වැඩි ලාබෙට ගිහින් සේසතම නැති කරගන්නවාද | සිළුමිණ

වැඩි ලාබෙට ගිහින් සේසතම නැති කරගන්නවාද

"අනවසර මුල්‍ය ආයතන විකුණා හෝ තැන්පතු හිමියන්ට මුදල් ගෙවීමට නව නීති ඕනෑ අනවසර මුල්‍ය ආයතන අත්හිටුවා ඒවායේ වත්කම් විකුණා තැන්පතු හිමියන්ට මුදල් ගෙවීමේ විශේෂ නීති ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා පවසයි."

අනවසර මුල්‍ය ව්‍යාපාර රට පුරා ක්‍රියාත්මක වන බව රහසක් නොවේ. සමාගමක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කොට තම අරමුදල් මඟින් විවිධ ණය ක්‍රම ක්‍රියාත්මක කිරීමට බාධාවක් නැත. වාරික අය කිරීමේ ක්‍රමයට හෝ බදු ක්‍රමයට ව්‍යාපාරික උපකරණ හෝ පාරිභෝගික භාණ්ඩ අලෙවි කිරීම වැදහත් ආයෝජනයකි.

එහෙත්, එවැනි ව්‍යාපාර පසුව නොයෙක් ක්‍රමයට ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය මත අරමුදල් ලබාගැනීමට පෙලඹෙයි. මේ සෑම ව්‍යාපාරයක්ම නීතියට එකඟ ද, ආරක්ෂාකාරී ද යන්න පරීක්ෂා කිරීමට නියාමන අධිකාරීන්ට නොහැකිය. අවසර ලත් බැංකු සහ මුල්‍ය සමාගම් ද කඩා වැටේ. වංචාකාරීව අරමුදල් පරිහරණය කිරීම නිසා එසේ කඩාවැටීමට හේතු වේ. අනුන්ගේ අරමුදල් බැවින් වංචා සිදු වීමේ අවස්ථා ඉතා අධිකය.

නිසි ප්‍රාග්ධනයක් නොතිබීම, අධිඅවදානම්කාරී ණය සහ ආයෝජන වල අරමුදල් යෙදීම, දෛනික අරමුදල් කළමනාකරණයක් නැති වීම, නිසි ලෙස ගිණුම් සකසා වත්කම්වල ගුණාත්මක බව සහ ලභාදයිතාව කළමනාකරණය නොකිරීම, පුද්ගලික පරිහරණයට විශාල වශයෙන් අරමුදල් ගැනීම සහ වියදම් පාලනය නොකිරීම යනාදිය ඕනෑම බැංකුවක් හෝ මුල්‍ය සමාගමක් කඩාවැටීමට හේතු වෙයි.

අනවසර මුල්‍ය හා බැංකු මෙන්ම මහජනතාවගේ තැන්පතු බාරගන්නා බැංකු නොවන මුල්‍ය ආයතන හතු පිපෙන්නාක් මෙන් රට පුරා බිහි වී ඇත. මේ නීත්‍යනුකූල නොවන මුල්‍ය ආයතනවල මුදල් තැන්පත් කොට අමාරුවේ වැටුණු මහජනතාව පසුව සිය වේදනාව, දුක දරාගත නොහැකිව ජීවිතය අහිමි කරගන්නා අවාසනාවන්ත ඉරණම්වලට පවා ලක්වූ අවස්ථා අපට අසන්නට, දකින්නට ලැබී තිබේ.

රටේ මහජනතාව දුක් මහන්සියෙන් උපයාගත් මුදල් අනවසර මුල්‍ය හා බැංකු ආයතනවල වැඩි පොලියක් හෝ ආකර්ෂණීය ප්‍රතිලාභ හෝ අපේක්ෂාවෙන් තැන්පත් කොට පසුව, පොලියත්, මුදලත් ලබාගත නොහැකිව පීඩාවට පත්වීම අවාසනාවන්ත තත්ත්වයකි. මේ තත්ත්වයෙන් රට, රටේ ජනතාව මුදාගැනීමට බලයලත් නිල ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවයි. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවට පමණක් ඒ සියල්ල තනිව සිදු කළ නොහැකිය. ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය අධිකරණ පද්ධතිය විශේෂයෙන් රටේ ජනතාව ද සහාය දැක්විය යුතුමය.

