යෝධ ඇළ දෑලේ අහස් දියෙන් වගා­ක­රන තලාවේ ගොවියෝ | සිළුමිණ

යෝධ ඇළ දෑලේ අහස් දියෙන් වගා­ක­රන තලාවේ ගොවියෝ

දංග­හ­ක­ඩ­වල බොරලු කැපි­ල්ලෙන් යෝධ ඇළ බැම්ම අන­තුරේ

හිමි­දි­රිය එළැඹී අඩ­හෝ­රා­වක් පමණ ගත­වු­වද තව­මත් ජය­ගඟ හන්දි­යට හිරු එළිය පතිත වී නැත. වලා­කු­ළෙන් බර අහස අර­අ­දින්නේ වැස්ස­ක­ටය. එහෙත් පිනි වැටුණු තෙත මහ­පො­ළොව සමඟ කැත්තෙන් උදැ­ල්ලෙන් පොර­බ­දන රජ­රට මිනි­සුන් සිය දෛනික කට­යුතු අරඹා තිබේ. ඔවු­නට දෙවැනි නොවෙ­මින් අපිද හිමි­දි­රි­යේම බටු­ව­ත්තෙන් ඇර­ඹෙන මහ­වැලි දකුණු ඉවුරු ඇළ දිගේ ස්ටීවන් අප්පු­හාමි මහතා සොයා ගමන් ඇර­ඹූ­වෙමු.

1977 දී ජල­පා­ලක අංශයේ සේව­ක­යෙකු ලෙස මහ­වැ­ලි­යට එක්වූ ස්ටීවන් අප්පු­හාමි දැන් හැත්තෑ හතර හැවි­රිදි විශ්‍රා­මි­ක­යෙකි. මුල් ගම් බිම් සිය­නෑවේ මල්ව­තු­හි­රි­පි­ටියේ වුවද, රාජ­කා­රි­යට තැනින් තැන මාරු­වෙ­මින් ජීවි­තය ගත කළ ඔහු අද පදිං­චිව සිටින්නේ රජ­රට තලාවේ, බටු­ව­ත්තේය. ඒ මහ­වැ­ලි­යෙන් බදු පද­න­මට ගත් ඉඩ­ම­කය. ඔහුගේ නිව­හන ඇත්තේ දෙග­ම්බඩ තැනි­ත­ලා­වක වූ අපුරු මිටි­යා­ව­ත­කය. නිවෙ­සට එක්ප­සෙ­කින් යෝධ ඇළට දිය­වර සප­යන මහ­වැලි දකුණු ඉවුරු ඇළය. අනෙක් පසෙන් ඇත්තේ පැරණි යෝධ ඇළය.

“මම මහ­වැ­ලි­යට බැඳෙන කොට රජ­රට මිනිස්සු මහ­වැලි වතුර නිසා උද්දා­ම­යට පත් වෙලා හිටියේ. එතෙක් අහස් දියෙන් පිරෙන ගම් වැව්ව­ලින් වැඩ කරපු මිනිස්සු, පිටාර ගලන ඇළ පාර­වල් අයිනේ තමන්ට ලැබුණු ගොඩ මඩ ඉඩ­ම්වල කඩියෝ වගේ වැඩ­කළා. කෙසෙල්, ගස්ලබු වගේ බෝග වියළි කලා­ප­වල සරු­වට වැවෙන්න ගත්තා. වී වර්ගත් එහෙ­මයි. ඒත් අනූව විත­ර­වෙද්දි පැති­රුණු වකු­ගඩු ලෙඩෙත් එක්ක මහ­වැලි වතුර ආශි­ර්වා­ද­යක්ද, ශාප­යක්ද කියල හිතන තැනට මිනිස්සු පත්වුණා. අද වෙන­කොට ඒකට පිළි­ය­මක් හොයා­ගෙන (පිරි­ප­හදු කළ ජලය) ඉව­රයි. දැන් වෙළ­ඳ­පොළ ගැන සහ­ති­ක­යක් තියෙ­නවා නම් මිනිස්සු ආපහු වවන්න පටන් ගනීවි. අත­හැර යන මහ­වැලි ඉඩම්, වගා නොක­රන මහ­වැලි ඉඩම් ගොවි­තැ­නට කැමැ­ත්තෙන් ඉන්න තරුණ පිරි­සට බෙදලා දෙන්න ඕන.”

