වී ගොඩ­කුත් බදා­ගෙන ගෙවන මේ ජීවිතේ හරි මහ­න්සියි | සිළුමිණ

වී ගොඩ­කුත් බදා­ගෙන ගෙවන මේ ජීවිතේ හරි මහ­න්සියි

අපේ ගොවි­තැන නිධා­න­යක් සේ සුර­කින හෙළ ගොවියා 

හැරෙ­න්න­වත් ඉඩ නැති මේ හුණ්ඩු කාම­රයේ, වහ­ලයේ එල්ලී වියැ­ළෙන භව භෝග රැසකි.

කර­වෙ­න්නට වේළුණු වඳුරු මෑ, වැට­කොලු, බණ්ඩක්කා කරල් අතර, දිය ගෙන යා හැකි ‘ලබු කට්ටක්’ තර­මට පදම් වූ, නයි­ලබු, දිය­ලබු සහ පුහුල් ගෙඩි ද කිහි­ප­යකි. හීනටි, දික්වී, මසුරං... ආදි වී මිටි ගණ­නා­වක් ද ඒ අත­රය.

පැසෙන - මෝරන බීජ ඇට කුසෙහි රුවා­ගෙන, මේ සියලු කරල් සහ ගෙඩි මාස ගණන් අවු­රුදු ගණන් මෙලෙස වහ­ලයේ එල්ලී හිඳි­නුයේ නික­මට හෝ ලස්ස­න­කට නොවේ.

ජාතික මෙහෙ­ව­ර­කට උර­දෙ­න්න­ටය.

හරි­ය­ටම කීවොත්, පාර­ම්ප­රික ගොවි­තැන රැක­ග­න්නට පී. ගුරු­සිංහ ගොවි මහ­ත්මයා දරන වෙර වෑය­මට උර­දෙ­න්න­ටය.

හෝමා­ගම - කටු­වාන පාරේ, ‘පාර­ම්ප­රික බීජ හා ගොවි උරු­ම­යන් සුරැ­කීමේ ව්‍යාපා­රයේ’ සභා­පති කාර්යා­ලය නොහොත් පී. ගුරු­සිංහ ගොවි මහ­ත්ත­යාගේ පුංචි කාමර කෑල්ල, එහෙම පිටින් ම පිරී ඇත්තේ වගා සංස්කෘ­ති­ය­කට උර දෙන ඇට බීජ පොහොර ආදි­යෙනි.

නිධා­න­යක් තර­මට සුර­කින, අපේ රටේ දේශීය වී වගා­වක අතීත උරු­ම­යෙනි.

එනි­සාම, ඉඩක් කඩක් නැති හුණ්ඩු කාම­රයේ වුවද අනෙක් සියල්ල සමඟ ගොඬ­ර­වාල, හැංගි­මුත්තං, කහට වී, මඩ­ඇල් වන්නි දහ­නල, අකු­ර­ම්බඩ, සුදු හන්දි­රම්, ගෝන­බරු, මුරුංගා කායම්... වැනි උප­න්තේ­කට අසා නැති දේශීය වී වර්ග 168 ක් රාක්කවල පෙළ ගැසුණේ එනි­සාය.

අවශ්‍ය තෙත­ම­නය සහ උෂ්ණ­ත්වය සුර­කි­මින්, ඉදිරි අවු­රුදු කිහි­ප­ය­කට වුවද ගැළ­පෙන සේ පදම් වන බිත්තර වී වර්ග ගණ­නා­වක් ද ඊට පහළ වූ ප්ලාස්ටික් බැරල් කිහි­ප­යක සැක­සෙන්නේ, ගොවීන් අතර බෙදා දෙනු පිණි­සය. සියල්ල සිදු­වන්නේ ඔහුගේ දෑතිනි.

“මේ බීජ මට ලැබෙන්නෙ, අපේ රට වටා ඉන්න දේශීය ගොවී­න්ගෙන්. ගන්නෝ­රුව PGRC හෙවත් පැළෑටි ජාන සම්පත් මධ්‍ය­ෂ්ථා­න­යෙන්. මේ ටික මුලින් ම කටු­වාන මගේ පොඩි කුඹුරෙ වපු­ර­නවා. ඒ අස්වැ­න්නෙන් ආපහු බිත්තර වී හදා­ගෙන මහ කුඹුරෙ වපු­ර­නවා. රට වටේ ම විසි­රිලා ඉන්න අපේ දේශීය ගොවීන්ට මේ බිත්තර වී ටික ටික බෙදලා දෙන්නෙ ඊට පස්සෙ.

