මේ ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියන්නෙත් සීලයක් | සිළුමිණ

මේ ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියන්නෙත් සීලයක්

අද අපි කතා කරන්නට සුදානම් වෙන්නේ ලොවුුතුරා සම්මා සම්බුදු රජාණණ්වහන්සේ දේශනා කරන්නට යෙදුණු ජටා සුත්‍රයයි. මේ සුත්‍රය ඔබ අසා ඇති. ජටා කියන්නේ ගැට සහිත කියන අදහසයි. "අන්තෝ ජටා බහි ජටා" කියන කියමන ඔබ අසා ඇති. අන්තෝ ජටා බහි ජටා කියන්නේ ඇතුළත් ගැට පිටතත් ගැට කියන අදහසයි. එය පැහැදිලි වන සේ එම සූත්‍රයේදී උපමාවක් අරගෙන තියෙනවා. මෙහි සඳහන් වෙන්නේ මේ ආකාරයටයි. එය උණ ගහක් මුල්කරගෙන මේ උපමාව අරගෙන තියනවා.

එනම් අපි දන්නවා උණ ගහේ ඇතුළත් ගැට තියෙනවා; පිටතත් ගැට තියෙනවා. මෙ සූත්‍රයේ දී ගැට කියලා කියන‍්නේ තණ්හාවටයි‍. ඇතුළත ගැට කියන්නේ ඇතුළත ඇති තණ්හාව කියන අදහසයි. පිටත ගැට කියලා කියන්නේ බාහිර තණ්හාවට කියන නමක්. අාධ්‍යාත්මික තණ්හාව කියලා කියන්නේ කුමක්ද? අපේ සිතේ පවතින ඇස, කන, නාසය, දිව, ශරීරය, එයට කියන්නේ අන්තෝ ජටා කියන අදහසින්. බහී ජටා කියලා කියන්නේ පිටත ගැට. එයින් අදහස් කරන්නේ බාහිර දේ කෙරේ ඇති තණ්හාවයි. එනම් රූප කෙරෙහි ඇති තණ්හාව. ශබ්ද ‍කෙරෙහි ඇති තණ්හාව, ආහාරපානවල පවතින රසය කෙරෙහි ඇති තණ්හාව, කයට දැනෙන සුමුදු මුදු ස්පර්ශට කෙරේ ඇති තණ්හාව, සිතට එන සිතුවිලි කෙරේ ඇති තණ්හාව, ඉන්පසු ව මේ සූත්‍රයේ කියනවා 'ජටාය ජටිතා පජා'. එයින් කියන්නේ සත්ත්ව සමූහයා ගැටවලින් ගැට ගැසිලා කියන කාරණාවයි. මේ ලෝකයේ සිටින බ්‍රහ්මයන් දෙවියන්, මිනිසුන්, නරක තිරිසන්, ප්‍රේත අසුර කියන හතර අපායේ සිටින සත්ත්වයන් සහ ඒ සෑම කෙනෙක් ම තණ්හාව නැමැති ගැටවලින් ගැට ගැසිලයි ජීවත්වෙන්නේ. තවත් ආකාර‍යකින් කියතොත් තණ්හාව නැමැති අවුලෙන් අවුලට පත්වෙලයි ඉන්නේ‍. මේ සූත්‍රයේ දි මේ කතාව කියන‍්නේ දෙවිකෙනෙක්. එහි දී මේ දෙවියන් භවත් ගෞතමයන් වහන්සේගෙන් විමසනවා භවත් ගෞතමයන් වහන්ස! මේ තණ්හාව නැමැති ගැට ළිහා ගන්නේ කෙසේද? කියලා . එවිට උන්වහන්සේ වදාළා තණ්හාව නැමැති ගැට ළිහීමට නම් මේ අවුල් ටික නිරවුල් කරන්නට අවශ්‍යයි කියලා. එම අවුල් ළිහිමට ප්‍රතිපදාවක් තියනවා . ඒ ප්‍රතිපදාව කුමක්ද කියා පැහැදිලි කළොත්, එනම් 'සීලේ පටිච්ඡාය නරෝ සපඤ්ඤෝ. මෙහිදී ' සපඤ්ඤෝ කියල කියන්නේ බුද්ධිමත් සත්ත්වයා. සීලයෙහි