ඔබ සිටගත යුත්තේ කොතැනද? | සිළුමිණ

ඔබ සිටගත යුත්තේ කොතැනද?

"මෛත්‍රී ජනාධිපතිවරයා රනිල්ට එරෙහි දැඩි ස්ථාවරයක සිටින්නේ ද ඉතිරි අවුරුද්ද ඔහුගේ පාලනයට නතු වුවහොත් රට ම විනාශ වන බව සක් සුදක් සේ දන්නා හෙයිනි. ‘අපෙනුත් සුළු සුළු වැරදි වුණා. අපි ඒවා හදාගෙන මේ රට ගොඩ නඟනවා’ යයි අද එ.ජා.ප.ය කියන්නේ ඔවුන්ට ඇලඩින්ගේ පුදුම පහනවත් ලැබී තිබෙන නිසාදැයි අප දන්නේ නැත."

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සඳහන් කරන ලද පරිදිම අද මෙරටේ උද්ගතව තිබෙන්නේ ස්වදේශිකවාදය හා විදේශිකවාදය අතර අතිශය තීරණාත්මක අරගලයකි. එහිලා එක් පසෙක මෛත්‍රී ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු කඳවුරකි. අනෙක් පස රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් පෙළ ගැසී සිටින කඳවුරකි. පසුගිය වසර 3½ක පමණ කාලය තුළ රනිල් සහ ඔහුගේ සහචරයන් විසින් ගෙන යන ලද ඇමෙරිකානු හා යුරෝපීය ලිබරල් ආර්ථිකයේ පීඩනයත්, සංස්කෘතික පරිහානියත් විඳ දරා ගත නොහැකි වූ යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය නායකයා වන මෛත්‍රී ජනාධිපතිවරයා එයට එරෙහිව ක්‍රියාත්මක වීම මේ අරගලයට බලපෑ ප්‍රධාන හේතුව විය. ඔහුගේ විප්ලවීය ප්‍රතිචාරය වුයේ ඒ සියල්ල මෙහෙයවූ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද පත් කිරීමත්, අලුත් කැබිනට් මණ්ඩලයකින් සමන්විත ආණ්ඩුවකට රට භාරකිරීමත්ය.

මෛත්‍රී-රනිල් ආණ්ඩුව, රාජපක්ෂ පාලනයට වඩා වෙනස් ව්‍යූහාත්මක රජයක් වනු ඇතැයි ජනතාව කල්පනා කළත්, යහපාලන ආණ්ඩුවට ඒ වෙනස ඉටු කළ නොහැකි විය. ආර්ථිකය මෙහෙය වූ රනිල් අගමැති ලෙස ගෙනගිය ක්‍රියාමාර්ගය දූෂිත හා හිතුවක්කාර එකක් විය. රාජපක්ෂවරුන්ට චෝදනා කරමින් රනිල්ගේ ගජ මිතුරන් විසින් කරන ලද්දේ රාජ්‍ය සම්පත් කොල්ලකෑම හා ඒවා විදේශිකයන්ට විකුණා කොමිස් ලබා ගැනීම ය. ඔවුන්ගේ බරපතළම දූෂණය මහබැංකු මංකොල්ලයයි. රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයේ සම්පූර්ණ වගකීම රනිල් ප්‍රමුඛ ඒ සහචරයන් විසින් බාරගත යුතු වේ. සිංගප්පූරු ගිවිසුමේ විපාක තවම හෙළිදරව් වී නැත.