මේක බුද්ධ බෝග­යක්. අපි ලියැදි හදන්නෙ බුද්ධ චීවරේ හැඩ­යට. වී ඇටයෙ හරිම පාට, සිවුරු පාට. අලු­තින් බෝ කරන දෙමු­හුන් වීවල ඒ පාට­වත් නැහැ. ඒ නිසා, මනු­ස්සයා නිරෝගි කර­වන මේ බුද්ධ බෝග­යට අපි අත­ග­හන්නේ, පන්සිල් පද පහ බැරි­නම් දෙකක් හරි රැක­ගෙන. මෙතැන බොහො­ම­යක් තිබෙන්නෙ, මාස හත­ර­හ­මාරෙ ඉඳන් ඵල­ද­රන ප්‍රභාං­සං­වේදි වී වර්ග. ඒ කියන්නෙ ගොයම කිරි වදින්නෙ පැහෙන්නෙ හිරු එළි­යත් එක්ක.

අද දෙමු­හුන් ගොයම් ගහ මිටියි. නමුත් ගොයම උස වෙන්න වෙන්න, වී වල ගුණා­ත්මක බව වැඩියි. මා වී ගොයම, අඩි 11 ක් උසට හැදෙ­නවා. රන් හැල් අඩි 6 ක් උසයි. මේවට හොඳ මුල් පද්ධ­ති­යක් තියෙ­නවා. අපේ ගොවි­තැ­නේදි යොදන්නෙ කටු පොහොර සහ කොම්පෝස්ට් විත­රක් නිසා ගොයම් ගහ අවශ්‍ය පරිදි පෝෂ­ණය උරා ගන්නවා...”

“මේ තරම් වටින අපේ මේ දේශීය වී ගොවි­තැන හෑල්ලු කරන සමහරු අපේ වෙල ළඟින් යන්නෙත්, ‘මේ ඉතින් පිස්සන්ගෙ වැඩ; ඔය ඉතින් කැඳ බොන්නනේ ගොවි­තැන් කරන්නේ’ මේ වගේ කතා කියා­ගෙන. බත­ලේ­ගොඩ එක අධ්‍ය­ක්ෂ­ව­ර­යෙක් හිටියා. ඔහු මේ දේශීය වීවලට කිව්වෙ ‘වල් වී’ කියලා. තමන්ගෙ දේ ‘වල්’ කියන, පිට­ර­ටින් එන දේට ‘රට දෙල්, රට හාල්’ කියන එකම ජාති­යත් අපි වෙන්න ඇති.

මඩට වී ඇට­යක් දමලා, ඒ වී ඇටෙන් කිරි ටිකක් හැදිලා, ඒ කිරි ඇටේ හාල් ඇට­යක් වෙලා හාල් ඇටය බත් ඇට­යක් වෙලා මනු­ස්ස­ය­කුගෙ කුසට ආහා­ර­යක් ඖෂ­ධ­යක් වේවා! කියන ප්‍රාර්ථ­න­යෙන් කරන මේ පාර­ම්ප­රික ‍ගොවිතැන එහෙම හෑල්ලු කරන එක­හොඳ දෙයක් නෙවෙයි. මිනි­ස්සුන්ට හැදෙන මේ ලෙඩ රෝග­වල හැටි­යට හරි නම්, මුළු රට ම මේ වෙන­කොට මේ පාර­ම්ප­රික හාලේ බත් කන්න ඕනේ. එහෙම බැරි නම් අඩුම තරමෙ කැඳ වීදු­රු­ව­ක්වත් බොන්න ඕනෙ’ වය­සට ගිහි­ල්ලත් අපි මේ වෑයං කරන්නෙ රටට මේ දේ තේරුං කරලා දෙන්න...”

කොත­රම් හිත රිදුණ ද, මිනි­සුන්ගේ ඒ රිදුම් දෙන කතා­ව­ල­ටත්, ලාභ පාඩු ගැන හිති­වි­ල්ල­ට­වත් ඔහුගේ මේ වෑයම යට නොවෙයි.

