මේ තමයි ආයෝජනවලට හොඳම කාලය | සිළුමිණ

මේ තමයි ආයෝජනවලට හොඳම කාලය

ඡායාරූප - විමල් කරුණාතිලක
  • මං බැංකුවක් ගන්න හිතුවෙ වයස 8දී
  • මැලේෂියන් බැංකු ජාලයක CEO වුණේ වයස 29 දි
  • සල්ලි හම්බ කරන්න නම් කවදාවත් බිස්නස් එක එක්ක හැඟීම්බර වෙන්න එපා
  • මට ඕනෙ Biggest නෙවෙයි Best වෙන්න
  • දරාගන්න අමාරු වුණේ කෙල්ලො මට Egg Boy කියපු එක

 

ඇලෙක්ස් ලොවෙල් නම් ඔහු, වෙනස් විදියට හිතන, වෙනස් චරිතයකි. මිනිසුන් ‘බැහැයි’ කියා අත්හරින බොහෝ දේ ඔහු ‘පුළුවන්’ කියා බාරගනියි. බාර ගෙන දියුණුව කරා රැගෙන යයි.

පළමු වතාවට සිළුමිණ හරහා ඔබ හමු වන ‘ඇලෙක්ස් ලොවෙල්’ කියවන්න. ඔහු බොහෝ දෑ ඔබේ ජීවිතයට ගෙනේවි.

කවුද මේ ඇලෙක්ස් ලොවෙල්...

ආයෝජකයෙක්. සෑම වසරක ම රටට අලුත් ආයෝජකයන් හඳුන්වා දෙන්නෙක්. රැගෙන එන්නෙක්. වැටෙමින් පවතින දැවැන්ත ව්‍යාපාර මිලට ගෙන ඒවා තිබුණාට වඩා හොඳින් වැඩිදියුණු කරන කෙනෙක්. මේ තමයි මගේ විශේෂත්වය. ඒ හැරෙන්න මම බොහොම සරල චාම් මනුස්සයෙක්.

බොහෝ අය ඔබ ගැන දැනගත්තේ මෙවර ‘බිස්නස් ටුඩේ ‘Top - 30’ සම්මාන උලෙළේදි ලද විශේෂ ඇගැයීම් සම්මානයෙන්...

ඔව්. මේ තමයි මගේ රටේදි මට සම්මානයක් ලැබුණු පළමු අවස්ථාව. මං බොහොම නිහඬව වැඩ කරන කෙනෙක්. ‘බෙන් හෝල්ඩින්ග්ස් සමූහ සභාපති වශයෙනුත් UB ෆයිනෑන්ස් සහ ජාතික වත්කම් කළමනාකරණ ආයතනයන්හි සභාපති වශයෙනුත් කටයුතු කරමින්, විවිධ ආර්ථික සහ දේශපාලන පරිවර්තනයන් මධ්‍යයේ ශ්‍රී ලාංකේය ආර්ථිකයට අත්‍යවශ්‍ය වූ ආයෝජන සහ නායකත්වය ලබා දෙමින්, මඟ පෙන්වමින් රටට නව අවස්ථා ළඟා කර දීමට වූ කැපවීම උදෙසා...’ යන්නයි, ඔවුන්ගේ සම්මානයේ හේතු පාඨය වුණේ.

එතකොට ඔබ ජාත්‍යන්තරවත් සම්මානයට පාත්‍ර වී තිබෙනවද...

මට ලැබුණා මහරැජිනගෙන් MB සම්මානයක්. ඒ කියන්නෙ, එංගලන්තයෙන් පිදෙන ‘Most distinguished Order of the British Empire’ නම් ඇගැයීම. සෑම වසරකට ම දෙවතාවක් ලෝකයට යම් වි‍ෙශ්ෂ දෙයක් කළ පුද්ගලයන් තිස් දෙනකුට මහරැජිනගෙන් මෙම සම්මානය පිදෙනවා. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පැපුවා නිව්ගිනියාව කියන සවුත් පැසිෆික් රටවල MBFGroup කියන බැංකුව, ආරම්භ කරලා අවුරුදු අටක් ඇතුළත ව්‍යාප්ත කරන්න මං ලොකු වැඩ කොටසක් කළා. ඒක මැලේෂියන් බැංකුවක්. මටත් පොඩි අයිතියක් තිබුණා. කොහොම වුණත් ඒ අය මාව සම්මානයට නිර්දේශ කළා. රැජනගෙන් මං මේ සම්මානය ගත්තෙ වයස 37 දි.

මොකක්ද ඔබ මේ ව්‍යාපර ගොඩදාන ක්‍රමවේදය...