රනිල් ප්‍රමුඛ කුඩා කණ්ඩායම ප්‍රජාතන්ත්‍රවාදය, ස්වාධීන අධිකරණය වැනි ගම්භීර දේවල් කතා කළත් ඔවුන් ඒවායේ හරය හෝ ගැඹුර බරපතළ ලෙස නොතැකූ බව පසුගිය කාලය ඇතුළත ඔප්පු කර තිබේ. මතුපිටට පෙනෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සිදු වුවත් ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැංවීමට ශක්තිමත් පදනමක් ඇතිකරලීමට යහපාලන ආණ්ඩුවට නොහැකි විය. එයට හේතු වූයේ රනිල් විසින් ගෙන යන ලද අධිකාරවාදී පිළිවෙත ය. මෛත්‍රී රනිල් සම්මුතියේ ප්‍රධාන පොරොන්දුව වූ 1978 ව්‍යවස්ථාව වෙනස් කර ජාතික අභිලාෂයන් අනුව අලුත් ව්‍යවස්ථාවක් සැකසීමට ඔවුහු අසමත් වූහ. ඒ වෙනුවට ඉදිරිපත් වූ 19 වැනි සංශෝධනය අද රටම අවුල් ජාලයකට මැදිකර තිබෙන ආකාරය ඉතා පැහැදිලි ය. ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වූයේ රටේ දේශපාලන සංස්කෘතිය හා සදාචාරාත්මක වටිනාකම් සුරැකීම නොව සියුම් ව හා නොදැනෙන පරිදි විධායක බලයෙන් කොටසක් ඩැහැගැනීම ය.

රනිල් හා ඔහුගේ සමීපතමයන් බොහෝ දෙනෙකු සංස්කෘතික වටිනාකම් හා ජාතික උරුමයන් ලෙහෙසියෙන් ම බැහැර කළ හැකි අය වෙති. විශේෂයෙන් බටහිර අධිරාජ්‍යවාදීන් විසින් උඩු යටිකුරු කරන ලද සංස්කෘතික හර මෙන්ම සිංහල බෞද්ධ සංකල්ප ඔවුන්ට රුචි නොවීය. 8 වන සියවසේ පමණ සිට අඛණ්ඩව පැවති සංස්කෘතික ආධ්‍යාත්මික හර මත යටත්විජිත වටිනාකම් ආරෝපණය කිරීම මේ ඉංග්‍රීසි අනුකාරක පන්තියට අවශ්‍ය විය. ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීට සිදු වූයේ ඒ සියල්ල ඉවසා සිටීමට ය. එහෙත් ඒ ඉවසීමේ සීමාවක් තිබුණි. 2018 ඔක්. 26 වනදා පුපුරා ගියේ එයයි. ඇත්ත වශයෙන් ම මෛත්‍රී ජනාධිපතිවරයා එබඳු පියවරකට යොමු කරන ලද්දේ රනිල් හා ඔහුගේ අධිපතිවාදී හැසිරීම් විසිනි. එහෙත් රනිල් ප්‍රමුඛ ඔහුගේ කඳවුර නොයෙක් ආකාරයෙන් රටට ප්‍රකාශ කළේ වැරදිකරුවා මෛත්‍රී බව ය. ඔහු තමන් බලයට පත් කළ හැටදෙලක්ෂයට එරෙහි වූ අයෙක් බව මේ අය චෝදනා කළහ. එහෙත් සත්‍යය නම් ඒ වගකීමේ වැඩිම පංගුව භාරගත යුත්තේ අගමැතිවරයා වූ රනිල් බව ය.