“පහු­ගිය කාලෙ මගේ කටු­වාන කුඹුරෙ මඩ­ත­වාලු, මුරුංගා කායම්, පච්ච පෙරු­මාල්, පොක්කාලි අක්කර 4 ක් වපු­රලා මට ලැබුණෙ වී මිටි 49 යි. හේතුව, ගොයම් කපන්න පරක්කු වුණු නිසා. මහි­යං­ග­ණ­යෙන් ගොයම් කපන්න එන කට්ටිය පමා වුණා. ගොයම වැස්සට අහු­වුණා. ඒත් පාඩු වුණා­ය­කි­යලා මං කම්පා වෙන්නෑ. මොකද, ලාබ පාඩු සමයි. මේ සැරේ පාර්ලි­මේන්තු දිය­වන්නා කුඹුරෙ අක්කර 4 ක් වපු­රලා, මං වී ලොරි දෙකක් ගාල්ලට අරන් ගියා.”

ඔහුට අනුව, දේශීය ගොවි­තැ­නේදි අක්ක­ර­ය­කට වී බුසල් 70 ක් ගත හැකි අතර, ආණ්ඩුවේ දෙමු­හුන් වී වලින්, එනම්, රසා­ය­නික ගොවි­තැ­නෙන් කොළඹ දිස්ත්‍රි­ක්කයේ ගත හැක්කේ අක්ක­ර­ය­කට බුසල් 40 ක් පමණි.

වච­නෙන් නොව, ඔහු එය ක්‍රියා­වෙන් ම ඔප්පු කළ සත්‍ය­යකි. පහු­ගිය අවු­රු­ද්දක කැස්බෑවේ, නිව­න්දම ගමේ, සිය ගොවි සංවි­ධා­නයේ ධර්ම කීර්ති ගොවි මහ­තාගේ අස්වනු කැපුණේ කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ, වාර්මා­ර්ගයේ සහ කෘෂි කමි­ටුවේ සිය­ල්ලන් ඉදි­රි­යේය. ඵල­දාව, දික් වී බුසල් 102 කි. මසුරං බුසල් 84 කි. පච්ච­පෙ­රු­මාල් 81 කි. පොක්කාලි 79 කි. මේ සිය­ල්ලට දැමුණේ කටු පොහොර සහ HS පොහොර හෙවත් කොම්පෝස්ට් පමණි.

‘ඕවා කරලා වැඩක් නැහැ...’ යි පව­සන ගොවීන් හට දේශීය වී ගොවි­තැන ගැන ඔහු යළි­ත්ව­රක් විශ්වා­සය තහ­වුරු කළේය.

“හුඟක් මිනිස්සු, අද රසා­ය­නික වස විස යොද­න­වට කියන්නෙ ‘බෙහෙත් ගහ­නවා’ කියලා. ඒවා විකු­ණන බට­හිර සමා­ගම්, ‘වස දානවා’ කිය­නවා වෙනු­වට උග­න්වපු වචනෙ තමයි ‘බෙහෙත් ගහ­නවා’ කියන එක. බෙහෙත් කියන්නෙ මිනිස්සු සුව­පත් කර­වන ඖෂධ. ඒවා බඩට බොනවා. ශරී­ර­යට ගානවා. එච්ච­රයි. පොළො­වට ගහන්නෙ වස.

ඉතින්, ඇයි තව­මත් මේ අපේ මිනිස්සු බට­හිර සමා­ගම් උග­න්වපු විදි­යට ම වස­ව­ලට බෙහෙත් කියන්නෙ...

1996 වෙන­කල් මාත් හිටියෙ ඔය අඳුරේ. පර­ම්පරා ගණ­නක ගොවි­යෙක් වුණත්. මං කළෙත් වස විස ගහපු ගොවි­තැන. කුරේ­ටර් පොළො­වට ගහන ගානේ මං දැක්කෙ ගැඩ­විල්ලො වගේ අපේ පොළොව සරු කරන පොඩි සත්තු මැරෙන හැටි. මං හුඟක් කල්පනා කළා. වස විස ගොවි­තැන අත්හැ­රියා. එදා පටන් මේ ගොවි සංවි­ධා­නය පිහි­ටු­වා­ගෙන රට වටේ ගිහින් දිස්ත්‍රික්ක 24 ක ගොවි මහ­ත්තුරු එකතු කර­ගෙන මේ වැඩේ කරන්නෙ දේශීය ගොවි­තැන ආපසු රටේ ප්‍රච­ලිත කරන්න.

