ලබන වසරේ අපේ රටට ආපදා වැඩි වෙයිද? | සිළුමිණ

ලබන වසරේ අපේ රටට ආපදා වැඩි වෙයිද?

2017දී ආපදා නිසා ජීවිත 246ක් නැති වුණා රුපියල් කෝටි 6000ක දේපළ නැති වුණා

(‘ජර්මන් වොච්’ ආයතනය)

කාලගුණ අවදානමෙන් ලබන වසරේ ලංකාව දෙවැනි තැනට පත් වීම පිළිබඳ වාර්තාව පිළිගන්නේ නැහැ     

(ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි)

නායයෑම පිළිබඳව පූර්ව අනතුරු ඇගවීම් අනුව නායයෑම්වලින් බේරීමට පුළුවන්                                

(මහාචාර්ය කපිල දහනායක)

මේ ආපදා වැඩිපුර ඇති වන්නේ ලොව දේශගුණ විපර්යාසවලට අපත් ලක් වීම නිසයි

(මහාචාර්ය ඩබ්.එල්. සුමතිපාල)

නායය‍ෑම් වැඩි වන්නේ අවිධිමත් ඉඩම් පරිහරණය හා බෑවුම්වල වගා නිසයි

(ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය)

කාලගුණ අවදානම පිළිබඳව සුළිසුළං ගැන අපට කලින් දැනුම් දෙන්න පුළුවන් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ‍

(අනාවැකි) අනූෂා වර්ණසූරිය

අපේ රටට තිබෙන දේශපාලන ප්‍රශ්න මදිවාට අපේ රටට ජනතාවට බලපාන තවත් අනාවරණයක් ‘ජර්මන් වොච්’ නම් සංවිධානය හෙළි කර තිබිණ. ඒ අනුව 2019 ලබන වසර වැඩිම කාලගුණික අවදානමක් ඇති ලෝකයේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්වී ඇතැයි එම සංවිධානය පවසා තිබේ.

2017 වසරේ සිදුවූ ආපදා හේතු කොට ගෙන කළ සමීක්ෂණ අනුව මේ අනාවරණය සිදුකර ඇතැයි ජර්මනිය වොච් ආයතනය පවසයි.

ඒ අනුව 2017 වසරේ දී ආපදා නිසා මරණ 246ක් සිදු වී ඇති අතර අපේ රට සිදුවී ඇති ආපදා ගණන හානිය රුපියල් දස ලක්ෂ 60000ක් බවට ගණන් බලා තිබේ.

මේ අනුව ආර්ථික ප්‍රශ්න රැසක් ඇති අපේ රට වැනි රටවලට මේ කාලගුණික ගැටලු රටේ ඉදිරිගමනට විශාල බාධාවකි.

කෙසේ වුවත් මේ පිළිබඳව අදහස් දක්වන ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ මේ වාර්තාවේ 2019 පිළිබඳව පවසන දේ පිළිබඳව පිළිගැනීමට අපහසු බවයි.

අපේ රට ආපදාවලින් බේරා ගැනීමට දැනුම්වත් කිරීම හා ප්‍රතිපාදන ලබාදීම රජය දිගටම සිදුකරගෙන යන බවත් ඒ අනුව අපේ රටේ ආපදා අවම කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිතරම කටයුතු කරන බවත් ඔහු කියයි.

“මේ වාර්තාව ඉදිරිපත් කර තිබෙන්නේ 1998 – 2018 වසරවල ලොව සිදුවූ බලවත් ආපදා තත්ත්ව අනුවයි. ඒ අනුව මේ තත්ත්වය 2019 දී තවත් උග්‍රවන බව පැවසීම නම් විද්‍යානුකූල නැහැ. මේ වගේ පර්යේෂණ ඒ ආයතනය දිගටම සිදුකළා. ඒ අනුව තමයි මේ නිවේදනය නිකුත් කරලා තිබෙන්නේ. මොන තත්ත්වයක් ඇවිත් ඊට මුහුණ දීමට අපි සූදානම්” යයි ද නියෝජ්‍ය අධ්‍යක්ෂ කොඩිප්පිලි මහතා කියයි.