පාර්ලිමේන්තුව ඇතුළේ මතු වූ මහින්ද විරෝධය දෙස රනිල් බලා සිටියේ සිනාමුසු මුහුණින් ය. රනිල් මහින්දට වඩා සුදනකු වන්නේ කෙසේදැයි බොහෝ දෙනෙක් විමසා නොබැලූහ. ජ.වි.පෙ. පාර්ලිමේන්තුව තුළ ගෙන ගිය ක්‍රියාදාමය ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ බව ඔව්හු අදටත් කියති. එහෙත් ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිඵලය හිමිවන්නේ රනිල්ට ය. රනිල්ගේ සුජාතභාවය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජවිපෙ පෙනී නොසිටියි. එහෙත් අද රනිල්ගේ කඳවුරට එක්ව සිටින සියල්ලන්ගේම අපේක්ෂාව රනිල් යළි අගමැති කරවීමත් ඒ ඇමතිවරුන් බලාත්මක කිරීමත් ය. මේ වනවිට රනිල්ගේ කඳවුරේ ප්‍රබල චරිත සමාජය ඉදිරියේ අනාවරණය වෙමින් ඇත. ප්‍රජාතන්ත්‍රවාදය හා සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටි අයට චෝදනා එල්ල වී ඇත්තේ ආණ්ඩුවේ පාලනය යටතේ තිබෙන ආයතනවලින් මූල්‍ය අනුග්‍රහය ලබාගැනීම නිසා ය. එදා රාජපක්ෂවරුන්ගෙන් වරදාන, වරප්‍රසාද ලැබුවේ යැයි යම් යම් අයට චෝදනා කළ මේ ශුද්ධවන්තයන් අද තමන්ගේ ක්‍රියාව සාධාරණ කිරීමට තර්ක විතර්ක කරන ආකාරය හාස්‍ය දනවයි. මුදල් හා ප්‍රතිලාභ ලබාගැනීම සාධාරණීකරණය කිරීමට කෙබඳු හේතු දැක්වුවත් ඔවුන් සමාජය ඉදිරියේ බැඳ සිටියේ වෙස්මුහුණු බව එයින් පෙනී යනු ඇත. රනිල් සමඟ ගමනක් නැතැයි මෛත්‍රී කියන්නේ ඔහු හොඳින් හඳුනා ගැනීමෙන් පසුවය. ඔහු සිය දේශපාලන විඥානයෙන් මෙන්ම හෘදය සාක්ෂියෙන් ද එළඹෙන නිගමනය කුමක්ද? ඒ කිසිවක් නොව රනිල් මහින්දට වඩා බිහිසුණු බව ය. රනිල් සිය පක්ෂය ඇතුළේ හොඳ ගේම්කාරයකු බව පසු පෙළේ සමහරු ප්‍රසිද්ධියේ ම කියති. එහෙත් ඔහු එළිපිට ගහන ගේම් ආපහු කැරකෙන බව ද ඔවුහු පිළිගනිති. අද සිදුව තිබෙන්නේ එයයි. ඔහුට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වේ. දෙමළ සන්ධානය තමන්ට අවනත කරගැනීම ඔහුගේ සමත්කමකි. මෛත්‍රීට සාපේක්ෂව රනිල් අගමැති ලෙස උතුරට කළ සේවයක් නැත. මෛත්‍රී තරම් උතුරේ ජනතාව හමුවූ නායකයෙක් ද නැත. සාමාන්‍ය දෙමළ ජනතාව මෛත්‍රී කෙරෙහි විශ්වාසය තබා සිටිති. උතුරේ ඉඩම් 90%ක් ම ආපසු මුල් අයිතිකරුවන්ට මේ වනවිටත් ලබාදී ඇත. ඉරනමඩු ජලාශය උතුරේ ජනතාව දුටු සිහිනයකි. කිලිනොච්චියේ ගොවීහු මේ සත්ක්‍රියාව පසසමින් ජනාධිපතිට පින් දෙති. මොරගහකන්ද - ඉරනමඩු වැනි වාරි තාක්ෂණ මෙහෙයුම් මෛත්‍රීගේ යෝධ සංවර්ධන සැලසුම් ය.

ජාතිවාදී හිසේ කැක්කුම් නොමැති නායකයකු වූ මෛත්‍රී සියලු ගොවිදුකට විසඳුම් සොයද්දී රනිල්ලා කළේ රට විකුණන ගිවිසුම් ගැසීම ය. වරායවල්, ගුවන්තොටවල් විකුණා දැමීම ය. යහපාලන ලිබරල් ආර්ථිකයේ ගොවියාට ග්‍රාමීය ශ්‍රමිකයාට ඉඩක් තිබුණේ නැත. පොඩි මිනිහා ගැන කිසිදිනක සංවේදී නොවූ එජාපයේ එකම නායකයා රනිල් විය යුතුය. එහෙත් රනිල් ම ඉල්ලන පිරිසක් සිටිති. ඇන්ජීඕ නඩවලට, දෙමළ ඩයස්පෝරාවට, බටහිර තානාපති කාර්යාලවලට වුවමනා අගමැති රනිල්ය. බටහිර පන්නයට මනාව ගැළපෙන සිංහල සංස්කෘතික වටිනාකම් නොතකන නායකයකු ලෙස ඔවුන්ගේ තේරීම රනිල් මිස මෛත්‍රී හෝ මහින්ද හෝ සජිත් හෝ නොවේ.