High risk - high profit. ව්‍යාපාරයක නරක තත්වය අනෙක් පැත්ත හරවනවා කියන්නෙ ව්‍යාපාරයක් ලාභ ලබනවා කියන එකයි. අවදානමක් ගන්නෙ නැතිව ඒ දේ කරන්න බැහැ. මං අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණය කිරීමේ දක්ෂයෙක්. ව්‍යාපාරයක Bad situation එක හඳුනා ගැනීම, අධ්‍යයනය කිරීම, විශ්ලේෂණය කිරීම, විසඳුම් වර්ගීකරණය කිරීම සහ සුදුසුම විසඳුම ආදේශ කිරීමට මට විශේෂ හැකියාවක් තිබෙනවා. අවදානමක් අරන් මිලියන දෙකක් දාලා, ලාභයත් දෙකක් වෙලා මට වැඩක් නැහැ. මට ඕනෙ, දෙකක් දාලා පහක් ගන්න පුළුවන් තැනට ව්‍යාපාරය ගේන්න. සියල්ලට වඩා වැදගත් දේ, අවසානයේ මට හිතෙන්න ඕනෙ, මේ බිස්නස් එක ගොඩගන්න පුළුවන් කියලා. එහෙම නැති බිස්නස්වලට මම අතගහන්නෙ නැහැ.

එහෙම ආයෝජනය කරලා ගොඩගෙන තිබෙන ව්‍යාපාර මොනවද...

යූනියන් බැංකුව, UB ‍ෆයිනෑන්ස්, නැෂනල් ඇසට් මැනේජ්මන්ට්, AMW. AMW හැර අනෙක් ව්‍යාපාර තුනම මගේ. 2008 දි AMW සමාගමට ඩොලර් මිලියන සියයක ආයෝජකයෙක් හොයා දෙන්න මට පුළුවන් වුණා. මේවා අද ඉතාම සාර්ථක ලෙස ඉදිරියට යන ව්‍යාපාර.

වැටෙමින් තිබියදී ඔබ ගොඩ දැමූ කැමැතිම ව්‍යාපාරය කුමක්ද..

මුලින් ම යුනියන් බැංකුව. දැන් බැංකුව ගැන කිසි ම බරක් නැහැ. ඒ නිසා මගේ අලුත් ම ‘‍ෆෝකස්’ එක තිබෙන්නේ ස්වර්ණවාහිනියට. ඊඒපී සිනමා සහ තියටර්ස්, ස්වර්ණමහල් ව්‍යාපාරවලට. මොකද, මේ ව්‍යාපාර තුන තමයි, මගේ ‘බෙන් හෝල්ඩින්ස්ග්ස්’ යටතේ තිබෙන්නේ.

ඇත්තට ම ඇයි, පාඩු ලබන මාධ්‍ය ආයතනයකට අතගැහුවේ. ඔබට ඕනෑතරම් අවස්ථාව තිබුණා ඊට වඩා ලාභ ලබන බිස්නස් එකක් ගැන හිතන්න...

Media කියන්නෙ අද ලෝකෙ හොඳ ම ව්‍යාපාරයක්. පක්ෂග්‍රාහී නොවී හොඳ අන්තර්ගතයක් තිබෙනවා නම්, කොලිටිය විශිෂ්ට නම්, කිසිම මාධ්‍ය ආයතනයක් පාඩු ලබන්නෙ නැහැ. පින්තූර, වර්ණ, ට්‍රාන්ස්මිෂන්, වැඩසටහන්, ඔය හැම දේම කොලිටියට යටත්. ආයතනයේ නායකත්වය, සේවක ආකල්ප මේවත් යටත්. ඒ වගේ ම, මං මේකට හුඟක් කැමැති වුණේ, ලංකාවෙ ඉන්න දක්ෂ නිර්මාණශීලී කලාකරුවන් නිසා. චිත්‍රපට, ටෙලිනාට්‍ය මේ හැම අංශයකින් ම දක්ෂ මිනිස්සු අපේ රටේ ඉන්නවා. මාධ්‍ය ආයතනයක් හොඳින් පවත්වාගෙන යන්න මෙවැනි දක්ෂයන් අවශ්‍යයි වගේ ම, හොඳ මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යද්දි මෙවැනි නිර්මාණකරුවන්ටත් හොඳ ආදායමක් ලැබෙනවා. මට ඕනෙ ඒ දේ වර්ධනය කරන්න.

ඒත් අද කාලෙ චිත්‍රපට සමාගමකින් හිතන තරම් ලාභ උපයන්න පුළුවන්ද...