පිහිටා ‍මේ ගැට ළිහන්නට තම අත්තිවාරම සකස් කරගන්නවා කියලා උන්වහන්සේ දේශනා කළා. මේ ගැට ළිහන්නේ බුද්ධිමත් මිනිසා. බුද්ධිමත් මිනිසා කියන්නේ කා‍ටද? බුද්ධිමත් මිනිසා කියන්නේ ප්‍රඥාවෙන් කරන ලද කුසලයකින් ඉපදිච්ච කෙනාටයි. ප්‍රඥාවෙන් යුතුව කරන ලද කුසලයකින් ඉපදුණ කෙනාට තව වචනයක් කියනවා. බුද්ධ සාසනයේ එ අය හඳුන්වන ලබන්නේ ත්‍රිහේතුක උපතක් ඇති කෙනා කියන වචනයෙනුයි‍. ත්‍රිහේතුක කියන්නේ ලෝභ, ‍ද්වේෂ, මෝහ යටපත් වූ කුසලයකින් උපත ලද කෙනාටයි. එසේ නම් එ කුසලය අලෝභ, අදෝස අමෝහ කියන කුසල මූලයන්ගෙන් යුක්තයි. ඒ කුසල මූලයන්ගෙන් යුතු නිසාමයි ත්‍රිහේතුක උපතක් ඇති තැනැත්තා කියලා කියන්නේ. හේතු තුනක් ඇත කියලා කියන මේ තැනැත්තා 'සපඤ්ඤෝ' කියල හඳුන්වනු ලබනවා. එනම් බුද්ධිමත් තැනැත්තා නමින් ද හඳුන්වනු ලබනවා. ත්‍රිහේතුක කුසලකින් උපත ලැබුව පමණක් මදි. ඒ ත්‍රිහේතුක කුසලයකින් උපත ලද තැනැත්තා 'සී‍ලේ පටිට්ඨාය'. සීලයක පිහිටන්නට අවශ්‍යයි. මේ අාකාරයට සීලයක පිහිටන්නට අවශ්‍යයි කියලා කිව්වාම ඒ පිළිබඳ වැඩි විස්තර කතා කරන්නට අවශ්‍ය නැහැ. සිලය පිළිබඳව අපි කතා කර තිබෙනවා. මේ සීලය කොටස් හතරකට බෙදෙනවා. පළමු වැන්න බුදුරජාණන්වහන්සේ දේශනා කරන ලද සික්ෂා පද ටික ආරක්ෂා කිරීම. එය හඳුන්වනු ලබන්නේ ප්‍රාතිමොක්ෂ සංවර සීලය කියලා. බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා, පංච සීලය රැකීම පිළිබඳව.

තණ්හාව කියන ගැට ටික ළිහා ගන්නට ඔබ පංච සීලය තුළ හොඳින් පිහිටා සිටින්න ඕන. ඊට අමතරව ඔබ තුළ තිබිය යුතුයි, "ඉන්ද්‍රිය සංවර සීලය" ඉන්ද්‍රිය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව සහ ශරීරය කියන පංච ඉන්ද්‍රිය සංවර කරගැනීමයි. මේ ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියන්නෙත් සීලයක්. ‍ඉන්ද්‍රියන්ට අරමුණු ලැබුණාම මේ අරමුණ ප්‍රිය මනාප නම් අපි තණ්හාවක් ඇති කරගන්නවා; ලැබෙන අරමුණ අකමැති අමනාප එකක් නම්, අප්‍රිය එකක් නම්, අමිහිරි එකක් නම් ද්වේෂය ඇති කරගන්නා අතර ලැබෙන අරමුණ මධ්‍යස්ථ නම් අපි ඒ අරමුණ තුළ මුළාවට පත්වෙනවා. මෙන්න මේ අරමුණ මුල් කරගෙන රාග ද්වේෂ සහ මෝහ උපදවා ගන්නේ නැතුව සිටිම ඉන්ද්‍රිය සංවරය කියලා කියනවා. මේ ඉන්ද්‍රිය හය සංවර කර ගැනීම ඉන්ද්‍රිය සංවරයයි. ඉන්ද්‍රිය සංවර සීලය විතරක් සංවර වෙන්නට ඕන නැහැ.