මෙරට සිදුවෙන සියලුම ආපදා පිළිබඳව කටයුතු කරන ප්‍රධාන ආයතනය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වේ. ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන පරිදි එම මධ්‍යස්ථානය මගින් මෙරට ආපදාවට සම්බන්ධ සියලු ආයතන සම්බන්ධීකරණය කරනු ලැබේ. ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය මෙන් ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය ආදිය ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ ආපදාවලදී ඒකාබද්ධව කටයුතු කරනු ලැබේ.‍

2004 දී ආරම්භ කළ සුනාමි හා සුළි සුළං අනතුරු ඇඟවීමේ කුලුනු ගණන දැන් 77 ක් දක්වා ඉහළ ගොස් ඇත. රට වටා වෙරළ කලාපය අසල ඉදිකර තිබෙන මේ සුනාමි කුලුනු මගින් සුනාමි මෙන් ම සුළි සුළං පිළිබඳව ද අනතුරු ඇඟවීමට කටයුතු කර ඇතැයි ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියයි. අපේ ශ්‍රී ලංකාව වටා ඇති ප්‍රදේශයක භූ කම්පනයක් සිදුවූ විට ඒ බව ක්ෂණිකව අපට දැන ගැනීමට ඉන්දියාවේ ඕස්ට්‍රේලියාවේ ඉන්දුනීසියාවේ කාලගුණ මධ්‍යස්ථාන සමඟ අපේ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය දවසේ පැය 24 පුරාම සම්බන්ධවී පවතී. ඊට අමතරව ඉන්දියන් සාගර සුනාමි පූර්ව අනතුරු හැඟවීමේ පද්ධතිය හා දකුණු ආසියා කලාපීය ආපදා කළමනාකරණ පද්ධතිය වැනි ආයතන හා සම්බන්ධවීම ද සිදු කර අපේ රටට භූමි කම්පා හා සුනාමි අනතුරු පිළිබඳ තොරතුරු ලබාදීමට කටයුතු කරනු ලැබේ. ඒ සමඟම විශේෂයෙන් ෆැසිෆික් සුනාමි පූර්ව දැනුම්දීමේ මධ්‍යස්ථානය හා ජපානයේ කාලගුණ විද්‍යා නියෝජිතායතනය සම්බන්ධතා ගොඩ නඟා ගෙන තිබේ. එහි ප්‍රධාන අරමුණ පූර්ව දැනුම්දීම ඉතා කාර්යක්ෂම ලෙස සිදුකිරීමයි.

ඊට අමතරව රටේ දිස්ත්‍රික්ක 25 පුරාම රාජ්‍ය නොවන සංවිධාන පාසල් සිසුන් සිවිල් සංවිධාන, මාධ්‍යවේදීන් හා ජන සංවිධාන නායකයන් සුවාමි පිළිබඳව දැනුම්වත් කිරීම වැනි කටයුතු කර තිබේ‍. ‘117’ දුරකතන අංකය මගින් අප රටේ හා අවට රටවල සිදුවෙන ආපදා පිළිබඳ දැනගත හැකි ය.

ඒ සමඟම රට ඇතුළත සිදුවන ගංවතුර නායයෑම ආදී ආපදා පිළිබඳව ජනතාවට ඉක්මන් තොරතුරු ලබාදීම පිළිබඳව රට ඇතුළත ආපදා සන්නිවේදන කුලුනු 12ක් අලුතින් ඉදිකිරීම ද සැලසුම් කර ඇත. මීට අමතරව වාරිමාර්ග දෙපාර්තමේන්තුවල කළමනාකරණ ඒකකය මගින් ර‍ෙට් ගංගාවල මහවැලි ජලාශවල ජල මට්ටම වැඩිවීම පිළිබඳව වැසි සමයට දැඩි අවධානයෙන් සිටින අතර අවශ්‍ය අයට ඒ පිළිබඳව දැනුම්දීමට ද කටයුතු සලසා ඇත‍.

ඒ සමඟම සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කටයුතුවලට විදුලි සංදේශ හා සෙලියුලර් දුරකතන සමාගම් හා උදව් කරගෙන sms පණිවුඩ යැවීමට ද කටයුතු සලසා ඇත.

