අම්බානි දියණියගේ විවාහයට මුළු උදයිපූර් නගරයම මලින් සරසයි | සිළුමිණ

අම්බානි දියණියගේ විවාහයට මුළු උදයිපූර් නගරයම මලින් සරසයි

බිලියනපති ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ විසිහත් හැවිරිදි දියණිය පසුගිය දා විවාහ වූවාය. ඉෂා අම්බානි නමැති එම දියණියගේ අත ගත්තේ තිස්තුන් හැවිරිදි ආනන්ද් පිරමාල් නමැති ව්‍යාපාරිකයෙකි. දෙදිනක් පුරා මහත් උත්කර්ෂවත් අන්දමින් මංගල්‍යෝත්සවය පැවැත්වුණේ අම්බානි පවුලට අයත් විසිහත් මහල් සුඛෝපභෝගී නි‍ෙවසේ දී බව සඳහන් වේ. මේ නිවෙස තිබෙන්නේ රාජස්ථානයේ උදායිපූර් නගරයේය.

මංගල්‍යය සඳහා ලෝක ප්‍රකට පුද්ගලයෝ රැසක්ම ආරාධනා ලැබ සිටියහ. පසුගිය දා විවාහ ප්‍රාප්ත ප්‍රියංකා චොප්රා - නික් ජොනාස් යුවළ ඒ අතර කැපී පෙනිණි. ඉෂා අම්බානි, ප්‍රියංකා චොප්රාගේ ළඟම හිතවතියක බව කියැවේ. ප්‍රියංකා මනාලිය වන අවස්ථාවේ දී දෙවැනි මනාලිය වන්නට ඉෂාට ඉඩ ලැබිණි. ආශ්වර්යා රායි - අභිෂේක් බච්චන්, රජිනිකාන්ත්, අමීර් ඛාන්, ආලියා භාත්, දීපිකා පදුකෝන් වැනි බොලිවුඩ් රංගන ශිල්පීහු ද, සචින් තෙන්දුල්කාර් වැනි ක්‍රිකට් තරු ද, ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයකු වන ප්‍රනාබ් මුඛර්ජි සහ තවත් දේශපාලනඥයෝ රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ හිටපු ඇමෙරිකා ජනපති බිරියක වන හිලරි ක්ලින්ටන් මංගලෝත්සවයට සහභාගී වී සිටීම බොහෝ දෙනාගේ විශේෂ අවධානයට ලක් විණි.

මංගල්‍යෝත්සවය පැවැති උදායිපූර් නගරය දෙදින පුරාම මුළුමනින්ම මලින් සරසා එකම සැණකෙළි බිමක් කර තිබිණි. ප්‍රකට නර්තන ශිල්පීන්ගේ සහ ප්‍රකට ගායක ගායිකාවන්ගේ ප්‍රධානත්වයෙන් එහි ප්‍රසංග පැවැත්විණ. ලෝක ප්‍රකට ගායිකා බියෝන්සේ ඉදිරිපත් කළ ප්‍රසංගය විශාල පිරිසක් මහත් ආශාවෙන් රසවිඳි බව මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකා ඩොලර් බිලියන 41කට අධික ධනයකට හිමිකම් කියන මුකේෂ් අම්බානි, සිය දියණියගේ විවාහය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට අධික මුදලක් වැය කර තිබුණු බව බ්ලූම්බර්ග් සඟරාවේ වාර්තාවකින් කියැවේ.

Comments