ඊළඟට තියෙන්න ඕන ප්‍රත්‍ය සංනිශ්ශිත සීලය. ඒ කියල කියන්නේ ඔබ පරිහරණය කරන දේවල් නුවණින් විමසා පරිහරණය කරන්න‍ට පුරුදු විය යුතුයි. ඔබ පරිහරණය කරන දේවල් ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. ඇඳුම් ආහාර නිවාස සහ බෙහෙත් හේත් මේවා නුවණින් විමසා පරිහරණය කරන්නට පුරුදු විය යුතුයි. තවදුරටත් පැහැදිලි කරලා දුන්නොත් ඇඳුමක් අඳින්නට පෙර ‍මේ කාරණා හිතන්නට අවශ්‍යයි. මම මේ ඇඳුම අඳින්නේ සීතල නැති කරගන්නයි, උෂ්ණත්වය නැති කරගැනීම පිණිසයි, මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් වන පීඩා වළක්වා ගැනීම පිණිසයි. නොඇසුවහොත් ලජ්ජාව උපදින ස්ථානයන් වසා ගැනීමටයි. ඒ විදිහට හිතලා ඇඳුම අඳින්න පුරුදු වෙන්න; එලෙස සලකලා ඇඳුමක් අඳින එක සීලයක්. ඒ වගේම ආහාරපාන ගන්නා අවස්ථාවෙදි නුවණින් විමසන්නට ඕන. කෑම ගැනීමටත් පෙර ඒ පිළිබඳ ව නුවණින් යුතුව සිහියෙන් යුතුව බැලිය යුතුයි; නුවණින් බැලිය යුතුයි. මම මේ ආහාර පාන ගන්නේ මදය වැඩිමට නොවෙයි; ශරීරය සැනසිම‍ට නොවෙයි; අලංකාරය පිණිස නොවෙයි; කුසගිනි වේදනා නිවා ගැනීමටයි; සීලවන්ත ගුණවන්ත ජීවිතයක් ගත කිරීමටයි‍. එසේ සිතා ආහාර පාන ගන්න පුරුදු වෙන්න. ඉන් පසුව ඔබ නිවසක් පරිහරණය කරන කෙනෙක් නම් නිවසට ඇතුළුවන අවස්ථාවේදි මේ ආකාරයට සිතන්න. මා මේ නිවස පරිහරණය කරන්නෙ සීතල නැති කරගැනීමට යි‍; උණුසුම නැති කරගැනීමටයි; මැසි මදුරුවන්ගෙන් පත්තෑ ගෝනුසු සහ සර්පයන්ගෙන් වෙන පීඩා වලක්වා ගැනීමටයි. මා මේ නිවස පරිහරණය කරන්නෙ ධර්මානුකූල ජිවිතයක් ගතකිරීමට යි; ඒ විදිහට හිතලා නිවස පරිහරණය කරන්න; එය සීලයක්; ලෙඩකට බෙහෙතක් හේතක් අරගෙන එය බොන්න පෙර ‍මේ ආකාරයට සිතන්න; මා මේ බෙහෙත් පරිහරණය කරන්නෙ උපන්නා වු කායික වේදනා දුරුකරගැනීමටයි; නිරෝගී කම උතුම් වන නිසාමයි.‍ එසේ සිතා බෙහෙත් පරිහරණය පුරුදු වෙන්න ඇදුම් ආහාර නිවාස බෙහෙත් කියන සිව්පසය පරිභෝගික කිරීම සිලයක්. ඒ සීලයට කියන්නේ ප්‍රත්‍ය සංනිශ්ශිත ‍සීලය යන නමයි.