ඒ සමඟම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් සිසිර කුමාර මහතා පැවසුවේ මේ ‘ජර්මන් වොච්’ වාර්තාව පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බවයි. කෙසේ වුවත් ඉදිරියේ සිදුවන ආපදාවලට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නිතරම පෙර සූදානමින් සිටින බව ද ලේකම්වරයා කීය. අපට හොඳ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් තිබෙනවා. දිසාපති, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක හා සියලු හමුදා හා පොලිසිය අප සමඟ ආපදාවලට සහන සලසනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නිතරම සූදානමින් ඉන්නවා.

ඒ අනුව ආපදාවලට අපි නිතරම සූදානම් යැයි ද සිසිරකුමාර මහතා පවසයි.

ඒ අනුව අද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුබද්ධව සිටින ගුවන්, නාවික, යුද හමුදාව හදිසි ආපදාවලදී ක්ෂණිකව අවශ්‍ය සහන සලසනු ලැබේ. ඊට අමතරව ගංගා ආශ්‍රිත සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බෝට්ටු ලබාදීමට කටයුතු කරනු ලැබේ. නායයෑමට ඉඩ ඇති ගම්වල පදිංචිකරුවන්ට ඉක්මනින් නව නිවාස 5000 ක් ඉදිකරන බව ද ලේකම්වරයා කීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ (අනාවැකි) අනූෂා වර්ණසූරිය මහත්මිය පැවසුවේ ජර්මන් වොච් ආයතනයේ පර්යේෂණ අනුව 2019 හි අපේ රටේ කාලගුණය දරුණු වන බවට පැහැදිලිව කරුණු දක්වා නොමැති බවයි.

කෙසේ වුවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාලගුණ අනාවැකි පළ කිරීම හැකි උපරිම අන්දමට සිදුකරන බවත් ඇය පැවසුවාය. “සුළි සුළං පිළිබඳව දින 3 කට පෙර අපිට කියන්න පුළුවන් වැස්ස හා සුළං අකුණු පිළිබඳව පැය 24 කට - 12 කට පෙර අපිට පැහැදිලිව පවසන්න පුළුවන්. කෙසේ වුවත් නවීන උපකරණ අපිට අවශ්‍යයි. ඩොප්ලර් රේඩාර් ආදිය ලැබිය යුතුයි. ලෝකයේ ඇති නවීන කාලගුණ උපකරණ හා අනාවැකි තාක්ෂණය අපට ලැබෙනවා නම් අපට මීට වඩා වැස්ස පිළිබඳව නියම අනාවැකි කියන්න පුළුවන්‍. මේ වගේ පර්යේෂණ අනාවැකි කීම අපටත් එවැනි දේට සූදානම් වෙන්න හොඳ අඩිතාලමක්. කෙසේ වුවත් අපිට කියන්න තිබෙන්නේ අපි සූදානම් වෙලයි ඉන්නේ කියලයි” අනූෂා මහත්මිය පවසන්නීය.‍

මේ පිළිබඳව කරුණු දක්වන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන දේශගුණ විද්‍යාඥ ආචාර්ය රංජිත් පුණ්‍යවර්ධන මහතා පැවසුවේ ‘ජර්මන් වොච්’ ආයතනය කළ මේ අධ්‍යයනය අනුව හෙළිවූ කරුණු පිළිබඳව අපිත් අවධානය යොමු කළ යුතු බවයි.

“2007 දී අප හිටියේ 98 වැනි ස්ථානයේ. 2017 දී ඒක 4 වැනි ස්ථානය වුණා. 2018 දී ඒක 2ට ගිහිල්ලා. ඒ තත්ත්වය ඉතා භයානක තත්ත්වයක්. 1998 සිට 2017 දක්වා වසර 20ක දත්ත බලලා තමා මේක කරලා තිබෙන්නේ. 2015 සිට 2018 දක්වාම අපේ රටේ දිස්ත්‍රික්ක 12ක නියඟය තිබුණා. ඒ අතර සෑම මාසයකම තෙත් කලාපයට අවට ගංවතුර හා නායයාම් ආවා. ඒ නිසා තමා අපට ආපදා කාලගුණ තත්ත්ව අවධානමෙන් දෙවැනි තැනට යන්න වුණේ.”

