සා පෙළ-උසස් පෙළ පැරැදුණත් ඔබේ සිහින රැකියාව අත ළඟ | සිළුමිණ

සා පෙළ-උසස් පෙළ පැරැදුණත් ඔබේ සිහින රැකියාව අත ළඟ

"නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 9ක් හා සම්බන්ධ වීමෙන්  අපොස උසස් පෙළ විභාගය අවසන් කළ සිසුන් සඳහා වෘත්තීය පාඨමාලා විශාල සංඛ්‍යාවක් පවත්වන බව බොහෝ සිසුහු නොදනිති. ඒ පාඨමාලා නිසි පරිදි හැදෑරීමෙන් අවසානයේ රටේ වැදගත් රැකියාවක නියැළීමට ඒ අයට අවස්ථාව හිමි වෙයි."

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී ඇත. විභාග අපේක්ෂකයන්ට ඊළඟට මුහුණ දීමට ඇත්තේ උසස් පෙළ කඩඉමය. අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කරන්නේ වසරකට 80,000ක් හා ලක්ෂයක් අතර වන සිසු පිරිසකට උසස් පෙළ වරම් අහිමි වන බවය. පෙර වසරවලට වඩා වර්තමානයේ ඒ තත්ත්වය තරමක අඩුවක් පෙන්නුම් කළත් වසරින් වසර රටේ රැකියා වියුක්තිකයන් අතරට එක් වන එම පිරිස රටට බරකි.

උසස් පෙළට මුහුණ දෙන බහුතරයකගේ අපේක්ෂාව විශ්වවිද්‍යාල වරම් ළඟා කරගැනීමය. වාර්ෂිකව ඉතා සුළු පිරිසක් පමණක් මේ වරම් හිමි කරගැනීම හේතුවෙන් බහුතරයකගේ අපේක්ෂා බිඳ වැටෙයි. විශ්වවිද්‍යාල වරම් අහිමි වීම බොහෝ දෙනා සලකන්නේ තම අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ වි යෑමක් වශයෙනි. වර්තමනයේ උපාධිලාභීන් ද රැකියා වියුක්තිකයන්ගේ ගොඩට එක්වන්නේ උපාධිය ලැබීමෙන් රැකියාවක් ලබා ගත හැකි වෙතැයි යන්න මිථ්‍යාවක් කරමිනි.

සාමාන්‍ය පෙළින් අනතුරුව උසස් පෙළට පිවිසීමේ වරම් අහිමි වූ දරුවන්ට මෙන්ම උසස් පෙළින් පසුව විශ්වවිද්‍යාල වරම් අහිමි වු දරුවන්ට අද යා යුතු මං බොහෝ වුවත් බහුතරයක් ඒ පිළබඳව දන්නේ නැත. ඒ සියල්ලම රැකියා වෙළෙඳ පොළ අරමුණු කරගෙන බිහිවූ වෘත්තීන්ය. නමුත් මේ ප්‍රවේශයේ දී අඩුපාඩුවකට ඇත්තේ නොදැනුවත්කමය. මීට විසැඳුමක් සෙවීමට පසුගිය දා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත්, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයත් විභාග දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව අගනා කර්තව්‍යක් ක්‍රියාත්මක කළේය.

පසුගිය දා පැවැති සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සෑම දරුවෙකුම මුහුණ දෙන ප්‍රශ්න පත්‍රයකි. එදින මේ අමාත්‍යාංශ දෙක විභාග දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව අගනා පත්‍රිකාවක් දරුවන් අතට පත්කළේ ය. විභාගය අවසන් වී අපේක්ෂකයන් විභාග ශාලාවෙන් පිට වී යෑමට මත්තෙන් ඔවුන් අතට ලැබුණේ දැනුමින් සපිරි පැහැදිලිව තේරුම්ගත හැකි පරිදි සකසා තිබූ පත්‍රිකාවකි. ‘දැනුමින් හා නිපුණතාවයෙන් පිරිපුන් විශිෂ්ටයෙකු වී ඔබගේ සිහිනය සැබෑ කරගන්න‘ යන මැයෙන් සඳහන් කළ මේ පත්‍රිකාවේ අන්තර්ගත වී තිබුණේ ‘වැඩ ලෝකයේ මගේ සිහින රැකියාව මට ලැබේ ද?, මට වඩාත් ගැළපෙන විෂය ධාරාව කුමක් වේද,‘ යන කරුණු ඇතුළත් වෘත්තීය මාර්ගෝපදේශන පත්‍රිකාවකි.