ඊ.ඒ.පී. තියටර්ස් ගනිද්දිත් හුඟ දෙනෙක් කිව්වෙ ඔය කතාව. අපිට ඊ.ඒ.පී. තියටර්ස් 13ක් තිබෙනවා. තව, ලංකාව පුරා තියටර්ස් 33ක් අපි කළමනාකරණය කරනවා. කොළඹ මිනිස්සුන්ට තියෙන දේවල් ඈත ගම්බදට හිතන්නවත් බැහැ. අඩු ම මුදලකට ඔවුන්ට විනෝදාස්වාදය ලබා ගන්න පුළුවන් චිත්‍රපටයක් බැලීමෙන් පමණයි. චිත්‍රපටයක් නරඹන්න ඕනෙ සවුන්ඩ්ස්, ස්ක්‍රීන්, ඒ.සී, හොඳ ආසන ති‍බෙන මේ වගේ හොඳ ම පරිසරයක හිඳගෙනයි ප්‍රේක්ෂකයන්ට එවැනි අවස්ථාවක් හදා දීමයි මගේ එකම අරමුණ. මං තියටර් බිස්නස් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ ම මෙන්න මේ දේ. චිත්‍රපටයක් බැලුවත් රන් ආභරණයක් ගත්තත්, ගෙවන මුදලට මිනිස්සු සතුටු වෙන්න ඕනේ.

ඇයි යූනියන් බැංකුව ගැන දැන් බරක් නැත්තෙ...

අපේ රටේ යුද්දෙ උග්‍රම කාලෙ යූනියන් බැංකුවට සල්ලි දාන්න මං ආයෝජකයො ගෙනෙද්දි මගෙන් හුඟ දෙනෙක් ඇහුවා, ‘ඔයාට පිස්සුද මේ වගේ කාලෙක බැංකුවකට සල්ලි දාන්න...’ කියලා. මම කිව්වා, ඒ අය විතරක් නෙවෙයි, මමත් සල්ලි දානවා...’ කියලා. හෙමින් හෙමින් ඇවිත් අපි 2011 දි බැංකුව ස්ටොක් මාකට් එකට ගෙනාවා. අන්තිමේ දැම්මට වඩා තුන්සිය ගුණයක් අපි ලාභ ඉපැයුවා. ඒක කොටස් වෙළෙඳපොළේ ලෝක වාර්තාවක්. 2015 දි ආපහු ඇමෙරිකාවෙන් මං ආයෝජකයෙක් ගෙනාවා. ඔහු ඩොලර් මිලියන 117 ක් යූනියන් බැංකුවට ආයෝජනය කළා. ඒ තමයි, මෙරට බැංකු ඉතිහාසයේ බැංකුවක් වෙනුවෙන් සිදු වූ ලොකු ම ආයෝජනය. දැන් බැංකුව ස්ථාවරයි. අභියෝගය ඉවරයි. මගේ හිතේ කිසිම බරක් නැත්තෙ ඒ නිසා.

මොනවද ඔබට තිබුණු පිට රට ව්‍යාපාර...

2000 අවුරුද්දෙ මං සවුදි‍වල ‘ඉලාජ්’ කියන ‘හෙල්ත් කෙයාර් ක්ලිනික්ස්’ බිස්නස් එක ගත්තා. ශාඛා තුනයි මං ගන්නකොට තිබුණේ. පොඩි ශල්‍යාගාරයක්, ක්ලිනික්ස් ඇතුළත් ‘මිනි හොස්පිටල්’ ජාලයක්. ඒක මං ශාඛා 24ක් දක්වා දියුණු කළා. විකිණුවා. අද ඒ බිස්නස් එක, මැදපෙරදිග තිබෙන දැවැන්තම හෙල්ත් කෙයාර් බිස්නස්වලින් එකක්.

ආයෝජකයකුට අවශ්‍ය ලාභය විතරමද...

එක එක්කෙනාගෙ අරමුණු වෙනස්. මං සවුදිවල හෙල්ත්කෙයාර් බිස්නස් එක ගන්නකොට, සල්ලි දාපු ආයෝජකයන්ට ඕනෙ වුණේ ඒ බිස්නස් එක අවුරුදු පහක් හොඳට දියුණු කරලා විකුණන්න. එතැනදි මං දන්නවා, මගේ කාල සීමාව. ඒකට මං ලෑස්තියි. මෙහෙට ආපු ආයෝජකයන්ට ඕනෙ වුණේ, ලාභය ආපහු බිස්නස් එකට ම දාලා, මැනේජ්මන්ට් ටීම් එක, ස්ටාෆ් ටීම් එක දියුණු කරලා තිරසාරව මේ බිස්නස් එක ගොඩනඟන්න. ඒ සඳහා ඔවුන් අවුරුදු 10ක් කල් දුන්නා. ලාභය ගන්න ඔවුන්ට හදිසියක් තිබුණෙ නැහැ.

කොහොම කිව්වත්, ආ‍යෝජනයක් කියන්නෙ ‘ඩීල්’ එකක්. එහෙම නේද...