1996 වසරේ ඒ සඳහා ඔහු ක්‍රියා­ත්මක වූයේ, පාර­ම්ප­රික වී තිබෙන ගොවීන් සොයා රට පීර­මිනි.

බදුල්ලේ අල­කොළ ගොන්නේ, මීග­හ­ච­තුරේදි එවැනි මිනි­සුන් කිහි­ප­දෙ­න­කුම ඔහුට මුණ­ගැ­සිණි. එසේ හමුවූ ලොකු බණ්ඩා, පුංචි බණ්ඩා, කළු බණ්ඩා, සුදු බණ්ඩා... තමන් ළඟ වූ දේශීය වී ඔහුට දෙන්නට තරම් නිර්ලෝභි විය. දන්තුරේ වෙද මහ­ත්තයා තවත් බොහෝ අය ගැන තොර­තුරු කීවේය. ඒ උත්සා­හ­යෙන් වී වර්ග 64 ක් එකතු විය.

කෙසේ හෝ එවැනි ගොවීන් හාර­සි­ය­යක් සොයා ගන්නට ඔහුට හැකි විය. අද ඒ සාමා­ජික පිරිස එකො­ළොස් දහස් හත්සි­ය­යකි.

“අප­රාදෙ කියන්න බැහැ හැමෝම වගේ මේ ජාතික කාර්ය­යට උර දෙනවා. බෝ කර­ගන්න අවශ්‍ය වී ටික කොහොම හරි අපිට ලැබෙන්න සල­ස්ව­නවා. මෙහෙම හැරු­ණු­කොට තව­මත් අපේ විනාශ වී නොගිය වී වර්ග බොහො­ම­යක් ‘නිධාන’ හැටි­යට නිධ­න්ගත වෙලා තියෙ­නවා. මොකද, ඉස්සර රජ­වරු නිධන් වැළ­ලුවෙ වී වර්ග කිහි­ප­ය­කුත් දමලා, වී බොල් නොවී තියා­ගන්න පුළු­වන් මැටි මුට්ටි­වල. නමක් යොදන්න කළු­පාට එහෙම වී කර­ලක් මටත් ලැබුණා. ඒක මං පැළ­කළා. කොහො­ඹයි ගොම මැටියි ගාලා වේළපු මුට්ටි­වල අපිත් එවැනි වටිනා වී තැන්පත් කරලා තිය­නවා....”

වැද­ගත් ම දේ, ගන්නෝ­රුව PGRC එකේ අපේ රටේ එවැනි පාර­ම්ප­රික දේශීය වී වර්ග 1441 ක් තිබෙ­නවා. අවු­රුදු 70 ක් පැන්නට පස්සෙ මේ එක වී වර්ග­යක හරි පැළ­වීමේ ප්‍රති­ශ­තය අඩු වෙන්න පුළු­වන්. එහෙම වුණොත් ඒ වී වර්ගය මේ මුළු ලෝකෙන් ම තුරන් වුණා වෙනවා. ඒක වෙන්න දෙන්න එපා! මට පුළු­වන් උප­රිම විදි­යට එක කන්නෙ­කට වී වර්ග 30 ක් ගේනවා. පැළ හදා ගන්නවා. බෝ කර­නවා. බෙද­නවා. PGRC එකේ මට ම වෙන්වුණු ෆ්‍රිජ් එකක් තියෙ­නවා. මං ගෙනි­යන ඒ හැම වී වර්ග­යක් ම බෝ කරලා බෙදු­වට පස්සෙ ආපහු ග්‍රෑම් 500 ක් ගිහින් ඒ ෆ්‍රිජ් එකේ තැන්පත් කර­නවා. ඒත් තනි මට, වී වර්ග එක්ද­හස් ගණ­නම බෝ කරන්න බැහැ. ඒ වෙනු­වෙන් වැඩ­පි­ළි­වෙ­ළක් අව­ශ්‍යයි.