අධික ලාභ අපේක්ෂාවෙන් ඉහළ අවදානම් දරා, අනවසර මුල්‍ය ආයතනවල මුදල් තැන්පත් කිරීමෙන් ජනතාව වැළැකිය යුතුය. මේ අතර අනවසර මුල්‍ය ආයතන බිහි වීම වැළැක්වීමට බලයලත් ආයතනය ක්‍රියාත්මක විය යුතුයි. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන හොර මුල්‍ය ආයතනවලින් පොදු මහජනතාව බේරාගැනීමටත්, ඒ පිළිබඳ ඔවුන්ගේ දැනුවත්භාවය ඉහළ නැංවීමටත් අප ගත් උත්සාහයයි මේ.

මුදල් ව්‍යාපාර කටයුතු හෝ බැංකු ව්‍යාපාර කටයුතු හෝ කිරීමට බලයක් නැති පුද්ගලයන් විසින් පිරිනමන ඉහළ පොලී අනුපාත හෝ වෙනත් ආකර්ෂණීය ප්‍රතිලාභයන් නිසා මුළාවට පත් නොවන්නැයි තමා මහජනතාවගෙන් ඉලලා සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරයි.

අවසර නොලත් පුද්ගලයන් සහ ආයතන විසින් මහජනතාවගේ මුදල් තැන්පතු ලෙස රැස් කිරීම, ඉන් පසුව ඒවා ආපසු නොගෙවීම හා ව්‍යාපර බංකොළොත් කොට පලා යෑම නිසා පීඩාවට පත් වන්නන්ට සහන සැලැසීමට කුමක් කළ යුතු දැයි කතිකාවක් ගොඩ නැඟීමට අපි කල්පනා කෙළෙමු. ඒ අනුව රටේ ජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ උපදෙස් මත බැංකු අධිකරණ දෙපාර්තමේන්තුව සහ බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ වැඩසටහන් රටේ ක්‍රියාත්මක කොට ඇත.

මහජනතාවගේ මුදල් තැන්පතු භාර ගැනීමට අවසර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී බලපත්‍ර ලබාගත් ආයතනවලට පමණි.

ඊට අමතරව තහනම් යෝජනා ක්‍රම ප්‍රතික්ෂේප කර අමාරුවෙන් තමන් උපයාගත් මුදල් පීරමීඩ වැනි තහනම් යෝජනා ක්‍රමවල ආයෝජනය නොකරන්නැයි ද අධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මහජනයාගෙන් මුදල් තැන්පතු රැස් කිරීම

මහජනයා වෙතින් තැන්පතු භාරගැනීමටත් එම මුදල් ණයට දීම සහ / හෝ ආයෝජනය කිරීම යන කාර්යයන් සිදු කිරීම සඳහාත් නීත්‍යනුකූල බලයක් නැති ආයතන හෝ පුද්ගලයන් සිය ව්‍යාපාර කටයුතුවල කොටසක් ලෙස ආපසු ගෙවීමේ පදනමක් මත මහජනයා වෙතින් විවිධාකාරයෙන් මුදල් රැස් කරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු ලැබී ඇත. එවැනි සමහර ගනුදෙනු “ආයෝජන”, “ණය”, “ණය ගැනීම්”, “ව්‍යාපෘතීන් සඳහා දායකත්වය” හෝ “අරමුදල් කළමනාකරණය” ආදී නම්වලින් හඳුන්වනු ලැබේ.

සත්‍ය තත්ත්වය පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් නැති පුද්ගලයන් එම ව්‍යාපාර සඳහා ඇදගැනීම පිණිස ඉතා ඉහළ පොලී හෝ ප්‍රතිලාභ ලබාදෙන බවට පොරොන්දු දීම නිතර සිදු වේ. එවැනි ක්‍රමවලට අලුතෙන් එකතු වන අයගෙන් ලැබෙන මුදල්වලින් ඉතා කෙටි කාලයක් එසේ ඉහළ ප්‍රතිලාභ ගෙවීමට හැකියාවක් තිබිය හැකි වුව ද මුදල් ලැබීම අඩු වීමත් සමඟ එම ගනුදෙනු කඩා වැටෙන අතර එම ක්‍රම යටතේ මුදල් යෙදවූ අයට සිය මුදල් අහිමි වී යා හැකිය. එබැවින්, ශ්‍රී ලංකා මහ බැංකුව, මහජනයාගේ දැනගැනීම සඳහා පහත සඳහන් තොරතුරු ඉදිරිපත් කර සිටී.