පසුගියදා මෙරටේ ඇතැම් සිවිල් සංවිධානවල පුද්ගලයන් පමණක් නොව සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටින සමහරුන්ගේ ද රහස් ක්‍රියාකාරකම් හෙළි විය. ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය සඳහා සත්‍යග්‍රහ විරෝධතා පවත්වන මේ උදවියට ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ දැන් ප්‍රකට රහස් ය. රනිල්ගේ සකලවිධ දෝෂ අහෝසි කර්ම ගණයට දා සලකන මානවහිතවාදී සාදු ගැන මෙන්ම රනිල් වෙනුවෙන් මරාගෙන මැරෙන්නට හදන අය ගැන ද අපට ඇත්තේ ලැජ්ජාවකි. ඉරාකයේ ගඩාෆිගේ ඉරණම මතක් කරමින් රනිල් වෙනුවෙන් රුධිරය ඉල්ලා සිටින ඩ්‍රැක්‍යුලා කෙනෙකුගේ විලාසය අපි දිටිමු. එබඳු ම වියරුවකින් යුක්තිය ඉල්ලූ කතකගේ මුවින් ගලා ගියේ සැපින්නකගේ විෂ තැවරුණු වාග් මාලාවකි. මේ ජනතාවට මඟ පෙන්වන බුද්ධිමතුන්ගේ අමන විලාසයන් ගැන කුමන කතාද? රනිල් ප්‍රමුඛ කල්ලියේ දූෂිත ක්‍රියාකාරකම් වෙනුවෙන් පෙනී සිටීම මොවුන්ගේ එකම අරමුණ බව පෙනේ. මේ විජාතික බල කඳවුරට රනිල්ගේ දශමයක අඩුපාඩුවක් හෝ වරදක් නොපෙනේ. ඔවුහු බටලන්දට වඩා සුදු වෑන්වලට බිය වෙති. රනිල්ට වඩා මහින්දට බිය වෙති. රනිල් අත වරදක් ඇතැයි ඔවුහු නොසිතති. එහෙත් මහින්ද වැරදි ආකරයකි. මෛත්‍රී ඔවුන්ගේ අපේක්ෂා බොඳ කළ නරකම මිනිසාය. රනිල් උචිත මැතිසබයට ය. මෛත්‍රීට හිමි කුඹුර හෝ හේන ය. මෛත්‍රී - මහින්ද එක්වීම තරම් අපරාධයක් ඉතිහාසයේ කිසිදිනක සිදුවී නැත. මහින්ද ප්‍රභාකරන් නමැති අහිංසකයා මරා දැමූ නපුරා ය. රනිල් ප්‍රභාකරන් රැකගැනීමට කිලිනොච්චියට ගිය මානවහිතවාදියා ය. මහින්ද ස්ත්‍රී දූෂක ඝාතකයකුට රැකවරණය දුන්නෙකි. රනිල් යුගයේ ගෝනවල සුනිල් වැනි උපාසකයන්ට සාමදාන විනිසුරුකම් ලබාදී ඇත.

මේ සියල්ල විමර්ශනය කරන කවරකුට වුවද පැහැදිලි වන්නේ රනිල් යනු ජේ.ආර්.ටත් වඩා කපටි දේශපාලනඥයකු බව ය. අද ඔහු වටා ගොනු වී සිටින පිරිස අතර වාමාංශික වෙස් බැඳ ගත් විකට චරිත පමණක් නොව කලකට පෙර ප්‍රබල එ.ජා.ප. විරෝධීන් බවට පත්ව සිටි අය ද වෙති. එසේම සිංහල බෞද්ධ නම් ගම් ඇති එහෙත් ඒ සංස්කෘතික වටිනාකම් පය දුහුවැලි තරම්වත් නොතකන පුද්ගලයෝ ද රනිල් වෙනුවෙන් පෙනී සිටිති.

දෙමළ සන්ධානයට මෙන්ම මුස්ලිම් ජාතිවාදි නායකයන්ට ද හොඳට ම ගැළපෙන චරිතය මහින්ද හෝ මෛත්‍රී නොව රනිල් ය. දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත් නායකයකු ලෙස මෛත්‍රී ජනාධිපතිවරයාට පිළිගැනීමක් තිබුණත් ඔහු බටහිරට ගැති නොවන නායකයකු වීම නිසා දෙමළ හා මුස්ලිම් නායකයෝ රනිල්ට වඩාත් ළං වෙති. සිංහල බෞද්ධ උරුමය ගැන කතා කළ දෙපිටකාට්ටු නායකයන්ට ද රනිල් වුවමනා බලය සඳහා පමණි. ඔවුන්ට රට, ජනතාව හෝ වෙනත් සංස්කෘතික වටිනාකම් වැදගත් නැත.