අපිට තිබුණෙ කන්නෙට - කර­ණෙට - කයි­යට වැඩ කළ ගොවි සංස්කෘ­ති­යක්. කන්නෙ කිව්වෙ වෙලා­වට වැඩ කිරීම. පෙබ­ර­වාරි 05 දා වෙන­කොට වපු­රලා තිබු­ණම, බක්මහ වැහි පටන් ගන්න­කොට පොළො­වට පොහොර ටික වැටෙනවා. ඒ කියන්නෙ, අප්‍රේල් 05 දා වෙන­කොට ‍මෝසම් වැහි පටන් ගන්නවා. ගොඩින් ගොර­වලා හෙණ ගහලා අකුණු වදි­නවා. ම‍හ පොළො­වට යූරියා වගේ පොහොර ටික ‍ආවෙ ඒ අකු­ණු­ව­ලින්. අපේ මුතුන් මිත්තො එදා ගොවි­තැ­නට රට පොහොර ගෙනාවෙ නැහැ.

‘ආදි අපේ මුතුන් මිත්තෝ

ඉරෙන් හ‍ඳෙන් වැඩ ගත්තෝ, කිව්වෙ ඒකයි.

ඊළඟ කාරණේ තමයි ‘කර­ණෙට’ වැඩ­ක­රපු එක. කරණෙ කිව්වෙ නැක­තට. එදා ඒ නැකැත් හැදු­වෙත් ඉර හඳ බල­පෑම් සල­කලා. අද ඒ නැකැත් සල­කන්නෙ මේ දේශීය වී ගොවි­තැනේ විත­රයි. අනෙක් අතට මේ ‍ෙද්ශගු­ණික විප­ර්යා­සය නිසා හැම­දේම අනික් පැත්ත ගහලා...

ගොයම් කපන දා ‘කයි­යට’ ගමේ හැමෝම ආවා. කයිය හැදුණේ ආත්ත­ම්මට ඕනෙ හැටි­යට. උන්දෑ තමයි ගෙදර වෙදා. උදේ ම කොළ කැඳ වැර­දුණේ නැහැ, කුර­ක්කන් නැත්නම් මා වී කිරි­බතක් තමයි හැමෝ­ටම දුන්නේ. මොකද, ඒ කිරි­බත උෂ්ණා­ධික ගුණ­යෙන් යුක්තයි. දවල් බතට කොල්ලු තලපෙ වැරැ­ද්දුවෙ නැහැ. කොස්ඇට කළු පොල් මාළුව, පොළොස්, මෑක­රල්. බටු, මයි­යොක්කා වෑංජනේ හරි හරි­යට තිබුණා.”

ඒත් වවන්න කැමැති අයත් සිටී නම්, අස්ව­නුත් හොඳ නම්, ඇයි මේ දේශී්‍ය වී වවා, අඩු මිල­කට දෙන්න බැරි... මට මෙන් ඔබ­ටත් සිතේවි. එහෙත් ඒ කතාව පිටු­පස ඇත්තේ ද ඛේද­වා­ච­ක­යකි.

“ආණ්ඩුවෙ දෙමු­හුන් වීවලට දෙන එකම සහ­න­ය­ක්වත් මේ දේශීය ගොවි­තැ­නට ලැබෙන්නෙ නැහැ. පොහොර සහ­නා­ධා­රය, උදලු, මැෂින්, ට්‍රැක්ටර් මේ කිසි­වක් අපේ ගොවීන්ට ලැබෙන්නෙ නැහැ. හැම­දේම තමන්ම සපයා ගන්න ඕනේ. බිත්තර වී ටික, පොහොර ටික මං රට වටේම ගොවීන්ට යවන්නෙ කෝච්චි­යෙන්. ඒ ගොවීන්ගෙ වී අස්වනු ටික හාල් ටික, මිලදී ගන්න ඕනෙත් මම­මයි. බිත්තර වී කිලෝ­ව­කට රුපි­යල් සිය­යක් ගෙව­නවා. වී කිලෝ­ව­කට රුපි­යල් 80 ක් ගෙව­නවා.වෙලා­වට ඒ වී ටික නොග­ත්තොත් ඒ අය ආයෙ වවන්න උන­න්දු­වක් දක්වන්නෙ නෑ. මේක එක්තරා විදි­යක ඇද­ගෙන යෑමක්. මොන දේ වුණත් මං තවම ‍ගමෙත් වව­නවා.