තැනින් තැන මහ­වැලි ජල­පා­ලක කාර්යා­ල­ව­ලට අනු­යු­ක්තව සේවය කළ ඔහු තලාව ආස­න්නයේ සේව­යට පැමිණ ඇත්තේ අනූව දශ­කයේ මැද භාග­යේය.

සොහොන් බිමත් පරණ යෝධ ඇළේ

“ඒ කාලෙත් ජය­ගඟ හන්දියේ යෝධ ඇළ බැම්ම හඳු­නා­ගන්න පුළු­ව­න්කම තිබ්බා. අද බටු­වත්ත ජල­පා­ලක කාර්යාලේ තියෙන්නේ පරණ යෝධ ඇළ ගොඩ කරල පුර­වපු බිමක. එතැන පුංචි උද්‍යා­න­ය­කුත් හදලා තිබුණා. දැන් ජය­ගඟ හන්දයේ සොහො­න්බිම තියෙ­න්නෙත් පරණ යෝධ ඇළේ තමයි.”

යෝධ ඇළ මිහි­දන්වී ගොසිනි. කල­කට පෙර යෝධ ඇළ පාමුල ජීවත්වූ මිනි­සුන්, මිහි­දන් වූ යෝධ ඇළ මත්තෙහි සිය අව­සන් නින්ද නිදනු ජය­ගඟ හන්දිය පසු­කොට එප්පා­වල දෙසට යන අයෙ­කුට දැක හඳු­නා­ගත හැකිය. කතා­බ­හෙන් අන­තු­රුව අපි ස්ටිවන් මහතා සමඟ පැරණි යෝධ ඇළ දකි­න්නට ගියෙමු. යෝධ ඇළ තිබූ බිමෙහි අද ඇත්තේ සශ්‍රීක කුඹුරු යායකි. ඉන් ඔබ්බෙහි තැනෙක කොහිල වළක් ලෙස යෝධ ඇළ දැකිය හැකිය. යෝධ ඇළේ බැම්ම වල් වැදී තිබු­ණද, තැනින් තැන තිබෙන තල් ගස් ඒ යෝධ ඇළේ බැම්ම හඳු­නා­ග­න්නට අපට උප­කාරී වේ.

“මෙතැ­නින් එහාට යෝධ ඇළේ වෙන­සක් තියෙ­නවා. ඒ තමයි යෝධ ඇළට දෙපැ­ත්තෙන්ම බැම්මක් තියෙන එක. ඒකට හේතුව මෙතැ­නින් එහාට හිදෝ­ගම වෙන­කම් යෝධ ඇළ ගලන්නේ උස්බි­මක හදපු කෘත්‍රිම ඇළක් විදි­යට. රජ­කාලේ ඉඳන් ඒ කොටස එහෙම තිබුණා කියල තමයි හිතන්නේ.. යෝධ ඇළ දෙපැත්තේ මිනි­ස්සුන්ට, යාන්ත්‍රික ක්‍රම­ය­කින් හැර ස්වභා­වි­කව තමන්ගේ ඉඩ­ම්ව­ලට වතුර ගන්න මේ කොට­සෙදි බෑ”

ස්ටීවන් අප්පු­හාමි මහතා අපට සමු­දෙ­මින් එසේ පැවැ­සූවේ යෝධ ඇළ ගැන සොයා යන අපට තිබිය යුතු පූර්ව අව­බෝ­ධ­යක වැද­ග­ත්කම හඳු­නා­ගෙන විය යුතුය.

බටු­ව­ත්තෙන් කිලෝ­මී­ට­ර­යක් පමණ ඉදි­රි­යට යන විට නව මහ­වැලි ඇළ පරණි යෝධ ඇළට එක්වන ස්ථානය යාන්ත­මට හඳුනා ගත හැකිය. ආර­ම්භයේ පැවැති යෝධ ඇළ බැම්මට වඩා මේ ඉස­ව්වේදී යෝධ ඇළ බැම්ම පටුය. යෝධ ඇළ දෙප­සින්ම ඇත්තේ හේන් යායය. ඒවායේ මෑ, පතෝල, කර­විල සහ බටු වගා කර ඇති අයුරු පෙනේ. අත­රින් පතර සරු­සාර ගස්ලබු වගාය.