මහජනයාගෙන් තැන්පතු භාරගැනීමට

බලයලත් ආයතන

මහජනයාගෙන් මුදල් තැන්පතු භාරගැනීම සහ එම මුදල් ණයට දීම සහ /හෝ ආයෝජනය කිරීම යන ව්‍යාපාරික කටයුතු ඒ සඳහාම විශේෂ වූ නීති මඟින් පාලනය වේ. ඒ අනුව, එකී ව්‍යාපාර කටයුතු කරගෙන යෑම සඳහා 1988 අංක 30 දරන බැංකු පනත සහ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යන පනත්වල විධිවිධානයන් යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පහත සඳහන් ආයතන වර්ගවලට අවසර ලබා දී ඇත.

1. බලපත්‍රලාභී වාණිජ බැංකු

2. බලපත්‍රලාභී විශේෂිත බැංකු

3. බලපත්‍රලාභී මුදල් සමාගම්

මහජනයාගෙන් තැන්පතු මුදල් භාරගැනීමත් එම මුදල් ණයට දීම සහ / හෝ ආයෝජනය කිරීමත් යන කාර්යයන් කරගෙන යෑම සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවෙන් බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවෙන් මුදාහැර ඇත්තේ පහත සඳහන් ගණයන්ට ගැනෙන ආයතන/ සංවිධාන පමණකි.

1. සමුපකාර සමිති පනත යටතේ ලියාපදිංචි කරන ලද සමුපකාර සමිති.

2. පළාත් සභාවක ප්‍රඥප්තියක් යටතේ ලියාපදිංචි වී ඇති සමුපකාර සමිති

3. ජාතික නිවාස පනත යටතේ සංස්ථාපනය කරන ලද ගොඩනැගිලි සමිති

4. යම් ලිඛිත නීතියක් යටතේ ලියාපදිංචි කරන ලද හෝ පිහිටුවන ලද ලාභ ඉපැයීම මූලික පරමාර්ථය කර නොගත් සිය සාමාජිකයන්ගෙන් පමණක් මුදල් තැන්පතු ලබාගැනීම සහ එසේ ලබාගන්නා තැන්පතු ආයෝජනය කිරීම හෝ ණයට දීම යන කාර්යයන් සඳහා මුදල් මණ්ඩලයේ ලිඛිත අවසරය ලබාගත් ආයතන.

5. තත්කාලයේ බලපවත්නා යම් ලිඛිත නීතියක් මඟින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත අදාළ වීමෙන් නිදහස් කරනු ලැබූ ආයතන.

බලපත්‍රලාභී වාණිජ බැංකුවල, විශේෂිත බැංකුවල සහ මුදල් සමාගම්වල නාමලේඛන ශ්‍රී ලංකා ම බැංකුව විසින් වරින්වර පුවත්පත්වල පළ කරනු ලැබේ. 2016.12.31 දින වන විට බලපත්‍ර ලබා දී තිබූ වාණිජ බැංකු, විශේෂිත බැංකු සහ මුදල් සමාගම්වල නාම ලේඛනයක් මෙම පත්‍රිකාවේ දැක්වේ.

“තැන්පතු” යන්නෙහි නිර්වචනය

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 73(1) වගන්තියට අනුව “තැන්පතුව” යන්නෙන්, ඉල්ලා සිටි විටෙක හෝ ගෙවීම් කරන තැනැත්තා සහ ගෙවීම් භාරගන්නා තැනැත්තා විසින් හෝ ඒ තැනැත්තන් වෙනුවෙන් එකඟ වූ කාලයක දී හෝ අවස්ථානුගත කරුණු මත, පොලියක් හෝ අධි මිලක් සහිතව හෝ රහිතව, ආපසු ගෙවීමේ කොන්දේසි යටතේ ගෙවූ මුදල් ප්‍රමාණයක් අදහස් වේ.