මේ පිළිබඳව කරුණු දැක්වූ ආචාර්ය පුණ්‍යවර්ධන තවදුරටත් පැවසුවේ 2016 ඔක්තෝබර් මස තමා ඇතුළු මෙරට විද්වතුන් රැසක් අදාළ අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණයෙන් සකස් කොට ජනාධිපතිතුමාට බාරදුන් දේශගුණ විපර්යාසවලට අනුගත වීමේ සැලැස්ම ක්‍රියාවට නැංවීම මඟින් මේ ගැටලුවලට විසදුමක් ලබාදිය හැකි බවයි.

“අපේ රටට පමණක් නොව අපේ කලාපයටම ආපදා බහුල වෙලා. ඒකට ප්‍රධාන හේතුව දේශගුණ විපර්යාස බහුලවීමයි. ඒ නිසා අපි දේශගුණ විපර්යාසවලට අනුගත වීම සිදු කළ යුතුයි. ඒ සඳහා අර සැලැස්ම අනුව කටයුතු කිරීමට සියලුම රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන පියවර ගත යුතුයි. මෙම සැලැස්මේ කටයුතු අනුව ඒ යෝජනාවලිය මඟින් 2030 දක්වා අපේ රටේ ආයතනවලට දේශගුණ විපර්යාසවලට අනුගතවීමට කටයුතු සූදානම් කළ හැකියි” පුණ්‍යවර්ධන මහතා පැවසීය.

ජර්මන් වොච් වාර්තාව පිළිබඳව අදහස් දැක්වූ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ මේ වාර්තාවේ සංඛ්‍යා ලේඛන පිළිගැනීම අපහසු බවයි. මෙම වාර්තාව අනුව ලබන වසරේ අපට විශාල ආපදා ඒම පිළිබඳ ගැටලුවක් තිබෙනවා. කෙසේ වුවත් ඉදිරි වසරේ එල්නිනෝ සංසිද්ධි ඇතිවෙන්න පුළුවන් යැයි ද කාලගුණ අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ පිළිබඳව කරුණු දැක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පිළිබඳ පර්යේෂණ අංශ ප්‍රධාන ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පැවසුවේ ‘ජර්මන් වොච්’ වාර්තාව අතිශයෝක්තියක් පමණක් බවයි. අපේ රටට වඩා රටවල්වල සිදුවූ ආපදා ඇති බවත් මේ අනුව අපේ රටේ තත්ත්වය ඉදි‍රියේ මෙතරම් දරුණු වීම පිළිබඳව වාර්තා ඉදිරිපත් කිරීම සිතාගත නොහැකි බවත් ඔහු කීය.

කෙසේ වුවත් අපේ රටේ නායයෑම් ආදිය ඇතිවීමට ප්‍රධාන ලෙස අපේ ජනතාවගේ අවිධිමත් ක්‍රියා දාම හේතුවී ඇති බවත් අවිධිමත් ඉඩම් පරිහරණය, අවිධිමත් ගොඩනැගිලි ඉදිකිරීම කඳුවල අර්තාපල් හා තේ වැනි වගා සිදුකිරීම ආදිය නිසා නායයෑමේ බහුල වී ඇති බවත් ඒ මහතා පවසයි.

ඒ සමඟම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් මෙරට ප්‍රධාන ලෙස නායයෑමට ඉඩ ඇති දිස්ත්‍රික්ක 10ට අදාළ සියලු ග්‍රාම නිලධාරි වසම්වල සිතියම් අදාළ ග්‍රාම නිලධාරිවරුන්ට ලබාදී ඇත. ඒ අනුව වර්ෂාව අධිකව ලැබෙන විට වහාම ඉවත්විය යුතු හා ඊළඟට ඉවත්විය යුතු පවුල් පිළිබඳව කලින් ම දැනුම් දී පෙර සූදානම පිළිබඳව ජනතාවට දැනුමක් දී ඇත.