උසස් පෙළට තමන්ට නිවැරැදි ක්ෂේත්‍රය කරා යා යුත්තේ කේසේද?, සාමාන්‍ය පෙළින් පසුව උසස් පෙළට පිවිසීමට නොහැකි වුවහොත් තමන්ට ඇති විකල්පයන් මොනවාද? එසේම උසස් පෙළින් පසුව විශ්වවිද්‍යාලයට යෑමට නොහැකි වුවහොත් තම අනාගත රැකියාව සඳහා යා යුතු ගමන් මඟ කුමක්ද? යන්න සිසුන්ට මඟ පෙන්වීම එ පත්‍රිකාවේ අරමුණයි.

“සාමාන්‍ය පෙළ අවසන්. උසස් පෙළ ප්‍රතිඵලත් මේ මස එනවා. මේ ගමන්මගේ දී දරුවන්ට තම අනාගතය ජයගැනීම වෙනුවෙන් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වෘත්තීය නිපුණතාව ලබාගන්න විශ්වවිද්‍යාලයටම යෑම අවශ්‍ය නැහැ. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුවත් දරුවන්ට මේ නිපුණතාව ලබාගන්න ගොඩාක් මාර්ග තියෙනවා.

වර්තමානයේ ලොව ජයගත හැක්කේ දැනුම මත නොව නිපුණතා මතයි. මේ නිසා උසස් පෙළට පිවිසීමට යමෙකු අපොහොසත් වුවත් වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය ඔස්සේ යෑමෙන් පහසුවෙන් අනාගතය ජයගත හැකියි. සාමාන්‍ය පෙළ සමත් වුවත්, අසමත් වුවත් මේ ක්ෂේත්‍රයට පිවිසීමෙන් යා හැකි මං බොහෝයි. එසේම සාමාන්‍ය පෙළ ගණිතය හා විද්‍යාව අසමත් වුවත් උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව ඔස්සේ පාසලේ සිටම වෘත්තීය විෂයන් 26ක් ඔස්සේ අධ්‍යාපනය ලැබිමේ හැකියාව පවතිනවා. අද NVQ මට්ටමේ සහතික උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සහතික සේම පිළිගැනීමකට ලක්වෙනවා.“ එසේ පැවැසූයේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාය.

සාමාන්‍යයෙන් වසරකට උසස් පෙළ සඳහා සිසුන් ලක්ෂ 3කට වැඩි පිරිසක් පෙනි සිටිති. එසේම සාමාන්‍ය පෙළ සඳහා පෞද්ගලික අයැදුම්කරුවන්ද සමඟින් ලක්ෂ 6කට ආසන්න පිරිසක් සහභාගි වෙති. එයිනුත් සාමාන්‍ය පෙළින් පසුව උසස් පෙළ පන්තියට සුදුසුකම් ලබන්නේ සියයට 69ක පිරිසක් පමණි. ඉතිරි සියයට 31 උසස් පෙළ සඳහා සුදුසුකම් නොලබති. අධ්‍යාපන අධ්‍යක්ෂ අශෝක සේනානි හේවගේ මහතා දක්වන්නේ මෙවැනි අදහසකි.

“අපි මේ කටයුත්ත ආරම්භ කළේ පසුගිය උසස් පෙළ විභාගයෙන්. එය සාර්ථක වු නිසා මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ දී මේ දැනුවත් කිරීම කළා. විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර කට්ටල එක්ක මේ බෙදාහැරීම කිසිදු වියදමකින් තොරව කළා. මෙහි අරමුණ වුණේ සාමාන්‍ය පෙළින් පසුව උසස් පෙළ විෂය ධාරාව තෝරාගැනිම, උසස් පෙළට සුදුසුකම් නොලැබුවත් තාක්ෂණ විෂය ධාරාව ඔස්සේ සිසුන්ට ප්‍රවේශයක් සැපයීම හා සාමාන්‍ය පෙළින් පසුව උසස් පෙළට පිවිසීමට නොහැකි වූවන් වෘත්තීය විෂය ධාරා ඔස්සේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථා ලබාදීමයි. සාමාන්‍ය පෙළින් පසු NVQ මට්ටම දක්වා ගොස් උපාධි මට්ටමට පවා යා හැකියි. අද සාමාන්‍ය පෙළ අසමත් සිසුන්ට NVQ 3 මට්ටම වෘත්තීය විෂය ධාරාවන් පාසලින්ම හැදැරීමෙන් ද ලබා ගත හැකියි “