ඒක හොඳ ඩීල් එකක් වුණානම් හරි. මොකද, ව්‍යාපාර ලෝකෙදි, ඔබට ගොඩවෙන්න උදව් කරපු පාලමක් විනාශ කරන එක හොඳ දෙයක් නෙවෙයි. ඔබ එහෙම කළොත්, දවසක ආපහු එන්න වුණොත් ඔබට එන්න පාරක් නැතිවෙයි. සවුදියේ ව්‍යාපාර කරපු ආයෝජකයො අදටත් මා එක්ක ඉන්නවා. අද මං කතා කළත් ඔවුන් ආයෝජනය කරනවා. ආයෝජකයකු සහ සම්බන්ධය, එක බිස්නස් එකකින් කෙළවර වෙන්න බැහැ. අවුරුදු පහ හරි දහය හරි අවසානයේ, ‘අපි ඔයා එක්ක තව ආයෝජනයක් කරන්න කැමැතියි...’ ඒ මිනිස්සු ඇවිත් කියන්න ඕනේ. එහෙම වෙන්නෙ ඔබ අවංකව බිස්නස් එක - ඩීල් එක කළොත් විතරයි.

ඒත් පිටරටින් එන ආයෝජකයො කරන්නෙ අපේ රටේ සල්ලි, ලාභය හැටියට සූරගෙන යන එක නේද...

ලෝකෙ කොයි රටෙත් ආයෝජකයො තමන්ට හිමි ලාභය ගන්නවා. නමුත් ඒ රටට හදන ව්‍යාපෘති හෝ ගොඩනැඟිලි ගලවාගෙන අරන් යන්නෙ නැහැ.; උදාකරපු රැකී රක්ෂා අරන් යන්නෙත් නැහැ. ව්‍යාපෘතිය රටට ඉතිරි වෙනවා. ගෙනියන්නෙ, දාපු සල්ලිවල ලාභය විතරයි. ඒකෙ වරදක් නැහැ. වැදගත් ම දේ තමයි, රටකට ගෙන්වා ගන්න ඕනෙ, අවුරුදු 5 - 10 තරම් දිගුකාලීන ව්‍යාපෘතිවලට කැමැති හොඳ ආයෝජකයන්; ශක්තිමත්, ස්ථිරසාර ලාභ ලබන ව්‍යාපාර හදන ආයෝජකයන්.

මේ ගෙවෙන්නෙ ව්‍යාපාරවලට හොඳ කාලයක්ද...

හැම දේම හොඳින් ගලාගෙන යනවා නම් හැමෝම බිස්නස්වලට අතගහයි. හැබැයි එතකොට අවස්ථා අඩුයි. හොඳ ම අවස්ථා උදාවෙන්නෙ, රටක ආර්ථිකය අස්ථාවරව තිබෙන විටයි. මොකද එහෙම අවුල්සහගත තත්වවලදි කවුරුත් කිසි දේකට අතගහන්නෙ නැහැ. ඉතින් අවස්ථා ඕනෙ තරම්.

මොකක්ද ඔබේ සාර්ථකත්වයේ රහස...

අංක එකත් දෙකත් තුනත්, Focus : Focus : Focus. මිනිස්සු සාමාන්‍යයෙන් වැඩකරන්නෙ පැය 12ක කාලයක්. ඒ කාලය තුළ පූර්ණ අවධානය දෙන්න ඕනෙ තමන්ගෙ Focus එකට පමණයි. අනෙක තමයි Strategy. උපාය මාර්ගිකව වැඩ කිරීමෙන් පමණයි Best වෙන්න පුළුවන්. මට ඕනෙ Biggest වෙන්න නෙවෙයි. Best වෙන්න. ඔබ Best වුණොත් දවසක නොදැනීම Biggest වෙන්නත් පුළුවන්.

ඔබට සේවකයන් හා තිබෙන්නෙ කොහොම ගනුදෙනුවක්ද...

දැන් තියෙන්නෙ Modern Management. ඉස්සර වගේ තරහා අරන් බැනලා කෑගහලා සේවකයන්ගෙන් වැඩගන්න අවශ්‍ය නැහැ. එහෙම කළාම වෙන්නෙ මනස නිරවුල් සේවකයත් අවුල් වෙන එක. ඔවුන්ගේ ඵලදායිතාව සියයට සියයක් ගන්න නම් ඊට වඩා අවබෝධයකින් ඔවුන් හා ගනුදෙනුව තිබිය යුතුයි. මං ‘බ්‍රාන්ච් විසිට්’ ගියාම සෙකියුරිටි ගාඩ් එක්ක පවා කතා කරනවා. ‘කොහොමද... දරුවො ඉන්නවද... මොකද කරන්නෙ...’ ඔය වගේ සුහදව ප්‍රශ්න ටිකක් අහන එක සභාපති කෙනකුට මදිකමක් නෙවෙයි.