දින­කට වතුර ලීටර් 4000ක් අලෙ­වියේ

අනු­රා­ධ­පු­රය දක්වාම යන්නට හැකි මේ මාර්ගය බොහෝ දෙනා තෝරා නොගන්නේ කාරණා කිහි­ප­යක් නිසාය. එකක් ඉසව්වේ සිදු­ක­රන බොරළු කැපීමේ ව්‍යාපෘ­ති­යක ටිපර් රථ ගොස් පාර හෑරී මඩවී ඇති නිසාය. අනෙක් කාර­ණය වල් අලි මඟ රැඳී සිටීමේ ඇති අව­දා­නම නිසාය. පව­තින වැහි අඳු­රත්, හුද­ක­ලා­භා­ව­යත් නිසා අපද මේ කොට­සේදී යෝධ ඇළ බැම්ම දිගේ ඉදි­රි­යට ගියේ තර­මක චකි­ත­ය­කින් යුතු­වය.

මේ මාර්ගයේ පළ­මු­වෙන්ම හමු­වන ගම්මා­නය වරා­ගො­ඩ­ග­මයි. ඉන්ප­සුව හමු­වන්නේ කුඹු­ක්වැ­වයි.

වරා­ගො­ඩදී අපට හමු­වූයේ පිරි­ප­හදු කළ ජලය විකු­ණන තරු­ණ­යෙකි. නමින් මලින්ද රුක්ෂාන් වන ඔහුගේ පදිං­චිය තඹු­ත්තේ­ග­මයි. නල ළිංව­ලින් ගන්නා ජලය යන්ත්‍රා­නු­සා­ර­යෙන් පිරි­ප­හදු කර අලෙ­වි­ක­රන ඔහු දින­කට වතුර ලීටර් හාර­ද­හ­සක් පමණ විකු­ණන බව අපට පැවැ­සු­වේය. දව­සක් හැර දව­සක් ඔහු එකම මඟක වතුර විකු­ණ­න්නට යන බවත්, එවැනි මාර්ග හත­රක මාරු­වෙන් මාරු­වට යන බවත් ඔහු අපට පැවැ­සීය. ඔහු සඳ­හන් කරන පරිදි රජ­රට මහා පරි­මාණ ජල වෙළෙ­න්ඳකු දින­කට රුපි­යල් පන­ස්ද­හ­ස­කට ආසන්න මුද­ලක් උප­යන අතර ඉන් හරි අඩක්ම ලාභය ලෙස සල­ක­න්නට පුළු­වන.

අපි උදෑ­සන ආහා­රය වෙනු­වෙන් නැව­තුණේ කුඹු­ක්වැව හන්දියේ පිහිටි කඩ­ය­කිනි. එහි සිටියේ තරුණ යුව­ළකි. වට වැස්සේ වාසිය ගෙන ඔවු­නගේ ඉඩම පස පෙර­ළන්නේ කුඩා ප්‍රමා­ණයේ බැකෝ යන්ත්‍ර යොදා­ග­නි­මිනි.

“කොම්පැ­ණි­යක් ගමට ඇවිත්, ගර්කින් වවන්න උදව් කර­නවා… අස්වැ­න්නත් ගන්නවා…” අපිත් මේ කන්නේ ගර්කින් වගාව කර­න්නයි ඉන්නේ…”

බනි­ස­යක් කා තේ බිව් අපි යෝධ ඇළ ගැන වග­තුග දැන­ග­න්නට කෙනෙකු නැද්දැයි විම­සුවේ යොවු­න්වියේ ඔවු­නට, යෝධ ඇළ ගැන දැනු­මක් හෝ අත්දැ­කී­මක් ඇතැයි නොසිතූ නිසාය.