අනවසරයෙන් මුදල් ව්‍යාපාර කටයුතු

කරගෙන යෑමේ ප්‍රතිවිපාක

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ බලපත්‍රයක් නැතිව මහජනයාගෙන් මුදල් තැන්පතු භාරගැනීම මුදල් ව්‍යාපාර පනත යටතේ සහ බැංකු පනත යටතේ වරදක් වේ. එසේ බලපත්‍රයක් ලබාගැනීමේ අවශ්‍යතාවෙන් මුදාහැර ඇත්තේ සමුපාකර සමිති, ගොඩනැගිලි සමිති, යම් ලිඛිත නීතියක් යටතේ ලියාපදිංචි කළ හෝ පිහිටුවන ලද ලාභ ලබාගැනීම පරමාර්ථ කර නොගත් සිය සාමාජිකයන්ගෙන් පමණක් මුදල් තැන්පතු භාර ගන්නා සහ එලෙස ලබාගත් තැන්පතු මුදල් ණයට දීම සහ ආයෝජන කිරීම යන කාර්යයන්හි යෙදීම සඳහා මුදල් මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලත් ආයතනය සහ යම් ලිඛිත නීතියක් මගින් මුදල් ව්‍යාපාර පනත අදාළ වීමෙන් නිදහස් කරනු ලැබු ආයතන පමණකි. මුදල් ව්‍යාපාර පනත යටතේ මහාධිකරණයක් මඟින් පවත්වනු ලබන නඩු විභාගයකින් පසු ඉහත කී වරද සඳහා වරදකරුවකු කරනු ලබන අයෙකු වර්ෂ පහකට නොවැඩි කාල සීමාවක බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් මිලියන පහකට නොවැඩි දඩයකට හෝ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දෙකට ම හෝ යටත් කරනු ලැබිය හැකිය.

බැංකු පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයක් මඟින් පවත්වනු ලබන නඩු විභාගයකින් පසු ඉහත කී වරද සඳහා වරදකරුවකු කරනු ලැබූ අයෙකුට මාස 18කට නොවැඩි සිර දඬුවමක් හෝ රු. 500,000/-කට නොවැඩි දඩයක් හෝ ඒ දඩුවම් දෙකම හෝ පනවනු ලැබිය හැකිය.

මහජනයාට කෙරෙන අවවාදය

මුදල් ව්‍යාපාර කටයුතු හෝ බැංකු ව්‍යාපාර කටයුතු හෝ කිරීමට බලයක් නැති පුද්ගලයන් විසින් පිරිනමන ඉහළ පොලී අනුපාතික හෝ වෙනත් ආකර්ෂණීය ප්‍රතිලාභයන් නිසා මුළාවට පත් නොවන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනයාට අවවාද කර සිටී.

තැන්පතු භාරගැනීම සඳහා බලයලත් ආයතන පිළිබඳ විස්තර ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය අධික්ෂණ දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට ලබා ගත හැක.

• ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරන ලද කළමනාකාර නියෝජිතයන් විසින් කළමනාකරණය කරනු ලබයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කෙරුණු කළමනාකරණ නියෝජිතයකු විසින් කළමනාකරණය කෙරෙන අතර, ප්‍රතිව්‍යූහගත කෙරෙමින් පවතී. ඒ අතරතුර තැන්පතු රැස් කිරීම අත්හිටුවා ඇත.

අවවාදයයි

1. ඔබගේ මුදල් අනවසර සහ/හෝ නියාමනයට ලක් නොවන මූල්‍ය ආයතනයන්හි තැන්පත්/ ආයෝජනය කිරීමෙන් වළකින්න.

2. අවසර ලත් ආයතනයන්හි තැන්පත්/ආයෝජනය කිරීමේ දී පවා මහජනතාව විසින් තම අවදානම සහ ප්‍රතිලාභය පිළිබඳව මනා තක්සේරුවක් කළ යුතු වෙයි.

3. ඉහත බැංකු සහ අනෙකුත් ආයතනවල නාමාවලිය ප්‍රසිද්ධ කිරීම, එම ආයතනයන්හි මුදල් තැන්පත් හෝ ආයෝජනය කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනයාට කරනු ලබන නිර්දේශයක් නොවන බව සැලකිය යුතුය.

වැඩි විස්තර සඳහා විමසන්න

• බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව

(බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු පිළිබඳව)

දුරකථන අංක : 2477100, 2477105, 2477115

ෆැක්ස් අංක: 2477711

විද්‍යූත් තැපෑල: [email protected]

• බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව

(බලපත්‍රලාභී මුදල් සමාගම් පිළිබඳ)

දුරකථන අංක: 2477500

ෆැක්ස් අංක: 2477738

විද්‍යුත් තැපෑල: [email protected]

 

Comments