කලා නිර්මාණ හා මධ්‍ය අධ්‍යනය, මොටර් රථ අලුත්වැඩියාව, ගොඩනැගිලි හා ඉදිකිරීම්, විද්‍යුත් ඉලෙක්ට්‍රොනික හා විදුලි සන්දේශ, මුල්‍ය බැංකු හා කළමණාකරණය, ආහාර තාක්ෂණය, මැණික් හා ස්වර්ණාභරණ, භෝජනාගාර හා සංචාරක ව්‍යාපාර, බර වාහන ක්‍රියාකාරිත්වය, සමුද්‍රීය නාවික විද්‍යාව, යාන්ත්‍රික තාක්ෂණය, ලෝහ හා අලෝක ඉංජිනේරු, කාර්යාල කළමනාකරණ, වෛද්‍ය හා සෞඛ්‍ය විද්‍යාව, සම් හා සපත්තු , රෙදි පිළි හා ඇඟැලුම්, දැව ආශ්‍රිත අත්කම් මෙන්ම ශිතකරණ හා වායු සමීකරණ මේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඇති පාඨමාලාවලින් කොටසක් වේ.

ඒ පිළිබඳ තොරතුරු එම අමාත්‍යාංශයේ ලැයිස්තුගත වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි අතර එයින් කොටසක් පහත දැක්වෙයි.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 9ක් හා සම්බන්ධ වීමෙන් අපො.ස උසස් පෙළ විභාගය අවසන් කළ සිසුන් සඳහා වෘත්තීය පාඨමාලා විශාල සංඛ්‍යාවක් පවත්වන බව බොහෝ සිසුහු නොදනිති. ඒ පාඨමාලා නිසි පරිදි හැදෑරීමෙන් අවසානයේ රටේ වැදගත් රැකියාවක නියැළීමට ඒ අයට අවස්ථාව හිමි වෙයි.

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව ( DTET) මඟින් NVQ 3 මට්ටමේ සිට NVQ 6 මට්ටම දක්වා පාඨමාලා පවත්වන අතර මේ කාලය මාස 6 සිට වසර 3ක් දක්වා දිවයයි. මේ පාඨමාලා අවසානයේ ආධුනික කාර්මික ශිල්පියාගේ සිට පුහුණු කළමනාකරුවෙකු දක්වා ඉහළ රැකියා අවස්ථාවක් උදා කරගැනීමේ අවස්ථාව හිමි වෙයි.

උදාහරණයක් ලෙස මෝටර් රථ කාර්මික ශිල්පීන් මෝටර් රථ ඉංජිනේරු ශිල්පීන් දක්වා තනතුරු ලබමින් ඉහළ රැකියා අවස්ථා හිමි කරගත හැකියි. තොරතුරු තාක්ෂණ ශිල්පීන් තොරතුරු තාක්ෂණවේදීන් දක්වා ද රැකියා විවර අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රය මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය විවිධ රැකියා ළඟා කගත හැකි අතර සෑම පුහුණු පාඨමාලාවක දීම එම ආධුනිකයන් රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවාස්ථ පුහුණුවීම් සඳහා යොමු කරවයි.

ඒ පිළිබඳ වැඩි විස්තර 011 2348897 හෝ 0112 348893 මඟින් හෝ www.dtet.gov.lk මඟින් ලබා ගත හැකිවෙයි.

ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) යටතේ ද ක්ෂේත්‍ර 18ක රැකියා ඔස්සේ පුහුණු පාඨමාලා පවත්වන අතර එම ආයතනය මඟින් NVQ 3 මට්ටමේ සිට NVQ 4 මට්ටම දක්වා පාඨමාලා පවත්වන අතර ඒ කාලය මාස 3 සිට අවුරුදු 2 දක්වා වෙයි. මෙහි දී ද ඒ ඒ ක්ෂේත්‍ර සඳහා විශාල රැකියා ප්‍රමාණයක් ඇති අතර පෙර සේම ආධුනිකයෝ රජයේ හෝ පෞද්ගලික අංශයන්හි සේවාස්ත පුහුණු වීම් සඳහා යොදවනු ලබති. එසේම ඉදිකිරීම්, මෝටර් රථ අලුත්වැඩියා හා නඩත්තු කිරීම්, තොරතුරු තාක්ෂණ වැනි ක්ෂේත්‍රවල NVQ 5 මට්ටම සම්පූර්ණ කරන සිසුන්ට වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව උදා වෙයි. වැඩි විස්තර 011 7270270 මඟින් හෝ www.vtasl.gov.lk මඟින් ලබාගත හැකි වෙයි.