“වැස්ස නිසා ගමේ ගොඩක් අය තේක්ක කෑල්ලේ මැද්දෑවේ හේන් වලට ගිහිල්ලා… දැන් නම් හොයා­ගන්න අමා­රුයි…”

ගොඩවී ගිය පිළි­ස­කර නොකළ වැව්

මේ ඉසව්වේ කුඹුරු නොමැත. ඇත්තේ හේන් පමණි. යහ­මින් වැස්ස ලැබෙන ඊසාන දිග මෝසමේ කැලෑ කපා හේනක් කොටා ගැනීමේ හෝ ගොඩ කුඹු­රක් සකසා ගැනීමේ පැරණි රජ­රට හුරුව මේ ඉසව්වේ මිනි­සු­නට තිබේ. එබැ­වින් අපි කුඹු­ක්වැ­වෙන් ඉදි­රි­යට තිර­ප්පනේ වැව දෙසට ගියෙමු.

තිර­ප්පනේ නග­රය පිහිටා ඇත්තේ අනු­රා­ධ­පුර දඹුලු පාරේ අත­ර­ම­ඟ­කය. ඒ ආස­න්න­යේද තිර­ප්පනේ වැව නමින් වැවකි. නමුත් තලා­වට ආස­න්න­යෙන් යෝධ ඇළ බැම්මේ යන අප­ටද තිර­ප්ප­නනේ වැවක් හමුවේ. එහෙත් එය ගොඩවී ගොසින්, විල්ලු­වක් පම­ණක් දක්නට ඇත.

මහ­වැලි කලා­ප­ව­ලදී රජ­රට වැව් පද්ධ­තිය ට සිදු­කළ විනා­ශය ඉන් ඔබ්බේදී දකි­න්නට අපේක්ෂා නොකළ අපට මහ­වැලි කලා­ප­යක් නොවන රජ­ර­ට­දීත් දක්නට ලැබෙන්නේ ගොඩවී ගිය වැව්ය. කළ­කින් ප්‍රති­සං­ස්ක­ර­ණය නොකළ වැව්ය. නමුත් මේ ගැන අද­හ­සක් ගන්නට තරම් මිනිස් පුළු­ටක් හෝ හමු­නො­වන නොවන කලා­ප­යක් බැවින් අපි තව­දු­ර­ටත් මඩවී ඇති පාර දිගේම ඉදි­රි­යට ගියෙමු. අප ඊළ­ඟට පිවි­සියේ තර­මක් එළි­ම­හන් ප්‍රදේ­ශ­ය­ක­ටය. සිති­ය­මට අනුව අප දැන් සිටින්නේ දංග­හ­ක­ඩ­ව­ලය. පාපැ­දි­ව­ලින් අප ඉදි­රි­යට එන වැඩි­හි­ටි­යන් දෙදෙ­නෙකු දුටු අපේ සිතට සතු­ටක් ඇති­විය. පළ­මු­වැන්නා ජේ.එම්. දිසා­නා­ය­කය. දෙවැන්නා ජී.එම්. අබේ­සිං­හය.

“මේ හරි­යෙදි යෝධ ඇළ තිබු­ණට, අපි වගා කරන්නේ අහස් දියෙන්. කුඩා­වැව, හැළ­ඹ­වැව කියල වැව් දෙකක් තිබ්බට ඒව­ගෙත් ඒ හැටි වතු­රක් නෑ..”

ඉවක් බවක් නැති බොරලු කැපීම්

1970 දශ­කයේ අග භාග­යේදී මේ ප්‍රදේ­ශය ජන­ප­ද­ක­ර­ණ­යට ලක්වූ බවත්, ඔවුන්ට පැරණි යෝධ ඇළ ගැන සුවි­ශේෂී මත­ක­යක් නොමැති බවත් පැවැසූ ඔවුහු හැකි­නම් එම ප්‍රදේ­ශ­යට ගැට­ලු­වක් වී ඇති බොරලු කැපීමේ ව්‍යාපෘ­තිය ගැන පත්ත­ර­යට ලිය­න්නැයි අපට කීහ.