ඔබේ ජීවිතයට බලපෑම් කළ පුද්ගලයින් කවුද...

පළමු කෙනා තාත්තා. එයා ඉතා හොඳ මනුස්සයෙක්. ‘මේ ලෝකෙ ඕනෑම ප්‍රශ්නයක් සඳහා උත්තර තිබෙනවා. ඔයාට මඟහරින්න ම බැරි කාරණා දෙකයි තියෙන්නේ. එකක් මරණය. අනෙක Tax ප්‍රශ්න. මේ දෙක හැරුණුකොට අනෙක් කිසි දෙයක් විසඳාගන්න බැරි ප්‍රශ්න නෙවෙයි...’ තාත්තා නිතර ම මට කියූ දෙයක්. එයා බොහොම නිවුණු කෙනෙක්. කිසිම ප්‍රශ්නයකදි කලබල වෙන්නෙ නැහැ. වයස 17 යි මට, තාත්තා නැතිවෙනකොට, ඒත් තාත්තා කියපු මේ දේවල් අදටත් මගේ ජීවිතයේ ප්‍රතිපත්ති විදියට නැගී හිඳිනවා. අම්මා තමයි, මගේ ජීවිතයට ධෛර්යයයේ පාඩම කියා දුන් පළමු කෙනා. ඕනෑම අමාරු කාලයකදි ජීවිතයට මුහුණ දෙන්න ඇය අපිට පුරුදු පුහුණු කළේ, අපිටම ලබන්න දීපු ජීවිත අත්දැකීම්වලින්.

හොඳ මිනිසුන් බිහි වෙන්නෙ ළමා කාලෙ වැටෙන හොඳ පදනමින් නම් ඔබේ ජීවිතයට වැටුණු හොඳ ම පදනම කුමක්ද...

අද බැංකුවක, මාධ්‍ය ආයතනයක සහ තවත් බිස්නස්වල අයිතිකාරයෙක් වුණාට, මට තිබුණෙ බොහොම සාමාන්‍ය ළමා වියක්. ඒක සැපවත් ළමා වියක් නොවුණට පුළුවන් විදියට හැම දේම දීපු, අම්මා තාත්තගෙ ආදරය නොඅඩුව ලබපු ළමා කාලයක්. ඒ නිසා පළමුකොට ගෙදරින් ලබපු පන්නරය. දෙවනුව යාපනේ සෙන්ට් පැට්රික් කොලේජ්, මගේ ඉස්කෝලෙන් ලැබුණු පදනම.

කැමැතිද ඒ ළමා කාලෙ ගැන කතා කරන්න...

මං වයසට වඩා ලොකු හීන දකින්න ගත්තෙ පුංචි කාලෙ ඉඳලා. මට ඇස්ටන් මාටින් කාර් එකක් ඕනෙ. ලොකු බැංකුවක් ඕනෙ. ලස්සන බිල්ඩිමක් ඕනෙ. මං නිතර හිතුවා. වයස අටේදි, මං අම්මගෙන් ඇහුවා, ‘මට බැංකුවක් ගන්න ඕනේ, කොහොමද ඒක කරන්නේ...’ කියලා. ඉස්කෝලෙ ගියොත් ගන්න පුළුවන්... හොඳට කෑවොත් ගන්න පුළුවන්...’ අම්මා දුන්නෙ ඔහොම උත්තර. ඒ වුණත් මං අහන එක නතර කළෙත් නැහැ.

පුංචි ළමයකුට කොහෙන්ද එහෙම හිතිවිල්ලක්...

කොමර්ෂල් බැංකුවෙ සභාපතිව සිටි එඩ්ගා ගුණතුංග මහත්මයා ඒ කාලෙ යාපනේ මැ‍නේජර්. හිටියෙ අපේ අල්ලපු ගෙදර. යන්නෙ එන්නෙ කාර් එකෙන්. ලස්සනට අඳිනවා. තාත්තා මට ටවුමට ගියාම ඒ බැංකුවත් පෙන්වනවා. බැංකුවක් තියෙනවා නම්, සල්ලි ගොඩක් තියෙනවා... පුංචි වුණාට මං හිතනවා. ඇත්තට ම ඔහු තමයි, මගේ පුංචි ළමා හිතට බැංකුවක අයිතිකාරයෙක් වෙන හීනය ඇතුළු කළ චරිතය. පොඩි ළමයෙක් තමන් දිහා බලලා ‍එහෙම සිතුවිල්ලක් ඇති කරගත්තා කියලා එයා නම් දන්නෙවත් නැතිව ඇති.

පුංචි කාලෙත් ඔබ නිවුණු දරුවෙක්ද...