ඊට අමතරව අපේ රටේ සිදුවන සියලුම නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් ලක්ෂණ අනුව කලින් හඳුනාගත හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා උපදේශක මහාචාර්ය කපිල දහනායක මහතා පවසයි. ඒ ලක්ෂණ අනුව අදාළ ප්‍රදේශවල ජනතාවට එම ස්ථානවලින් ඉවත්වීමට හැකි අතර ඒ නිසා ආපදා අවම වීම ද සිදුවේ. මේ පූර්ව අනතුරු ඇඟවීම් පිළිබඳව අනතුරුදායක ප්‍රදේශවල ජනතාවට පූර්ව දැනුමක් ලබාදීම අදාළ ග්‍රාම නිලධාරිවරු මඟින් කළ යුතු බව ද මහාචාර්යවරයා පවසයි.

මේ පිළිබඳව කරුණු දැක්වූ හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ හා ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අභයසිංහ පැවසුවේ අපේ ආපදා අනාවැකි වාර්තා එතෙර ආපදා වාර්තා ඇත්ත වුවත් බොරු වුවත් අපේ රටට එන්න එන්නම ආපදා වැඩි වෙමින් පවතින බව පෙනෙන බවයි. දේශගුණ විපර්යාස මෙන් ම අපේ ජනතාවට සිදු කරන දේවල් නිසා ඒ ආපදා වැඩි වී ඇති බවත් ආපදා වැළැක්වීමට හා අවම කිරීමට මෙරට විද්යුත් මාධ්‍ය මගින් දැනට වඩා දැනුම්වත් කිරීම් කළ යුතු බවත් අභයසිංහ මහතා පැවසීය.

“නිරිතදිග මෝසම් හා අන්තර් මෝසම් වැසි ආදිය ඇතිවන වකවානුවලට පෙර ඒවාට සූදානම් විය යුතුයි. පාර දෙපස ඇති ජල කානු හා පිටාර වළවල් මෙන් ම ජලය එකතු වන වළවල්වලට යන කවුළු පිරිසුදු කළ යුතුයි‍. අපි නිතරම කියන්නේ නොවැම්බර් හා දෙසැම්බර්වල සුළි සුළං වැඩියි කියලා. ඒ අනුව ඒ මාසවලට පෙර අනතුරුදායක ගස්වල අතු කපා දැමිය යුතුයි. ආපදා පිළිබඳව පෙර දැනුම්දීම ‘සිළුමිණ’ ඇතුළු පුවත්පත්වලින් ඉතා හොඳින් සිදු කරනවා.

ඒ වගේම රූපවාහිනී මාධ්‍යයෙනුත් පෙර ආපදා හා මෝසම් වැසි පිළිබඳව දැනුම්වත් කිරීම් කළ යුතුයි. අපේ රටේ තිබෙන සුනාමි කුලුනුවලින් කිහිපයක් අක්‍රිය වෙලා. ඒවා පිළිසකර කළ යුතුයි. ඒ සමඟම ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් හා වාරිමාර්ග අමාත්‍යාංශය මගින් කැලණි ග‍ඟේ ගංවතුර අවම කිරීමට ක්‍රියාත්මක අලුත් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම ඉක්මනින් කළ යුතුයි” ගංවතුර ඇතිවීමට පෙර වැව් හාරා ඒවාට ජලය ඇති තරම් පිරවිය යුතු ය” අභයසිංහ මහතා කියයි.

අලුත් ප්‍රවණතාව අනුව ඉදිරියේදී ලොව අරමුදල් වලින් ආපදා සහන ලෙස අපේ රට වැනි දුප්පත් රටවලට විශාල අරමුදල් ලබාදීම නවතා දමනු ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසයි.

මේ අනුව අපේ රටේ රජය හා අදාළ ආයතන මෙරට ආපදා අවම කිරීමට ජනතාව දැනුම්වත් කිරීම අත්‍යවශ්‍ය බවයි.