ගාල්ලෙ බද්දේ­ගම ගුරු­සිං­හ­ගොඩ මගේ ගම. වාහන කෙක් අරන් කොළ­ඹ ආපු මට අද තියෙන්නෙ, බයි­සි­ක­ල­යක් විත­රයි. මට දුකක් නැහැ. මගේ කකු­ල්වල හයිය තියෙ­න­කල් මං බයි­සි­කලේ බැඳ­ගෙන ගිහින් හරි ඉල්ලන අයට බීජ ටික පොහොර ටික දෙනවා. මොකද HS පොහොර පැකට් ‍එකේ මිල අඩු නිසා ඈත පළා­ත්වල ඒජ­න්සි­කා­රයො ඒක ගන්නෙ නැහැ.”

වී ගොවි­තැන එක්ක මේ තර­මට හැපෙද්දී දේශීය එළ­වළු වගා­වක් ගැන කොහොම හිත­න්නද... ඒත් තමන් ගැන සැල­කිල්ල අතැර දමා ඒ වෙලාව ඔහු ප්‍රයෝ­ජ­න­යට ගන්නෙත් මේ ඇට වර්ග වේළ­න්න­මය. පැල වන්නට ෆ්‍රිජ් එකේ බෝතල් ලෙස තැන්පත් කර­න්න­ටය. පැකට් කර­න්නෙත් බෙදා හරි­න්න­ටත්ය.

‘මේ තරම් වද විඳ­ගෙන කරන මේ දෙයින් මොන­වද ඔබට ලැබෙන්නේ...’යි නොඅසා සිටි­න්නට තවත් නම් නොහැක.

“මට ලැබෙන එක ම දේ මුළු ආත්ම­ය­ටම දැනෙන සතුට පම­ණයි. මට දරුවො හතර දෙනෙක් ඉන්නවා. ලොකු දූ නිශාන්ති, බද්දේ­ගම ගුරු­සිංහ පැළ තවාන කර­නවා. දෙවැනි දූ ප්‍රදීපා ගුරු­සිංහ, පරි­ග­ණක ඉංජි­නේ­රු­ව­රි­යක්. OMOBIO සමා­ගමේ හිමි­කා­රි­ණිය. සම්පත්, මගේ එකම පුතා. එයත් ඇල්පි­ටියේ පැළ තවා­නක් කර­නවා. බාල දූ සමන් කුමාරි, සැල­සුම් ශිල්පි­නි­යක්. බිරිය ඉන්නේ මගේ බාල දූ එක්ක.‍

දව­සක් ප්‍රදීපා දූ, මගේ කාර්යා­ල­යට ආවා. මේ ලට්ට ලොට්ට දැකලා පුදුම වුණා. දුක් වුණා. ‘තාත්තව බලන්න අපි ගියා. දවස් පහ­කින් විතර උයලා නැහැ. හට්ටි­වල දංකුඩ. ඒවා පුස් කාලා. තාත්තා කඩෙන් කන්නෙත් නැති බව අපි දන්නවා. මොකක්ද මේ ගෙවන ජීවිතේ...’ ගෙදර අනෙක් අය­ටත් කියලා මට හුඟක් දොස් කිව්වා.‍

දූ කිව්වේ ඇත්ත. උයන්න නොහි­තු­ණොත් මං දවස් පහ - හය නොකා ඉන්නවා. මේ ඖෂ­ධීය කැඳ එකක් විත­රක් බීලා. මට දැන් වයස 72 ක්. බිරි­ය­ගෙන් දරු­ව­න්ගෙන් ඈත් වෙලා, වී ගොඩ­කුත් බදා­ගෙන මේ ගෙවන ජීවිතේ ඇත්ත­ටම හරි මහ­න්සියි. ඒත් මේ පැරැණි වී ටික හරි­යට වවන්න, ඒ බත රටට දෙන්න, හරි හමන් වැඩ­පි­ළි­වෙ­ළක් රජය හද­න­කල් මට නිද­හසේ මැරෙ­න්න­වත් බැහැ...”‍‍

ඔහු හීන දකින්නේ, මුළු රටක් පාර­ම්ප­රික හාලේ බත් කන දව­සක් එන තුරු ය. අපේ ම ගොවීන් තම වර්ගයා නස­න්නට කන බතත්, මහ පොළො­වත් වසෙන් නහ­වන පාප කර්මය නව­තන දවස එන­තුරු ය.‍

ඡායා­රූප - රුවන් සිල්වා

අදහස්