ඉකුත් 12 වැනිදාත් එ.ජා.පෙරමුණ, දෙමළ සන්ධානය හා ජ.වි.පෙ. පමණක් නියෝජනය කරන පාර්ලිමේන්තුව රැස් වුයේ රනිල්ට විශ්වාසය පළ කරන යෝජනාවක් සම්මත කිරීමට ය. නිදහස් සන්ධානය එදිනද සභා රැස්වීම වර්ජනය කර තිබුණි. රනිල්ට විශ්වාසය පළ කරන යෝජනාවට ජ.වි.පෙ. එකඟ නොවූ අතර අනුර කුමාර මන්ත්‍රිවරයාගේ විවේචනය වූයේ මෙම පාර්ලිමේන්තුව තුළ කිසිදු අගමැතිවරයකු පත් කිරීමට තම පක්ෂය එකඟ නොවන බව ය. රනිල් ගැන කතා කරන අතර කතානායකවරයාගේ වීරත්වයට එ.ජා.ප.යේ පැසසුම් ද ලැබුණි. ජ.වි.පෙ. පැහැදිලිව ම කියා සිටියේ 26 වැනිදා සිද්ධියට තමන් එකඟ නොවුවද එබඳු ක්‍රියාවලියකට උචිත පසුබිම සැකසුණේ රනිල් අගමැතිවරයා ලෙස ගෙන ගිය ක්‍රියාදාමය බව ය. ජ.වි.පෙ. කළ තවත් අවධාරණයක් වූයේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් රනිල්ට සහාය පළ වුවත් මේ රටේ බහුතර ජනතාව ඔහුත් ඔහුගේ පාලනයත් ප්‍රතික්ෂේප කර තිබෙන බව ය.

දෙමළ සන්ධානය එක අතකින් රනිල්ට සහාය පළ කරමින් අනෙක් අතින් විපක්ෂයේ භූමිකාව නිරූපණය කරන බව ප්‍රකාශ කළේය. එහෙත් එබඳු විහිලුවලට අපට සිනා සිය නොහැකිය. දෙමළ සන්ධානය කිරීමට යන්නේ දෙබිඩි රංගනයක් බවට දැනටමත් චෝදනා නැඟී තිබේ. ප්‍රවේශමින් වචන භාවිත කරන සුමන්තිරන් මන්ත්‍රීවරයා එ.ජා.ප. දෙමළ සන්ධාන දීගයක් නැති බව පෙන්වා දීමට තැත් කළත් වෙනත් දෙමළ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේ ඊට වඩා වෙනස් අස්ථානයකි. මෙහිදි අපට සිහි වෙන්නේ ‘බුදියන්න එක තැනකුත්, ගොරවන්න තව තැනකුත්’ යන සිංහල ජනවහරය කුමක් වුවත් රනිල් රැකුණේ දෙමළ සන්ධානයේ සහයෙන් ම නිසා ඊට කළගුණ සැලකීමට රනිල්ට සිදුවන බවද අප මතක තබා ගත යුතුය.

මෛත්‍රී ජනාධිපතිවරයා රනිල්ට එරෙහි දැඩි ස්ථාවරයක සිටින්නේ ද ඉතිරි අවුරුද්ද ඔහුගේ පාලනයට නතු වුවහොත් රට ම විනාශ වන බව සක් සුදක් සේ දන්නා හෙයිනි. ‘අපෙනුත් සුළු සුළු වැරදි වුණා. අපි ඒවා හදාගෙන මේ රට ගොඩ නඟනවා’ යයි අද එ.ජා.ප.ය කියන්නේ ඔවුන්ට ඇලඩින්ගේ පුදුම පහනවත් ලැබී තිබෙන නිසාදැයි අප දන්නේ නැත.