මට ඉන්නෙ එකම මල්ලියි. ඩන්ස්ටන්. මට වැඩිය අවුරුදු එකහමාරයි බාල. අපි දෙන්නා යාළුවො වගේ. ඒත් කොල්ලො කරන දඟ වැඩ කරන්න ඒ තරමටම අපිට පුළුවන් වුණේ නැහැ. මට වයස 10 දි ෆොරස්ට් ඔෆිසර් කෙනෙක් වෙච්ච මගේ තාත්තා ලෙඩ ඇඳට වැටුණා. ගෙදර ආදායමක් නැතිව ගියා. බැරි අමාරුවෙන් අම්මා, තාත්තගෙ ලෙ‍ෙඩ්ට වියදම් කළා. පොඩි ෆාම් එකක් කරලා අමතර ආදායමක් හොයා ගත්තා. ඉස්කෝලෙ යන්න කලින් අම්මගෙ ෆාම් එකේ බිත්තර ටික කඩවලට දැම්මෙ මම. ඉස්කෝලෙ ඇරිලා ආවමත් මල්ලියි මායි, තාත්තගෙ සාත්තු වැඩවලට උදව් කළා. ඒ නිසා මල්ලිටවත් මටවත් ගහගන්න - දඟලන්න වෙලාවක් - මනසක් තිබුණෙ නැහැ. අපි දෙන්නට ම පැවරුණු වගකීම් තිබුණා.

ඒ කියන්නෙ දරා ගැනීම... අරපිරිමැස්ම ඔබේ ජීවිතයේ ඕනෑවටත් වැඩිය තිබුණා...

මට දරාගන්න අමාරුම වුණේ, ‘මං බිත්තර අරන් යන නිසා, ඒ පැත්තෙ කෙල්ලො මට ‘එග් බෝයි’ කියපු එක. අවුරුදු දොළහක දහතුනක පිරිමි ළමයෙක් විදියට හිතට පොඩි ලැජ්ජාවක් දැනුණත් ගෙදර අමාරුකම් මතක් වෙද්දි මං අමාරුවෙන් දරාගත්තා. ‘මං බැංකුවක් ගත්තට පස්සෙ මුන්ට හොඳ පාඩමක් උගන්වන්නම්කො...’එහෙම හිතලා හිත දැඩි කරගත්තා.

මොනවද ඔබ අකැමැති දේ...

මං කිසිම දෙයක් ගැන එහෙම හිතන්නෙ නැහැ. කරන්න සිද්ධ වෙන ඕනෙ දෙයක් කරන්නෙ කැමැත්තෙන් . අපේ ගෙදර තිබ‍ුණෙ එක බයිසිකලයයි. ඒකෙ ඩබල් දාලා යන්න බැහැ. උදේට මං බයිසිකලේ ඉස්කෝලෙ යනවා. කිලෝ මීටර දෙකකට කිට්ටු දුරක් මල්ලි පයින් යනවා. හවස මල්ලි බයිසිකලෙන් ගෙදර එනවා. මං පයින් එනවා.

අව්වෙ කර වෙවී පයින් එහෙම එන ගමන් මං ඇස්ටන් මාටින් කාර් එකක් ගන්න විදිය කල්පනා කරනවා. ඒ කාර් එකේ පින්තූරයක් හොයාගෙන ගෙදර බිත්තයේ අලවනවා. තාත්තව බලන්න එන අයටත්, ‘මේ මං ගන්න කාර් එක...’ කියලා පෙන්වනවා. අකැමැතියි වුණත්, යමක් කරන්න සිද්ධ වෙන බොහෝ තැන්වලදි කැමැති දෙයක් ගැන හිතන්න හරි පුළුවන් නම්, මුහුණ දෙන්න හරි ලේසියි. අනෙක තමයි, මිනිස්සු අපිව රිදවනවා කියලා කොහොමටවත් අපි වද වෙන්න අවශ්‍ය නැහැ.

මොනවටද ඔබ ළමා කාලෙ දක්ෂ වුණේ...

සෙන්ට් පැට්රික්ස් එකේ මං ඉගෙන ගත්තෙ ඕ - ලෙවල් වෙනකල් විතරයි. මං ගණිතයට සහ එකවුන්ටන්සිවලට හුඟක් දක්ෂයි. නමුත් මං ඒ - ලෙවල් කරන්න හිතුවෙ නැහැ. අම්මට සල්ලි නැති බව මං දන්නවා. මට ඕනෙ වුණා කොළඹ යන්න. ඒ කාලෙදිම තාත්තත් නැති වුණා. මං ජීවි‍‍ෙත්, තනියම මුහුණ දෙන්න පටන් ගත්තා.

මොනවද ඔබ කළේ...