අපේ රටේ කාලගුණ විපර්යාස අවම කර ආපදා අවම කිරීම පිළිබඳව විදේශ ආධාර ලබන ව්‍යාපෘති 6ක් පමණ ක්‍රියාත්මක වෙනවා. ඒවා මගින් මීට වඩා මේ රටේ ආපදා අවම කිරීමට කටයුතු කළ යුතුයි. කෙසේ වුවත් අවිධිමත් ඉඩම් පරිහරණය කරන ජනතාව නිසා අවිධිමත් ඉදිකිරීම් කරන ආයතන නිසා අපේ රටේ ආපදා වැඩිවීමේ ඉඩක් තිබෙනවා. දේශගුණ විපර්යාස අවම කිරීමට සියලු රාජ්‍ය ආයතන කටයුතු කළ යුතුයි. මහා ජලාශ ඉදිකිරීමට වැව් හා ඉඩම් විනාශ නොකර තිබෙන වැව් ටික හාරා සකස් කළ යුතුයි. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, පාරිසරික හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය ඊට උදව් දිය යුතුයි” හේමන්ත විතානගේ මහතා පවසයි.

මේ කරුණු අනුව අපට පැවසිය හැක්කේ ආපදා හා කාලගුණ වෙනස්වීම් ඉදිරියේදී සිදුවේ නම් ඒවා අවම කිරීමටත් දේශගුණ විපර්යාස අවම කිරීමටත් රටේ සියලු දෙනා අත හිත දිය යුතු බවයි.

මේ පිළිබඳව අවම අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යා හා පරිසර විද්‍යා මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය පැවසුවේ අපේ රටේ ආපදා අවම කිරීමට අපේ ජනතාවට හා රජයට වැදගත් වැඩ කටයුතු රැසක් සිදු කළ හැකි බවයි. ඒ සමඟම අපේ රටේ සිදු වන කාලගුණ හා දේශගුණ විපත්වලට මෙන් ම වැස්ස වැඩිවීමටත් නියඟය ඇතිවීමටත් ලොව ගෝලීය දේශගුණ වෙනස්වීම් හේතු වී ඇති බවත් මහාචාර්යවරිය පවසන්නී ය.

“මේකට මුහුණ දෙන්න අපි ජාතික මට්ටමෙන් මෙන් ම අන්තර්ජාතික මට්ටමෙන් වැඩ කටයුතු ක්‍රියාත්මක කළ යුතුයි” ඇය පවසන්නීය.

අපේ රටට 2017 වසරේ විශාල ආපදාවන් හා කාලගුණ වෙනස්වීම් සිදුවූයේ අපේ රටට ද ලොව දේශගුණික විපර්යාසවල බලපෑම නිසා බව මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක මහාචාර්ය ඩබ්ලිව්.‍එල්. සුමතිපාල මහතාගේ අදහසයි.

ඒ අනුව ලොව දේශගුණ විපර්යාසවලට අනුගත වීම සඳහා අපි කටයුතු කළ යුතු වෙමු. ඒ සඳහා ජාතික ක්‍රමඋපායන් හා මූලික උපායමාර්ග සකස්කර ඇත.

ජාතික සංවර්ධනය සහ සැලසුම් කරණයට දේශගුණික විපර්යාස අනුගත කිරීම, මානව ජනාවාස දේශගුණ විපර්යාසවලට මුහුණදිය හැකි අයුරින් ඉදිකිරීම, දේශගුණ විපර්යාස නිසා ආහාර සුරක්ෂිතතාව සිදුවිය හැකි බලපෑම් අවම කිරීම මූලික ආර්ථික ප්‍රවර්ධන සාධක දේශගුණික විපර්යාසවලට මුහුණදිය හැකි පරිදි ශක්තිමත් කිරීම හා ස්වාභාවික සම්පත් හා ‍ජෛව විවිධත්වය දේශගුණික විපර්යාසවල බලපෑමෙන් ආරක්ෂා කරගැනීම යනාදිය එම උපාය මාර්ගවලට අයත් වේ.

මේ පිළිබඳව සියලු රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන හා පරිසරය සම්බන්ධ ව්‍යාපෘති මෙන් ම ප්‍රතිපත්ති සම්පාදකයන් දැඩි අවධානය යොමු‍ කොට රටේ ඉදිරි සුරක්ෂිතතාව සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙළක් ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව දේශගුණ විද්‍යාඥයෝ හා පරිසර විද්‍යාඥයෝ පෙන්වා දෙති.

Comments