“කිසිම දැනු­ම්දී­මක් කලින් කළේ නෑ. මාසෙ­කට විතර කලින් තමා පටන් ගත්තේ. දව­ස­කට ටිපර් පන­හක් විතර අනු­ධ­පු­රේ­ටත්, කුඹු­ක්වැව පැත්තෙන් තලා­ව­ටත් යනවා. යෝධ ඇළ බැම්ම දිගේ යන නිසා බැම්මත් මඩ වෙලා. අපිට පාරක යන්න නෑ.. යෝධ ඇළ බැම්මේ ඉඳන් කිලෝ­මී­ට­ර­යක් ඇතුළේ තමයි බොරලු කන්ද තියෙන්නේ. අපේ ගෙවල් හරි­යෙ­මයි. ඒ පාරේ මෙහෙ­ම­වත් යන්න බෑ.”

යෝධ ඇළ බැම්ම අසා­මාන්‍ය ලෙස මඩ­වී­මට හේතු සොය­මින් බටු­වත්තේ සිට ඉදි­රි­යට පැමිණි අපට එයට හේතු­වන අයු­රින් ගම­න්ක­රන පස් පට­වා­ගෙන එන ටිපර් රථ කිහි­ප­යක් දැක­ග­න්නට ලැබිණි.

තවත් ඉදි­රි­යට එන අපට, දිවු­ල්වැව ප්‍රදෙ­ශයේ පිහිටි කුඩා වැව­කින් පිටාර ගලන ජලය, යෝධ ඇළට වැටෙ­න්නට හැකි වන ලෙසින් තැනූ පැරණි ගල් සොරො­ව්වක් දැක­ගත හැකි­විය. එහි වර්ෂය සට­හන් වී තිබුණේ 1880 ලෙසය. ඒ අනුව ඉංග්‍රී­සීන් විසින් යෝධ ඇළ ප්‍රති­සං­ස්ක­ර­ණ­යට සම­ගා­මීව මෙම බෝක්කුව ඉදි­කර ඇති බව පෙනේ. එස­ම­යේ­දීත් යෝධ ඇළ ගලා ගොස් ඇත්තේ පිහිටි බිමට වඩා පහ­ළින් කෘත්‍රි­මව සැකසූ ඇළ පාරක් දිගේ බව අව­බෝධ කර ගන්නට එය පැහැ­දිලි සාක්ෂි­යක් විය.

ඉන් අන­තු­රුව හමුවූ දිවුල් වැවේදී යෝධ ඇළට ඉහ­ළින් වූ පාල­ම­කින් එගො­ඩව, ඇළේ අනෙක් ඉවු­රට මාරුවී යෝධ ඇළ දිගේ යන්නට සිදු­විය. කේඬෑ­රිව ගලන යෝධ ඇළ සරු­සාර වන්නේ දිවුල් වැවේ කෙළ­ව­ර­දීය. කිරි­අ­මු­ණූ­කො­ලෙන් නව ජය­ග­ගෙන් දකු­ණට හැරී සාජුව නාච්චා­දූව වැවට ගලා­යන වතුර පාර, නාච්ච­දූ­වෙන් විහි­දෙන අතුරු ඇළ­කින් දිවු­ල්වැ­වට වැටී එතැ­නින් යෝධ ඇළට එක්ව­න්නේය.

ඒ සරු­සාර යෝධ ඇළ දකි­න්නට අපේක්ෂා කර­මින් අපි දිවුල් වැව බැම්මට පිවි­සු­ණෙමු.

යෝධ ඇළ දිගේ යන අපේ ගම­නට එක් කළ යුතු යමක් ඔබ­ටත් ඇත්නම් [email protected] ලිපි­න­යෙන් අපට ලියන්න.

(සංචා­රය සඳහා අවශ්‍ය පාපැදි සම්බ­න්ධී­ක­ර­ණය කළ එප්පා­වල සුනිල් විල්සන් මහ­තා­ටත්, සම්බ­න්ධී­ක­රණ කට­යුතු කල තලාව ප්‍රාදේ­ශිය සභා උප සභා­ප­ති­තුමා ඇතුළු අද­හස් දැක්වූ ගම්වැ­සි­ය­න්ටත් ස්තූතියි!)

[email protected]
ඡායා­රූප - චතුර හේමාල්

Comments