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) යටතේ ක්ෂේත්‍ර 18ක් සඳහා පුහුණු පාඨමාලා පවත්වන අතර එම ආයතන මඟින් NVQ 3 මටටමේ සිට NVQ 4 මට්ටම දක්වා පාඨමාලා පැවැත්වෙන අතර කාලය අවුරුද 1 සිට 2 දක්වා වෙයි. එම පාඨමාලාවට අදාළව ආයතනගතව පුහුණුව සදහා අධුනිකයා යොමු කරවන අතර අදාළ රැකියාවේ නියැළෙමින් ද පුහුණුව ලබාගෙන NVQ සහතිකය ලබාගත හැකි වෙයි. ඒ පිළිබඳ වැඩි විස්තර 1951 ක්ෂණික ඇමැතුම් මඟින් හෝ www.naita.gov.lk මඟින් ලබාගත හැකිවෙයි.

ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ (NIBM ) මූලික පාඨමාලා හැදැරීමෙන් ද අනුබද්ධ විදේශ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ අවස්ථාව උදා වෙයි. ඒ පිළිබඳ වැඩි විස්තර 011 2692165 මඟින් හෝ www.nibm.lk මඟින් ලබාගත හැකි වෙයි.

ජාතික ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (GGTTI ) මඟින් පවත්වන NVQ 4 පාඨමාලා සඳහා එක් වරක දී අ.පො.ස සා පෙළ ගණිතය හා භාෂාව ඇතුළත්ව විෂයන් 6කින් සමත්විය යුතුය. NVQ 5 මට්ටම සම්පූර්ණ කරන සිසුන් සඳහා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා හැදැරීමේ අවස්ථාව උදා වෙයි. එම ආයතනයෙන් පුහුණුව ලබා පිට වන සිසුන් සඳහා දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළෙඳපොළේ ද ඇත්තේ විශාල ඉල්ලුමකි.

ශ්‍රි ලංකා මුද්‍රණ ආයතනය මඟින් ද විවිධ පාඨමාලා රැසක් පවත්වන අතර ග්‍රැෆික් ඩිසයිනින් , ටයිප් සෙටින් මෙන්ම ඩේටා එන්ට්‍රි ඔපරේටින් වැනි පාඨමාලා රැකියා වෙළෙඳ පොළේ ප්‍රධාන තැනක් ගනියි. එ පිළිබඳ වැඩි විස්තර 011 2605625 මඟින් හෝ www.cgtti.gov.lk මඟින් ලබා ගත හැකිවෙයි.

මීට අමතරව සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනයේ (NSBM ) දුරකථන අංක 011 5445000 ඔස්සේ හෝ www.nsbm.lk වෙබ් අංකය මඟින් ද, වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලය හා විශ්වවිද්‍යාල විද්‍යායතනයේ දුරකථන අංක 0112 630700 ඔස්සේ හෝ www.univotec.ac.lk වෙබ් අංකය මඟින්ද, ශ්‍රි ලංකා සාගර විශ්වවිද්‍යාලය හා ප්‍රාදේශීය මධ්‍යස්ථාන හි දුරකථන අංක 0112 4346990 හෝ www.ocu.gov.lk අංක මඟින් ද, ශ්‍රි ලංකා මුද්‍රණ ආයතනය හි දුරකථන අංක වන 011 2686162 මඟින් හෝ www.sliop.edu.lk වෙබ් අංක ඔත්සේ වැඩි තොරතුරු ලබාගත හැකි වෙයි.

දැන් උසස් පෙළ කරන්නට නොලැබුණු ඔබට දුක් වීමට හෝ අනාගතය අඳුරු කරගැනීමට ඇවැසි නැත. ඔබේ අනාගය වෙනුවෙන් කරන්නට බොහෝ දේ ඔබට තිබේ. තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිසම් සභාවේ (TVEC ) www.tvec.gov.lk වෙබ් අංකයට පිවිසීමෙන් ඒ පිළිබඳව ඔබ දැනුවත් කරනු ඇත.

Comments