ජ.වි.පෙ. සඳහන් කළ පරිදි ම 2018 ජනවරම තනිකරම එ.ජා.ප.යට අයත් නැත. එහි විවිධ සංයුතීන් පමණක් නොව මෛත්‍රීගේ දේශපාලන සුජාතභාවය හා පරිණත ගුණය ද ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීමට විය. මෛත්‍රීගේ එ.ජා.ප.යට විරුද්ධ වීම ක්ෂණිකව මහින්ද සමග ඇති කරගත් බැඳීමක් නොවේ. අනුර කුමාර අවධාරණය කළේ ද එ් ක්‍රියාදාමය අනුමත නොකළත් එයට වගකිව යුතු පසුබිම සැකසූ පුද්ගලයා රනිල් ම බවය. රනිල්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයට පක්ෂව ගත් තමන් තීරණය අදටත් අදාළ බව ය. අනෙක් අතට අද පාර්ලිමේන්තුව නියෝජනය කරන අය අතර එහාට මෙහාට පනිමින් දේශපාලන ක්‍රීඩාවක නිරත වූවෝ ද සිටිති. ඒ සමහරු තමන් පත් කර ගත් ජනතාවට පවා ද්‍රෝහි වූවෝ ය. එබඳු ප්‍රතිපත්ති විරහිත පාවා දෙන්නන් කාට පක්ෂ වුවත් එය පිළිකුල් සහගත දෙයක් බව ද ජ.වි.පෙ. නායකයා කීවේය. මෛත්‍රී ජනාධිපතිවරයා වරක් ප්‍රකාශ කළ පරිදිම රනිල්ගේ එ.ජා.ප.ය ඩී.ඇස්ලාගේ ඩඩ්ලිගේ හා ප්‍රේමදාස ගේ එ.ජා.ප. ය නොවේ. එය ජේ.ආර්.ගේ ධර්මිෂ්ඨ වෙස් බැඳ ජනතාව මුළා කළ එ.ජා.ප.යේ වඩාත් ධනවාදී හා දක්ෂිණාංශික දිගුවකි. රනිල් වසර 25ක් එහි නායකයාය. පක්ෂය තුළ හෝ ඔහුට පූර්ණ එකඟතාවක් නැතත් ඔහු මොන උප්පරවැට්ටියකින් හෝ නායකත්වය රැක ගෙන සිටියි. සජිත් අගමැති ලෙස පක්ෂයට යා යුතුය යන හඬක් යළිත් මතු වුව ද රනිල් දැන් ඒ සියලු හඬවල් නිහඬ කර ඇත. ඒ රනිල්ගේ හැටි ය. එහෙත් මෛත්‍රී රනිල් දකින්නේ බෙහෙවින් වෙනස් විජාතික චින්තනයක් සහිත සංස්කෘතික විහීනයෙක් ලෙස ය. 2008 ජනවරමින් ජනතාව අපේක්ෂා කළ කිසිවක් කළ නොහැකි රනිල් නිසා බව මෛත්‍රීට වැටහුණේ ආණ්ඩුව පිහිටුවූ මුල් ම දිනවල ය. මෛත්‍රී ශ්‍රී ල.නි.ප.ය බාර ගන්නේත්, තමන්ට දේශපාලන ශක්තියක් ගොඩ නඟා ගැනීමට ය. මැතිවරණ කල් දමමින්, ජනතා විරෝධී ආර්ථික මඟක රට ගෙන යමින් රනිල් කළ වැරදි අද මෛත්‍රිගේ ඇඟට දැමීමට එ.ජා.ප.ය දරන ප්‍රයත්නය ලැජ්ජා සහගත ය. කෝප් කමිටුවේ කුප්‍රකට ෆුට්නෝට් කල්ලිය අද මෛත්‍රීට නඟන අවලාද, අපවාද ඔවුන්ගේ දේශපාලන අශීලාචාරත්වයේම ප්‍රකාශනයන් වැන්න.