දෙහිවල නෑ කෙනකුගෙ ගෙදර නැවතිලා මං එකවුන්ටන්සි ඉගෙන ගත්තා. යාපනේ ඉඳලා අම්මට එවන්න සල්ලි නැහැ. මං ටියුෂන් දීලා සල්ලි හම්බ කළා. KPMG ආයතනයේ ට්‍රේනි කෙනෙක් හැටියට වැඩ පටන් ගත්තා. රෙජී කන්දප්පා මහත්තයාගේ ග්‍රාන්ට්ස් ඇඩ්වර්ටයිසින් කොම්පැනියේ එකවුන්ටන්ට් කෙනෙක් විදියට මං මගේ පළමු රස්සාව ඇරැඹුවා. ඇත්තටම ඔහු මගේ වෘත්තීය ජීවිතය ඔසවා තැබුවා. ඔහුට හිටියෙ දූලම දෙන්නෙක්. ඒ නිසා ඔහු මට පුතෙකු මෙන් සැලකුවා. එකවුන්ටන්ට් කෙනෙක් විදියට ගිය මාව, මාස දහයක් යන්නත් කලින්, වයස 21 පිරෙනදා Finance Director විදියට ඔහු උසස් කළා. අවුරුදු දෙකකට පස්සෙ මට අවස්ථාවක් ලැබුණා සවුදියේ කොම්පැනියක Finance Controller වෙන්න. 1987, ඒ පඩිය රුපියල් ලක්ෂ හතරක්.

එයද ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය...

ඔව්. ඒක එකක්. අවුරුදු දෙකක් සවුදියේ වැඩකරලා මං සල්ලි ඉතුරු කළා. ලන්ඩන් ගිහින්, නෝර්ත් ලන්ඩන් පොලිටෙක්නික් උසස් අධ්‍යයන ආයතනයේ එකවුන්ටන්සි සම්පූර්ණ කළා. වර්ක් පර්මීට් එකක් අරන් ලයන්ස් ටෙට්ලි දැවැන්ත තේ සමාගමේ, ගෲප් කොස්ට් එකවුන්ටන්ට් විදියට වැඩ කළා. මේ කාලෙ වෙනකොට මගේ අම්මව කොළඹට ගෙනැත් හොඳ ගෙදරක් අරන් දීලා වාහන දීලා, වැඩට අය තියලා සැපවත් ජීවිතයක් හදා දුන්නා.

එතකොට ඔබට, බැංකුවක් ගන්න තරම් සල්ලි ලැබුණෙ කොහොමද...

ඒක දිග ගමනක මහන්සියක ප්‍රතිඵලයක්. එංගලන්තයෙන් මං ඕස්ට්‍රේලියාවට ගියා. පැපුවානිව්ගිනියාවේ අගමැති කාර්යාලයේ, රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති භාරව වැඩ කළා. අවුරුදු හයකට පස්සෙ මැලේෂියන් බැංකුවකට සම්බන්ධ වුණා. ඒ ජාලයෙ දකුණු පැසිෆික් කලාපය බාරව වැඩ කළා. ඔය හැම කාලෙකම පොඩි බිස්නස් අරන් හදන එක, හදලා විකුණන එක මං දිගට ම කළා. ඒක මට විනෝදාංශයක් වුණා.

බිස්නස් එකක් ගොඩ අරන් අමාරුවෙන් දියුණු කළාට පස්සෙ විකුණන්න දුක නැද්ද...

මං ඇමෙරිකාවෙ HealthCare storage technology බිස්නස් එකට අතගැහුවෙ, ක්‍රෙඩිට් කාඩ් චිප් එක ඇතුළේ හැම පුරවැසියකුගේ ම සෞඛ්‍ය වාර්තා, රෝග ඉතිහාසයන් ඇතුළත් කරන්න බලාපොරොත්තුවෙන්. ඒ යෝජනාවට ක්ලින්ටන් මැතිනිය පවා මුණගැහුණා. නමුත් ඒක කරගන්න බැරිවුණා. මං බිස්නස් එක විකිණුවා. එදා මං හඳුන්වා දුන් ඒ, ‘හෙල්ත් ‍ඉන්ෆොමේෂන් ස්ටෝරේජ් ටෙක්නොලොජි - චිප්’ සිස්ටම් එක අද ඇමෙරිකාවෙ භාවිත වනවා. බිස්නස් කියන්නෙ එහෙම තමයි, මිලියන දහයක් දාලා, කවුරු හරි සියයකට ඉල්ලුවා නම් දීලා යන්න ඕනේ. වැදගත් ම දේ තමයි ඔබට සල්ලි හම්බ කරන්න අවශ්‍ය නම් කවදාවත් බිස්නස් එක එක්ක හැඟීම්බරව බැ‍ඳෙන්න එපා. හැම දේකටම ජීවන චක්‍රයක් තිබෙනවා. බිස්නස්වලටත් එහෙමයි.

ඒත් බැඳීමක් නැතිව ව්‍යාපාර දියුණු කරන්නෙ කොහොමද...