තවත් සිලයක් තියනවා. ආජීව පරිශූද්ධි සීලය කියන්නේ ධාර්මිකව ජීවත් වීමයි. තමන් සීලයක් විදිහට ජීවත් වනවා කියන්නේ, මම අධාර්මික ජීවන උපායන්ගෙන් මිදිලා ඉතා ධාර්මික රැකියාවක් කරමින් ජීවත් වනවා කියන දෙයයි. ඔ‍බේ රැකියාව තුළින් ප්‍රාණ ඝාතය සොරකම කාම මිත්‍යාව, බොරුව, වංචාව, පගාව ගැනීම මේවා අතහැරදාන්න. එය ඔබ තුළ පවතින සීල ගුණයක් ආජීව පාරිශූද්ධි සීලය කියන්නේ එයයි. ත්‍රිහේතුක උපතකින් ඉපදුණ කෙනෙක් මෙන්න මේ කියන ‍සිව් පිරිසිදු සීලය තුළ පිහිටිය යුතුමයි. එය තමයි තණ්හාව නැමැති ගැට ළිහන අත්තිවාරම. එසේ සිව් පිරිසිදු සීලයෙන් සීලවන්ත වූ කෙනෙක් බවට පත් වී ඊළඟට කළ යුතු දෙයක් ති‍බෙනවා; එනම් චිත්තං පඤ්ඤච භාවයං කියන්නේ කුමක් ද? මෙහි චිත්තං කියලා කියන්නේ සිත. මෙතැනදි සිත කියල කියන්නේ තමන්ගේ සිත දියුණු කරගැනීමට. සමථ භාවනාව හොඳින් පුරුදු පුහුණු කරලා තමන්ගේ සිත දියුණු කරගන්නට ඕන. සමථ භාවනා ක්‍රම රාශියක් පිළිබඳ ව සම්බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ භාවනා ක්‍රමයක් පිළිබඳ ව හොඳින් ඉගන ගන්න. ඒ භාවනා ක්‍රමයක් ඉතා හොඳින් පුරුදු පුහුණු කරලා, හිත තුළ පංච නීවරණ යටපත් කරගැනීම කළ යුතුයි. සමථ භාවනා ක්‍රම කිව්වාම, සමථ භාවනා ක්‍රම රාශියක් තියනවා.

ලොවුතුරා බුදු රජාණන් වහනසේගේ බුදු ගුණ නැවත නැවත මෙනෙහි කිරීම බුද්ධානුස්තී භාවනාව කියලා කියනවා. නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම‍යේ ගුණ නැවත නැවත මෙනෙහි කිරීම ධම්මානුස්සතී භාවනාවයි.