මෛත්‍රී රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීම විවිධ දෘෂ්ටි කෝණවලින් විග්‍රහ කර තිබේ. එය දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස සමහරු දනිති. එහෙත් මෛත්‍රීට ඒ දුෂ්කර පියවර සඳහා හෘදය සාක්ෂියේ ප්‍රබල පෙලඹවීමක් තිබුණි. එ.ජා.ප.යේ වෙනත් අයෙකු අගමැති ධුරයට පත් කිරීමට ගත් ප්‍රයත්නය ද ව්‍යර්ථ විය. දේශපාලන කළගුණ සැලකීම්වලට හෝ ඒ ණය ගෙවිම් වලට වඩා බැරෑරුම් අවස්ථාවක් තමන් ඉදිරිපිට තිබෙන බව ඔහුට පසක් විය. දිවා - රෑ ඒ කම්පනය හදට දැනෙන්ට ද විය.

මෛත්‍රි ද සිය දේශපාලන පරමාදර්ශී චරිතයක් වන මහත්මා ගාන්ධිගේ සිත පහන් කළ ‘භගවත් ගීතාවට’ද බෙහෙවින් ඇලුම් කරයි. භගවත් ගීතාවේ එන අගනා සුභාෂිතයක් ඔහුට සිය තීරණයට එළඹීමට ශක්තියක් වූ බව කල්පනා කළ හැකිය.

“මෙම තීරණය ගැනීමේදී මගේ සියලු ශරීරයේ හැම අංගයක් ම ලිහිල් ව යයි. මුව වියළෙයි. මගේ සිරුරෙහි කම්පාවත් ලොමු දැහැ ගැන්වීමත් මට දැනෙයි. එහෙත් මගේ යුතුකම වී තිබෙන්නේ කටයුත්ත කිරීම පමණි. එහි පල ගැන සැලකීම නොවේ”.

මේ පෙරදිග සාර දැක්ම මෛත්‍රීගේ අධිෂ්ඨානය දැල් වූ බව නිසැකය. මෛත්‍රී ඒ දුෂ්කර, අභියෝගය ජය ගත්තේ ය. අද ඔහුට පරිභව කරන මූග්ධයෙන් ඒ ක්‍රියාව අතිශය ලඝුකර ඔහුට අවලාද නඟති. එහෙත් තමන් ගත් පියවර ආපස්සට තැබීමට ඔහු සූදානම් නැත.

මෙයට දසක හතකට පමණ පෙර මදුරාසියේ මහ ඇමතිවරයකු ව සිටි චක්‍රවර්ති රාජ ගෝපාලාචාරීන්ට එරෙහිව පැවති නඩුවක් විභාග කළ මුස්ලිම් විනිසුරුවරයකු ද තමන් විසින් දෙන ලද අතිශය දුෂ්කර නඩු තීන්දුවක් ලියද්දී මේ ‘භගවත් ගී’ පාඨය උපුටා දක්වා හද පහන් කරගත් බව කියති. එනිසා පෙරදිග මුතුඇටය සුරැකීම සඳහා පෙරදිග ඇසින් බලා පෙරදිග හදවතින් ගන්නා ලද ඵෙතිහාසික තීන්දුවක් ලෙස මෛත්‍රී - මහින්ද එක්වීම අපි සටහන් කර තබමු. එය නියත වශයෙන්ම විජාතිකවාදී ප්‍රතිගාමිත්වයට එරෙහිව ස්වදේශකවාදී ජන නායකයකු විසින් ගන්නා ලද විප්ලවීය තීන්දුවක් බවද කිව යුතුය. රනිල් සමඟ එක්ව ජාතිවාදී පටු අරමුණු දිනා ගැනීමට පෙළ ගැසෙන බටහිර ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී විදූෂකයන් මෙන්ම ඔවුන්ගෙන් යැපෙන ඊනියා සිවිල් සමාජ හා පුරවැසි බලමුළු ද මුහුණට මුහුණ සටනකින් නුදුරු අනාගතයේදී ම පරාජය කිරීමට අපට සිදුවනු ඇත. ඒ සටන් පෙරමුණේ මෛත්‍රී මහින්ද සමග සිංහල, දෙමළ, මුස්ලිම් දේශප්‍රේමීහුද එක්විය යුතු වෙති. නැතහොත් මේ රම්‍ය භූමිය විදේශික අන්තවාදීන්ගේත් ඔවුනට සෙවණ දෙන බටහිරයන්ගේත් කෙළිබිමක් වනු නිසැක ය.

අදහස්