය කුමක්ද? එක්කෝ මෙහිදී දෙපාර්ශ්වයම නිදහස් කළ යුතුය. එසේම අලි පැටවුන් ළඟ තබා ගැනීමේ චෝදනා නඟා භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීම ගැන ද මේ රජයට විශාල අපකීර්තියක් ඇත. මේ හැම දෙයක්ම විනිවිද දැකීමට මෛත්‍රී ජනාධිපතිවරයාට හැකි වූ බව ඔහුගේ මේ වචන හොඳ ම සාක්ෂියකි. ඇත්ත වශයෙන් ම මෙරටේ දේශපාලනය සමඟ බැඳුණු සංස්කෘතික හර පද්ධතියක්ද ඇත.

“අපේ රටේ දේශපාලන බලවේගවලට වඩා සංස්කෘතික බලවේග බලවත් කියන එක, ආගමික බලවේග, භාෂාව පිළිබඳ බලවේග, සිරිත් විරිත්, සම්ප්‍රදායන්, සංස්කෘති මේ පිළිබඳව අපේ රටේ තිබෙන සමාජ බලවේග ඉතා ශක්තිමත් සහ පුළුල්. බොහෝ වෙලාවට රටේ ආණ්ඩු හදන්නේ ආණ්ඩු පෙරළන්නේ දේශපාලන මතයට වඩා මේ සංස්කෘතික බලවේග”.

මේ ආණ්ඩුව සමඟ සිටින ඇතැම් ජාවාරම්කාර ඇන්ජීඕ නඩවලට මේ කිසිවක් වැදගත් නැත. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, හිරකරුවන් නිදහස් කිරීම වැනි දේවල් ඔවුන්ට යැපීම් මාර්ග පමණි.

පසුගිය දිනවල මෛත්‍රී ජනාධිපතිවරයාට එරෙහිව සිදු කළ විවේචන ශිෂ්ටත්වය ඉක්ම වූ මරණ තර්ජන බව ඒවා ඇසූ අය දනිති. ඇත්තටම ජේ.ආර්.ජයවර්ධන, ආර්. ප්‍රේමදාස මෙන්ම මහින්ද රාජපක්ෂ වැනි ජනාධිපතිවරුන් කිසිම කෙනකුට මෙබඳු විවේචන සිදු වූයේ නැත. ජේ.ආර්. යනු තම මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීම් සාක්කුවේ දමා ගෙන පාලනය ගෙන ගිය ජනාධිපතිවරයෙකි. අනෙක් අයගේ ද ප්‍රතිචාර දැඩි හා රළු බව රටම දැන සිටියේය. මෛත්‍රී ජනාධිපතිට ගඩාෆි පන්නයේ ප්‍රතිචාර යෝජනා කළ අයගෙන් අපටද ඇසීමට තිබෙන්නේ මේ ප්‍රශ්නම පමණි.

මේ සියලු ආත්මීය වේදනා කෙතරම් සාධාරණද? යුක්ති සහගතද යන්න ඔබම විමසා බලනු යෙහෙකි. සැබැවින්ම මෛත්‍රි ජනාධිපතිවරයා දේශපාලන වශයෙන් රළු, කටුක, අමිහිරි වද වේදනා වලට මුහුණ දුන් අයෙකි. දහනව හැවිරිදි තරුණයෙක් ලෙස ජේ.වී.පී හංවඩුව වැදී මරු කටින් විසිවී හිරගෙයි ලැඟ ඉනික්බිති පස් වරක් කොටි කටින් ජීවිතය බේරා ගැනීමේ භාග්‍යයක් මෛත්‍රි ගේ දෛවය සමඟ තිබීම කෙබඳු ආශ්චර්යක්දැයි ඔහුගේ අනාවරණයෙන් අපට දැනෙන සත්‍යයයි.

රජරට පීඩිතයන්ගේද, ගොවියන්ගේද දුකට ඔසු සෙවීම සඳහා දේශපාලනයට එක් වූ මෛත්‍රී මෙරටේ 2015 ජනවාර් 8 විප්ලයට නායකත්වය දෙමින් ඉතිහාසයට එක් වූ විශිෂ්ට නායකයකු බව අපට නිර්භවය කිව හැකිය. අවලාද, අවමාන, ගැරහුම්, චණ්ඩ මාරුතයක් සේ හඹා එද්දීත් සිය සංස්කෘතික ආධ්‍යාත්මයේ බල මහිමයෙන් අභීතව අධිෂ්ඨානශීලීව අව්‍යාජව තම හෘදය සාක්ෂියේ හඬ අවදි කරවීමට ඔහුට ශක්තියක් තිබුණි. සත්‍යය හා යථාර්ථය ප්‍රකාශ කිරීමේදී ඔහු සතු ද්‍රෘඪතර ආත්ම ශක්තිය කෙබඳුදැයි එදා ඒ කථාවට සවන් දුන් අයට මෙන්ම පසුව ඒ ප්‍රකාශය ඇසූ අයටද පසක් වුවා නිසැකය. දේශපාලන සටකපට කම් වලින් ඔද්දල් වූ බල අරගලයකට මැදි වූ සාරධර්මී, ගුණෝපේත පුද්ගල හෘදය සාක්ෂියක ප්‍රතිරාවයක් නොවේද ඒ? මෛත්‍රී ජනපතිගේ හැම වදනක්ම සංවේදී විය; ව්‍යංගාර්ථ පූර්ණ විය; ධ්වනිතාර්ථ දනවන සුළු විය; යහපාලනයේ තුන් අවුරුදු සය මසක ශේෂ පත්‍රය බඳු එයින් ප්‍රකම්පති වූ සිතිවිලි වලින් බිඳක් සජිත් ප්‍රේමදාස නම් යහපත් දේශපාලනඥයාගේ මුවින් ගිලිහී යෑම ද සුවිශේෂි සිදුවීමක් වැන්න. ජාති, ආගම්, පන්ති භේදයකින් තොරව යහපත් රටක් මනුෂ්‍යත්වයේ යුගයක් වෙනුවෙන් කැපවූ අව්‍යාජ රාජ්‍ය නායකයකුගෙන් අපට ඉගෙනීමට මොනතරම් දේවල් තිබේද?

 

නිවටුන් අමනයන් කළ ගැරහුම් වලට
සිටියෙමි සෙල් රුවක් ලෙස නිසලව රුවට
පාවා නුදුන් දැය මුදලට නිල වලට
ඉතිහාසය ගලයි ගඟුලක් සේ පෙරට 

අදහස්