ආර්යය මහ සංඝ රත්නය තුළ පවතින සුපටිපන්න උජුපටිපන්න ආදී සඟ ගුණ මෙනෙහි කිරීම සංඝනුස්සති භාවනාවයි. තමන් පිරිසිදු සීලයක පිහිටා තමාගේ සීලයේ තිබෙන ලක්ෂණ, සීලයේ තිබෙන ගුණ, සීලය පිළිබඳ නැවත නැවත මෙනෙහි කිරීම, සීලානුස්සතී භාවනාවයි ඉතාම සද්ධාවෙන් ගෞවරවයෙන් මෙනෙහි කරලා ඒ දානය පිළිබඳ ව නැවත නැවත මෙනෙහි කිරී‍ම චාදානුස්සතී භාවනාව කියලා හඳුන්වනු ලබනවා. ඒ වගේම දෙවියන් මුල් කරගෙන සිදුකරනු ලබන භාවනා ක්‍රමයක් තිබෙනවා. ඒ භාවනාව දේවතානුස්සතී භාවනාවයි. එය මෙනෙහි කරන්නේ මේ ආකාරයටයි. චාතුම්මහා රාජිත දෙව්ලොව ආර්යය දෙවියෝ ඇත්තාහ. එම ආර්යය දෙවිවරු මිනිස් ලෝකයේ සද්ධාව, සීලය, සුථය, චාගය, ප්‍රඥාව වැනි ගුණ ධර්ම මෙනෙහි කිරීම නිසාම මෙලොවින් චුතව දෙව්ලොවට ගියහ. මෙලොව තුළ පවතින සද්ධාව මා තුළ ඇත්තේය. එය මට ලාභයකි; මහත් වූ ලාභයකි. එම දෙවියන් තුළ පවතින සීලය මා තුළ අැත්තේය. එය මට ලාභයකි; මහත් වූ ලාභයකි. එම දෙවියන් තුළ අැති සුථය හෙවත් ධර්ම ඥානය මා තුළ ද ඇත්තේය. එය මට ලාභයකි; මහත් වූ ලාභයකි. එම දෙවියන් තුළ ඇති ඡාගය හෙවත් දන් දීමේ ගුණය මා තුළද ඇත්තේය. එය මට ලාභයකි; මහත් වූ ලාභයකි. එම දෙවියන් තුළ අැති ප්‍රඥාව මා තුළ ද ඇත්තේය.

මේ ආකාරයට දෙවියන් තුළ ඇතිගුණ තමන් තුළ ඇතැයි නැවත නැවත සිතමින් භාවනා කිරීම දේවතානුස්සති භාවනාව කියලා හඳුන්වනු ලබනවා‍. දේවතා අනුස්සති භාවනා මෙන් සමථ භාවනා ක්‍රම රාශියක් තිබෙනවා. මෛත්‍රි භාවනාව, කරුණා භාවනාව මුදිතා භාවනාව උපේක්ෂා භාවනාව කියන්නෙත් භාවනා ක්‍රමයක්. ආනාපාන සතියත් සමථ භවනාවක්. දස කසින භාවනාව කියලා, කසින භාවනා ද, දස අසුබ කියලා මළ සිරුරක් කුණු වී යන ආකාරය පිළිබඳ භාවනා ක්‍රම දහයක් ද තිබෙනවා.

මේ කියන භාවනා ක්‍රමවලින් එක භාවනාවක් තෝරාගන එය ඉතා හොඳින් පුරුදු කරන්නට ඕන‍. මේ භවනා ක්‍රම දියුණු කර තමන්ගේ සිත තුළ තිබෙන පංච නීවරණ ධර්මයන් යටපත් කරගත යුතු එයයි. සිත වැඩීම කියලා කියන්නේ 'පඤ්ඤච භාවයං 'මෙතැනදී ප්‍රඥාව කියල කිව්වේ විදර්ශනාව පුරුදු කිරීමයි. මුලින් ම සමථ භවනාවක් තුළින් තමන්ගේ සිත සමාධිමත් කර ගනිමින් එතැනින් නොනැවතී විදර්ශනා භාවනාවකට පුරුදු වෙන්නට ඕන. විදර්ශනා භාවනාවෙන් කරන්නේ මේ ලෝකයේ තිබෙන ස්කන්ධ ධාතු ආයතන වන අනිත්‍ය දුක්ඛ අනාත්ම නුවණින් විමසීමයි. සමථ භාවනාව දියුණු කරපු කෙනකුට විදර්ශනා භාවනාව ‍වැඩීම ඉතා පහසු දෙයක්. විදර්ශනා භාවනාව කුමක්ද කියලා පැහැදිලි කිරීමට, මම ඔබට එක් විදර්ශනා භාවනාවක් පුරුදු කිරීමට කියලා දෙන්නම්.

Comments