බිස්නස් එකකට තියෙන්න ඕනෙ ළැදියාව. කවුරු හරි ඇවිත් මගේ බිස්නස් එකට හොඳ Offer එකක් දුන්නොත්, මම තමයි මේ බිස්නස් එක නැග්ගුවේ මං මෙච්චරක් දැම්මා... මං මේක කීයටවත් විකුණන්නෙ නැහැ... ඔය වගේ කතා මම නම් කියන්නෙ නෑ. ‘ඕ.කේ. මට හොඳ වටිනාකමක් ලැබුණා. ඔබ මේක ගන්න...’ කිව්වා. මං වෙන බිස්නස් එකක් බැලුවා. එච්චරයි.

එහෙම නම් මෙච්චර ආසාවෙන් ගත්තු ස්වර්ණවාහිනියත් දවසක ඔබ විකුණාවි...

අනෙක් කොටස්කරුවා කැමැති නම්, දවසක් ආවොත් එහෙම වෙයි. ඒත් අනෙක් අතට මේක මිනිස්සුන්ගෙ ආදරය කැමැත්ත වැඩිපුර ලැබෙන බිස්නස් එකක්. ඒ නිසා අනෙක් හැමදේටම වැඩිය මේකට මගේ පොඩි කැමැත්තකුත් තිබෙනවා. ඉස්සර මේක මං කවදාවත් බලපු චැනල් එකක් නෙවෙයි. දැන් නම් මං ‘සකූගේ කතාව’ වරදන්නෙ නෑ.

ලෝකෙ වටේ ගිහින් ඉතා හොඳින් හරි හම්බකරපු ඔබ ඇයි දැන් ශ්‍රී ලංකාවෙ ආයෝජන කරන්නෙ...

මගේ රටට වැඩකරන්න ඕනෙ නිසා. 2007 ඉඳන් මං මේ රටේ ව්‍යාපාරවලට අතගැහුවා. ඒත් කවුරුවත් මාව දන්නෙ නැහැ. කිසිම ‘කොක්ටේල් පාටි’ එකකට මං යන්නෑ. මගේ මුළු ජීවිතේට ම පත්තරේකට දෙන පළමු ඉන්ටවීව් එකත් මේක. මං පිටුපස්සට වෙලා වැඩ කරන්න කැමැති කෙනෙක්. රටක් දියුණු කරන්න නම් ජාතික හැඟීමෙන් වැඩකරන්න ඕනේ.

හම්බ කරනවා වගේම වියදම් කරනවද...

ඔව්. චැරිටිවලට. ලස්සනට ඉන්න, තව ලස්සනට ජීවත් වෙන්න. අමාරුවෙන් හම්බකරලා ලෝබකමට විඳින්නෙ නැතිව මැරිලා ගියොත් ඒවා විඳින්නෙ වෙන අය. ඒ නිසා ටිකක් වියදම් කළාට කමක් නැහැ.

පුංචි කාලෙ පයින් යද්දි ගන්න හිතපු ඇස්ටන් මාටින්, අද ඔබට කීයක් තිබෙනවද...

කිහිපයක් තිබෙනවා. මං කාර්වලට, ඔරලෝසුවලට ටිකක් ආසයි. මේවා මං කියන්න කැමැති දේ නෙවෙයි. ඔබේ කරදරේ නිසා කියන දේවල්.

මොනවද තව කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ...

මට මීට වඩා ලොකුවට පුණ්‍ය කටයුතු කරන්න ආසයි. දරුවන්ගෙ ජීවිතවලට හරි මඟ පෙන්වන වැඩසටහන් කරන්න ආසයි.

ආගම එක්ක තිබෙන්නෙ කොහොම සම්බන්ධයක්ද...

අද මං බෞද්ධ ප්‍රතිපත්තිවලට හුඟක් ඇලුම් කරන කෙනෙක්. මගේ බිරියත් සිංහල බෞද්ධ. මට හිතවත් බොහෝ හාමුදුරුවරු ඉන්නවා. නමුත් ම‍ෙග් ආගම ක්‍රිස්තියානි. හැම ඉරිදම මං පූජාවට යන එක වරද්දන්නෙ නැහැ.

ඔබේ ජීවිතයෙන් කවුරු හරි ගන්නවට කැමැති, හොඳ ම දේ කුමක්ද...

අවදානම් කළමනාකරණය කරන හැටි. එය ආයතනයක දියුණුවට බලපාන ප්‍රධාන සාධකයක්. හැබැයි හුඟක් ආයතනවල මේකට නිසි ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඔබ මගෙන් ඉගෙන ගන්න ඕනෙ, බිස්නස් එකක් මං අනෙක් පැත්ත හරවන අන්න ඒ විදිය.

 

 

අදහස්